පාපොච්චාරනය කිරීමක් චරක වැනි මිනිසෙකුගෙන් පහසුවෙන් සිදු වන්නේ නැත. ඔහු දේශපාලන ප්‍රවාහය තුළ සාර්තක මිනිසෙකි. එහි අදහසම ඔහු එම ප්‍රවාහයට අනුගත බවය.
එවැන්නෙකු වෙත මෙලෙසින් මේ සියල්ල පැවසීම පලක් වන්නේදැයි විහඟි සිතුවාය. චරක හැමදිනෙකම ඔහු පිළිබඳවම පමණක් සිතූවෙකි. විහඟි ඔහුට පෙම් කලේ ඒ බව නොදැන නොවේය. එහෙත් දැන් ඇයට ඒ සියල්ල සරලව ගත නොහැකි බව හැඟේ.
” අයියේ … දැන් ඇති .. චායත් අසනීපෙන් ඉන්න වෙලේ, ඔයාත් මෙහෙම වෙන්නෙපා… වොශ් එකක් දාගෙන එන්නකෝ…”
චරක විහගි දෙස හිස ඔසවා බැලුවේය. එහෙත් ඔහු ඕ වටා වූ දෑත ලෙහිල් කලේ නැත.
” මිනිහෙක් කොච්චරක් සාර්තක කැරියර් එක්ක තිබුනත් ඒ මිනිහාගේ පර්සනල් ලයිෆ් එක සීරෝ නම් ඒ මිනිහා කවදාවත් සැනසීමෙන් නිදාගන්නේ නැහැ නංගි … හැමදාම රෑ මැද ඇහැරෙනකොට මම හිතුවේ ඒ මිනිස්ට්‍රි එකේ ප්‍රශ්න නිසා කියාලා .. ඒත් දැන් මට තේරෙනවා, ඇය් ඒ කියලා… ලොකු ගෙයක් මැදට, සල්ලි කන්දරාවක් මැදට, හොඳ තරාතිරම් මැදට මං ඔයාව ගෙනල්ලා ඇතෑරලා … අතෑරලා විතරයි මැණිකේ.. මං කවදාවත් ඔයාට හොඳ පෙම්වතෙක් උනේ නෑ … හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙලත් නැහැ මම .. “
” අයියේ එපා …”
විහඟි සුරතින් ඔහුගේ දෑස් වැසුවේය. තෙත්ව ඇති නෙත් දෙස බලා සිටිය නොහේය.
” මට සමාවෙන්න විහඟි … මං .. මං … එක අතකට සස්මිත චායාට කොච්චරක් ආදරේ කරනවාද කියලා හිතෙනවා ….. මං .. මං ඔයාට ඔයා බලපොරොත්තු වෙන ලෝකේ හඳලා දුන්නේ නැහැනේ ….
මං ඔයාගේ සුවපහසුව ගැන එක දශමයක් හිහුවේ නැහැනේ… ඔයා බලාපොරොත්තු වෙන්නේ මගේ ආදරේ විතරක්ම කියලා මම තේරුම් ගත්තේ නැහැනේ…”
” එහෙම නෙවෙයි අයියේ … “
සස්මිත පිළිබඳව චරකගේ මුවින් පිටවූයේ කුමක්දැයි එව්ලෙහි විහඟිටද ගණනක් වූයේ නැත.
” එක වතාවක් දෙනවාද මට …හොඳ තාත්තා කෙනෙක් වෙලා…. ඉන් පස්සේ ආයේම හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න …”
විහඟි කුස වටා වූ චරකගේ දෑත් ලෙහිල් කර මුදා හැර යහනේ ඔහු ඉදිරියෙන් හිඳගත්තාය. ඔහුගේ වත දෑතට ගත්තාය.
” මං ඔයාව දාලා යන්නේ , ඔයා මට යන්න කීවොත් විතරමයි අයියේ .. මට මොනටහ්‍රම් දුක, වේදනාව, කලකිරීම දැණුනත් මට ඔයාට ආදරේ කරනෙක නවත්තගන්න බෑ.. ඔයා ඕනි තරම් කල් ගන්න .. මම ඉන්නවා.. මට යන්න බෑ …”
චරක විහඟිගේ නළලට තම නළල තබාගෙන විනාඩි කිහිපයක් උන්නේය. විහඟිට ජීවිතයේ නව හුස්මක් වැටුනා සේ දැණුනේය.
චායා සාමාන්‍ය පරිදි ආහාර ගත්තේ ඇගේ මව කාමරයට ආහාරයට ගෙන ගොස් දුන්නාට පසුවය. ඒ හැරුණු කොට ඕ දිනයම කාමරය තුළටම වී උන්නාය. කිසිවෙක් හා කිසිවක් දොඬමලු වීමට ඕ උත්සාහ කලේ නැත.
හදිසි අමාත්‍යාංශ කටයුතු කිහිපයක් වෙනුවෙන් චරකට කාර්‍යබහුල වීමට සිදු විය. සස්මිතගේ ඇමතුම ලැබෙද්දී ද ඔහු උන්නේ එවන් කටයුත්තකය. එහෙත් ඔහු ඇමතුමට පිළිතුරු දුන්නේය.
” සර් .. මගේ පාස්පෝර්ට් එක කාමරේ … ඒක ගන්නෝනා..”
