“කියන දේ අහන්න බැරි නං තමුසෙ ඕන දෙයක් කරගන්නවා”.
මනුසත් ඒ වචන ටික පිට කරේ දත් මිටි කන ගමන්. එයාගේ මූණේ වෙනදා තියෙන අර මහ පණ්ඩිත, සංසුන් පෙනුම වෙනුවට අද තිබුණේ රකුසෙක්ගේ වගේ පෙනුමක්. මම ඇත්තටම තත්පරේකට ගල් ගැහුණා. මොකද අවුරුදු ගාණක මගේ විවාහ ජීවිතේ ඇතුළේ මම මනුසත්ව දැක්කේ ඊළඟට බුදු වෙන්න පෙරුම් පුරන, හැඟීම් පාලනය කරගත්ත අමුතුම ලෝකෙක ජීවත් වෙන මනුස්සයෙක් විදියටනෙ. මොන ප්‍රශ්නෙ ආවත් මනුසත් රියැක්ට් කරේ නෑ, එයා කරේ මට උපදෙස් දෙන එක. හැබැයි අද… අද මනුසත් බිමට බැහැලා. එයා මට තමුසෙ කියලා කෑගහද්දී මට එක අතකින් දැනුණේ මාරම නිදහසක්. කොළඹ හතේ ලෙවල් එක, උගත්කම… ඔය හැම වෙස් මුහුණක්ම ගැලවිලා අද මනුසත්ගේ ඇතුළේ ඉන්න අර වල් සතා එළියට පැනලා තිබ්බා.
මට හිතුණා මනුසත් කියන්නෙත් අපි වගේම ලේ මස් තියෙන, ප්‍රශ්න වලදී පාලනය නැති කරගන්න පජාත මනුස්සයෙක් විතරයි නේද කියලා.
“ මගෙ ඉගෙනීමත් මට නැතිවෙච්ච එකේ මට කියලා මොනාහරිම දෙයක් තියෙන්නෝන නේද? හැමදාම මට ඔයාගෙන් කකා බිබී ඔයා දෙන දෙයක් අරගෙන බෝනික්කා වගේ ඉන්න බෑ මනුසත්. මටත් මගේම කියලා දෙයක් තියෙන්න ඕනේ!” මම කිව්වේ මගේ ඇස් දෙකේ තියෙන “මං මේ රස්සාවට යනවමයි” කියලා පෙන්නන කන්ෆිඩන්ස් එක එයාට පේන්න ඉඩ ඇරලා.
“බෝනික්කෙක්? තමුසෙට මොනවද මම අඩු කරලා තියෙන්නේ ලිහිණි? කන්න බොන්න, අඳින්න පළඳින්න, මාල, වළලු, කාර් බාර් ඔක්කොම. මම මේ හැමදේම තමුසෙට අරන් දුන්නේ පාරවල් ගානේ රස්තියාදු වෙන්නද? මේ සොසයිටි එකේ මගේ කියලා තත්ත්වයක් තියෙනවා. මගේ වයිෆ් රස්සාවකට යනවා කියන්නේ මට මදි පුංචිකමක්. තමුසෙට රස්සාවක් කරන්නම ඕනෙ නම් මගේ රිසර්ච් වලට උදව් වෙනවා. ඒක තමයි තමුසෙට ගැළපෙන ජොබ් එක. ඇයි ඒක තේරෙන්නෙ නැත්තෙ” මනුසත් කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන් තමයි කෑගැහුවෙ. මිනිහා අද උන්නෙ කකුල් දෙකට රෝද හයි කරලා වගේ. අනික් අතට එකාතකින් පපුව අත ගාන ගමන්. මට ඒක දැක්කම ඒත් පොඩ්ඩක් බය හිතුණා මනුසත්ට පපුවෙ අමාරුවක් වගේ ඇවිල්ලා මිනිහා මැරිලා යාවිද කියද. ඒත් මං උන්නෙ ආයෙ නම් මගේ හිතට මනුසත්ගෙ එක වචනෙකටවත්, එක උපදෙසකටවත්, එක රැවුමකට ගෙරවුමකටවත් බයවෙලා ඔළුව නවාගන්න ඉඩ දෙන්නෙ නෑ කියලා හිතාගෙනමයි.
