අංගාර – 26

0
90

චරක නින්දේ උන්නද, විහඟි උන්නේ චායා දෙස දෙනෙත් අලවාගෙනය. චායා ද ඒ බව දැන උන්නා මෙන්, විටින් විට විහඟි දෙස හැරී බැලුවාය. ඒ අතර වාරයේ සස්මිතගේ  කොපුල මත දෑස් අලවන්නටද ඕ අමතක කලේ නැත. සස්මිත ඉන් කෙතරම් නොසන්සුන් වුවද, එවැන්නක් නොමැත්තාක් මෙන් සිත එකඟ කරගෙන වාහනය ගෙන යමින් උන්නේය.

” උඹ සක බඹරේ වගේ කැරකෙන්නේ නැතුව, එක විදියකට ඉන්නවාද ප්ලීස් … ඕකා මේ  වාහනේ කොහෙ හරි වැද්දුවොත් .. හෙට උදේ ඒක තමයි නිව්ස් එක වෙන්නේ…”

විහඟි චායාට කෙටි පණිවිඩයක්  යැව්වාය. චායා අඩ සිනහ පා , යළි ආපසු හැරී විහඟි වෙත ඒ සිනහව පෙන්වූවාය. විහඟි කෝපයෙන් රැව්වාය.

” මේ පැය ගානට මේකි වෙස් පෙරලගෙන ඉන්න හැටියට, අයියාට මොකක්ම හරි හිතෙනවා ආයේ සැක නෑ..”

විහඟි තනිව එලෙසද සිතුවාය.

සිව් දෙනා  නිවසට පැමිනෙන විට පාන්දර වී තිබුණි.  චරක විහඟිවද කැටුව කාමරයට ඇතුලු වූයේ මතින් වූ වෙහෙසද ඔහු පෙලා දමමින් තිබූ නිසාය. චායා සස්මිතගේ රුව සොයමින් විනාඩි කිහිපයක් ආලින්දයේ උන්නද, ඔහු පෙනෙන සීමාවකට හෝ පැමිණියේ නැත.
අම්මාගේ අඬ ගැසීම සමඟ ඕ කාමරය තුළට වැදුනේ දැඩි නොසන්සුන්කමිනි.

ආහාර ලබා ගැනීමට අවන්හල තුලට ගියාට පසු එක්වරම තමා සස්මිතගේ ඇඟිලි අස්සෙන් ඇඟිලි දමා අත පටලාගත් මොහොත සිතමින්, ඕ අතැඟිලි ඇස් මට්ටමට ඔසව බැලුවාය. කාලයකින් ඇයම නුදුටු, තමා සන්තකව මෙවන් සිනහවක් ඇතිදැයි ඇයටම විශ්වාස නොමැති සිනහවක් දෙතොල් මත විය. ඕ කණ්ණාඩිය  මතින් ඒ සිනහ්ව තමා මතටම චිත්‍රනය කරගත්තාය.

සිනහව නැඟෙන්නේ හදවතින් වන විට, දෑස්, දෙනෙත්, කොපුල් පමණක් නොව සියොළඟම ඒ සිනහවේ කොටස්කරුවන් බවට පත් වන්නේය. චායා දෑස් පියාගෙන උදෑසන පියාගේ සුඛෝපබෝගී රියට ගොඩ වූ මොහොතේ පටන් මේ වන තෙක් වූ පැය ගානම තත්පර කිහිපයක් තුළට සම්පිණ්ඩණය කරගත්තාය. එහි වූයේ, සිතාගත නොහැකි තරමේ ප්‍රහර්ෂයම පමණි. කිසිදිනෙක ඉටු නොවේයැයි දැන දැනම දිනයක ගෙවෙන තත්පර පාසා දොළොස් වසක් තිස්සේ කල ප්‍රාර්තනා ඉටු වීමේ ප්‍රහර්ශයම පමණි.

” ඔයා …අන්තිමේදි .. කොහොමම හරි එන බව මම දැනගෙන ඉන්න ඇති සස්මිත .. ඒ හින්දා තමයි  මම මේ තරම් හයියට ජීවත් වුනේ … හැම දේම බලාකියාගෙන ජීවත් වුනේ … ඔයා  ආයේ එන දාක මම දුර්වල, බිඳිලා ගිය, තුවාල වෙලා ඉන්න ගෑණියෙක් වෙලා උන්නොත් ඒක ඔයා ලේසියෙන් දරා නොගන්න බව මම දැනගෙන ඉන්න ඇති සස්මිත … නේද ?.. ඒ නිසා නේද මම තනියෙන්ම මේ හැමදේම කරගෙන මෙහෙම උන්නේ….”

චායා කණ්ණාඩියෙන් එලෙස විමසුවේ දෑතින් කණ්ණාඩි මේසයට බර වෙමිනි. ඉන් පසුව ඕ දෙසවන් වසාගෙන වැටී තිබූ කෙහෙ රැල් පසෙකට කර මුහුණ පසෙකට හරවා බැලුවාය. ඉන් පසුව එම කෝනයෙන්ම පෙනෙන සේ මුහුණ අනෙක් පසටද කර බැලුවාය.

තමා රුවැති කෙල්ලක නේදැයි විමසා උන්නාය. යළි කණ්ණාඩියෙන් පිළිතුරු නොලැබුණ කෝපයට කණ්ණාඩියට බැණ වැදුනාය.  තමාට කිසිවෙකු අවැසි නැති බවත්, සස්මිත පැමිණ ඇති බවත් උජාරුවෙන් කීවාය.

නාන කාමරය තුළ චායා පැයකටත් වැඩියෙන් ගෙවා දැමුවාය. හෙට පටන් ජීවිතය කෙලෙසකින් නම් වෙනස් වේදැයි ඇයගෙන්ම විමසුවාය.

