සස්මිත ඇගේ අනෙක් කොපුලද, දෑස්ද, යළි දෙකොපුල්ද තෙමා ඇතිරිල්ල යටින්ම ඇයගේ අනෙක් පසින් සිටින සේ වැතිරුණේය.
චායා මදක් හැරී ඔහු දෙස බැලුවාය.
” මට බයය් සස්මිත ..”
ඇගේ දෑස් කඳුලින් පිරී ගොස් තිබුණි. සස්මිත වහා ඕ නැගිටුවා ගත්තාය. චායා සිටින්නේ කෙතරම් තිගැස්මෙන්ද කියා සස්මිත ඇගේ හැසිරීමෙන්ම හැඳින්නේය. ඔහු ඇය තමා වෙත නතු කරගත්තේය.
” මටද ?……”
සස්මිත ඇයව සැහැල්ලුවට ගෙන ඒම පලමුව කල යුතු දෙය බව ක්ෂණිකව තීරණය කලේය.
” ම්හ් …”
” එහෙනම් .. ? කාටද ?…”
” විහඟිට වගේ වේවිද සස්මිත ..?”
සස්මිත චායා දෙස වඩා විමසිලිමත් බැල්මක් හෙලුවාය. මේ තිස් තුන් වියට ආසන්නය යුවතියකගේ හැසිරීමක්ද ? සස්මිත මහ හඬින් සිනාසෙන්නට ගත්තේ චායා වෙත වූ ග්‍රහණය ලෙහිල් කරමින් ය.
” හිනාවෙන්නේ ?..”
චායා දෑස් කුඩාකරගත්තාය. හඬ බර කරගත්තාය. සස්මිත ඇයව යළි තමා වෙත නතු කරගත්තේය. ගත ලූ සලු නොවන වග සිහිවෙද්දී චායා යම් අපහසුවක්ද පෙන්වන බව සස්මිතට දැනුනේය. ඔහු ඕ සන්සුන් කරනු වස් ඔහු සතු හැම වචනයක්ම පෙලගැස්වුයේය. කිසිවක් කිසිවෙකු දැන නොගන්නා බවත්, ඇයට කිසිඳු නපුරක් වීමට තමා ඉඩ නොතබන බවත් සස්මිත ඇගේ නලළත සිඹිමින් කීවේය.
” මට ලැජ්ජයි …”
චායා ඉන් පසුව අනෙකක් පවසමින් සස්මිතගේ උරිස්සේ හැංගෙන්නට වූවාය.
” පරක්කු නොවී ලෑස්ති වෙලා එන්නකෝ .. මම ලැජ්ජාව මතක් කරලා දෙන්නම් නෝනාට මගේ ..”
චායා කෝලයෙන් ඇඹරුණා වුවද, සිත තුල වූ බියපත් හැඟීම ක්ෂව ගොස් නැවුම් මන්දස්මිතයක් ජීවිතයට් වැටෙන බව විඳිමින් උන්නාය.
දෙදෙනා සූදානම් වී පිටත් වෙද්දී එකොළහ පසු වී තිබුණි. චායා විහඟි අමතා පැමිණෙන වග කීවාය. එහෙත් ඕ විහඟිගේ ඇණුම් පද වලට කිසිවක් පැවසුවේ නැත.
” විහඟි කේස්ද ?..”
” එයා දැන් මගේ යාලුවා නෙවෙයි නේ.. අයියාගේ වයිෆ් නේ .. ඉතින් ඒ පවර්ස් අරගෙන එන්නේ …”
” එක අතකට ඇත්තනේ කෙල්ල… අයියා දැනගත්තම විහඟිත් මේ දේවල් දැනගෙන උන්නා කියලා, අයියා විහඟිට සමාව දේවිද කියලා ඒකිට හිතෙනවා ඇති … අයියා මේ කතාවට ඇප්‍රෝච් වෙන විදිය තවම අපට හිතාගන්නවත් බෑනේ..”
