මතකයක සේයා – 57

0
1149

මන්දාකිණි ගේ දෙමාපියන් පැමිණීමට පෙර කෛලාශ් ව පිටත් කර හැරීමට ලවන් දැඩි උත්සාහයක් ගත්තද එය ඔහු බලාපොරොත්තු වූ තරම් සාර්ථක වූයේ නැත. මන්දාකිණි මාරක අනතුරකට ලක් වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතරතුරදී ඇයව රෝහලක සයනයක් මත තනිකර දමා යාමට අකමැති වූ කෛලාශ් ලවන් හට පිළිතුරක් නොදීම රෝහලේ පහත මාලයට පැමිණිම සඳහා විදුලි සෝපානයට ගොඩ වූයේය.

කෛලාශ් පහත මාලයට පැමිණ විදුලි සෝපානයෙන් පිටතට පැමිණෙන විටම ධර්මරත්න සහ පුෂ්පා එය ඉදිරියේ පෙනී සිටි අතර පුශ්පා කෛලාශ් දුටු සැනින් පැමිණ ඔහු ගේ දෑතේ එල්ලුනේ ධර්මරත්නවද පුදුමයට පත් කරවමිනි.

” අනේ කෛලාශ් මගේ දරුවට මොකද ? ” 

පුශ්පා රෝහල දෙවනත් වන තරමේ හඬකින් කෑ ගසා හැඬූ අතර ධර්මරත්න ඇයව පාලනය කිරීමට උත්සාහ කළ ද එය පහසු වූයේ නැත.

” මන්දාකිණි ICU එකේ.. එයාට.. අමාරුයි කියලා ඩොක්ටර් කිව්වා.. අතකුත් කැඩිලලු” 

කෛලාශ් විශ්වාස කරන්නට අසීරු සත්‍ය මන්දාකිණි ගේ දෙමව්පියන් ඉදිරියේ දිගහැරියේ වේදනාවෙනි.ධර්මරත්න දිගු සුසුමක් පිට කළේ පුශ්පා ගේ දෑතින් අල්ලා ගන්නා අතරේය.

” කෛලාශ් “

ධර්මරත්න කෛලාශ් අසලට පැමිණියේ යමක් පැවසීමට බලාපොරොත්තු වෙනි.

” ලවන් ඇවිල්ලද ඉන්නේ? ” 

” ඔව් අන්කල්. උඩ ඉන්නවා.. ICU එක ගාව “

ධර්මරත්න කෛලාශ් ගේ එල්ලි හඬා වැටෙන පුෂ්පාව අතින් ඇද තමා වෙතට ගත්තේ බලහත්කාරයෙනි.

” අපිත් දැන් ආව එකේ.. කෛලාශ් යන්න.තව ටිකකින් ලවන් ගේ පේරන්ට්ස් ලාත් එයි.එතකොට කෛලාශ් මෙතන ඉන්න එක එච්චර හරි නෑ “

තම දියණිය පත්ව සිටිනා තත්ත්වය පිළිබඳව සිතනවාට වඩා තම පවුලේ ගෞරවය සුරකින්නට වෙහෙසෙන ධර්මරත්න පිළිබඳව කෛලාශ් තුළ ඇති වූයේ අප්‍රසාදය මුසු හැඟීමකි. එහෙත් තමන් ගේ තනි උවමනාවට පමණක් මන්දාකිණි වෙනුවෙන් රෝහලේ රැඳී සිටීම කළ නොහැකි නිසා කෛලාශ් ධර්මරත්න ගේ ඉල්ලීමට එකඟ වී රෝහලෙන් පිටතට පැමිණ හෝටලයේ වාහනයට නැග එහි රියැදුරු සමග නිවසට යාමට පිටත් වූයේය.

ධර්මරත්න පුෂ්පා සමග දැඩි සත්කාර ඒකකය අද්දරට පැමිණෙන විට ලවන් එහි දොරටුව අසල අකලංක සමග වාඩි වී සිටියේය.කොරිඩෝවේ එහා කෙළවරේ ඇති විදුලි සෝපානයෙන් ධර්මරත්න සහ පුශ්පා පිටතට පැමිණි බව දුටු අකලංක එය ලවන් වෙත පැවසුවේ රහසිනි.

” මන්දාකිණි ගේ පේරන්ට්ස් ලා එනවා.. උඹ පොඩ්ඩක් ශේප් එකේ හිටපන් “

ලවන් කොහේදෝ තිබූ ශෝකයක් මුහුණට නගා ගෙන ධර්මරත්න සහ පුෂ්පා පැමිණෙන බව නොදුටු ආකාරයෙන් ඉවත බලා උන්නේය.දැඩිසත්කාර ඒකකය අසලට ළං වන විට පුෂ්පාගේ හැඬීම උස් වූ බැවින් ලවන් ඒ දෙස හැරී බලා මවා ගත් කලබලයකින් අසුනෙන් නැගිට ඔවුන් දෙදෙනා වෙත ඉක්මන් පියවර තබා ගියේය.