” හැම උදේකම , හැම දවාලකම,  හැම හවසකම, හැම රෑකම, ඔයාගෙන් එකම එක පණිවිඩයක් එන්න කියලා විතරක්ම ප්‍රාර්තනා කල මට, ඔයා එක්ක එක වහලක් යට ජීවත් වෙන්න හම්බෙලා සස්මිත .. ජීවිතේ මට මීට වඩා මොනවාද ඕනි … මං දන්නේ නෑ මම මේ හීන මවනවාද කියලා.. සමහරවිට ඔයා හෙටින් පස්සේ යන්නම යාවිද කියලත් මම දන්නේ නෑ.. ඒත් මම දන්නවා.. ඔයා ඉන්නවා.. ඔයා එනවා … මට ජීවත් වෙන්න ඒ බලාපොරොත්තුව ඕනිවටත් වඩා සස්මිත ..”

චායා නින්දට වැටුණාය.  එය ඇය කලකට පසුව ලැබූ අංග සම්පූර්ණ නින්දක් විය. රැය මැද ඇහැරිල් වූයේ නැත. නින්ද එනතුරු යහනේ පෙරලිලි වූයේ නැත. පැය හයකට වැඩි එකදිට, සන්සුන් නින්දක් ඕ අත් පත් කරගෙන උන්නාය.

මේවා ප්‍රේමයේ අනුහස් ය. ප්‍රේමය සහසුද්දයෙන් තහවුරු වූ පසු ගත වෙලා ගන්නා දේවල් ය.

චායා ඇහැරුනේ අම්මාගේ හඬිනි

” දොළහටත් කිට්ටුයි පුතේ .. අයියා මිනිස්ට්‍රි එකටත් ගියා ..ඔයාට ඇහැරුනාම රංජි එක්ක එන්න කිව්වා..”

අම්මා එලෙසින් පවසමින් කාමරයෙන් පිටතට යන විට චායා යහනේ කෙලින්ව හිඳ ගත්තාය. අම්මා පැවසුවේ කුමක්දැයි යළි සිහියට ගන්නට උත්සාහ කලාය.

අයියා පිටව ගොස් ඇත. එලෙසනම් සස්මිතද පිටව ගොසිනි. තමාට රංජි අංකල් සමග එන්නට යැයි පණිවිඩයක්ද තබා ගොස් ඇත.

” ශික් … වෙලාවට ඇහැරුනා නම් එහෙමම යන්න තිබ්බා .. කමක් නෑ… මිනිස්ට්‍රි එකේ ඇතිනේ…”

චායා දඩිබිඩියේ නා ගත්තාය. හිසකේ අඬක් වියලා ගත්තාය. කුර්තා ඇඳුමකින් සැරසුනේ සැහැල්ලුව එක්කය. අද අමාත්‍යාංශ රාජකාරි දිනයක් නොවන නිසා ඒ ඇඳුම නොගැලපීමක් නැත. ඒ නොගැලපුනත් මේ සස්මිත කැමති විදියය.

” මොකෝ මේ කාලෙකින් එලියට අරගෙන මේවා…”

කුර්තා ඇඳුම ගතට හැඩ බව පවසමින් අම්මා ඇසුවාය.

” සස්මිත ආසයි මෙහෙම …”

චායා අම්මාට සිනාසී, තාමට එලෙස කියා ගත්තාය. ඔ දිවා ආහාරය කටට දෙකට අවසන් කලාය. විහඟි වෙත  ගොස් ඇසක් ඉඟිමැරුවාය.

” ඔච්චර නටන්නෙපා… මතක තියාගන්න .. වැඩියෙන් නටන මෙරු, ඉස්සේල්ලම ගිණි දැල්ලට පිච්චෙනවා…”

විහඟි කෝපයෙන් එලෙස පවසද්දී චායා ඇයට දෙතොල් පෙරලා ඇද කලාය. අනතුරුව විහඟි වෙත නැවුණාය.

” මේ මෙරුවා හොඳට පද දැනගෙන නටන්නේ… දැල්ල නිවුවොත් මිසක්, ලේසියෙන් පිච්චෙන්නේ නෑ..”

“: එහෙම නම් බොහොම හොඳයි…”

විහඟි කීවේ චායාව ගණනකට නොගෙනය. චායා ද පෙරලා ඇයව ගනනකට නොගෙන, සමුදුන්නේ විහඟිව තවත් කෝප ගනවමිනි.

අමාත්‍යාංශයට යෑමට මෙතරම් උනන්දුවක් තිබූ දවසක් චායාට සිහියේ නැත.  මේ යන්නේ ආණ්ඩුව්වේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ රියැදුරා දැකීමේ උත්කර්ෂයෙන් නොවේය. තම ප්‍රාණ සම ප්‍රේමය දැකීමේ  උත්කර්ෂයෙනි.

සස්මිත රියැදුරු කාමරයේ වූ කුෂන් පුටුවට බර වුයේය. අද පටන් චායාගේ අමාත්‍යාංශය හා වූ වැඩ කටයුතු නිම කිරීම ඇරඹෙනු ඇත. සතියක් දෙකක් තුළ ඕ මේ පරිශ්‍රයට පැමිණීම පවා සිමා විය යුතු තරමට වැඩ කටයුතු සිදු විය යුතු වග චරක උදෑසන එන ගමනේදී කිසිවෙකුට උපදෙස් දුන් බව සස්මිතට මතකය

කම් නැත. ඇය අතට අහුවන මානයේ සිටී. ලෝකයට බම්බු ගසාගන්නටයැයි සිතා ඇයව වැළැඳගෙන ගුලි කරගත හැකි සීමාවේ සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here