අංගාර – 25

0
1243

වැඩි වෙලා යන්නට පෙර විහඟි සහ චරක නින්දට වැටුණහ. සස්මිත ඉතා සැලකිල්ලෙන් රිය ධාවනය කරමින් උන්නේය. චායා උන්නේ ඇහි  පිල්ලමක්වත් එපිටට නොගෙන, එහෙත් සැලකිල්ල අවම වන සේ පෙන්වමිනි. සස්මිත පුදුමාකාර තරමේ පාලනයකින් සිටිනවා විය යුතුයැයි ඕ සිතුවාය. ඔහු තමා නොහඳුනනවා නොවන බව චායා දැඩි ලෙසින් දැන උන්නාය, ඇය එලෙසින් විශ්වාස කලාය.

රාත්‍රී ආහාරය සඳහා චරක අවශ්‍යතාවයක් නැති වග පැවසූ නිසා, අනෙක් දෙදෙනාගෙන්ද වූයේ මන්දෝත්සාහී බවකි. සස්මිත සියලු දෙනාට ප්‍රමාණවත් කෝපි රැගෙන ආවේ ඉල්ලීමකින්ම තොරවය.

” අන්න පර්ස් එක … සල්ලි ගනින් සස්මිත ..”

” ඒක හරි සර් …පොඩි ගානයි…”

සස්මිත  චරක දෙසට හිස මදක්  නවා කීවේය.

” එපා කිව්වට කොෆී එකෙන් ෆ්‍රෙශ් වුනා .. ඔය දෙන්නට ස්නැක් මොනවා හරි ඕනිද ?…”

චරක පිටුපස අසුනේ දෙදෙනාගෙන් විමසුවේය. විහඟි යම් අපහසුවක් සමඟ උන් නිසා, ඇය ආහාර ප්‍රතික්ෂේප කලාය. චායා උපක්‍රමශීලි ලෙස යමක් ආහාරයට ගැනීමට ඇත්නම් හොඳයි ලෙසින් කීවාය.

” අනේ බං … මිස්ව පොඩ්ඩක් ඇතුලට එක්ක ගිහින් වරෙන්කෝ … මම මේ පිස්සා වගේ නේ.. නංගි ආහ් . මෙන්න පර්ස් එක අරං යන්න …”

චරක පසුම්බිය චායාගේ උකුල මතට විසි කලාය.

චායා එය අතට ගෙන විහගි දෙස යන්තමින්වත් නොබලා රියෙන් බිමට බැස්සාය. විහඟි උන්නේ ඇයට මුවින් බැණ වදිමිනි.

” මේකිට අවුරුදු දොළහක් ඉවසන්න පුලුවන් . එක විනාඩි දොළහක් ඉවසන්න බෑ .. අන්තිමේදි ඔක්කොගෙන්ම තැලෙන්නේ මේ අහිංසක මනුස්සයා…”

ඕ කෝපයෙන් සිතද්දී මුහූනේ ස්වරූපයද එපරිද්දෙන්ම වෙනස් විය. චරක එය දුටුවේය.ඔහු එය කියවාගත්තේ සෙනෙහසිනි.

” අමාරුයිද මැණිකේ … “

චරක එලෙසින් පවසමින්, වාහනයෙන් බැස පිටුපසට ගොඩ වූයේය. විහඟි වහා ඔහුගේ උරිස්සට හිස තබා ගත්තාය.

” මේකයි එහෙනම් ලෙඩේ…”

චරක ඇගේ හිස් මුදුන සිඹ, ඇයට පහසු වන සේ හරි ගැසුණේය. න

” නංගී ඉස්සරහ යාවි .. මම මෙහෙම ඉන්නම් … නිදාගන්න …. ඔයා මහන්සි වුනා අද සෑහෙන්නම … “

” බේබද්දෙක් වගේ බීගෙන හොඳ නාඩගමක් නැටුවනේ ඉතින් මගේ පිස්සු ඇමතියා ….”

විහඟි චරකගේ බාහුව යන්තමින් සැපුවාය. චරක එයට කිසිත් නොපවසා ගැඹුරු සුසුමක් හෙලුවේය. විහඟි එය කියවා ගත්තා වුවද, කිසිත් නොපවසා උන්නාය.

” විහඟි .. “

” ඒ අයියේ …”

” ඔයා මේ ප්‍රශ්න ඔලුවට දාගෙන කල්පනා කරන්නෙපා හොඳේ .. මම මොක කිව්වත්, කලත්, කොහොම උන්නත්, මගේ නෝනා ඒවාගෙන් හිත කලබල කරගන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න ඕනි …  චායා එක්ක වුනත්, ඒ දේවල් වැඩිය ආයේ ආයේ කතා කරන්න යන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්නෝනා … ඔයා කරන්න ඕනි එකම එක දේ, නංගිගේ හිත සැහැල්ලු වෙන පරිසරයක් හදන්න මම කරන්න ඕනි දේ මට කියනෙක… එයා අර ෆොටෝග්‍රැෆි වැඩේ  කරන්න ආසයිද ?.. එහෙම නැත්නම් අර ගමේ කෑම රෙස්ටෝරන්ට් එක දාන්න ආසයිද .. ඒ මොක වුනත් , ඒ කරන්න ආස දේ … මට හොයලා කියන්නෝනා… නංගී මට කියනෙකක් නෑ  විහඟි .. ඒකි හිතනවා ඇති මම මහ අවස්තාවාදී අයියා කෙනෙක් කියලා…”

විහඟි චරක තවත් කතා කරාවිදැයි නිහඬවම අසා උන්නාය. එහෙත් ඇසුණේ තද සුසුමක් පමණි.

