විහඟි චායාට මුවින් බැන නොවදිමින් චරකට දෙහි යුෂ වීදුරුව පොවමින් උන්නාය. චායා උන්නේ පසෙකට වීගෙනය. චරක එක දිගටම ස්වයං පාපොච්චාරණයක් කරමින් සහ ස්වයංවම වැරදිකාරයෙකු වෙමින් උන්නේය.
” මට කොහොමද එහෙම මඟෑරුණේ විහඟි ?… කොහොමද මට නංගිව ඒ තරමට මඟෑරුනේ ?…. මං එච්චරටම කෙයාලස් අයියා කෙනෙක්ද මැණිකේ…… මම .. මම කොහොම මිනිහෙක්ද ?… එක්කෝ ඔව් .. මම නරක මිනිහෙක් … මම මම ..ඔයාවත් මඟාරින්නනේ මැණිකේ හැදුවේ .. නේද ?… මම … මම .. මේ .. මේ දරුවාවත් නැති කරන්න නේ කිව්වේ විහඟි .. නේද .. නේද ?…”
චරක එක්වරම යහනේ හිඳ උන් ඉරියව්වෙන් කෙලින් වී හිඳගෙන යහනෙන් බැස්සේය. විහඟි ඔහු අල්ලාගෙන ඔහු හා සමඟම නැගිට්ටාය. චායා විත් අනෙක් අතේ එල්ලුණාය.
චරකට හැඬුණේ එවෙලෙහිය. ඔහු උන්නේ සිහියෙන් සෑහෙන්නම දුර ඇදෙමිනි. ගෙවුණු දොළොස් වස පුරාවටම තමා ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව විස්සෝප වෙමින් . පසුතැවෙමිනි.
” මොකටද මම මැණිකේ … මගේ නංගී …”
චරක චායාගේ හිස සිම්බේය. චායා උන්නේ දැවෙමිනි. කිසිවක් යළි නිවැරදි කිරීමට නොහැකි ලෙසින් තමා විසින් පවසා අවසන් ය. ඒවා යලි යලි නිවැරදි කිරීමට යාමෙන් සිදුවන්නේ සියල්ල යළි යළි පැටලී යෑමය. එනිසා, අයියාගේ සිත තුල දැවෙන වරදකාරි හැඟීමෙන් ඔහු නිදහස් කර ගැනීමම පමණක් බව චායා ඉකිලමින් සිතුවාය. ඕ උන්නේ චරකගේ එක් බාහුවකට කොපුලක් තබාගෙන ඔහු වැලඳගෙනය.
” අවුරුදු දොළහක් කියන්නේ ලේසි පහසු කාලයක් නෙවෙයිනේ මගේ නංගී …. විනාස කලා… මං තමුසේව සෑහෙන්නම විනාස කලා …”
චරක වඩා උස් හඬින් කියෙව්වේය. විහඟි ඔහු අස්වසාගන්නට උත්සාහ කරමින් යළි හිඳගන්නා ලෙස තදින් කියා උන්නාය. චායා විහඟිට කලබල නොවන ලෙස පවසමින්, චරකව යහනේ හිඳුවා ගත්තාය.
“මොනවාද අයියේ මේ කියන කතා … මමයි යූනියන් කරන්න පටන් ගත්තේ .. මමයි පොලිටික්ස් වල කොටසක් වුනේ … මමයි ඔයා ළග වැඩ කරන්න තීරණය කලේ අයියේ .. ඒක ඔයාගේවත්, අම්මලාගේවත් වරදක් විදියට ගන්නේ ඇයි ?… මම ඒ කරපු කිසිම දෙයක් නාස්ති වෙලාද ?.. මගේ ජීවිතේ නාස්ති වෙලාද ?.. නෑ අයියේ … මම මැනේජ් කරගත්ත දේවල් නිසා ඔයාට කොච්චරක් හරි ගියාද ?.. නංගි වුනත්, ඔයාට වඩ දුර දකින ඔලුවක් මට හැදුනේ මේක නිසයි අයියේ .. ඒකේ වෙනසක් නැහැ …. මම දැන් ලේසියෙන් වැටෙන්නේ නැති කෙල්ලක් අයියේ … මේ දේවල් නිසානේ මම එච්චරට හැදුනේ… මට තවම මහ වයසක් යැ අයියේ .. ආයේ ඕනිම දෙයක් අලුතින් පටන් ගන්න කල් තියෙනවා….. මං මේකට ආස නෑ නෙවෙයි .. ඒත් දැන් ඇති හිතුනා …. ඒකයි ඒම කිව්වේ … දවසම ස්ට්‍රෙස් එකෙන් ඉඳන් මේ වැඩේ ඔලුවෙ තියන් හිටියා ඇති හිතුනා…
අයියේ …එයා මැරුණා .. ආයෙ එන්නේ නෑ අයියේ .. ඒක මම නොදැන උන්නා නෙවෙයි අයියේ ඇත්තටම … මම නොදැන උන්නා නෙවෙයි .. ඒත් ඒක තේරුම් ගන්න තිබුන අකමැත්තට මම හාර්ඩ් වර්කින් තෝරගත්තා …
මම හයිය නංගි කෙනෙක්ගේ අයියේ .. නේද ?.. ඔයා හින්දානේ ? .. ඇයි අඬන්නේ ඉතින් … මං කොච්චරක් ඉස්සරහට ආවද අයියේ ?..”
