අංගාර – 86

0
2936
angara

සස්මිතගේ පණිවිඩය විහඟි දුටුවේ චායා නිවසට කැටුව ආවාටද පසුවය. ඕ අනෙක් පසට සස්මිත ඇමතුවාය. එහෙත් ඇමතුම සම්බන්ධ වූයෙ නැත. විහඟි යළි සස්මිත එවා තිබූ කෙටි පණිවිඩය කියෙව්වාය. 

” මට සමාවෙයං බං .. පොරොන්දු, වගකීම් වල හිරවෙලා මම මේ ආත්මෙට.. චායාව බලාගනින් .. මගේ මැණිකට කියපං , මේ ආත්මේ කාගේ වුනත්, ඊළඟ ආත්මේ මගෙන් පිට යන්නෙපා කියලා…”

විහඟි ඒ වැකිය වචනයෙන් වචනය පවා යළි කියෙව්වාය. ඔහු පවසන පොරොන්දු මොනවාද ? වගකීම් මොනවාද කියා විහඟිට වටහාගන්නට හැකි වූයේ නැත. 

මේ ආත්මයෙ අන් අයෙකුගෙ වෙන්නටයැයි පැවසීමේ අරුත, ඔහු කිසිඳු සටනක් නැතිවම චායාව අතැර සැඟවෙන බවද ?

ඔහුට එලෙසින් කිරීමට හැකි වූයේ ඔහු සැබැවින්ම විවාහකයෙකු නිසාවෙන්ද ? චායා අත් හැරීමෙන් ඔහුගේ ජීවිතයේ හිඩැසක් ඇති නොවන නිසාද ? චරක කෙලෙසින් කීවද දැන් සිත කියන්නේ සස්මිත විවාහකයෙක් නොවන වගය. එය චරකගෙ උපක්‍රමයක් බවය. 

එහෙත්, දැන් චායා ඒ බව පිළිගෙන හමාරය. ඕ ඉන් විඳවන්නීය. සස්මිත ද විවාහකයෙකු වූවා හෝ නොවූවා ඔහුද මේ වෙද්දී චායා සිහිකරමින්ම විඳවනවාට සැක නැත. 

විහඟි කුස පිරිමැදගත්තාය. තම දරුවා ද මේ සියලු කතන්දර මැදට වී සිටින්නේය. සස්මිතගේ ගැටලුවේදී චරකගෙ දෙමාපියන්ගේ හැසිරීම නිසා විහඟිගේ සිත ඇත්තේ යම් කලබලයකය. ඔවුන්ද චරක සහ තමාගේ සම්බන්ධතාවයට ආශිර්වාද කර තමාව ඔහුට විවාහ කරදුන්නේ, ඔහුගේ ජීවිතය පිළිබඳ සිතා මිසෙක, තමා කෙරෙහි වන සෙනෙහසකින් නොවන බව විහඟිට සිතෙන්නට ගෙන තිබුණි. 

” අම්මා ඉන්නවා මගේ රත්තරන් පුතේ ඔයාට.. තාත්තාට , ආච්චිලාට අම්මවයි පුතාවයි එපා හිතුනොත්, අම්මයි පුතයි මේ හැමදේම දාලා යමු පුතේ .. අම්මාට පුලුවන් පුතාව බලාගන්න … නැන්දා පුතාවයි අම්මාවයි ඕනි වෙලාවක ඩුබායි ගන්නවා කියලානේ තියෙන්නේ.. අපිට එහේ කරදරයක් නැතුව ඉන්න පුලුවන් වේවි …

 සමහරවිට තාත්තාට අම්මාව දැනටම එපා කියලා හිතිලා ඇත්තේ මගේ පුතේ .. අම්මාට සමාවෙන්න පුතේ … අම්මා කල්පනාවෙන් උන්නේ නැති නිසානේ පුතේ … අම්මා ඒ තරමට තාත්තාට ආදරේ කලා රත්තරනේ… ඒ තරමට තාත්තාව විශ්වාස කලා.. ඒත් අම්මට දැන් තේරෙනවා, ආදරේ කරන්න තත්වේ, තරාතිරම, සල්ලි බලපෑවේ නැති උනාට, දරුවෙක් හදාගෙන පවුලක් විදියට ජීවත් වෙන්න ඒ ඔක්කොම බලපානවා කියලා.. අම්මා එතනදී අසරණයි රත්තරන් පුතේ ..”

 විහඟි කුස පිරිමදිමින් කියවමින් උන්නේ අල්මාරියටද වාරු වීගෙනය. ඇගේ දෙනෙත් ජනේලයෙන් එපිට විය. අහසේ වූ වළාකුලුදෙස බලාගෙන කඳුලු ගලා හැලෙන්නට හැරියාය.

චරක උන්නේ කතාවේ මුල සිටම විමසිල්ලෙන් අසාගෙනය. 

ඔහු ඇය පැවසූ සියල්ලම යළි දෝංකාර දෙද්දී චරක එලෙසින්ම උන්නේය. ඔහු උන්නේ අඩියක්වත් ඉදිරියට යා ගත නොහැකිවය. 

විහඟි ජංගම දුරකතනය දෙස යළි බැලුවාය.