” හ්ම් .. ඔව් .. ඒක මට නොතේරෙනවා නෙවි ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ, පුලුවන් ඉක්මනට ඔයා, ඔයාගේ දෙයක් පටන් ගන්න ඕනි කියලා සස්මිත .. අපේ අම්මලා එහෙම සාම්ප්‍රදායික මිනිස්සු නෙවෙයි .. එහෙම වුනත්, එයාලා සමහර දේවල් ගැන නොහිතනවාම නෙවෙයිනේ… ඒකට අපි සූදානම් වෙන්නෝනා.. එහෙම ඹැරි නැ . මම අවුරුදු දොළහක් මගේ ආසාවල් ඔක්කොම අතෑරලා, වෙනම රේස් එකක් දිව්වා.. දැන් මම මේ හදන්නේ මගේ හීන පස්සේ දුවන්න සස්මිත … ඔයත් දැන් පටන් ගන්නෝනා… ගෙවුනු කාලේ, ගෙවුණු දේවල් අපට හරිගස්සන්න බෑ සස්මිත .. කොහොමවත් බෑ.. ඒ හින්දා අපි මේ මොහොතේ කරන්න පුලුවන් දේ කරමු .. ඔයා කියන්නකෝ .. අපි කරමු නේද ?..”
” අදහස් කිහිපයක්ම තියෙනවා චායා .. ඒත් .. මෙවෙලේ සල්ලි මට හරහට ඉන්නවා.. ඒ වැඩ ඔක්කොම කරගෙන යන්න නම් සෑහෙන්න කාලයක් යනකල් ගානක් යට කරන්න වෙනවා..”
” ඔයා හිතන්නකෝ ඉන්වෙස්ට් කරනවා කියලා මම .. එතකොට ප්‍රශ්නයක් නෑනේ …?
සස්මිත එක් අතකින් සුක්කානම ගෙන යමින් අනෙක් අතින් චායාගේ හිස පිරිමැද්දේය. ඇය එතරමින් තමා විශ්වාස කරද්දී, තමා වෙනුවෙන් වග වෙද්දී හිතට දරාගත නොහැකි රිදුමක් දැනෙයි. තමා දෙවරක් නොසිතා, කිසිවක් නොසිතා, ඇයව අතරමං කර දමා යෑමේ තීරණය ගත් දිනය සිහිවෙයි.
” අපි ඉක්මනටම කතා කරලා සැලැස්මක් හදමු හොඳේ …”
සස්මිත හිස සැළුවේය.
දෙදෙනා නිවසට පැමිණියේ කිසිඳු විශේෂයක් නොමැති ලෙසය. එදින සස්මිතට නිවාඩු තිබූ බැවින් ඔහු කාමරය තුලටම වී උන්නේය. චායා නාන කාමරයට වී සෑහෙන්න මොහොතක් ගෙවා දැම්මේ තම නිරුවත් ගත මත වූ ප්‍රේමණීය පැල්ලම් මත ජීවිතය වැතිරෙන්නට ඉඩ දෙමිනි.
විහඟි චායාගේ කාමරය තුළට වී සෑහෙන්න වෙලා ගෙවා දමමින් උන්නාය. එහෙත් ඕ චායා ඇමතුවේ නැතිවම උන්නාය. චායා තමා මඟ හරිමින් කාමරය තුලට රිංගා ගත් බව විහඟි වටහා ගෙන උන්නාය. ඒ හැසිරිම තුලම යමක් සිදුවන්නට ඇතැයි යන උපකල්පනය ඇගේ සිත තුල විය. චායා නාන කාමරය තුළින් පිටතට ආවේ සස්මිත සමඟ පැමිනෙද්දී ඔහු මුවින් උරුවම් කෙරූ ගීයක්, තාලයක් නැතිව ඔහේ කියවමිනි. විහඟි යහනේ උන් ඉරියව්වෙන් මදක් එසවී කෙලින්ව හිඳගත්තාය. චායා ඒ දැක මොහොතකට ගල් ගැසුණාය.
” තව ටික වෙලාවක් ගියා නම් මුල් අල්ලනවා බාත් රූම් එකේ … පැය දෙකක්ද මන්දා ?..”