” පුතා ” 

” අනේ අන්කල් බලන්නකෝ මන්දාකිණි “

ලවන් දෑතින්ම හිස කෙස් අවුල් කර ගනිමින් ශෝකය පෙන්වීමට උත්සාහ කෙරූ අතර ධර්මරත්න ඔහුව වැළඳ ගත්තේය.

” ඩොක්ටර්ස්ලා මොනවත් කිව්වද ලවන්? ” 

පුෂ්පා හඬා වැටෙනවා මිසක අන් යමක් නොකෙරූ බැවින් ධර්මරත්න ඇයව අසුනකින් වාඩි කරවා නැවත ලවන් වෙත පැමිණියේය.

” ටිකක් අමාරුයි කියලා තමයි අංකල් කිව්වේ.ඒත් මං දන්නවා මන්දාකිණි ට මුකුත් වෙන්නෙ නෑ කියලා. එයා කොහොම හරි සනීප වෙයි “

ලවන් ඇඟිලි තුඩු වලින් දෑස් අගිස්ස පිස දැම්මේ හැඬෙන්නට ආසන්න බව ඉඟි කරමිනි. නමුත් ධර්මරත්න ඒ බව පැහැදිලිවම දුටුවේය. තම දියණියට තමා විසින් සොයා දුන් සහකරු ඇය පිළිබඳව කෙතරම් වද වෙනවා දැයි සැනසිලි සහගත හැඟීමක් ඒ මොහොතේ දී ඔහු තුළ ඇති විය.

” ඩොක්ටර් කිව්වා අන්කල් ලා ආවම පොඩ්ඩක් inform කරන්න කියලා මොනවද ඩොකියුමන්ට්ස් වගයකට සයින් කර ගන්න.මං හිතන්නේ ඒ ඩොක්ටර් පල්ලෙහා ඇත්තේ “

” එහෙනම් මං ගිහිල්ලා බලලා එන්නම් ලවන් “

ධර්මරත්න විදුලි සෝපානය වෙත යන්නට හැරුණේය.

” අන්කල් ” 

ලවන් අඩි කිහිපයක් නුදුරින් උන් ධර්මරත්න වෙත පැමිණියේ ඉක්මන් ගමනිනි.

” මෙතන කෙරෙන ට්‍රීට්මන්ට් එකක් කෙරිලා ඉවර වෙච්ච ගමන් මන්දාකිණි ව private hospital එකකට මාරු කර ගන්න කියලා මම හිතුවේ “

ධර්මරත්න ආයාසයෙන් සිනහවක් පා ලවන් ගේ උරහිස මත අත තැබුවේය.

” මගේ දරුවා ගැන ඔහොම හිතනවට තැන්කියු පුතා.අපි බලමුකෝ ඩොක්ටර්ස්ලා මොකද කියන්නේ කියලා ” 

ලවන් උන්නේ යටි සිතින් සැලසුමක් දියත් කරමිනි. මන්දාකිණි ගේ තත්ත්වය කුමක් වුවත් ඇයව මෙම රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරු කරවා ගෙන කෛලාශ් ගෙන් ඈත් කර තැබීම ඒ මොහොතේදී ලවන් තුළ වූ විශාලම අරමුණ විය.

” උඹේ ඇක්ට් එකට මාත් කොර උනා යකෝ”

ධර්මරත්න විදුලි සෝපානයට ගොඩ වූ විගසම අකලංක පුෂ්පාට නොපෙනෙන්නට පිටුපා සිට ගෙන සිනාසුනේ හඬක් නොනැඟෙන ලෙසය.

” එහෙම නැතුව බෑනේ බං. අරූ මෙතන ඉඳ ගෙන රඟන්න තියා ගත්ත නම් මගේ ටිකට් කැපෙනවා නිකම්ම.හොඳ වෙලාවට මේ ජෝඩුව එන්න කලින් ඌව යැව්වේ ” 

ලවන් ඇසෙන නෑසෙන හඬකින් එසේ පවසා නැවතත් ශෝකී මුහුණක් මවා ගෙන පුෂ්පා අසලට ගොස් වාඩි වූයේය.

” අනේ බලන්න පුතේ මගේ කෙල්ලට වෙච්ච දේ ? වාහනයක් අතට අරගෙන අවුරුදු ගානක් වෙනවා කවදාවත් හීරීමක් වත් වෙලා තිබුණේ නෑ. මොන වෙලාවක්ද මන්ද මේ දරුවාගේ “

පුශ්පා අත තිබු ලේන්සුවෙන් දෑස් පිස දාමින් අලුත් වන කඳුළු නතර කර ගන්නට අසාර්ථක උත්සාහයක නියැලුනාය.

