මිතුරියන් දෙදෙනා අතරේ වාදය දිග්ගැස්සෙමින් තිබුණි. විහඟි සිටිනා තත්වය සිතමින්, චායා සන්සුන්ව සිටින්නට උත්සාහ කලද, විහඟි කලේම චායාගේ කෝපය ඇවිස්සෙන සේ චරකගේ වචන වලින් කතා කිරිමය.
” අවුරුදු දොලහකට එහා චායා .. මේක සෙල්ලමක් නෙවෙයි තවදුරටත් .. උඹගේ අම්මා තාත්තා අයියා උඹ ගැන වද වෙනවා… උඹ ඔය ජීවිතේ කැප කරන් වද වෙන්නේ උඹ ගැන වගක්වත් නැති මිනිහෙක් ගැන… නිකමට හිතපං .. ඌ මෙලහකට කසාද බැඳලා , ළමයි දෙතුන් දෙන්නෙක් හදලා ඇති ..උඹ සත්‍ය ප්‍රේමයේ බෘංග රාජයා වගේ, ඌ වෙනුවෙන් බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියන එක, උඹට තේරෙන්න ඕනි..”
” ගිහිල්ලා නිදාගනින්කෝ විහඟි .. මට වැඩ තියෙනවා.. මම මේ සර්වේ ශීට් එකක් හදන ගමන් ඉන්නේ…”
” හැමදාම අර ශීට් එක හදන ගමන්, මේ ශීට් එක හදන ගමන් කියලා කතාව මඟාරින එක නෙවෙයිනේ චායා වැඩේ.. මම අවුරුදු දහයක් තිස්සේ අයියාට එක එක විදියෙන් බොරු කියනෙක කරන්නේ…”
” අයියාගේයි උඹගෙයි කතන්දර උඹලා විසඳගනිල්ලා බං .. එව්වාට මගේ ඔලුව කන්න එපා… මට මිනිස්සු ඕනි නෑ .. මම කසාද බඳින්නේ නෑ .. එච්චරයි .. මට තියෙන්නේ වෙනම ජීවිතයක් .. ඒක උඹලා බාධාවක් කරගන්න ඕනිම නෑ… උඹ අයියාට වෙන වෙන සුරංගනා කතා නොකියා කෙලින්ම ඒක කියහං.. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ.. මේ ලෝකේ ඉන්න හැම ගෑණිම, කවුරු හරි මිනිහෙක් බැඳගෙන ඌට දරුවෝ හද හද, උන් උස් මහත් කරවා කරවා ඉන්නෝනය කියලා එකක් නෑ.. ඉන් එහා, ඉන් මෙහා දේවල් පවා ගෑණුන්ට තෝරගන්න පුලුවන්.. ඒ නිසා ප්ලීස් …. ආයේ ඔය කතාව අහගෙන මගේ ලඟට එන්නෙපා බං,,”
” ඔය කතාව වේගෙන් වේගෙන් කට පාඩමෙන් කියනෙක නෙවෙයි වීරකම චායා …. ඇත්ත තේරුම් අරගෙන මූව් වෙන එක …. සස්මිතට උඹ ආදරේ කරා .. ඒක හරි .. ඒ නොතේරෙන කාලෙන් පස්සේ, දැන් යමක් අවබෝධ වෙන කාලේ වෙනකොට ඒ ආදරේ කියන එක හරියට ඩිෆයින් කරගෙන්නේ නෑ නම්, උබ ෆේල් බං..”
චායා විහඟි හා අමනාප වන්නට නොහැකි නිසාවෙන් මුනිවත රැක්කාය. විහඟි ගේ වචන වල ඇත්තේ අයියාගේ පෙළඹවීම බව චායා ඉතා පහසුවෙන් වටහා ගත්තාය.
සස්මිත අත් නොහරින්නේ, සස්මිතගෙන් පලිගැනීමටද, තමාගෙන් පලිගැනීමටද කියා චායාට වැටහෙන්නේ නැත. එහෙත් හිත තුල ගිණි පුපුරක් ඇති බව ඇයට වැටහේ. ඒ ගිණි පුපුර අලු යට සඟවා තබන්නට තීරණය වී ඇත්තේ තම යටි හිත තුලින්ම බවද වැටහේ. සස්මිත අතුරුදන් වන්නට පෙර දිනයේ ද කිසිඳු වෙනසක් නැතිව තමා හා උන් බව චායාට අද මෙන් මතකය. එවන් ඔහු එක්වරමකිසිවක්ම නොපවසා අතුරුදන් වූයේය. එපමණක් නොව, පවුලේ සාමාජිකයන්ද අතුරුදන් විය. පසුව සොයා බලද්දී අඟුණකොලපැලැස්සේ වූ ඉඩම් නිවාස පවා විකුණා දමා ඇති බවය. සස්මිතගේ කාමර සගයන් අමතා කිහිප වතාවක් ඔහු විදෙස්ගතව ජීවිතය අරබන්නට තීරණය කර බව ඔවුන් හා පැවසූ බව චායාට දැනගන්නට ලැබුණි. එහෙත් ඔවුන් සස්මිත ඔවුන්ව ඇමතූ අංකයක් හෝ ලබා දුන්නේ නැත. චායා සියල්ල අතැර දමා ජීවිතය වෙනම පාරකට ඔසවා තබා ගත්තෙ ඉන් පසුවය. ඒ පාර තමාට කිසිලෙසකින්වත් පහසු නොවූ බව චායාට අමතක නැත. හැඟීමක් දැනීමක් නැතිව දැඩි කරගන්නට සිදුවූයේ ප්‍රේමයෙන් තෙතබරිතව තිබූ හදවතකි.
