අංගාර – 93

0
1489
angara


චරක නිවෙසට නොපැමිනෙන බව නොදැන උන් විහඟි, ඔහුට කිහිප වතාවක්ම ඇමතුම් ගත්තාය. පිළිතුර් නොලැබෙද්දී ඇය යම් නොසන්සුන් බවකටද පත් වූවාය.

” ඔයා නිදාගන්න ළමයෝ .. එයා ඒවි .. දැන් දොළහටත් වුනානේ..”

දෙපා පිරිමදිමින් සාලයේ අසුනක හිඳ උන් විහඟි වෙතට ඇවිද එමින් අම්මා කීවේ, ඇය වෙත මද උණුසුම් කිරි තේ කෝප්පයක්ද පාමිනි. විහඟි අම්මාට ස්තූතිවන්ත සිනහවක් පාමින් කිසි තේ කෝප්පය අතට ගත්තාය.

” දවල් නිදාගත්තානේ අම්මේ.. නිදිමත නෑ.. අයියත් ආවහම එහෙමම නිදාගන්නම් … අම්මා සැරෙන් සැරේ ඇහැරෙන්නේ නැතුව නිදාගන්නකෝ.. චායත් මෙච්චර වෙලා ඉඳලා ආයේ වොශ් එකක් දාගෙන එන්නම් කියලා ගියේ…”

අම්මා අවට විමසිල්ලෙන් බැලුවාය. විහඟි ඇය විමසනට සූදානම් වන්නේ කුමක්දැයි සිතා ගන්නට උත්සාහ කලාය.

” චායා අර ළමයා ගැන මුකුත් කියන්නේ නැද්ද ?..”

” එහෙමට මුකුත් කිව්වෙ නෑ අම්මේ… එයා කවදාවත් සමාව දෙන්නේ නෑ කියලා තමයි කියන්නේ… එයා කොච්චර වුනත්, එක හිතින් බලන් උන්නානේ.. ඒ කොල්ලා කරලා,කියලා තියෙන දේ එයාට දරාගන්න අමාරුයි .. එකපාරම හිත හදාගන්න බැරි වෙයි .. ඒත් චායා මෝඩ වෙන එකක් නැහැ අම්මේ…”

” රට යන එක ගැන ඇහුවද ?..”

” තවම ඉක්මන් වැඩියිනේ අම්මේ මොක කතා කරන්නත් එහෙම … ඉස්සෙල්ලම චායාට කරන්න ඕනි දේ තීරණය කරන්න දෙමු …අයියත් ඉන්නවානේ..”

” ඔය ස්ටුඩියෝ කෙරුවාවට යන්නෝනි නැහැ කියන්න දුව … ඒක චායාට හරියන වැඩක් නෙවෙයි … අර ළමයා එක්ක රවුම් ගහන්න තියාගත්තේ ඔය කෙරුවාව හින්දානේ..”

” එහෙමම නෙවෙයිනේ අම්මේ…”

විහඟිට එලෙස කතාව අරඹන්නට පමණක් ඉඩ ලැබුණි.  ස්වයංක්‍රීය ගේට්ටුව  විවෘත වන හඬ ඇසුණි. ඉන් පසුව චරකගේ කැබ් රිය මිදුලට ඇතුලු වුණ හඬ ඇසුණි.

” ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණි ගෙදර දාලා මිනිහා එන වෙලාව…”

අම්මා එලෙස පවසමින් දොර විවෘත කරන්නට ඉදිරියට ගියාය.  විහඟි කිරි තේ කෝප්පය එක  හුස්මෙන් අවසන් කලාය. දොර විවෘත කල අම්මා එක්වරම තිගැස්සී ගියේ, නන්නාදුන පුද්ගලයෙකුට වාරු වී පැමිණෙන චරක දැකය. කිනම් ගැටලු වූවද, ඔහු එලෙසින්  වූයේ නැත. බීමත්ව නිවසට පැමිණි දවස් තිබුනද, චරක සීමාව ඉක්මවා ගොස් නොතිබූ බව අම්මා දනී. අම්මා ආපසු හැරී විහඟි දෙස බැලුවාය. ඕ උන්නේද ඉදිරි දොර දෙස දෑස් අයාගෙනය. චරක මේ ආකාරයෙන් දැකීම තුළ ඇයද කලබල වෙයි.

” හරි ..බං… ඇති .. මේක.. මගේ .. ගෙදර.. යකො… යකෝ … මට ..පුලුවන් … තනියෙන් .. ඇවිදන් එන්න … කෝ..මේ කෙලින් පාර ..යන්න තියෙන්නේ.. යකෝ …”

විහඟිටද ඒ උස් හඬ ඇසුණි.  ඕ අසුනට එක් අතක් බර කර, කෝප්පය අසුනේම පසෙක තබා කුස පිටුපසින් ඉණට වනසේ අතක්ද තබාගෙන නැගිට්ටාය. ඉදිරි දොර දෙසට ඇවිද ගියාය.

ඒ වනවිටද චරකව වත්තන් කරගත් මිතුරා ඔහුව නිවස තුලට ඇතුලු කරගන්නට උත්සාහ දරමින් උන් අතර, අම්මා ද චරකව අල්ලා ගන්නට උත්සාහ කරම්න් උන්නාය.

” මේ.. මාව අල්ලනෙප්පා .. මට පුලුවන් …”

අම්මා චරකට බැණ වදිමින් ,පහර කිහිපයක්ද ගැසුවාය.

