අංගාර – 82

0
151

චරක චායා දෙස  බලා උන්නා පමණි. ඕ  උමතුවෙන් මෙන් කියවමින් හිස දෙපසට වනමින්, හිස කේ ඇදගනිමින් හඬා වැටෙද්දී පවා චරක බලා උන්නේය. 

” අයියේ .. එයා කොහොමද එහෙම වුනේ අයියේ.. අයියේ … මට බෑ ඒක අහන්න ආයේ… අනේ අයියේ .. ඔයා ගිහින් අහන්නකෝ … එයා බොරු නේද කියන්නේ අහන්නකෝ… එයාගෙන් මම ඇහුවා එයා මැරි කරලාද කියලා… 

මම ආයේ ආයේ ඇහුවා … ආයේ ආයේ ඇහුවා අයියේ .. එයාගෙන් … බැඳලාද කියලා.. කොච්චරක් ඇහුවාද මම .. අනේ නෑ කිව්වා අයියේ ..නෑ කිව්වා… 

හැමදාකම බලන් උන්නේ මම එනකල් කිව්වා… මාව බලන්න කිව්වා ජීවත් වුනේ.. අර අර කියන්නේ.. එයා පොඩි කෙල්ලෙක් .. බැඳලා… අයියේ බබෙකුත් අයියේ …. බබෙකුත් … අනේ අයියේ .. 

මං කොච්චරක් කල් බලන් හිටියාද අයියේ ?.. ඉන්න තැනක් හොයාගන්න මම කොච්චර මහන්සි උනාද ?… මට බැරි උනා අයියේ … ඒත් මම වෙනස් වෙන්නේ නැතුව බලන් හිටියා.. එයා ආවේ ඒත් කොහොමද අයියේ ?.. ඇයි මට .. එහෙම කලේ ?.. ඇයි මාව රැවැට්ටුවේ ?.. මට බොරු කිව්වා… මර්ඩර් කතාවක් කිව්වා… ඩ්‍රග්ස් වලට සම්බන්ධ වෙලා ඉඳලා … අයියේ .. අයියේ … එයාට ඒ ගෑණිව අතාරින්න බෑලු අයියේ .. දරුවා අතාරින්න  බෑලු .. මාව අතාරින්න පුලුවන්ද අයියේ එතකොට ?.. එයාට මාව අතාරින්න පුලුවන්ද ?.. අනේ අයියේ මට බෑ .. මට මේක දරාගන්න බෑ අයියේ .. අනේ .. අනේ …”

චරක එක්වරම චායා වෙත නැවී ඕ වැළඳගත්තේය. ඉතා තදින් වැළැඳගත්තේය. චායා මින් පෙර කිසිදිනෙක නොවූ තරමින් චරකට ගුලි වූවාය. 

ඕ උන්නේ තමා පුපුරා යාවියැයි බියෙනි. එලෙසින් පුපුරා ගියහොත්, තම කැබලි අයියා එක් කර තබා ගනීවියැයි සිතමින් මෙන් ඕ තව තවත් ගුලි වූවාය.

” අනේ අයියේ .. මට සස්මිතව ගෙනල්ලා දෙන්න අයියේ … එයාට කියන්න අයියේ..”

” ශ් ශ් … ඉස්සෙල්ලම අඬන්නේ නැතුව ඉන්න නංගී ..”

” අනේ එහෙනම් මට ගෙනල්ලා දෙනවද සස්මිතව අයියේ … ඒ ගෑණිට සල්ලි දෙන්න අයියේ ඔයා ?..”

චරක චායාට සිත්සේ කියවන්නට දී උන්නේය. ඇය මේ අපහසු කාලය කෙලෙසකින්ම හෝ ගෙවා දිය යුතුය. එලෙස නොවන්නට ඇගේ ජීවිතය සුව පහසු වන්නේ නැත. 

සස්මිත වර්තමානයෙ උත්සාහ කරන්නේ කුමක් සඳහා වුවද, ඔහු කෙලෙසකින්වත් නැගණියගේ ජීවිතය හා හා වීමට සුදුසු අයෙකු නොවේය. 

 සස්මිතගේ සිතෙහි චායා පිළිබඳව සෙනෙහසක් පවතිනවාය යන්න පිළිබඳව සැක නැත.  එහෙත් ජීවත් වීමට සෙනෙහස පමණක්ම ප්‍රමාණවත් වන්නේද? 

නැත. ජීවිතය එතරම් සරල නැත. 

සස්මිත අදින් පසු චායාගේ සමීපයට එන්නේ නැත. ඔහු විදෙස් ගත වීමට අවශ්‍ය බව පැවසුවහොත් වහාම ඒ කටයුතු සූදානම් කර දීමට චරක තීරණය කර අවසන් ය. 

” අයියේ … අයියේ ..”

චායා චරකගේ ගෙලෙහි එල්ලෙමින් ඔහුගේ අවධානය ලබාගන්නට උත්සාහ කලාය.

” අපිට මෙහෙම ගෙදර යන්න බෑනේ චායා … “

” මට ගෙදර යන්න ඕනි නෑ.. මට සස්මිතව ඕනි අයියේ ..”

