” උඹ මොකක් හරි ඩ්‍රග් සීන් එකකට මාට්ටු වුනාද උඹ සිංගප්පූරු යන්න කලින් .. හරියටම උඹ ෆ්ලයි කරන්න දවස් දෙක තුනකට කලින් …”
චරක ගේ දෑස් විසල් වූයේය. මුව විවරව ගල් ගැසුණා මෙන් දැනුනේය. මිතුරා කිසි වගක් නොමැතිව තවත් කොමඩු කැබැල්ලක් මුව තුල රුවා ගන්නවා දුටු චරක තමා කලබල විය යුතු නොවන දෙයකට කලබල වූවාදැයි කල්පනා කලේය. මිතුරා පෙන්වන සැහැල්ලුව තමා සතු නොවන්නේ මන්දැයි කල්පනා කලේය.
” ආ චරක … උඹ එකපාරටම අර සිංගප්පුරු ගිය සීන් එක මොකක්ද ?..”
මිතුරා දෙවන වරටද එලෙසින් විමසද්දී, චරක මිතුරා දෙස වඩා විමසිලිමත් බැල්මක් හෙලුවේය.
” මොකක්ද දැන් උඹ අහන්නේ ?..”
” මේක උඹයි මමයි අතරේ විතරයි චරක … ආයේ මං මෙව්වා කොහෙවත් කිය කියා යන්නේ නැහැ .. ඒත් මේ කෑල්ලත් හරියට දැනගන්නේ නැතුව, මට මේ හොයාගත්ත ටික එකට පූට්ටු කරගන්න විදියක් නැහැ .. උඹට තේරෙනවානේ මම කියනෙක … මේක තමයි ඉම්පෝර්ටන්ට්ම සීන් එක …”
” මට තේරෙන්නේ නෑ උඹට මොකක් වෙලාද කියලා.. අනෙක, මේ අවුරුදු ගානකට කලින් වෙච්ච එව්වා ගැන අහලා, උඹ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ?..”
චරක එවර දැඩි වූයේය. මිතුරාගේ රැකියාව අනුව ඔහුට මේවා කුණු ගොඩවල් නොව සාක්ෂින් ය. එහෙත්, තමාට දැනෙන්නේ අතීතයේම වළදා දැමූ කුණු ගොඩක් ගොඩ දමන්නට සූදානම් වන බවය.
” උඹට මම ඒක පැහැදිලි කරන්න නම් උඹ මගේ ප්‍රශ්නේට උත්තරයක් දෙන්නම වෙනවා…”
මිතුරා උන්නේ චරකව සැකකාරයෙකු ලෙසින් ගෙන ප්‍රශ්න කරනා මට්ටමකය. චරකට තමා ඉක්මවා යන්නට ඉඩ නොදී ඔහු නතු කරගන්නට මිතුරා දන්නා උපක්‍රම යොදමින් උන්නේය. අවසානයේ චරක පරාජය පිළිගත්තේය.
” හරි … ඔව් .. එහෙම ප්‍රශ්නයක් උනා..”
” කොහොමද ?..”
” පොඩි පාර්ටි එකක් තිබ්බා මවුන්ට් ලැවීනියා වල.. රට ඉඳලා ආව සෙට් එකක් එක්ක … රැයක් තිස්සේ ආතල් ගත්තා . එතන නොතිබ්බ දෙයක් නෑ…කෙල්ලො.. ඩ්‍රග්ස් .කෑම .. කෙල්ලෝ. ආයෙම ඩ්‍රග්ස් .. කෑම ..බිම … ඔක්කොම… එතන ඔක්කොම වගේ දන්න උන් උන්නේ.. නොදන්න කියලා උන්න අයත්, අපේ උන්ගේම යාලුවෝ ..පස්සේ එහෙම එකෙක් සෙට් වෙලා මාත් එකක් පැයක් විතර සෙට් වුන…
ඌ කිව්වා ඌ ලඟ බඩු වගයක් තියෙනවා… ඒක පානදුරේට යවාගන්න ඕනි කියලා … ඌට එවෙලේ හොඳටම වැඩි .. මං උගේ බයික් එකෙන් වැඩේට ගියා.. බඩු මාරු කරනකොටම මාට්ටු වුණා.. මං ස්ටේෂන් එකට රිංගලා හොරෙන්ම කෝච්චියේ එල්ලුණා… මොරටුවෙන් බැස්සා.. එහෙමම ගෙදර ආවා… ඇවිල්ලා තාත්තාට කිව්වා… එතනින් පස්සේ හැමදේම හරි ඉක්මනින් වුනා..”
චරක මිතුරා දෙස බැලුවේය. ඔහු බලා සිටින්නේ තමා පවසන හැම වචනයක් වෙනුවෙන්ම වග විය යුතු බව අඟවමින් බව පෙනෙයි. චරක ඉන් එහා කිසිවක් නොපවසා බලා උන්නේය.
” උඹ තවම මට ඕනි කෑල්ලට ආවේ නෑ බං . තව එකක් කඩපං …”
” නෑ ඕන් නෑ.. උබ දැනටම මාව සම්පූර්ණෙන්ම වෙරි කරවලා වගේ තියෙන්නේ.. මට තේරෙන්න්නේ නෑ යකෝ උඹ මේ මොකකටද ලෑස්ති වෙන්නේ කියලා …..”
” උඹ ඉතින් කියලා හිටිංකෝ ..”