විහඟි නොරිස්සුම ව්‍යාජ බව පෙනෙන්නට නොදී කිව්වාය. චායා තිගැස්ම සඟවා ගන්මින් විහඟි දෙස හෝ නොබලා හිස කේ තෙත ගසා දමන්නට ගත්තාය.
” ඈ චායා … මොනවද මෙච්චර වෙලා කලේ ?..”
” උඹ මේ අවේලාවේ මගේ රූම් එක අස්සේ රිංගගෙන මොකද කියහං එකටම ?.. අද ස්වාමි පුරුෂයත් ගෙදර ඉන්නවා නේද ? මගේ ඔලුව කන්න කිව්වේ එයාද ?..”
” ඔව් ඔව් .. හරියනකොට අපි ඔලුව කනවා තමා ,…”
විහඟි අප්‍රසාදය පෙන්වූවාය. චායා සිනාසුනේ විහඟිට නොපෙනෙන්නටය.
” ඔව් ඔව් .. මට දැන් ලොතරැයියක් ඇදිලානේ තියෙන්නේ .. එච්චරට ගොඩ මම ..”
” මං කියන්නෙ නෑ ඉතින් උබට ලොතරැයිය ..”
” නෑ නෑ ..නොකියා ඉන්නෙපා ..කියහං ..”
චායා ආපස්සට හැරී තෙත තුවාය යහන මතටම විසි කරමින් කීවාය. ආලේපනයක් ගෙන මුහුණේ ආලේප කරාය.
” චායා .. අයියා මාවත් මරයි බං මොකක් හරි දෙයක් වුනොත් …”
” එයාටයි උඹටයි හොඳ වෙච්ච දෙයක් , මටයි සස්මිතටයි නරක වෙන්නේ කෝමද විහඟි ?…උඹ මට හැංගුවට මම දන්නවා.. අයියා රට ඉඳන් ඇවිල්ලා, උඹ එක්ක හරියට එෆෙයාර් එකක් සෙට්ල් වෙන්නත් කලින් උඹ අයියා එක්ක දේවල් කලා කියලා .. මේ මම බඳින්න ඉන්න මනුස්සයා විහඟි .. මම ආදරේ කරන , මට ආදරේ කරන මනුස්සයා .. එහෙම මනුස්සයෙක් එක්ක මම කොයි තරම් දුරක් යනවාද කියනෙක මගේ තීරණයක් .. දැන් මට තිස් පහකට කිට්ටුනේ.. අවුරුද්දේ දෙකේ වෙනසනේ. එහෙව් එකේ මගේ පස්සේන් එලවා එලවා එහෙම දේවල් හොයන්නෝනි නෑ … මම ඔයා නෙවෙය් විහඟි … මම දන්නවා කරන්න ඕනි දේ.. නොකරන්න ඕනි දේ .. ඔයා දේවල් කරලා, එව්වා එහෙ මෙහෙ වුනාම වගේ වෙන්නේ නෑ මට .. ඒ නිසා ප්ලීස්, මගේ ප්‍රයිවසි දෙන්න මට …. ඔයාට හිතෙනවා නම්, අයියාට මේ ඔක්කොම කියලා දාන්න .. ඒකත් කරන්න ..”
තමා එලෙසින් පැවසුවේ ඇයිදැයි ඊලඟ තත්පරයේ පටන්ම චායා සිතුවාය. එහෙත් ඒ වචන පිටවී අවසන් ය. විහඟි ඉණට අතක් තබාගෙන නැගිට්ටාය. ඇගේ දෑස් තෙත්ව තිබුණි. නැගිට යන්නට ගිය ඕ ආපසු හැරුණාය.
” සමාවෙන්න චායා … මට සමාවෙන්න ..”
ඇයට එලෙසින් පවසා ගන්නටවත් ඉඩක් නොදී මහ ඉකියක් සමඟින් හැඬුමක් ආවේය. චායා වහා ඕ වෙත ආවාය.