මගේ හිත පහුගිය දවස් ටිකේම තිබුණේ අර කැෆේ එකේදී දැක්ක තිදස් ගාව. තිදස් තමන්ගේ මහන්සියෙන් ගොඩනගාගත්ත ඒ පෞරුෂය ඉස්සරහා, මම මනුසත්ගේ සල්ලි වලට යට වෙලා හිටපු හැටි මට මාර විදියට වද දුන්නා. මටත් ඕන වුණා මගේම කියලා දෙයක් කරලා මගේ කකුල් දෙක උඩ හිටගන්න.
“මට ඕන නෑ ඔයාගේ රිසර්ච් වලට උදව් වෙන්න. මට මගේම කියලා ගමනක් යන්න ඕනේ. මම හෙට ඉන්ටර්වීව් එකට යනවා. ඒක මගේ තීරණයක්!” මම පපුව කෙලින් කරගෙන ස්ථීරවම කිව්වෙ අන්න ඒ ගැම්ම මගේ හිතේ එවෙලෙ ඕනවටත් වඩා හොඳට තිබ්බ හන්දා. අනික ඔය “රස්සාවකට යනවනම් තමුසෙට මේ ගෙදර ඉන්න බෑ” කියලා මහ ලොකුවට මනුසත් ගිරිය පුප්පන් කෑගැහුවට පලවෙනි ගෑනි වෙන මිනිහෙක් එක්ක ගියයින් පස්සෙ දෙවනි කසාදයක් කරගෙන ඒ ලැජ්ජාව වහගන්න කටයුතු කරපු මිනිහෙක් මලාට මාව ඩිවෝස් කරන්නෙ නැති බව මම හොඳාකාරවම දැනගෙන උන්න හන්දා.
“තීරණයක්? තමුන්ට තීරණ ගන්න අයිතියක් නෑ මේ ගෙදර! මම තමයි මේ ඔක්කොම නඩත්තු කරන්නේ. මතක තියාගන්නවා ලිහිණි, තමුන් ඔය ගේට්ටුවෙන් එළියට යන්නේ මගේ කැමැත්ත නැතුව නම්, ආයෙත් මේ ගේ ඇතුළට එන්න හිතන්න එපා! තමුන්ට මෙකෙ තියෙන බරපතලකම තේරෙන්නේ නෑ.”
මනුසත් එයාගේ අතේ තිබ්බ ෆයිල් එක මේසෙ උඩට ගැහුවේ මුළු කාමරේම දෙදරන්න. එයාගේ ඒ මවාගත්ත පරිණත බව සම්පූර්ණයෙන්ම කුඩු වෙලා ගිහින් තියෙනවා දැක්කාම තමයි ඇත්තටම මමත් මෙච්චර දවසක් මනුසත් ගෙ නොදැක්ක පැත්තක් තේරුං ගත්තෙ. මනුසත් කියන්නේ තනිකරම ආත්මාර්ථකාමී, තමන්ගේ රෙපියුටේෂන් එක ගැන විතරක් හිතන හීනමානකාරයෙක් විතරයි කියලා තේරුං ගියාට මට දුක හිතුණේ නෑ.
මට දැනුණේ මහා ලොකු පිළිකුලක් විතරයි.
මනුසත් එයාගේ අණසක මගේ ඉස්සරහා පාවිච්චි කරන්න බැරි වුණාම ඊළඟට කරන්නේ මොකක්ද කියලා මම දැනගෙන හිටියා. හරියට නිකන් පොඩි එකෙක් තමන්ට ඕන සෙල්ලම් බඩුව හම්බවුණේ නැති වුණාම අම්මා ගාවට දුවනවා වගේ, මනුසත් කරෙත් ඒකමයි. එදා හවස මනුසත්ගේ අම්මා අපේ ගෙදරට පාත් වුණේ නිකන් අහසින් කඩා වැටුණා වගේ. හැබැයි මම දන්නවා මනුසත් කෝල් කරලා අඬන්න ඇති කියලා. “අම්මේ ලිහිණි මම කියන දේ අහන්නේ නෑ, ඒකි මගේ රෙපියුටේෂන් එක කන්න හදන්නේ” කියලා මිනිහා කුක්කු බබා වගේ අම්මගේ රෙද්ද අස්සේ හැංගෙන්න ගහපු ප්ලෑන් එකක් උඩ තමයි මහ අම්මණ්ඩි අපේ ගෙදරට එකපාර කඩා පාත් උනේ කියන එක මට තේරුං ගන්න බැරි උනේ නැ.
