අංගාර – 94

0
1
angara


” මට සමාව දෙනවාද නංගී ?.. රෝස මල වගේ ඉන්න තිබ්බ ඔයාගේ ජීවිතේ මෙච්චර අමාරු කටු අත්තක් කලාට…”

චායාට මද සිනහවක් නැගුණි. අයියා බීමත්බව ඉක්මවා ගිය විට මෙතරම් සාහිත්‍යකාමී වන බව දැන උන්නේ නැත.

” ඔව් ඔව් … ඉස්සෙල්ලම නැගිටින්නකෝ..”

තාත්තා සහ අම්මා  තිදෙනාටම බෑණ වදිමින් එතැනින් ඉක්ම ගියහ. විහඟි නම් උන්නේ, යම් නපුරක් සිදුව ඇතැයි යන විශ්වාසය සමඟය. එහෙත් මතක ඇති කාලයට කිසිවෙකුගේ කර මතින් මෙතරම් බීමත්ව චරකව නිවසට රැගෙන ඒමට තරම් සවස් වරුවේ ඔහුට මුහුණ දෙන්නට සිදුවුණ නපුර  කුමක්දැයි ඇයට වැටහුණේ නැත. චායා විහඟිට පසෙකට වන ලෙස සන් කලාය. අසිරුවෙන් චරකව නැගිටුවා ගත්තාය. උඩු මහලට රැගෙන යෑම පහසු නොවූවත්, අසීරුවෙන් උඩු මහලේ කාමරය තෙක්ම රැගෙන ගියාය. විහඟි දෙහි වීදුරුව රැගෙන එන විට චායා උන්නේ චරකගේ පාවහන් ගලවමිනි.

” මූට කන්න දෙන්නෙපා මෙච්චර …ඌරෙ ක් වගේ බරයි ….මට නිකන් හුස්ම හිර වෙන්න වගේ..”

චායා විහඟිට ආඩපාලි කීවාය. චායා පෙන්වන්නේ නොමැති සැහැල්ලුවක් බව විහගිද දනී. චායාගේ අභ්‍යන්තරය ගැහෙන්නේ කෙලෙසකදැයි විහඟිට නොදැනෙනවා නොවේ. සස්මිත ගේ චර්‍යාව වටහා ගැනීම ඇයටද අපහසුව ඇත. සස්මිත  විවාහක  බව පවසමින් සිදු කරන රංගනය සැබෑවක් නොවන බව දැනටම චායා විශ්වාස කරන්නීය. එසේනම් ඕ සිතාගත නොහැකිව ඇත්තේ, සස්මිත එලෙසින් ඇය මඟ හැරීම සඳහා හේතුවක් සකසා ගත්තේ ඇයිදැයි කියාය.

“අයියේ ..කෝ … විහඟිට බෑ ඔයා එක්ක ඔට්ටු වෙන්න .. යං බාතෲම් එකට … කෝ ඉස්සෙල්ලම මේක බීලා ඉන්න … ඕක දෙන්න මෙයාට බොන්න ..යසයි ස්පෝර්ට්ස් මිනිස්ටර් … ඔයා මං එහෙ ඉද්දී නම් ඒ නාඩගම් නැටුවේ නෑ අයියේ …මොකක් වෙලාද මේ?.. විහඟිගේ අන්තිම මාසේ..ඔය ඔහොම හැසිරෙන්න ගත්තම හරිද ?..ප්‍රශ්නෙකට නම් බිව්වේ, දැන් උත්තර හම්බෙලාද ?…”

චායා චරකගේ කමිසය ගලවා දැම්මාය. විහඟි දෙහි යුෂ වීදුරුවද ගෙන චරක අසලින් හිඳත්තාය. අවුල්ව තිබූ හිසකේ සැකසුවාය. චරක ඇගේ දයාබරබව සේම, චායාගේ හඬද ඉවසා උන්නේ අපහසුවෙනි.

” අයියේ .. නාගෙන එන්න … අපි නිදාගමූ …”

චරකගේ මුවට දෙහි යුෂ වීදුරුව ළං කරමින් විහඟි පවසද්දී, චරකගේ ඉවසීම ඉක්ම ගියේය. ඕ වහා ඇගේ උරිස්සට මුහුණ ඔබා ගත්තාය. දෙහි යුෂ වීදුරුවේ අඩක්ම ඉහිරී ගියේය. චායා චරකට බැණ වදිමින්ම වීදුරුව විහඟිගේ අතින් ගත්තාය.

” මොන විකාරයක්ද මේ …”

චායා චරකව විහඟිගෙන් පසෙකට කරන්නට උත්සාහ කලේ, ඇය හිඳ උන් ඉරියව්ව සහ චරක උන් ඉරියව්වෙන් සියලු බර විහඟිට බව වැටහුනු නිසාය. එහෙත් විහඟි චරකව දරා ගත්තාය.

” ඉන්න දෙන්නකෝ චායා …”

” ඉස්සෙල්ලම නාලා එනවකෝ අයියා .. මේ කෙල්ලට ඔය ස්මෙල් එකත් අවුල් වෙයි..බලනවකෝ තමුසේ ඇග මළ ගඳයිනේ…”

එවර චරක එක්වරම නැගිට්ටේ  චායාද පසෙකට විසිව යන වේගයෙනි. එහෙත් ඔහුට තනිව සිටගෙන සිටීමට තරම් සිහියක් තිබුණේ නැත. ඔහු දෙපසට වැනෙමින් චායා පසෙක තබා තිබූ දෙහී යුෂ වීදුරුව ගෙන එය හුස්මට බීවේය. හිස් වීදුරුව චායා වෙත පෑවාය. ඔහුගේ වතෙහි වූයේ යම් විසිලුකාරයෙකුගේ පෙනුමකි.

