කලුවර රෑ සඳක් වගේ – 15

0
550

“මං ඉතුරු ටික කියන්න කලින් උඹ ෆෝන් එක කට් කරානෙ. තිදස් අයියා මගෙන් උඹේ නම්බර් එක ඉල්ලුවා. ඒත් මම ඌට නම්බර් එක දුන්නේ නෑ බං. හැබැයි මම ඌගෙ නම්බර් එක ඉල්ලගත්තා. මං මේ උඹට ඌට කතා කරන්න කියලා නෙවෙයි කියන්නේ, මං නිකමට උඹට මේක එවන්නේ. තියාගනින්.”

ඒ මැසේජ් එකට යටින් නිල් පාටින් ඉලක්කම් දහයක් දිලිසි දිලිසි තිබ්බා. ඒ නම්බර් එකට ඉස්සරහින් උෂාණි තිදස් අයියා කියලා නම ලියලා තිබ්බ.

උෂාණි කිව්වේ නිකමට දෙනවා කියලා වුණාට, කවුරුවත් මොකටද අනේ තව කෙනෙක්ට වෙන කාගෙවත් නම්බර් එකක් නිකන් දෙන්නේ? ඒකෙ ඇතුළේ තියෙන තේරුම මට හොඳටම තේරුණා. මට ඕනෙ වෙලාවක මේ හිරගෙයින් එළියට හුස්ම ගන්න පාරක් තියෙනවා කියලා උෂාණි මට ඉඟි කරනවා වගේ මට දැනුණා. මම ඒ නම්බර් එක සේව් කරේ නෑ. ඒත් ඒක ඩිලීට් කරලා දාන්න තරම් හිතට හයියක් තිබුණෙත් නෑ. මම ඒ මැසේජ් එක ඒ විදියටම තිබ්බා.

සාලේ ලයිට් එකින් එක ඕෆ් කරලා මම කාමරයට ආවේ පපුව ඇතුළේ ලොකු ගුලියක් හිරවෙලා තියෙනවා වගේ දැනෙද්දී. ඇඳට වැටිලා පුරුද්දට වගේ මම වට්සැප් එකේ ස්ටේටස් බැලුවෙ එහෙම හාට් ඇටෑක් හැදෙන ෆොටෝ එකක් මට වට්සැප් එකේ දකින්න ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් නෙවෙයි.

මගේ ඇස් ඉස්සරහා මනුසත් සර්, දරුවෝ දෙන්නායි භානුකී එක්ක ඉන්න ෆැමිලි ෆොටෝ එකක් තිබ්බා.  හතරදෙනාම පට්ට සන්තෝසෙන් හිනාවෙලා ඉන්නවා කියන එක හොඳටම පේන ෆොටෝ එකක් මම දකින එකක් නෑ කියල හිතලද මනුසත් සර් ඒක අප්ලෝඩ් කරේ කියලා හිතෙද්දි මට දැනුනෙ මාරම අසරණකමක්. මහා ලොකු රිදීමක්.

“Whatever the problems occur, kids are what matter the most” කියලා ලියපු කැප්ශන් එකක් එක්ක ඒ ෆොටෝ එක ස්ටේටස් දාද්දි මනුසත් සර්ට නිකමටවත් මාව මතක් වුනේ නැද්ද කියලා මම ඇහුවෙ මගෙන්මයි. 

ඒ වචන ටික මගේ හිතේ පෑරි පෑරි තිබ්බ තුවාලයකට ලුණු දැම්මා වගේ වෙච්ච එකක්. 

“Whatever the problems…” කියලා එයා දැම්මෙ එයාට මම කියන්නේ ප්‍රශ්නයක් විතරද? 

එයාගේ පරණ පවුලත් එක්ක සන්තෝසෙන් ඉන්න මම බාධාවක් වුණා කියලාද එයා මේ ලෝකෙටම පේන්න කියන්න හදන්නේ?

එහෙමත් නැත්තං “අපි ඩිවෝස් වෙච්ච එක වෙනයි අපේ ළමයි වෙනයි” කියලද එයා කියන්න හදන්නෙ?

මට ඒ වෙලාවේ දැනුණේ මම මහා මෝඩියෙක් කියලා. එයා මාව මේ මාලිගාවට ගෙනත් තියෙන්නෙලෝකෙට පෙන්නන්න විතරයි, ඒත් එයාගේ ඇත්තම සතුට තියෙන්නේ අර පරණ පවුල අස්සේ කියලා මට හොඳටම තේරෙද්දි මම මහා පරිමාණෙන් රැවටිලා නේද කියන එක නොහිත ඉන්න මට පුළුවන් වුනේ නෑ. 

