අංගාර – 92

0
658
angara


චරක නැගිට්ටේ විදුලි වේගයෙන් වුවද, ඔහු යළි අසුනටම වැටුණේය. මිතුරා දෙස බැලුවේය. මිතුරා උන්නේද චරකගේ හැසිරීම තම පාලනයට ගන්නට නොහැකිවය. චරක යළි නැගිට්ටේය. ඉන් පසුව මිතුරා දෙස බැලුවේය.

” උඹ දැන් කියන්නේ මොකක්ද කියලා ආයේ කියහංකෝ බලන්න …”

” වාඩිවෙයංකෝ .. චරක මෙවෙලේ ඔහොම පුම්බගෙන,  කෑ ගහගෙන ප්‍රශ්න විසඳන්න බැහැ බං …. උඹ ඉන්න ස්ටේට්ස් ගැන හිතහං … උඹ මෙතන කලබල වෙලා නාඩගම් නටන්න ගත්තහම උඹටමයි ඒක අවුල් …”

” යකෝ උඹ කිව්වේ මොකක්ද කියලා මට කියහං …”

” චරක …. උඹ වාඩිවෙයං ඔතනින් ඉස්සෙල්ලම ..”

චරක දැන් පත්ව සිටින්නේ කිනම් විපරීත මානසිකත්වයකටද යන්න මිතුරාට වටහා ගන්නට නොහැකි වූයේ නැත. චරක මවාගෙන උන් ලෝකය සහ පෞර්ශත්වය දියවී ගොස් හමාරය. ඔහුට සියල්ල වටහා ගැනීම මෙන්ම දරා ගැනීමද පහසු නැත.

” සස්මිත මොකක් කරලා කියලාද  උඹ කියන්නේ?.. “

“උඹ ඉස්සෙල්ලම ඒ කොල්ලාට කතා කරලා ඉන්න තැනකින් සෙට් කරගන්න පුලුවන්ද කියලා බලහං ..”

චරක මිතුරා එලෙස පවසද්දීම යමක් සිහිවී මෙන් වහා ජංගම දුරකතනය ගෙන සස්මිත ඇමතුවේය. යලි යලි ඇමතුවේය. එහෙත් අංකය වූයේ විසන්ධි කරය.

” වැඩ නැද්ද ?..”

චරක එයට පිළිතුරු නොදී යළි යළි ඇමතුම් ගත්තේය.

” ඌ ඇවිල්ලා ගියේ හවස ..”
චරකගේ හඬෙහි වූයේ බිඳීමය.

” ඇවිල්ලා ගියා කියන්නේ ?..”

” උගේ පාස්පෝර්ට් එක ගන්නෝනි කිව්වා… මම කිව්වා ඇවිල්ලා අරන් යන්න කියලා… ඌ හවස ඇවිල්ලා ඒක අරගෙන ගියා ..”

චරක තමා මුහුණ දෙමින් සිටින තත්වය හරි හැටි අවබෝධ කර නොගෙන මෙන් කීවේය. මිතුරාගේ මුහුණෙහි වූයේ යම් බලාපොරොත්තුවක සෙය්‍යාවකි.

” හර් .. එයාර්පෝර්ට් එකෙන් කොල්ලාව හොයමු . උඹ සම්පූර්ණ නමයි, අයි ඩී නම්බර් එකයි මට දාපං ..”

” මිනිස්ට්‍රි එකේ ඇති සීවී එකක් ..”

” ගෙන්නගනින්..”

” දැන් කොහොමද ?..”

” හරි උදෙන්ම ගෙන්නගෙන එවපං… කොල්ලාට මේ හදිසියේ  යන්න බැහැනේ..”

” උඹ කියන්නේ බං… මොකක් හරි හේතුවක් නිසා.. මගේ නංගි එක්ක යාලු වෙලා උන්න කොල්ලා…. මං වෙනුවට ඇතුලට ගිහිල්ලා …. අවුරුදු දොළහක් කට්ට කාලා… ඉන් පස්සේ ආයෙම නංගිව හොයාගෙන ඇවිල්ලා කියලාද ?…. උඹ එහෙමද කියන්නේ බං ?…”

” ඔව් … සරලවම ඒක..”

” උඹට විකාර බං …. එහෙම මඟුලක් නෙවෙයි මෙතන ඇත්තේ…”

” මං විජේසිරිගේ දුවව ඇතුලට ගත්තා බං .. ඔය ටික ඒ කෙල්ලගෙන් ගත්තේ..  ඒකි අසනීප උනා… දැන් හොස්පිට්ල් …. ඒකි ඔය ටික දන්නවා වුනත්, හේතුව දන්නේ නැති බව තමයි තේරුණේ… ඒ විස්තරෙත් දැනගෙන තියෙන්නේ විජේසිරි නැති වුනාම … විජේසිරිගේ පරණ ඩයරියක පිටු දෙකක තිබිලා.. කෙල්ල ඒ ටිකත් තියෙන තැන කිව්වා.. මම දෙන්නෙක් යැව්වා ගන්න ….”

මිතුරා හිතුමතේ කියවන්නෙක් නොවන බවට චරකට සැක නැත. එහෙත් මේ කතාව විශ්වාස නොකර ඉන්නට ඇත්නම් වඩා අගනේය. එහෙත් මිතුරා  ගැලපෙන ලෙස සියල්ල පවසන්නේය.

චරක හිස බඳාගෙන අසුනේ දිහ ඇදුනේය.

