BE SILENT – 55

0
895

” පරිස්සමට යන්න.. හයියෙන් ඩ්‍රයිව් කරන්නෙපා. මං කෝල් ගන්නං,  ආන්සර් කරන්න. නොකා ඉන්නෙපා , වෙලාවට කන්න. මං සචින්ද්‍රට හරි කතා කරලා අහනවා. කෑවා කෑවා කියලා බොරු කියන්න එපා. “

සිතැත්තියගෙන් අණ කිරීම් රැසකි. ඉල්ලීම් රැසකි. විධාන රැසකි . ඇගේ බඳ වටා තම අතක් යවා ඈව තමා වෙතට ඇද ගත් ඔහු එකී වටකුරු දෑස දෙස බලා සිනහවක් නැඟුවේය.

” ඉවරද .. ? තව මොනාහරි මඟ ඇරිච්ච දෙයක් තියනවද ?” 

ඈ වටකුරු දෑස සිහින් කර තරවටු බැල්මක් ඔහු වෙතට හෙළුවාය. 

” ඉස්සරත් එහෙමනේ. කෑවද ඇහුවොත් ඔව්. මොනාද කෑවේ ඇහුවොත් මතක නෑ. කීයටද කෑවේ ඇහුවොත් ඒත් මතක නෑ. බලන් ගියාම අන්තිමට කාලත් නෑ. “

මනුහස් ඈ දෙස සිනාමුසු මුහුණින් එක දිගට බලා සිටියේය. 

” ඉන්සිටියුට් එක පහළ වංගුව ලඟ තිබ්බ මුස්ලිම් අන්කල්ගේ කඩේ මතකද ?” 

තරුණිය පෙර මිහිරි මතකයකින් දෑස දල්වා ගත්තාය. 

” හ්ම්ම්… කෑලි කපපු පරාටයි , චිකන් හොදියි , පරිප්පුයි තිබ්බේ. ඊට පස්සේ කට පිච්චි පිච්චි ඉඟුරු ප්ලේන්ටි බිව්වා. “

මනුහස් නැවත වතාවක් ඈ සමඟ සිනාසුණේය .

” ඔයා තමයි කට පුච්ච ගන්නේ හැමදාම. “

ඔහු එසේ පවසමින් ඇගේ හිසකේ අවුල් කළේය .

” මට ආයේ දවසක ඒ කඩේට යන්නෝනේ. “

” අන්කල් දැන් නෑ සුදු බෝලේ. අවුරුදු හතරකට පහකට වගේ කලින් නැති උනා. දැන් කඩේ කරන්නේ පුතා. “

” අනේ… ! ඔයා කොහොමද දන්නේ ?” 

” මං කැන්ඩි ආවොත් හරි, ගෙදර ආවොත් හරි  ආපහු යන අතරේ ඒ පැත්‍තට යනවා. ඒ තැන් වල තියන පරණ මතක මට ජීවත් වෙන්න උදව් කළා සුදු බෝලේ. වංගුව ලඟ මුස්ලිම් අන්කල්ගේ කඩේ , ටවුන් එකේ පූරි කඩේ , මාළිඟාවට යන්න මල් ගන්න ලක්ශාන්ගේ අයියගේ කඩේ , පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා තිබ්බ ෆැන්සි ශොප් එක . ඒ දවස්වල ඔයා දවස ගාණේ චූටි චූටි තොරොම්බල් ගන්න යන්නේ හැමදාම . ඒ ශොප් එකට එහා පැත්‍තේ තිබ්බ අයිස්ක්‍රීම් කඩේ , ආයේ ඉන්සිටියුට් එක උඩහා බස් හෝල්ට් එක , ඉන්සිටියුට් එක ඇතුළේ අරලිය ගස් පේළිය , එතන ගල් පඩිපෙළ. මට ඔය හැමතැනක්ම තනියම හුස්ම ගන්න උදව් කළා මැණික. “

” අනේ.. මනූ..!” 

තරුණියගේ වත එක් වරම අඳුරු වළාවකින් වැසී ගියේය. ඇය සූදානම් වන්නේ කඳුළු සලන්නට බව තේරුණු මනුහස් වහා ඇගේ කොපුලක් මත අතක් තැබුවේය.

” අඬන්නනං ලෑස්ති වෙන්න එපා. ආයේ නුවර ආපු දවසක ඔය තැන් ඔක්කොගෙම ඇවිදින්න යං ආයේම මාත් එක්ක. හරිද ?” 

ඈ සෙමින් ඊට එකඟ වෙමින් හිස සැලුවාය. 

” හරි… මේ කියන දේ හොඳට අහගන්න. ගොඩක් වෙලාවට අද වජිරා මල්දෙණියව උසාවි දැම්මම ඇප ලැබෙන එකක් නෑ. පොලීසියෙන් ඇප දෙනවට විරුද්ධයි කියලා කියයි. එහෙම උනොත් දවස් හතකට හරි දා හතරකට හරි රිමාන්ඩ් වෙන්න පුලුවන් .”

” අනේ.. මනූ..!” 