එහෙත්, දැන් යලි සස්මිත නොපැමිණෙන බවද ඇය දනී. විහඟිලා පවසන ආකාරයට අක්කා සුවපත් කරගෙන , විදේශයකදීම ජීවිතය පිළිවෙල කරගන්නට පාරක් ඔහු සොයාගෙන ඇතිවාට සැක නැත. වසර දොළහක් යනු, ඔහු වැනි අයෙකුට ජීවිතය කණපිට ගසා ගන්නට තරමේ වන කාලයකි. චායා සුසුමක් හෙලුවාය. වසර දොලහක් තිස්සේ ජංගම දුරකතනයේ සැඟවුණු ගොනුවක ඇති චායාරූපද, කෘතිම බුද්ධි සැකසුම් වලින් ලබා ගත් දෙදෙනාගේ මේ කාලයට අදාලව වන සේයාරුවන්ද දෙස බලා උන්නාය. ඇස් පිය ගැසීම පිහිටීම පවා ඇයට අවැසි ආකාරයට විස්තර කරමින් ලබා ගත් දෙදෙනාගේ මංගල සේයාරුව දෙස චායා බලා උන්නේ හදවත තුළ වූ තෙත ගලා හැලෙද්දීය.
තමා පලිගන්නේ ඔහුගෙන් නොව තමාගෙන්ම බව ඒ සේයාරුව අවසානයේ සුපුරුදු පරිදි ඕ පිලිගත්තාය. සස්මිතගෙන් පලිගැනීම ජීවිතය තුළ සිදුවන්නක් නොවන බව චායා වටහා ගත්තීය.
විහඟිව බලෙන්ම කාමරයෙන් එලියට යවා, චායා විහඟි සහ චරකගේ විවාහ ලියාපදිංචිය වෙනුවෙ වන සාදයේ සැකැස්ම පරික්ෂා කලාය. එය බාර දී තිබුනේ එම ක්ශේත්‍රයේ අත්දැකීම් දරන සමාගමකට නිසා පසුපසින් හඹා ගොස් සොයන්නට දෙයක් නොමැති වීම චායාට සැහැල්ලුවක් ගෙන ආවේය. එසේ නොවන්නට, එක් එක් පියවරක් ගානේ සස්මිතවම සිහිවේ.
” පුතේ… විජේසිරි අංකල් ඩ්‍රයිවර්වත් එක්කගෙන අද එනවා කියලා තිබුනා .. ඔයා කීයටද ෆ්‍රී වෙන්නේ ?..”
” අසේලව බලලාම එන්නේ තාත්තේ.. පහ පහු වේවි ..”
” හරි එහෙනම් ඩිනර් වලටත් එක්කම එන්න කියන්නම් ..”
” ඔය කියන ඩ්‍රයිවර් මට සෙට් නැත්නම් ඒක කෙරෙන්නේ නෑ කියලා විජේසිරි අංකල්ට කියලා තියන්න වෙයි තාත්තේ.. දැනට මට මිනිස්ට්‍රි ඩ්‍රයිවර් කෙනෙක් සෙට් කරගන්නත් පුලුවන් නේ… විජේසිරි අංකල්ලාව සීමාවෙන් එහාට ලං කරගන්න වෙනවා ඔහොම උදව් ගත්තම .. අනෙක කවුද දන්නෙ ඔය එන ඩ්‍රයිවර් මගේ ලඟ තියන්නේ මොන මොන අරමුණු එක්කද කියලා..මම අංකල්ගේ වැඩ කීයකට නම් සපෝර්ට් කලාද අවදානම් අරන් .”
චරක පළතුරු යුෂ වීදුරුව අවසන් කරමින් කීවේය. චායාද එයට එකඟ බව පෙන්වූවාය.
” ඒ උඹලා අංකල් ගැන දන්න තරම ..උඹ අවධානම් කියලා හිතුවට, ඒවාගේ කිසිම ප්‍රශනයක් තිබ්බේ නෑ … අනෙක .. ඌ කවදාවත් මට පිටුපාන්නේ නෑ…උඹ ගැන මට වඩා හිතපු මිනිහෙක් ඒ ….. ඔය ප්‍රොජෙක්ට් වුනත් කරන්නේ උගේ බඩ වඩා ගන්න නෙවෙයි … ඉස්සේල්ලම දෙන්නා එක්ක විජේසිරිව රීඩ් කරන් ඉන්න .. ඌ උඹලා හිතනවාට වඩා වෙනස් මිනිහෙක් … “
එවර විතාරණ මහතාගේ හඬ මදක් උස්ව නැගුණි. චරක එයට කිසිත් නොපවසා උන්නේය. තාත්තා විජේසිරි වෙත පෙන්වන අසීමාන්තික හිතවත්කම සීමාව ඉක්මවන බව චරක යලි යලි අවධාරණය කරගත්තේය.