උන්දැ සාලේ සෝෆා එකේ වාඩි වෙලා හිටියේ හරියට නිකන් වික්ටෝරියා රැජින වගේ. මම හෙමින් සැරේ එතනට ගියේ මොන වගේ බණක් අහන්න වෙයිද කියලා හිත හිතා. එයා මාව දැක්ක ගමන් කට කොනකින් හිනා වුණාට මොකෝ ඒක මේ මට ආදරේට දාන හිනාවක් නෙවෙයි මාව පාගලා දාන ප්ලෑන් එකක ඉන්ට්‍රො එක කියන එක මම දැනගෙන උන්නා.
“ඇත්තද. ඔයා ජොබ් එකකට යන්න ඉන්ටර්වීව් ලෑස්ති වෙනවා කියන්නේ?”
“ඔව් මම දැන් ගෙදෙට්ට වෙලා සෑහෙන කාලයක් උන්නනෙ. මටත් හිතුණා දැන් ඇති කියලා මෙහෙම හිටියා“
දැන් ඇති කියලා? අනේ මන්දා ලිහිණි… සමහර මිනිස්සුන්ට ලැබෙන දේවල් වල අගයක් නෑනේ. මනුසත් ඔයාව මේ ගෙදරට ගෙනාවේ කරත්තෙක බැඳලා වැඩ ගන්න නෙවෙයිනේ. ඔයාට අඩු මොනවද? කන්න බොන්න, අඳින්න පළඳින්න ඔක්කොම ලැබෙන්නේ නිකන්. ඔයාට තියෙන්නේ මේ ගෙදරට වෙලා ලස්සනට ඉන්න එක විතරයි. ඒකත් කරන්න බැරි තරම් මොන අමාරුවක්ද ඔයාට තියෙන්නේ?” එහෙම කියලා ඒ මනුස්සයා මගේ දිහා උඩ ඉඳන් පල්ලෙහාට බැලුවේ ‘තමුසෙට මේවා ලැබුණේ අපේ එකාගෙ තියෙන ගොංකමට’ කියලා කියන්න වගේ.
“මට ඕන මගේම කියලා දෙයක් කරන්න. මම ඉගෙනගත්ත දේකින් වැඩක් ගන්නත් ඕනෙනෙ.”
“ඉගෙනගත්ත දේකින්? ඔය ළමයා මේ ඩිග්‍රියවත් හරියට කම්ප්ලීට් කරගත්තෙ නෑ නේද? අනික ඔයා ඔය කරපු ඩිග්‍රී එකෙන් කරන්න පුළුවන් රස්සාවල් අපි දන්නවා ළමයො. ඔය පොඩි ඔෆිස් එකක මුල්ලකට වෙලා පොඩි පඩියක් ගන්න එකද ඔයාගේ ඔය මහ ලොකු හීනෙ? මනුසත් සතියකට මේ ගෙදර කන බොන ඒවා වලට වියදම් කරන සල්ලිවත් ඔයාට ඔය රස්සාවෙන් හම්බවෙයිද? නිකන් රෙදි අපුල්ලන එකෙක් රජකම ලැබුණම ආයෙත් රෙදි අපුල්ලන්න යනවා වගේ වැඩක්නේ ඔයා මේ කරන්න හදන්නේ.”
නැන්දම්මාණ්ඩි එහෙම කියද්දී මනුසත් කාමරේ ඇතුළේ ඉඳන් එළියට ආවේ හරියට නිකන් අම්මා ඉන්න හන්දා දැන් මට ඕන දෙයක් කියන්න පුළුවන් කියන ගැම්මෙන්.
ඔයාලට මේ සැප වැඩිවෙලා ළමයො. අනික මේ ඔච්චර අමාරුවක් තියෙනම් මේ පාරවල් ගානෙ රස්තියාදු වෙලා තමන්ගෙ මනුස්සයගෙ නම කැත කරන්න ඔය ළමයට තිබ්බනෙ කසාද නොබැඳ ඉන්න? එහෙම උනා නම් ඔය මහ ලොකු ඩිග්‍රි එක කරගෙනම රස්සාවකට යන්න තිබ්බනෙ.