” ඌ පිස්සෙක් මගේ නංගී .. මානසික රෝගියෙක් … මට මුල ඉඳලම සැක හිතිලා තිබුනේ … ඒත් මම චාන්ස් දීලා බලන් උන්නා… ඌ ඔයා දිහා බලන විදියම මට අවුලට දැනුනා.. ඒත් මම ඉවසුවා… එදා කලබල වෙලා නිවාඩු දාලා ගියාම මම පස්සෙන් යැව්වා දෙන්නෙක් .. උන් දෙන්නාට තමයි වැඩේ අහූ උනේ.. ඒ ගමන්ම සස්මිතයට කෝල් කරලා ඌව ගෙන්නගත්තා මම .. 

මුලදි ඇහුවට මුකුත්ම කිව්වේ නැතුව උන්නා. දෙක තුනක් දුන්නම තමයි  වැඩේ කිව්වේ ඌ … ඔක්කොම එකින් එක කියද්දී මං ඌව මරන්නේ නැතිව උන්නේ හරි ඉවසීමෙන් චායා ..ඊට පස්සේ මට ඇවිල්ලා උඹව මරලා දාන්න හිතුණා…. ඒත් .. ඒත් පස්සේ මම හිතුවා..උඹට කරන්න දෙයක් නෑනේ .ඌ ඔක්කොම ගානට ප්ලෑන් කරලානේ කියලා..ඉන් පස්සෙයි මම ඌට කිව්වේ සම්පූර්ණ ඇත්ත ඔයාට කියන්න ඕනි  කියලා..”

චරක චායාගේ හිස පිරිමදිමින් කීවේය. තමා පවසන කිසිවක් පිළිබඳව චරකට පසුතැවීමක් හෝ පසුබෑමක් වූයේ නැත. 

ඔහුට අවැසි වූයේ චායාගේ ජීවිතය සස්මිතගෙන් ඉවත් වීමය. වැඩිමහල් සහෝදරයෙකුගේ වගකීම දැරීමය. 

” නංගී … ජීවිතේට එහෙම මිනිහෙක් ඕනිද මගේ නංගී ..”

” ඕනි .ඔනි අයියේ ..අනේ මට ඕනි ..”

” චායා …”

චරක උස් හඬින් කීවේය. චායාට හඬෙහි උස් පහත් වීම් ගැන වගක් වූයේ නැත. ඕ උන්නේ තමා මතට වැටුණු බෝම්බයෙන් පසුව වර්තමානය අලවා ගැනීමට අපහසුවෙනි.

  එහෙත් ඕ එක් දෙයක් දැන උන්නාය ඒ සස්මිතගේ ජීවිතයෙන් තමාට නික්මීමට අවැසි නොවන බවය. සියලු කාරනා අතැර තමාට සස්මිත හා ජීවත් වීම තෝරාගැනීම අවශ්‍ය බව ඕ දිගින් දිගටම කියෙව්වාය.

ඒ අතර වාරයේ චායා යම් අපහසුතාවයකින්ද පෙලෙන බව චරකට දැනුණේය

” පැයක් විතර කියව කියව අඬලා, මේ ඉරියව්වෙන් මේ හුස්ම ගන්න අමාරු ඇත්තේ… දැන් කරන්න තියෙන්නේ කොහොම හරි ගෙදර එක්කගෙන යන එක … විහඟි එක්ක අඬලා අඬලා තව ටිකක් නෝර්මල් වේවි … දැන් මේ කතාවේ අමාරුම ටික ඉවරයි … අරූ කියනන් වගේ අවුරුදු දහයක් හිරේ උන්න එකෙක් එක්ක චායා කොහොමද අනාගතයක් ගැන හීන දකින්නේ.. අනෙක ඩ්‍රග් කේස් එකකට ඇතුලට ගිය එකෙක් කවද්ද ඒ ජාලෙන් මිදිලා නිදහස් ජීවිතයක් ගෙව්වේ… මේක මේ විදියෙන් වෙන එක තමයි හරිම..”

චරක චායාව අසුනට වාරු කලේය.  අසුන මදක් පිටුපසට කැඩුවේය. චායා හඬ නොනැඟෙන සේ කියවමින් උන්නාය.

” ස ..ස් .. මිත .. අනේ.. බොරු .. නේ ඒ ?..”

විටින් විට එලෙසද ඇසුණු. චරක විහඟි අමතා ඉදිරිපස දොර විවෘත කර තබන මෙන් කීවේය. දෙදෙනා එක්ව චායාව කාමරයට වත්තන් කලෝය.

චායාව යහනට දැමු පසු චරක විහඟි දෙස බැලුවේය. විහඟි උන්නේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය.

” අයියේ …”

” තේකක් වගේ හදාගෙන එන්න විහඟි ..”

චරක එලෙස කීවේ චායාගේ දෙපයේ වූ සපත්තු ගලවා දමා දෙපා යහන මතටම දමමිනි. විහඟි කිසිත් විමසන්නට නොනැවතී මුලුතැන්ගෙය වෙත යන්නට හැරුනාය.

” පුලුවන්ද ?..”

” පුලුවන් අයියේ ..”

විහඟි ආපසු මදක් හැරී කීවාය. චරක හිස සැලුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here