චායා බිම හිඳගෙන චරකගේ උකුල මත හිස තබාගෙන එලෙසින් විමසමින් හඬා වැටුණාය. චරකගේ කඳුළු අලුත් වෙමින්, නැවතෙමින්, යළි අලුත් වෙමින් තිබුණි.
” උඹ අඬන එක නවත්තනවකෝ චායා ..උඹ ඉකි ගහනකොට අයියා අඬනවානේ ..”
විහඟි එලෙසින් පවසද්දී, චරක විහඟිව අසලින් හිඳුවාගෙන සිප ගත්තේය.
” කෑ ගහන්නෙපා මැණික … ඔයා අසනීප වෙයි …”
එලෙසින්ද පැවසුවේය. චායා තවත් ඉකිලන්නට වූවාය.
” අයියේ … අදින් , මෙහෙන් යද්දී ඔයාගේ හිතේ ඔය හදාගෙන තියෙන ගිල්ටි ෆීලින් එක නති කරගන්නවද අයියේ ? .. ඔයා එහෙම නැති කරගන්නෝනා අයියේ … එහෙම නොවෙන්න මට ඉස්සරහට එන එක දවසක්වත් සැනසීමෙන් ඉන්න බැරි වෙයි .. මේ උන්නා වගේම, පාඩුවේ ඔක්කොම හිතේ තියන් ඉන්න තිබුනානේ කියලා මට හිතේවි අයියේ … මං ඒ ඔක්කොම බර ඔයාගේ කර පිටට දාලා නිදහස් වුනා කියලාම මට හිතේවි …”
” ශ් ශ් .. එහෙම එකක් නෑ .. මට නොකියා වෙන කාට කියන්නද උඹ ?… උඹ මගේ නංගිනේ … හරි … ඔක්කොම හරි .. හෙටම මිනිස්ට්‍රි එකට ගිහින් ඔක්කොම වැඩ ටික හෑන්ඩ් ඕවර් කරන්න .. අරුන්ට දැන් බලාගන්න පුලුවන් ඔක්කොඅ .. ඒ බැරි වුනත් කමක් නෑ .. ඉන් පස්සේ මාසයක් හමාරක් ටුවර් එකක් ගිහිල්ලා ඔලුව නිදහස් කරගෙන එන්න තව.. ඒ ඇවිල්ලා අපි බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා…”
චායා තිගැස්සුනාය. මාසයක්.., නැත කිසිලෙසකින්වත් එලෙස විය නොහැක. ඔහු නොදැක එතරම් කල් ගෙවන්නේ කෙලෙසකද ? . මේ එලැඹෙන මාසය ජීවිතයේ වඩාත්ම වටිනා මාසය විය හැකිය. සස්මිත සමඟ කතා බහ කිරීමට ඇති කාරනාම කොතරක්ද ?. ඔහුට පවසන්නට ඇති දෑ කොපමනක්ද ..?
” එහෙම කොහේවත් යන්න ඕනි නෑ අයියේ .. මට ගෙදෙට්ට වෙලා ඉන්නයි ඕනි ..”
” හරි ඒක බලමූ ….”
” අද රෑ මෙහෙ ඉන්නවාද ?..”
” අපි ගෙදර යමු …”
චරක හිස සැලුවේය.
පෙරලා පිටත් වෙද්දීද චරක උන්නේ යහපත් සිහියේම නොවේය.
” උඹ කල්පනාවෙන් වාහනේ ගෙනියපං සස්මිත ….”
” හරි සර් හරි .. සර් ඔහොම සීට් එක කඩාගෙන ඇලර්ට් එකක් දාන්නකෝ .. දැන් ඔලුව කැක්කුම අල්ලලාම යාවි නැත්නම් …”
චායා සස්මිතගේ වචනයක් ගානේ සිත තුළ මල් පුබුදුවා ගනිමින් උන්නාය. ජීවිතය මෙතරමට සුන්දරද සිතමින් උන්නාය. හාස්කම් , ප්‍රාතිහාර්‍ය සිදුවීම මෙලෙසින් වුවද විය හැකි බව යලි යලි තමාටම ඒත්තු ගන්වා ගන්නට උත්සාහ කලාය.
” එක්සිට් වුනාම කන්න නවත්තපං .. ඔය දෙන්නට යනකල් පැයට හමාරට ඔය තියෙන දේවල් ඇතිනේ?…”
චරක ආපස්සට යන්තමින් ඃඇරෙමින් එලෙසද විඅම්සුවේය. විහඟි පිළිතුරු දුන්නාය. චායා උන්නේ අසක්තව ඇලීමෙනි.සස්මිත කණ්ණාඩිය දෙස බැලූ තත්පරයේම චායාගේ ඇස්ද එ මතම තිබුණි. ඔහු ක්ෂණිකව ඉවත බැලුවේය. ඇය හඬා ඇති බව පෙනෙයි. නොහැඬූ දවසක් නොතිබෙන්නටද ඇත. යමක්, කොතැනකින් ඇරඹිය යුතුදැයි සස්මිතටද වැටහෙන්නේ නැත. ඇති එකම අස්වැසිල්ල ඇය පේන මානයේ සිටීමය. විඳි සියලු වේදනා අවසානයේ දෙදෙනා එක් වහලක් යට කොහොමම හෝ හිඳීමය