” අනේ බොහොම ස්තූතියි පුතේ ..පුතා දැන් කොහොමද යන්නේ ?..”

මිතුරා ඒ සියල්ල ගැටලුවක් නොවන බව පවසා, චරකට මදක් නින්දට ඉඩ සකසා දෙන ලෙසද පවසා නික්ම ගියේ, විහඟි සෙටියේ චරක අසලින්ම හිඳගනිද්දීය. හඬ ඇසී චරකගේ පියා , චායා මෙන්ම නින්දේ උන් නිවසේ උදව්වට සිටින පිරිසද සාලයට විත් උන් හ. පියා උන්නේ කෝපයෙනි. චායා විහඟි දෙස බලා කුමක් සිදු වීදැයි ඇය දන්නවාදැයි දැනගන්නට උත්සාහ කරමින් උන්නාය.  

” දෙහි එකක් හදලා ගෙන්න..”

අම්මා අත් උදව්වට සිටින කාන්තාවකට පැවසූවේ , ඔවුනට එතනින් ඉවත්ව යන්නයැයි යන වචනයද  සඟවා පවසමිනි.

” මොකක් වෙලාද මූට ?.. කැබිනට් ඇමති කෙනෙක් කියලා අමතක වෙලාද ?.. අනිද්දා සාර්ක් ගේම්ස් වල ඉනෝගරල් එක තියාගෙන , පිස්සෙක් වගේ බීගෙන මොකක්ද මේ මු කරන්න යන්නේ ?… අන්තිමේදි කරපු හැමදේම නැතිම වෙලා යන එක විතරයි වෙන්නේ?.. පිස්සෙක් වගේ වැඩ කරන්නෙපා මිනිහෝ .. තමුන් දැන් කිරි දරුවෙක්ට තාත්තෙක් වෙන්න ඉන්න මිනිහෙක් නේද ?/…?”

තාත්තා වේලාව පිළිබඳවත් නොසිතාම උස් හඬින් බැණ වැදුණේය. චරක එක්වරම අසුනේ කෙලින් වී හිඳගෙන  තාත්තා වෙත දබරැඟිල්ල පෑවේය.

” අන්න .. අන්න කියවුණා… මොනවාද දැන් නැති වෙලා යන කරපු හැමදේම .. මං බිව්වා කියල නැති වෙලා යන්නේ මොනවද ?… කියන්න බලන්න මට දැනගන්න එක්ක …කෝ ..”

” මෙන්න මේ පිස්සව බාත් රූම් එකටවත් දාලා නිදාගන්න දුව ..”

තාත්තා එලෙස පවසමින් යන්නට හැරුනද, චරකගේ උස් හඬ වඩා ප්‍රබලව නැගුනේය,

” මගේ ප්‍රශ්න වලට උත්තර දෙනකල්, කවුරුත් යන්නේ නෑ කොහේවත් … කවුරුත් යන්නේ නෑ…”

තාත්තා ආප්සු හැරි බැලුවේ, චරකට පහර දෙන්නට තරමේ කෝපයකින් බව චායාට ද වැටහුණි.

” අනේ අයියේ මේ… තමන්ට පුලුවන් ගානට ඕනි ඔක්කොම දේවල් කරන්න .. ඔයාට වැඩි .. දැන් වොශ් දාලා, ලයිම් එකක් බීලා නින්දක් දාන්න .. හෙට ඔය මොන ප්‍රශ්නේ වුනත් කතා කරමු .. දැන් විහඟිත් ඇහැරිලා නින්දක් නැතුව.. එයාගේ හෙල්ත් එක ඔයා දන්නවානේ.. නිදි මරන එකෙන් ප්‍රෙශර් නඟින්න පුලුවන් .. සෝ ..යමූ ..”

චායා විහඟි උන් පස මඟැර අනෙක් පසින් විත් චරකව නැගිටුවා ගන්නට උත්සාහ් අකලාය. එහෙත් චරකගෙන් එයට ඉඩක් ලැබුනෙ නැත. ඔහු ඕ තමා වෙතට වැටෙන සේ ඇද ගත්තේය. ඕ වඩා තදින් තමා වෙතට නතු කරගත්තේය.

” මගේ නංගී ..”

එය චරකගේ බීමත්කම නිසාවෙන් හටගන්නනා ස්වරූපයක් බව සියල්ලෝම සිතූහ.

” මගේ රත්තරන් නංගි .. මට සමාවෙන්න මගේ නංගී ..”

චරක යම් උස් හඬකින් එලෙස පවසද්දී, විහඟි යමක් වටහා ගන්නට උත්සාහ කලාය. චායා චරකගෙන් මිදී ඔහු නැගිටුවා ගන්නට උත්සාහ කලාය.

” කෝ අයියේ.. ඔයා මෙ විහඟිවත් බය කරනවා..”

” මට සමාව දෙනවාද නංගී ?.. රෝස මල වගේ ඉන්න තිබ්බ ඔයාගේ ජීවිතේ මෙච්චර අමාරු කටු අත්තක් කලාට…”

චායාට මද සිනහවක් නැගුණි. අයියා බීමත්බව ඉක්මවා ගිය විට මෙතරම් සාහිත්‍යකාමී වන බව දැන උන්නේ නැත.

” ඔව් ඔව් … ඉස්සෙල්ලම නැගිටින්නකෝ..”

තාත්තා සහ අම්මා  තිදෙනාටම බෑණ වදිමින් එතැනින් ඉක්ම ගියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here