” මන්දාකිණි ව බේර ගන්න පුළුවන් හැමදේම මං කරනවා ආන්ටි. මං ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි.හැබැයි ඒකට මට ඔය දෙන්න ගෙත් උදව් ඕනේ “

ලවන් හොරැහින් ඔහු අසල සිට ගෙන සිටින අකලංක දෙස බලා නැවත පුෂ්පා දෙසට හැරුනේය .

” අපි මොනාද පුතේ කරන්න ඕනේ? “

” මං මෙතනින් මන්දාකිණි ව private hospital එකකට දාන්න ලෑස්ති කරනවා. අපි කීප දෙනා ඇරුනම වෙන කවුරුත් විසිටර්ස්ලා නැතුව එයාට ට්‍රීට්මන්ට්ස් කරමු ආන්ටී. doctor කියපු විදියට එයා මේ වෙලාවේ ගොඩක් රෙස්ට් කරන්න ඕනේ. ගොඩ දෙනෙක් එයාව බලන්න ඇවිල්ල කරදර කරනවට වැඩිය අපි කීප දෙනා විතරක් එයාට හිටියම ඇතිනේ “

ලවන් කියූ බොහෝ දෑ පිළිබඳව එතරම් තේරුමක් නොවූවත් පුෂ්පා එයට එකග වන්නට මෙන් හිස සැළුවේ තම එකම දියණියව ඉක්මනින් සුවපත් කර ගැනීම මිසක අන් කිසිවක් මේ මොහොතේ දී තමා හට වැදගත් නොවන නිසාය.

විනාඩි කිහිපයකට පසුව දැඩි සත්කාර ඒකකයේ දොරටුව විවෘත කර ගෙන වෛද්‍යවරයෙකු පිටතට පැමිණ වට පිට බැලූ අතර අසුන් ගෙන හුන් පුෂ්පා සහ ලවන් එකවරම නැගී සිටියේ මන්දාකිණි පිළිබඳව යම්  තොරතුරක් දැන ගැනීමේ අරමුණෙනි.

” මේ පේෂන්ට් ගේ කවුරු හරි ඉන්නවද ? “

පුශ්පා වහා ඉදිරියට පැමිණියාය.

” ඩොක්ටර් අනේ මේ මගේ දුව ” 

වෛද්‍යවරයා පුෂ්පා දෙස බලා අනතුරුව ලවන්  සහ අකලංක දෙස ද බැලුවේය.

” පේශන්ට් වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඒත් එයාට සිහිය එනකං අපිට තව මොකුත් කියන්න බැහැ “

” අනේ මගේ දරුවා ඩොක්ටර්. මට එයාව බලන්න ඕන ” 

පුෂ්පා නැවතත් කෑගසා හඬමින් දැඩිසත්කාර ඒකකයට ඇතුළු වීමට උත්සාහ දැරූ අතර ලවන් ඉතා ආයාසයෙන් ඇයව නතර කර ගත්තේ වෛද්‍යවරයාගේ ද සහය ඇතිවය.

” අයෑම් සොරි. එයාව දැම්ම බලන්න දෙන්න බැහැ “

වෛද්‍යවරයා දැඩිසත්කාර ඒකකයේ දොරටුව හරස් කර සිට ගනිමින් පැවසුවේය.

” doctor අපිට එයාව ප්‍රයිවට් හොස්පිටල් එකකට මාරු කර ගන්න පුළුවන්ද ? “

ලවන් පුෂ්පාව මදක් පසෙකට කර ඉදිරියට පැමිණෙමින් විමසූ අතර වෛද්‍යවරයා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

” මේ පේශන්ට් ගේ කවුද ? “

” මං එයාව මැරි කරන්න ඉන්න කෙනා ඩොක්ටර් “

ලවන් කෙතරම් ආචාරශීලී ලෙස එය පැවසුවත් වෛද්‍යවරයා ඔහු වෙත පෑවේ කට කොනකට නගාගත් සිනහවකි.

” මේ වගේ ක්‍රිටිකල් කන්ඩිශන් එකක ඉන්න පේෂන්ට් කෙනෙක්ව අපි මෙච්චර අමාරුවෙන් රිකවර් කරගන්න ට්‍රයි කරද්දි , එයා ස්ටේබල් වෙනකංවත් ඉන්නෙෙ නැතුව වෙන hospital එකකට ගෙනියන්න අහන්න තරම් මිස්ටර් ට සෙන්ස් එකක් නැද්ද ඇත්තටම? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here