” අයියේ … චායා ජීවිතේ ගැන කවදාවත් පසුතැවෙන කෙල්ලෙක්වත්, කාටවත් දොස් කියන කෙල්ලෙක්වත් නෙවෙයි … එයා මෙච්චර කල් කල දේවල් වලින් එයා ගොඩ නැගුණා මිසක් බිඳුනේ නැහැ…  ඒක අපි දන්නවා… එයාට කොච්චර  කැපෑසිටි එකක් තියෙනවාද කියලා අපි හැමෝම දැනගත්තා .. කොටින්ම ඔයා මෙච්චරක් දුර ඇවිල්ලා, මේ මිනිස්ටර් පෝස්ට් එකක් දරන්න  තරමට දුර ආවේ චායා නිසානේ…. ඒවා කොච්චර වටින අත්දැකීම්ද චායාට … එයා ජීවිතේ හදා ගනී .. ඒ හිතුවක්කාරකමම තමා එයාට හරියන්නේ ….ඒ හිතුවක්කාරකම එක්කම තමා එයාට දින්න පුලුවන් …”

” හ්ම්ම්..”

” ඔයා දුකෙන්, හූල්ල හූල්ල ඉන්න ගියොත් නම් චායාට ලේසි වෙන්නේ නෑ අයියේ.. එයා හරියට වොරි වෙන්න ගනී, මෙච්චර කල්, මේ හැමදේම තනියෙන් දරාගෙන උන්නා වගේ ඇයි ඉස්සරහටත් නොඉන්න තීරණය කරේ කියලා ඒකි සෑහෙන්නම ගිල්ටි වෙන්න ගනි… දරාගෙන, විඳවන්නේ නැතුව ඒක අතාරින්න අයියේ…  අපි දේවල් කර පිට තියාගෙන ඉන්නකල් තමයි, ඒ දේවල් අපට වද දෙන්නේ.. අපිට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් සැලසුම් කරගන්න ගමන්, ඒ බර අපේ කර පිටින් බිම තියන එක තමයි ජීවත් වෙන්න තියෙන පහසුම විදිය . මම අපේම ගෙදර අය, මගෙම අම්මව අතෑරලා මගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න තීරණය කලේ නැත්නම්, මේ වෙද්දී මම ඒගොල්ලෝ හින්දා සූසයිඩ් කරගෙන අයියේ … අතෑරලා ඉස්සරහට යන්න ඕනි, මිනිස්සු වුනත් .. හැඟීම්, පසුතැවීම් වුනත් ….”

විහඟි පරිණත ගැහැණියක සේ කියවමින් උන්නාය. චරක හිස මදක් පහලට නවා විහඟිගේ හිස සිම්බාය. ඇය ජීවිතයේ හොඳම තෝරාගැනීම බව පෙන්වමින් ඉන්නීය.

එක්වරම දෙදෙනාගේ කතා බහ නැවතුනේ චායා පිටුපස අසුනේ දොර විවෘත කල නිසාය. චරක ඇයට ගොඩ වෙන්නට නොදී නැවැත්වූවේය.

” මගේ නෝනාට මම නැතිව ඉන්න බෑලු … නෑනාට ඉස්සරහට යන්නලු ..”

”  අපෝ වදේ ..”

චායා හිත පොපියන හැඟීම සඟවා ගනිමින් දොර වසා දැමුවාය. වාහනයේ ඉදිරි දොර විවෘත කරන්නට පෙර යළි අල්ලාගෙන තත්පර කිහිපයක් උන්නාය. ඉන්පසුව  ඉදිරි අසුනට ගොඩ වූයේ සස්මිත දෙස බලාගෙනමය.

ඇගේ හැසිරීමෙන් කලබලයට පත්ව උන් නිසාම, සස්මිත උන්නේ ව්‍යාකූලවය.  චරක වෙනුවට ඇය ඉදිරි අසුනෙන් හිඳ ගනිද්දී සස්මිත කුමක් සිදු වන්නේදැයි සිතා ගැනීමට නොහැකිව මෙන්, චරක දෙස බලා යළි චායා දෙසද  බැලුවාය.

” මෙව්වා පිය උරුමයෙන් අපේ නංගිට හම්බෙන වාහන සස්මිත .. ඔන්නොහේ අදාල  ආසන අදාල අයට වෙච්ච දෙන් ..මට හොඳයි මේ පසුපස අසුන .. නේ නෝනා ?…”

සස්මිත වයාජ සිනහවක් පා වහා ඉදිරිය බලා ගත්තේය. තමා ඇය ඉදිරියේ දියව නොයන බව සිතා හිඳීමම කෙතරම් වැරදිදැයි වැටහෙයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here