 සස්මිතගේ පණිවිඩය කියෙව්වාය. සුසුමක් හෙලුවාය. ආපස්සට හැරුනේ චායා දකින්නට ඇගේ කාමරය වෙතට යන්නට සිතමිනි. එහෙත්, කාමරයේ දොර අසල භීතියෙන් දෑස් අයාගෙන සිටින චරක දුටු විහඟි උන් පියවරෙහිම ගල් ගැසුනාය. දෙදෙනාම උන්නේ එකිනෙකා අදහා ගන්නට නොහැකිවය. පළමුව සිහි එලවාගත්තේ විහඟිය.

“අයියේ .. ඇයි අයියේ ..”

විහඟි වහා ගොස් චරකගේ අතක එල්ලුණාය. චරක ඕ දෙස බලනවිටද, ඔහුගේ කොපුල් පෙඟෙමින් තිබුණි. විහඟි වහා ඔහුගේ කොපුල් පිසදැම්මාය. සිදුව ඇත්තේ කුමක්දැයි ඇයට වැටහෙමින් තිබුණි.

” අනේ අයියේ .. එපා අයියේ ..” 

” මාව දාලා යනවාද ?..”

” අයියේ නෑ .. අනේ  මේ අඬන එක නවත්තගන්නකෝ අයියේ …ප්ලීස් අනේ ..අයියේ ..”

” මම .. මම එච්චරට නරක මිනිහෙක්ද  නංගී ?…”

” මොනවාද අයියේ මේ අහන්නෙ ?..”

විහඟි උන්නේ තමාගේ සිත තුල වන සිතුවිලි පවසා ගන්නට නොහැකිවය. චරකට තමා පැහැදිලි කර යුත්තේ කුමක්දැයි  ඇයට සිතා ගන්නට හැකි වූයේ නැත.

” මං හින්දා , ඔයා මෙච්චර ආතතියෙන්ද ජීවත් වෙන්නේ නංගි ?… මං..  මං ඔයාව එච්චරටම මේ ගේ ඇතුලේ තනි කරලාද ?…”

විහඟි චරකට යහනමත ඉඳගන්නට සැලැස්වූවාය ඔහු ගේ හිස තම කුසට වත්තන් කරගත්තාය. චරකගේ දෑත් සැනින් ඇගේ කුස වටා පැටලුණි. 

” තාත්තා එක්ක තරහ වෙන්නෙපා පැටියෝ අම්මාව මේහෙම අඬවනවාට ..”

චරක ඇගේ කුස සිඹිමින් පවසද්දී විහඟිගේ  හැඬුම් දෙඟුණ විය.

” අයියේ … අනේ මේ කතාව ඇති … මං . මං ඔයාට මගේ ජීවිතේ අතෑරලා ආදරෙයි අයියේ … මං අදරෙයි …. ඔයාව ඉස්සෙල්ලම දැක්ක දවස් වල ඉඳන්ම .. ඒත් මම දන්නවා ඔයාට  මාව එහෙම ආදරේ කරන්න තරම් විශේෂයක් පෙනුනේ නැහැ කියලා . මට ඒකෙන් කමක් තිබුනේ නෑ.. මං ඔයාට ආදරේ කලා..ඔයා දිහා ආදරෙන් බලන් හිටියා.පස්සේඔයා සිංගප්පූරු ගිහින් ඇවිල්ලා මා එක්ක ටික ටික කිට්ටු වෙනකොට, ඔයා ලඟින් මට ඉන්න දෙනකොට මට දැනුනේ මම මුලු ලෝකෙම දිනලා වගේ… ඒත් .. ඒත් මට මගේ අඩුපාඩු නොදැනුනා නෙවෙයි අයියේ .. හැබැයි මම හිතුවා මගේ ආදරෙන් ඒ ඔක්කොම යට වේවි කියලා … 

……. ඔයා වෙන වෙන අයව ආශ්‍රය කරන බව දැනගත්ත හැම දවසකම රෑට මං ඔයාව මගේ ජීවිතේ හිර කරගන්නේ නෑ කියලා හිතුවා … ආයෙම උදේට ඔයා ඉස්සරහදි මම දිය වුනා.. …. මට ඔයාට ආදරේ කරනෙක නවත්තගන්න බැරි උනා අයියේ … මං දන්නවා ඔයා මාව බැන්දේ දරුවා නිසා කියලා.. චායා ඔයාට බල කරන්නැති .. ඔයාට මාව අමතර වගකීමක් , බරක් විතරයි කියලත් මට තේරෙනවා.. සමහරවිට ඔයාට පොලිටිකල් වලින් තව අඩියක් ඉස්සරහට තියන්න තිබුණා ඒ පැත්තට උන්න කෙනෙක් බැන්දානම් …ඔය ඔක්කොම මට තේරෙනවා අයියේ ….ඒත් ..”

චරක කිසිත් කීවේ නැත. ඕ පවසන සියල්ලම ඇත්තය. ඕ පවසන්නේ තමා පැවසූ දෑය. තමා ඇඟවූ දෑය. ඉතින් දැන් ඇයට ඒවායේ දිග පළල පැහැදිලි කිරීමට යෑමෙන් පලක් නැත. වඩා වටින්නේ ක්‍රියාවෙන් ඇඟවීමය. ඇයට දැනෙන්නට හැරීමය. තම දෑත් අස්සේ ඇයගේ ලෝකය ඇති බව ඇඟවීමය. තමා හා සස්මිත සැසඳෙන්නේය. ඔහු සැබැවින්ම චායාට පෙම් කරනවා නොවේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here