මම රෑ මුළුල්ලේ කරේ කොට්ටේ බදාගෙන අඬපු එක. ඒ අඬන හැම වෙලාවකම මම මං ගැනම හිතුවෙ මහා වෛරෙකින්. 

ඒත් මම ඒ කිසිම දෙයක් මනුසත් සර්ගෙන් අහන්න හිතුවෙ නෑ. 

 දවස් කීපෙකට පස්සෙ මනුසත් සර් ගෙදර ආවා. ඒත් රෑ වෙලාවක. එයා කාමරේට එන සද්දේ ඇහෙද්දී මම ඉක්මනට ඇස් පියාගෙන නිදි වගේ හිටියා. මට එයාගේ මූණ බලන්නවත්, ඒ ගැන අහන්නවත් වුවමනාවක් තිබුණේ නෑ. මොකද මම ඒ ගැන ඇහුවොත් එයා කියන්නේ මොකක්ද කියලා මම දැනගෙන හිටිය හන්දා. “ලිහිණි… ඔයා ඕකටද මේ රණ්ඩු කරන්නේ? ඒ මගේ ළමයිනේ” කියලා එයා බොහොම ලේසියෙන් මාව කුහක ගෑනියෙක් කරන හැටි මට මැවිලා පෙනුණා.

අහලා වැඩක් නෑ කියලා දැනං උන්න හන්දම මම කරේ සයිලන්ට් වෙච්ච එක.

 ගෑනු අන්තිමේදි කරන්නෙ තමන්ගෙ පවුල් ජිවීතේ පරිස්සම් කරගන්න හිතාගෙන ඔය විදිහට සයිලන්ට් වෙන එක තමයි.

 ලෝකෙ ගොඩක් ගැනුන්ට ඒක පොදුයි. 

රණ්ඩු වෙලා, හිතේ තියෙන වේදනාව පිට කරලා වැඩක් නෑ කියලා තේරෙන තැන ගෑනියෙක් තෝරගන්න ලේසිම සහ ආරක්ෂිතම දේ සයිලන්ට් වෙන එක.

 මමත් ඒ වෙලාවේ තෝරගත්තේ ඒකයි.

කොහොමහරි මම දන්නෙම නැතුව මගේ කසාදෙ අස්සෙ ගෙවිච්ච මාස කීපෙකට පස්සෙ කෙල්ලෙක් වෙලා සන්තෝසෙන් ජීවත්වෙන්නෝන මම පරණ වෙච්ච පිළුං වෙච්ච කසාදයක් අස්සෙ මගේ වයස වගේ තුන් හතර ගුණයක් වයසට ගිහින් උන්නා.

ඊට පස්සේ ගෙවුණේ මහා පාලු කාලකන්නි මාස කිහිපයක්.

කාලෙ කියන්නේ පුදුම දෙයක්. 

ඒක ඕනෑම වේදනාවක් පුරුද්දක් බවට පත් කරනවා. දැන් මම මේ මාලිගාවට හුරුවෙලා. ඒත් ඒ හුරුවීම ඇතුළේ තියෙන්නේ මැරිච්ච ගතියක්. මගේ දවස් ගෙවෙන්නේ එකම විදියකට. උදේට මනුසත් සර්ට කෑම ලෑස්ති කරනවා, එයා ගියාට පස්සේ මේ බිත්ති හතර දිහා බලාගෙන ඉන්නවා. දවල්ට මොනවා හරි කනවා, ආයෙත් රෑට එයා එනකල් මග බලන් ඉන්නවා. 

මම ගෙදරින් එළියට යන්න හැදුවත් මනුසත් සර් ඒකට කැමති වුණේ නෑ. “ඔයාට මොනවද තියෙන අඩුපාඩු? ඕන දෙයක් මම ගෙනත් දෙනවනේ ලිහිණි. ඔයා මොකටද රස්තියාදු වෙන්නේ?” එයා හිතුවේ ආදරේ කියන්නේ ගෙදරකට හිර කරලා හැම සැප සම්පතක්ම දෙන එක කියලා. 

ඒත් මනුසත් සර්ට කවදාවත් මගේ ඇතුළාන්තය අඳුරගන්න වුවමනාවක් තිබුණේ නෑ.