සස්මිත ජංගම දුරකතනයේ සිම් පත ගලවා දමා නවාතැනෙහි වූ කුණු බඳුනට විසි කරේය. පැය කිහිපයක ගමන සහ දවසේ මුහුණ දුන් සිදුවීම් ඔහුව සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇති බව දැනෙන්නේය.  චායා, ඇය සිටින්නේ කිනම් මානසිකත්වයකදැයි  සිතීමම පවා සස්මිතව බිඳ දමන්නේය. ඇය තමා වෙනුවෙන් බලා සිටීමත්, තමා විවාපත්ව දරුවෙකුටද ජීවය දී , යළි ඇය කරා විත් මුසාවන්ගෙන්ම ඇයගේ ජීවිතය වටා දැවටුණු බවත් ඇයට දැන් වැටහී ඇතිවාට සැක නැත. ඕ දැන්  එම කාරණාවන්ගේ සත්‍ය , ඇය තුලම ගලපාගන්නට උත්සාහ කරමින් සිටිනවා විය යුතුය.

සස්මිත නාන කාමරයට තුලට වී උස් හඬින් කෑ ගසමින් තම වේදනාව පිට කරගන්නට උත්සාහ කලේය. එහෙත්, ඇතැම් තත්පර ගෙවුණේ හඬක්වත් පිට නොවීමය. තමාට මරණය තෝරා ගැනීම කෙතරම් පහසු වනු ඇතිදැයි සස්මිත කල්පනා කරේ එවැනි තත්පරවලය.

බන්ධනාගාරගතව සිටි ජීවිතය පහසු වූයේ නැත. තමා ජීවත් වුණ පරිසරයට බිඳකින්වත් නොගැලපෙන මිනිසුන් හා හා වී ජීවත් වන්නට විය. ඒ හැම දවසකම වූ බලාපොරොත්තුව චායාය. ඇගේ සිනහවය. ඇගේ හඬය. එහෙත්, දැන් ඒ සියල්ල තමා වෙතින් ඈතටම ඇදී යයි. චරක අටහ්‍ර මැදින් සිටී. චායා තමා පිළිකෙව් කරයි.

විදෙස් ගත වෙමියි සිතා සැළසුම් සැකසුවද, චායා මේ දූපතෙහි තනි කර ඉගිලෙන්නට තම හදවතට  හයියක් නොමැති බව අවසානයේ සස්මිත වටහා ගත්තේය. ඇය හා ඉන්නටද, ඇය ඉඹින්නටද, ඇය තුරුලු කරගන්නටද ඉඩක් නොලැබෙනු ඇත.  එහෙත්, ඇය ඇයට හිමි කුටුම්බයක ප්‍රවේශමෙන් තනි වන තුරු ඇය වෙනුවෙන් , ඇය පසුපසින් බලා හිඳීම කරන බව සස්මිත තීරණය කලේය.

සස්මිත පැමිණ ගොස් ඇති බව විහඟි චායාට පැවසුවේ රාත්‍රී නවයටද පසුවය.

” කොයි වෙලේද ?..”

” අංකල් නම් කිව්වේ හවස කියලා.. වැඩි වෙලා හිටියෙ නැහැලු .. ඇවිල්ලා බෑග් දෙකක් අරගෙන ගියාලු ..අයියා එක්ක කතා කර කර හිටියා කිව්වා ටිකක් ..”

” මට නින්ද ගිහින් තියෙන්න ඇත්තේ..”

” ඒකත් හොඳයි එක අතකට ..”

” මං තවම විශ්වාස කරන්නේ නැහැ විහඟි … එයා කොහොමද මට එහෙම කරන්නේ?.. වෙන ගෑණියෙක්ට දරුවෙකුත් දුන්නට පස්සේ, එයා කොහොමද මාව එච්චරට ආදරෙන් බඳාගත්තේ?…

විහඟි විමසිලිමත්ව චායා දෙස බැලුවාය. ඇය තමා වන්ම හිතුවක්කාරියක් බව දනී. එලෙස නොවූවද, සස්මිටහ් සහ චායාට වසර ගණනාවක් මඟ බලා හිඳීමේ ඇරියස් පවතී.

” අයියා මාවත් මරාවි චායා … මට ඇත්ත කියහං ..  එහෙම දෙයක් වුනාද ?..”
 චායා විහඟි දෙස බැලුවාය. දෙදෙනාගේම නෙත් වූයේ බොද වුණ සෙයකි.

ඕ හිස සැළුවාය. විහඟි කුස සුරතින් අල්ලාගෙනම යහන  මත හිඳගත්තාය. නිවැරදි කරන්නට නොහැකි ඉමකට සියල්ලම පැතිරී ඇත්නම් …

” කවදාද ?..”

” වැඩි දවසක් නෑ..”

” උඹලා … සේෆ්ටි ?…”

“: සස්මිත කිව්වා.. ඒත් මම ඒ මුකුත්ම කලේ නෑ..”

” දෙයියනේ … චායා ..උඹ හදන්නේ මිනී පෙට්ටි කීයක් උස්සන්නද ?…”

” මේක උඹට අදාල නැහැ විහඟි .. මට දැන් කොහොමත් එකයි … සස්මිත  මට එච්චරට ලොකු බොරුවක් කලා කියලා මම හිතන්නේ නෑ.. එවෙලේ හිතාගන්න බැරිකමට දමලා ගහලා ආවට, මම මේ ඔලුව කෙලින් තියන් ඉන්නේ, එයා මට එවෙලේ නාට්‍යක් පෙන්නුවා කියලා හිතට දැනෙන නිසා.හැබැයි, මම සමාව දෙන්නේ නෑ ..”

චායා දැඩි හඬින් කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here