” ඊට පස්සේ එහෙමට දෙයක් උන් නෑ බං .. උන් නෑ නෙවෙයි, වුන දේවල් මම දන්නේ නෑ .. තාත්තයි , ඔය අපි කීව විජේසිරි කියන අංකලුයි ඔක්කොම බලාගන්නම්, මට රට ගිහින් ඉගෙනගෙන එන්න කියලා කිව්වේ…
මම දැනගෙන උන්නා බව ඩ්‍රග් ඩීලින් කියන්නේත් ලේසියෙන් ගොඩ එන්න පුලුවන් චාන්ස් එකක් නෙවෙයි කියලා…මොකෝ එතන මාට්ටු වුනේ පස්සේ කිලෝ දෙකක්ද කොහෙද ? ඒක ලේසියෙන් ගොඩ එන්න පුලුවන් චාන්ස් එකක් නෙවෙයි… . ඒ වුනාට තාත්තලා මාව කොහොමහරි රට යැව්වා බං.. මං සත්තකින්ම දන්නේ නෑ තාත්තලා පොලිසියේ ඇටෙන්ෂන් එක මගෙන් ඈතට කරන්න ගහපු ගේම මොකක්ද කියලා…. මට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ කොහොමහරි.. මම ඒ ගැන ඇහුවෙත් නෑ….”
මිතුරා හිස සැලුවේය. චරක දන්නා කොටසට තමා දන්නා කොටස හා කල පසු බොහෝ දෑ විසඳෙන්නේය. චරක නොඉවසිල්ලෙන් තවත් බියර් කෑනයක අඩක්ම හිස් කලේය.මිතුරා චරකගේ ඉරියව් සියුම්ව අධ්‍යනය කලේය.
“මොකක්ද බං වෙලා තියෙන්නේ..”
” උඹ හරියට උඹේ කතාව ඇනලයිස් කරලා තියෙනවා චරක ….. ඩ්‍රග් ඩීලින් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි … ඒ වගේම හිත හොඳ කොල්ලෙක් ඩ්‍රග් ඩීල් කරනවා කියන්නේ ඒක කොහෙත්තම ලේසි නැ ..”
” අනේ කියන අටමඟලක් තේරෙන්න කියපං බං …..උඹ මාව වටේ යවන එකනේ කරන්නේ …”
” හිටහං..උඹේ මොලේ කුරුවල් නොවෙන්න මෙ කතාව ලස්සනට කියාගන්න විදියක් හොයන්නේ මම ..”
” කුරුවල් වෙන්නේ මගේ ඔලුව නේ..උඹ කියහං..”
” උඹම කියනවා නේද චරක… එදා ඒ දවසේ එතන සෑහෙන ප්‍රමාණෙක ජාති තිබ්බා කියලා.. ඒ මාට්ටු වුන ප්‍රමාණේ හැටියට උඹට කිසි කේස් එකක් නැතුව රටින් පිට වෙන්න හැකියාව ලැබුන එකත් සිතාගන්න බැහැ …
“ඔව් ..”
” මචං.. අන්න එතන තමා පොයින්ට් එක …. උඹට කලබලයක් කරදරයක් නැතුව, හරිම කූල් එකේ රටින් පිටට යන්න ඉඩ හැදුනේ උඹ වෙනුවෙන් ඒ වරද භාරගන්න කෙනෙක් ආව නිසා..”
” වට් ?…”
” උඹ ඔහොම මූන හදාගන්න එපා බං .. එතකොට මටත් අවුල්… එහෙම නෙවෙයි … මං මේ කියනෙක අහපං..”
“අනේ සුරේ මේ… ආයේ වටේ යන්නේ නැතුව කියහං…”
‘
” මචං … මම හොයලා බලපු, දේවල් වලට පස්සේ මට තේරුම් ගන්න තියෙන කාරණෙ මේකයි… අර සස්මිත කියන්නෙ එදා ඔයාට ජීවිතේ අල්ලගන්න, එයාගේ ජීවිතේ බිලි දුන්න කොල්ලා ……”
තමාට ඇසුනේ කුමක්දැයි චරක යලි ස්මරණය කලේය.
” මචං … මම හොයලා බලපු, දේවල් වලට පස්සේ මට තේරුම් ගන්න තියෙන කාරණෙ මේකයි… අර සස්මිත කියන්නෙ එදා ඔයාට ජීවිතේ අල්ලගන්න, එයාගේ ජීවිතේ බිලි දුන්න කොල්ලා ……”
චරක හොල්මනක් දුටුවාක් මෙන් ගැස්සුණේය. ගත තුලින් දැවීම දැනුණි. අතෙහි වූ අඩක් පිරී තිබූ බියර් කෑනය ගිලිහුණේය. මිතුරා චරකට ඉඩ දී බලා උන්නේය. මේ සත්‍ය පිළිගැනීම පහසු නැත.
” මො ..මො..කද්ද .. බං… ඒ කියන්නෙර් ?..”
“කතාව සියට දාහක් ඇත්ත …. කොල්ලා උඹ වෙනුවෙන් බිලි උනා..!
“ඒත් යකෝ.. ඇ..යි .. ඇයි…?”
“ඒක හොයාගන්න ඕනි… ඒක දන්නේ දෙන්නයි.. එක්කෙනෙක් සස්මිත …අනෙකා උඹලෑ තාත්තා… මොකද දැන් විජේසිරි ජීවතුන් අතර නෑ..”
චරක විදුලි වේගයෙන් නැගිට්ටේය.