අනික මනුසත් කියන්නේ ඇත්ත. ඔයා වගේ පොඩි තැනකින් ආපු කෙල්ලෙක්ව මනුසත් මේ වගේ ලොකු පවුලකට ගත්තේ ඔයා පිළිවෙළකට ඉඳියි කියලා හිතලා. දැන් ඔයා හදන්නේ බස් වල එල්ලිලා රස්සාවල් වලට ගිහින් අපේ නම කන්නද? අපි කොහොමද ළමයො අපේ පවුලෙ මිනිස්සු, නෑයො ඉස්සරහ ඔයා මේ කරන්න යනවා වගේ දෙයක් ගැන කතා කරන්නෙවත්? අනික මනුසත් වගේ කෙනෙක්ගෙ ස්ටේටස් එකට ගැලපෙන රස්සාවක්ද ඔය කරන්න යන්නෙ? නෑනෙ. අනික තමන්ගෙ කුඩම්මා මේ පොඩි ඔෆිස් එකක කුරුටු ගාන රස්සාවකට යනවා කියන එක මනුසත්ගෙ ළමයින්ට පවා කොච්චර හරි නැද්ද?. මනුසත්ගේ වයිෆ් සාමාන්‍ය කම්පැණියක වැඩකාරකම් කරනවා කිව්වම මිනිස්සු හිතන්නේ මනුසත්ට ඔයාව නඩත්තු කරන්න සල්ලි නෑ කියලා. අනේ මේ පිස්සු නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න ළමයො. ඔයාට මේවායි ගුණ අගුණ තේරෙන්නේ නෑ. ඔයාගේ ලෙවල් එකට ගැලපෙන විදියට හිතන්නකො දැන්වත්.”
මම මනුසත්ගේ මූණ දිහා බැලුවා. එයා උන්නේ අම්මා මට අපහාස කරද්දී ඒකෙන් මාර සතුටක් ලබනවා වගේ. මට දැනුණේ මහා ලොකු පිළිකුලක්. මේ දෙන්නම හිතාගෙන ඉන්නේ මම මුන්ගේ සල්ලි වලට පණ දෙන, අත් පා නැති බෝනික්කෙක් කියලා හිතෙද්දි මට අඬන්න, මහ හයියෙන් “හූඌඌඌ” කියලා කෑගහන්න ඕන උනාට මං කරේ හෙමින් සැරේ හිනා වෙච්ච එක.
“ඇයි හිනා වෙන්නේ? මම කරේ විහිළුවක් නෙවෙයි ලිහිණි.”
“ඔයාලා හිතන්නේ මම හෙට ඉන්ටර්වීව් එකට යන්නේ රස්සාවක් හොයාගන්න විතරක් කියලාද? මම හිතුවේ ඔයාලා මීට වඩා දේවල් දන්නවා ඇති කියලා.මම හෙට යන්නේ මට ලැබිච්ච ජොබ් එකේ ඇපොයින්ට්මන්ට් ලෙටර් එක ගන්න මනුසත්. ඔයාලා මේ රණ්ඩු කර කර ඉන්නේ මම රස්සාවකට යන්න අවසර ඉල්ලනවා කියලා හිතාගෙන නම්, ඔයාලට වැරදිලා. මම දැනටමත් ඒ ජොබ් එකට සිලෙක්ට් වෙලා ඉවරයි. ඒ හන්දා ඔයාලගෙ ඔය මහන්තත්තකම පෙන්නන වචන වලින් මගේ ගමන නතර කරන්න පුළුවන් වෙයි කියලා නම් ඔයා හිතන්න එපා.
අනික ඔයා හිතාගෙන ඉන්නවනම් ඔය ආයෙ මේ ගෙදෙට්ට එන්න බෑ වගේ මහ ලොකු පඬි ටෝක්ස් දාලා මාව බය කරන්න පුළුවන් කියලා අමතක කරන්න එපා මම තවදුරටත් ඔයාගෙ ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි ඔයාගෙ වයිෆ් කියන එක. මට සද්ද දැම්මොත් මාත් සද්ද දානවා. හැබැයි එදාට ඔය එළියට පෙන්නගෙන ඉන්න මහ ලොකු වෙස් මූණු ගැලවිලා යන්න පුළුවන් විත්තියත් අමතක කරන්න එපා”