” කියන දේ අහගන්නකෝ ළමයෝ… කිසිම කෙනෙක්ට අනවශ්‍ය විදිහට විස්තර කියන්න යන්න එපා. කවුරුවත් කියන දේවල් අහන්න යන්නත් එපා. ජාන්වී තනියම නිසා ඔයා ඉන්නවනං මෙහෙ ඉන්න.  ඒ අතරේ වෙනසක් ඕන උනොත් අපේ ගෙදර ගිහින් ඉන්න. මං අම්මටයි අප්පච්චිටයි කියලා තියෙන්නේ . හරිද ? “

ඈ හිස සළා නිහඬවම එයටද එකඟ වූවාය. 

” ගෙදර යන්න අදහසක් නැද්ද ? මෙච්චර ලඟටම ඇවිල්ලත් ? “

ඈ නැත යන්න පවසමින්ද හිස දෙපසට සැළුවාය. 

” ඒගොල්ලෝ හැමෝම දැන් සෑහෙන්න හොඳින් ඉන්නවා මනූ. දුක් විඳලා තියෙන්නේ මං විතරයි. “

” ඒ උනාට මේ වෙලාවේ ඔයා ගැන කරදරෙන් ඇත්තේ “

” මං අම්මට මැසේජ් එකක් දැම්මා. යාලුවෙක්ගෙ ගෙදර ඉන්නේ කියලා. “

මනුහස් විසල් සුසුමක් පිට කළේය. 

” හරි.. ඔයාට කැන්ඩි වල ඉඳලා ඇති උනොත් ඕන වෙලාවක මගේ අපාර්ට්මන්ට් එකට යන්න. සචින්ද්‍ර අතේ එක්ස්ට්‍රා කී එකක් තියනවා. ඒක උගෙන් ඉල්ල ගන්න. “

” ඇයි එතකොට ඔයා ..? “

” අහන්නකො.. සමහර වැඩ වලට ගියාම දවස් දෙක තුනක් එන්න වෙන්නෑ. ඒකයි කිව්වේ ඔයාට ඕන වෙලාවක මෙහෙ අපේ ගෙදරයි , එහෙ මගේ අපාර්ට්මන්ට් එකෙයි ඉන්න පුලුවන් . “

සවන් මතින් එහා මෙහා වන ඇගේ කෙහෙරැලි නැවත නිසි ලෙස සකසමින් ඔහු එසේ පැවසුවේය. 

” අනේ.. මනු…!” 

” ඔන්න ඉතිං.. මේක මේ ජොබ් එකේ හැටි ළමයෝ..”

ඔහු ඇඹුල් වූ වටකුරු උවන වෙතට බර වූයේය. 

” පරිස්සමට ඉන්න. “

” ඔයත් පරිස්සමට යන්න.. “

ඉදින් ඔහු අවසන් වරට ඇගේ නළල මත හාදුවක් තැවරුවේය. 

” සචින්ද්‍ර … ඔක්කොම රෙඩිද ? ඔව් .. මං එනවා.. “

නෙත්‍යා තිතක්ව නොපෙනී යන මෝටර් රථය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය. 

” සචින්ද්‍ර කොහෙටහරි පැමිණිල්ලක් ඇවිත් තියනවද ?” 

” නෑ .. සර්.. තාම නෑ. මං දැනුත් සර්ච් කරලා බැලුවා. “

” ගුඩ්.. මිනිහව අපේ ලඟ තියාගන්න ඕනේ. ඌ මිසින් උනොත් ආයේ අල්ලන්න අපිට වෙනම ගේමක් ගහන්න වෙනවා. “

” ඕකේ සර්. ඒ ගැන බය වෙන්නෙපා. අපි මේක ලොක්කටවත් කියන්නැද්ද සර්.. ?”

” නෑ.. දැන්ම එපා. “

” ඕකේ සර්. සර් එන ගමන් නේද ? “

” ඔව් , මං මඟ. “

මනුහස් එසේ පවසා සචින්ද්‍රගේ දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය. එක දිගට හෝරාවකට වඩා රථය පදවාගෙන පැමිණි ඔහු තමා පසුපස බොහෝ වේලාවක් සිට පැමිණෙන යතුරු පැදියක් කෙරෙහි පැති කණ්ණාඩිය මතින් සූක්ශම දෑසින් බලා සිටියේය. යතුරු පැදිය මත සම්පූර්ණ මුහුණු ආවරණය කර ගත් සහ කළු පැහැ ජැකට්ටු මඟින් සිරුර ආවරණය කර ගත් අවුරුදු තිහත් , හතළිහත් අතර යැයි කිව හැකි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සිටියේය. 

” සර්.. බයික් එකේ නම්බර් ප්ලේට් එක හොර එකක්. සර් කියන තොරතුරු වලට හරි යන බයික් එකක් පෙරේදා රෑ දෙවුන්දර මියුසිකල් එකකදි නැති වෙලා කියලා පැමිණිල්ලක් ඇවිත් තියනවා. “

” හ්ම්ම්.. මගේ ෆෝන් එකයි , කා එකේ ජීපීඑස් එකයි ට්‍රැක් කරහන්. උපරිම පැය විසි හතරයි. ඊට පස්සෙත් ෆෝන් එක ඕෆ් නං… ,   කරන්න ඕන දේ දන්නවනේ ? “

” ඕකේ සර්..!” 