” හවසට ඇවිල්ලා අරගෙන පලයං …”
චරක කීවේය. චායා ගේ තුවාලය සනීප වන්නට පෙර එය කිහිප වතාවක් පෑරීම සිදු විය යුතුය. තමා ආත්මාර්තකාමී සහෝදරයෙකු නොවේ.
සස්මිත ගේ ප්‍රේමය පමණක් චායාට ජීවත්වන්නට ප්‍රමාණවත් නැත. ඔහු මත් කුඩු ජාවාරමක යෙදී උන්නෙකි. තවම ඒ අඳුරු සෙවනැලි ඔහු පසුපස නැතැයි කිව නොහැක. ඒ නැතත්, පවුලෙන්ම අතැර දමා ඇති ඔහු චායාගේ ජීවිතය මතින් ඇලිය යුතු නොවේ.
” සර් ..”
” මේ ලෝකේ ආයේ කොහෙ කොහෙ හරි උඹට චායාව මුණ ගැහෙන්න පුලුවන් නේ.. එහෙම දවසක් කියලා හිතාගෙන ඇවිල්ලා උඹේ තියෙන දේවල් අරගෙන පලයං ….”
” හොඳයි සර් .. මම හෙට හවසට එන්නම් ..”
” එන්න කලින් මට කියපං ..”
” හරි සර් ..”
දෛවය තමා මෙහෙයවන්නේ එලෙසින් නම්, තමා ඒ අභියෝග හැර නොයමියි සස්මිත තීරණය කලේය. චායා මේ දින තුන තුළ කෙලෙසින් ජීවත් වන්නට ඇතිදැයි සිතා ගන්නට නොහැකිය. ඇතැම් විට ඇය රෝහල් ගත කරන්නටද ඇත.
එසේ නැතිනම් ඇය කිසිවක් නොවූවා සේ ස්ටුඩියෝවේ වැඩ කටයුතු සිදු කරනවාද විය හැක. එසේත් නැතිනම් විහඟි සිටින මානයකට වී සිදුවූයේ කුමක්දැයි විශ්වාස කරගත නොහැකි බව පවසමින් හඬා වැටෙනවා ද විය හැක.
තමා මෙලෙසින් සිතුවා වුවද, හෙට චායාගේ නිවසට යන ගමනේදී චායා දකින්නට කිසිඳු ඉඩක් නොලැබී තියෙන්නට හැකි බවද අනෙක් තත්පරයේම සස්මිතගේ යටි සිත ඔහුට කියා උන්නේය.
” කමක් නෑ…. ඒ කාමරේ ඇතුලේ තව එක විනාඩියක් හුස්ම අරගෙන එන්න තිබුනත් ඇති ..”
එලෙසින් සිතන ඇසිල්ලේ සස්මිතගේ හදවත මතට මහා බරුවක් ඇද වැටුණේය. තමා කෙතරම් සංයමයකින් සිටින්නට උත්සාහ කලද, කිසිවක් වෙනුවෙන් සීමා නොපනිමියි සිතා උන්නද, චායාගේ ස්පර්ශය, අනුරාග ඉල්ලීම් සහ ඇගේ ප්‍රේමය තමා දුර්වල කර දැමූ බව සස්මිතට මතකය.
ඒ මැදියම් රැය ගෙවුණේ, චායා වසර ගණනාවක් තිස්සේ රැයෙහි තනිව දුටු සිහිනය ඉටු වීමෙන් පසුවය. ඇගේ වත මත වූ සිනහවද, ගතෙහි වූ උණුසුමද ඔහුට අමතක නැත.
ලෝකය නූතන වුවද, ගෝලීයකරණයට හසුව තිබුනද, සිතුවිලි පරණ බව සස්මිත දනී. ඒ රැය නිසා චායාගේ ජීවිතයට කිසිඳු අවහිරයක් නොවෙන සේ ඇය කටයුතු සකසා ගනිවීයැයි ඔහු සිතුවේය.
දැන් සති කිහිපයක් ඉක්ම ගොසිනි. එහෙත්, ඒ උණුසුම තවමත් තමා පුබුදුවාලනවා නොවේදැයි සස්මිත සිතුවේය.
එම මොහොතේ ගත් තීරණය පිළිබඳව හිතට මේ දැනෙන බර අඩු නොවෙන්නෙ මන්දැයි සස්මිත යළි කල්පනා කලේය.
ඇයගෙන් දුරස් වන්නට හෝ ඇය අත් හරින්නට කිසිලෙසකින්වත් උවමනා වූයේ නැත. සිතුවේ ඇය තමාගේම බවය.
එය එසේ වන්නට ඉඩ නොදී තමා මෙලෙසින් පලා යන්නේ ඇයිදැයි සස්මිත ඉන් පසු තමාගෙන්ම විමසුවේය. චරකගේ තර්ජනාත්මක හැසිරීම් හමුවේ තමා විශ්වාස කරගෙන උන් ප්‍රේමය දියාරුව යන්නට ඉඩ දිය යුතුදැයි ඔහු සිතුවේය.
චායා තමා සමග සිටිනවා නම් තමාට අන් සියල්ල සකසා ගනට නොහැකි වේදැයි සිතුවේය චායාටද අවැසි වන්නේ තමා හා ගෙවන සන්සුන් ජීවිතයක් විනා, මිල මුදල්, තත්ව තරාතිරම් මත රැකෙන ජීවිතයක් නොවෙයි නොවේද ?