” යන්න ..නාගෙන එන්න ..”

චායා බලෙන්ම චරකව නාන කාමරය තුලට තල්ලු කලාය. තුවාය කොහිදැයි විමසා එයද දුන්නාය

” අයියේ .. දොර ලොක් කරගන්න එපා …”

 විහඟි එලෙසින් පවසද්දි චායා ඇයට බැණ වැදුණාය.

” තව හුරුතල් කරපං …අද ආවේ කරෙන් ..ඊළඟ දවසේ එයි බඩගාගෙන ..”

” කෑ ගහන්නෙපා චායා .. අයියා වෙනදාට ඔහොම නැහැනේ… මොකක් හරි ඔලුවට දරාගන්නම අපහසු ප්‍රශ්නයක් එන්න ඇති .. ඔයා ඔහොම කෑ ගහන එකෙන් එයා තව අවුල් වෙනවානේ… ඒ නිසා කෑ ගහන්නෙපා… එයාට ඉන්න දෙන්නකෝ ඔහොම .. ටිකක් නිදාගෙන නැගිට්ටම මට කියාවි ..”

” අනේ මං දන්නේ නෑ විහඟි … උඹට පිස්සු කියන්න හිතෙන්නේ නෑ.. එහෙම බැලවොත් මට ඊට වඩා පිස්සුනේ.. ඒත්, අයියාව ඔහොම නළවන්නෙපා විහඟි … උඹ දැන් තනි කෙල්ලෙක් නෙවෙයි .. තව ටික දවසකින් ඔය දරුවාගේ අම්මා ..අර තාත්තා ..උඹලා දෙන්නාට දෙන්නා, එක එක ගිණි හංගගෙන ඉන්නෙකෙන් දරුවා තැලෙන්නේ… පේනවානේ මට වෙලා තියෙන එක … හරි හෝ වැරදි මාව කොච්චරක් යූස් වෙලාද සස්මිතට … මං කොච්චර ආදරේ කලත්, එයා මොකක්දෝ ඩීල් එකක කියලා තේරෙනවා නේද ?.. එයා ආයේ ආවම මුකුත්ම අහන්නේ නැතිව මම එයාව බඳාගත්තට මට ළැබෙන පනිශ්මන්ට් එක විහඟි මේ.. මගේ පපුව පැලෙන්න එනව.අ. හුස්ම හිර වෙනවා.. ඒත්, මං ජිවත් වෙන්න උත්සාහ කරනවා.. ඇයි සස්මිත මෙහෙම කරන්නේ කියලා මට දැනගන්න ඕනි නිසා…

අයියත් දැන් මේ යන පාර එච්චර හොඳ නෑ විහගි … ඒක ඔයා දැන්ම හරි පාර කරගන්න .. එහෙම නැත්නම් ඒ වැරදි පාරෙත් එයා පස්සෙන් ඔයත් යන්න …  අයියගෙයි ඔයාගෙයි දිහා මම බලාගෙන ඉන්නේ විහඟි .. අයියා ඔයාට සලකන සමහර විදි , මට බය හිතවනවා….”

විහඟි චායාගේ අතින් අල්ලා ගත්තාය. චායා පවසන්නේ කුමක්දැයි නොවැටහෙනවා නොවේ. චරකගේ ජීවිතයේ තමාට ඇති ඉඩ සහ තමාගේ ජීවිතයේ ඔහුට ඇති ඉඩ අතරේ මහා හිඩැසක් ඇති බවද ඕ දනී.

” චායා…”

” ඔව්වා නොහිතා ඉමු .. ඉස්සෙල්ලම මෙයාව පරෙස්සමට එක්ක එමූ ..”

” උඹ දුක් නොවී ඉන්නෝනා චායා … සස්මිත මෙහෙම කරේ ඇයි කියලා අපි හොයාගමූ . සමහරවිට අයියා මේ මොකක්ම හරි දෙක ගැන දන්නවා වෙන්න පුලුවන් .. මම අහලා බලන්නම් …”

” අයියා මොනවා දැනගන්නද විහඟි ?.. එයාට සස්මිතව මගෙන් ඈත් කරන්න උවමනා වුනා නම්, එයා ඔහොම නාටක කරන්නේ නෑ .. එක වතාවෙන් සස්මිතව කතාවෙන් අයින් කරනවා..”

චායා විහගිගේ හිස පිරිමැද්දාය.  ඉහිරී තිබූ දෙහි යුෂ විදුරුවේ අඩ පිරිසිදු කලාය.

චරක කාමරයට පැමිණියේ  තෙත හිසකේ සමඟිනි. ඔහු තුවාය හැඳ උන්නේය. නාන කාමරයෙන් පිටතට විත්, කුමක් කල යුතුද සිතා ගත නොහැකිව මෙන් සිටගෙන උන්නේය.

චායා ඔහුව ඇදගෙන විත් යහනේ අනෙක් පසට තල්ලු කලාය. සරමක් ගෙන හිසෙන් පහලට දැම්මාය.

” ආහ් ..උඹේ මිනිහාගේ කොණ්ඩේ පිහිදලා නිදි කරවා ගනින් .. ඔය සරම ඇඳගන්න … “

චායා එලෙස පවසමින්, කාමරයෙන් පිටතට යන්නට හැරුණාය. චරක ඇගේ අතකින් අල්ලා ඕ නවතා ගත්තාය. උන් ඉරියව්වේම හිඳගෙන ඇය දෙස හෙලුවේ, චායාට වටහා ගන්නට නොහැකි බැල්මකි.

” නංගී ..”

එහී වූයේ යම් කෙඳිරුම් හඬකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here