 මට ඕන වුණේ රත්තරන් බඩු නෙවෙයි, මගේ හිත කියවන පිරිමියෙක්ව. මම හෙව්වේ හිනාවෙලා විහිළුවක් කරන්න පුළුවන්, මගේ වයසට ගැලපෙන උද්යෝගයක් තියෙන සහකාරයෙක්ව. ඒත් මනුසත් සර් ළඟ තිබුණේ පරිණත සයිලන්ස් එකක් විතරයි. එයාට ඕන වුණේ මම වැදගත් විදියට ඇඳලා පැලඳලා එයා ගෙදර එනකම් පිළිවෙළට ඉන්න එක විතරයි.

තරුණ ගෑනියෙක්ගේ ආසාවල්, ඒ උද්යෝගය අඳුරගන්න බැරි වයසක මනුස්සයෙක් එක්ක මම මගේ ජීවිතේ හිර කරගෙන ඉන්නවා කියලා මට හැම තිස්සෙම හිතුණා. අම්මා එදා කියපු කතාව මගේ හිතේ හැමදාම දෝංකාර දුන්නා. “එයා ජීවිතේ විඳලා ඉවරයි ලිහිණි. එයාට දැන් ඕනෙ තැන්පත් වෙන්න. ඒත් උඹ තාම ජීවිතේ විඳින්න පටන් ගත්තෙවත් නැති කෙල්ලෙක්.”

අම්මා කියලා තියෙන්නෙ කොච්චර ඇත්තක්ද? 

මගේ ජීවිතේ තාම පටන් ගත්තා විතරයි. ඒත් මගේ හීන, මගේ නිදහස ඒ හැමදේම මේ රත්තරන් කූඩුව ඇතුළේ දිය වෙවී යන ගමන් තිබ්බා. මම හිටියේ නිකන් පණ තියෙන පඹයෙක් වගේ. මගේ ඇස්වල තිබිච්ච දිස්නෙ නිවිලා ගිහින් තියෙනවා කියන එක මමම කණ්ණාඩියෙන් දැක්කා. මගේ යාළුවෝ කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවල් කරද්දී, එළියට ගිහින් ලෝකෙ දකිද්දී, මම මනුසත් සර්ගේ මැචුවර්ඩ් දෙවැනි වයිෆ් විදියට වයසට යන ගමන් උන්නා.

සමහර දවස්වලට මම කණ්ණාඩිය ඉස්සරහට වෙලා පැය ගණන් මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. 

මම මේ ලිහිණිමද? 

අර දඟලපු, හිනාවෙච්ච ලිහිණි කොහේද?

 මගේ උවමනා එපාකං අඳුරගන්න මනුසත් සර්ට බැරි ඇයි? කියලා මං මගෙන්ම ඇහුවා. ඒත් ඒවට උත්තර තියෙන්නෙ මං ලඟ නෙවි කියන එකත් මං දැනන් උන්නා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් මනුස්සයට ඒවට උත්තර දෙන්න උවමනාවක් නෑ කියන එකත් එයාට ඕනෙ එයාගේ ලස්සන ගෙදර ලස්සන තරුණ ගෑනියෙක් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න විතරයි කියන එකත් මං දැනගෙන උන්නා. ඒ ලස්සන ඇතුළේ මම හුස්ම හිරවෙලා මැරෙනවා කියලා එයාට තේරෙන්නේ නෑ කියන එකත් මම දැනගෙන උන්නා.

මම මැරි මැරී ඉපදෙන කසාද ජිවීතයක් ගෙව්වෙ අන්න ඒ විදියට.

ඇඳේ මනුසත් සර් ලඟින් නිදාගෙන ඉන්නකොටත් මට දැනුණේ මම ඉන්නේ මහා හිස් අවකාශයක තනියම කියලා. මගේ පපුව පිච්චෙනවා, ඒත් ඒ ගින්දර නිවන්න මගේ කසාද මනුස්සයා ළඟ වතුර බිඳක් තිබ්බෙ නෑ. 

“ලිහිණි… උඹ තව කොච්චර කාලයක් මේ විදියට රූපයක් විතරක් වෙලා මේ ගෙදර ඉන්නද හදන්නේ?” කියලා ඒ හැම රෑකම මං මගෙන්ම ඇහුවා.

 මට දැනුණා මොකක් හරි වෙනසක් වෙන්න ඕනෙ කියලා. 

ඒත් ඒ වෙනස මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here