තවත් අඩ හෝරාවක් ගෙවෙන්නෙට මත්තෙන් තමා පසුපස එක දිගට ලුහුබැඳ පැමිණෙන යතුරු පැදියේ විස්තර සොයාගත් මනුහස් ඉන්පසුව කළ යුතු දේ පොලිස් නිලධාරීන්ට පවසා මුව අඟින් සමච්චල් සිනහවක් නැඟුණේය .

” උඹට ඕනේ දැන් මාත් එක්ක සෙල්ලං කරන්නද? “

 තමාටම මිමිණූ ඔහු එක් වරම තම ගමන් මාර්ගය වෙනස් කර දමා එතරම් ජනාකීර්ණ නොවන මාර්ගයක් දිගෙහි වේගයෙන් මෝටර් රථය ධාවනය කළේය. මඟ දෙපස කිසිවෙකුත් නැති ලඳු කැලෑවක් අසලදී තම මෝටර් රථය මාර්ගයෙන් පසෙකට කොට නවතා දැමූ ඔහු තමා පසු පස පැමිණ මඳක් දුරින් නවතා තිබෙන යතුරු පැදිය දෙස බැලුවේය. ඉන් පසු විවර කරන ලද මෝටර් රථයෙන් බැස අත් දිගු කමිසයේ එක් අතක් වැළමිට තෙක් නවමින් තමාට එහායින් නවතා තිබෙන ‍යතුරු පැදිය දෙසට ඉක්මන් ගමනින් එන්නට පටන් ගත්තේය . මනුහස්ගේ ගමන දුටු යතුරු පැදියේ රියදුරු වහා එය පණ ගැන්වූ අතර එක් වරම වේගයෙන්  මනුහස්ගේ පසුපසින් පැමිණි මෝටර් රථයක් ඔහු අසල නතර කළේය. දෙපසකින්ම කොටුවූ ඔහු වහා අනෙක් පස හැරෙද්දී පසුපස සිටි කිසිවෙකු හෝ බරැති මුගුරකින් ඔහුගේ හිසට තද බල පහරක් එල්ල කළ අතර දරා ගත නොහැකි වේදනාව හමුවේ ඔහු එතැනම සිහි සුන් වී බිම ඇද වැටුණේය. 

***************************************

” මනූ ආවද සචින්ද්‍ර … ?” 

සැඳෑව එළැඹෙන තුරුම විටින් විට ඔහු හා සම්බන්ධ වීමට කෙතරම් උත්සාහ දැරුවද ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය අතර නෙත්‍යා දෙතුන් වතාවක් උත්සාහ කොට සචින්ද්‍රට ඇමතුමක් ලබා ගත්තාය. 

” තාම ආවේ නෑ අක්කේ.. “

” මනූගේ ෆෝන් එකත් ඕෆ් සචින්ද්‍ර ..”

ඇගේ හඬ යන්තමින් බිඳී ගොස් තිබුණේය.

” සර් නම් ඔහොම තමයි හැබැයි. අතේ තියන ෆෝන් එකටනං ලේසියකට කෝල් එකක් ගන්නවා බොරු . ඒකයි හැමතැනටම ඔෆිස් නම්බර් එක දීලා ඒක මගෙ ලඟ තියන් ඉන්නේ. අක්කා නිවුස් බැලුවද ?” 

” හ්ම්ම්…”

” ඒ පැත්තේ ලෝයර්ස්ලා සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා මිසිස් මල්දෙණියව රිලීස් කරගන්න. “

” එකාතකට පව් කියලා හිතෙනවා සචින්ද්‍ර . ඒ මනුස්සයා කොහොම ඔය හිරේ ඇතුළේ ඉඳීද දන්නෑ. “

නෙත්‍යාට විසල් සුසුමක් අත හැරුණාය. 

” ආ.. ඒක ගැන නම් බය වෙන්නෙ දෙයක් නෑ. වියදං කරන්න සල්ලි තියනවනං මෙහෙ හිටියට වඩා සැපට එහෙ ඉන්න පුලුවන් . කොහොමත් මල්දෙණිය ගෲප් එකෙන් නිකන් ඉන්න එකක් නෑ. මොනාහරි කරලා මෝශන් එකක් දාලා නඩුව ආයේ අරගෙන ඇප ගන්න බලයි. “

” මනූ ආවොත් මට කතා කරන්න කියන්න සචින්ද්‍ර …”

” හොඳයි අක්කේ… සර් හිටපු ගමන් දවස දෙක අතුරුදහන් වෙනවා. ඒක සර්ගේ හැටි. එච්චර හිතන්නෙපා. “

දුරකතන ඇමතුම විසන්ධි කළ නෙත්‍යා නැවත විසල් සුසුමක් පිට කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here