අංගාර – 96

0
2
angara


විහඟි චරක නින්දට වැටෙන තෙක්ම හිස පිරිමදිමින් පිරිත් කීවාය. මුළදී අගක් මුලක් නොවැටහෙන සේ නේක දේ කියවූ ඔහු විනාඩි පහලොවක්  ඉක්ම යන්නත් පෙර නින්දට වැටුනේය. විහඟි නින්දට වැටුනේ ඉන් පසුවය.

චායා පිරිටන් පෙත්තක් සහ මිතුරු වෛද්‍යවරයා ලවා ගෙන්වා ගත් ආතති කලමණාකරණය සඳහා උපකාරී වන පෙත්තක්ද  ද පානය කර නින්දට වැටුනාය.

පසුදින වඩා පළමුව ඇහැරුනේ චරකය. තමාගේ උණුසුම ඉතා ලෝබව විඳිමින් සිටින ගැහැණිය දෙස ඔහු ඉරියව්ව වෙනස් නොකරම බලා උන්නේය. හිස රිදුම මදක් ඇත.  එහෙත්, ඕ දෙස බලා හිඳින විට සියලු වේදනා ක්ශය්ව යන බව දැනෙයි.

ඇය තම ලෙය දරා, තමාද දරා හිඳිනවා නොවේද ?..

එක්වරම පසුගිය රැය සිහිව ආයේය අද දිනයේ විසඳා ගැනීමට ඇති ප්‍රශ්න සියල්ල කල් නොදමාම විසඳා ගත යුතුය. කිසිවක් සඟවන්නට නැත. සස්මිත සොයාගෙන මෙම ගැටළු විසඳීම කල් ගත වන ක්‍රියාවලියකි. මිතුරාගේ අනුමානයේ පරිදි මෙම කතාව මුල සිටම දන්නා පුද්ගලයා තම පියාය. එලෙසම ඔහුගේ අනුමානය තම පියා තමා වෙනුවෙන් වරද බාරගත් තරුණයා පිළිබඳව කිසිවක් නොදන්නවා ඇති බවය.   

පියා සස්මිත යනු කවරෙක්දැයි හඳුනාගන්නට නොමැති බව චරකද කල්පනා කලේය. විජේසිරි මහතා සස්මිතව තම පියාට හඳුන්වා දුන්නේ ඒ ආකාරයෙන් නොවේ. ඇතැම් විට එලෙසින් හඳුන්වා දුන්නා නම්, එය සස්මිතගේ  ජීවිතයට තර්ජනයක් වනු ඇතැයි විජේසිරි මහතා සිතන්නට ඇතැයි චරක කල්පනා කලේය.

“: ස්පෝර්ට්ස් මිනිස්ටර් වෙනුවෙන් හිරේ ගිය එකෙක්, උගෙ ඩ්‍රයිවර් වෙලා එනවා කියනෙක කිසි කෙනෙක් දැනගන්නෝනි නැහැ කියන එක විජේසිරි අංකල් හිතන එක සාධාරණයි .. තාත්තා, මම කියන්නේ හොඳම මිනිස්සු නෙවෙයි කියලා අංකල් දන්නවා… එහෙව් එකේ, සස්මිත කල දේ කියලාම ඌ එක්ක ආවොත්, මං කොයි වෙලාවක හරි ඌ මගේ ජීවීතේට , පැවැත්මට තර්ජනයක් කියලා හිතන්න පුලුවන් කියනෙක අංකල්ට නොතේරෙන්න විදියක් නැහැ.. ඒ නිසයි ඒක හංගන්න ඇත්තේ…

සමහරවිට , සස්මිත චායා වෙනුවෙන් මෙහෙ එන්න ඇත්තේ.. ඌ නංගිට එච්චරට ආදරේ කියනෙක ගැන සැකයක් නැහැ… මට නොතේරෙන කෑල්ල, විජේසිරි අංකල් ඇයි, ඌ වෙනුවෙන් එච්චරට ඇප වුනේ…? ඇයි එච්චරට වග වුනේ..?”

 චරකගේ සිතුවිලි සමග ගත ඉරියව්ව වෙනස් විය.  විහගි ඇහැරුනාය. ඕ අසීරුවෙන් යහනට බරව නැගිටගන්නට උත්සාහ කලාය.

“ අනේ මැණිකේ .. නැගිටින්න හදන්න එපා හොඳ කෙල්ල වගේ… මං කිරි එකක් අරගෙන එන්න …ම්ම්ම්.. එතකල් හාන්සි වෙලාම ඉන්නකො… ප්ලීස් ..”

එහෙත්, විහඟිට ඉන් පෙර තහවුරු කරගන්නට කාරණා කිහිපයක්ම විණි.

“ දැන් අමාරුවක් නැහැද අයියේ ?..”

“ මට හොඳයි මැණික … මං ඊයේ වද දුන්නා හරියට නේද ?..”

චරක අතකට බර වී, විහඟි මතින් දෑස් සොයා ගන්නට උත්සාහ කරමින් විමසුවාය. විහඟි, උන්නේ නිසොල්මන් වෙන්නට උත්සාහ කරමිනි.

“ මොකක්ද අයියේ වුනේ ?..”

විහඟි ඉන් පසුව සැනින් විමසුවාය. චරකගේ වත මත වූ වෙනස පෙනෙද්දී පවා , විහඟි දෑස් වෙනස් වුයේ නැත. චරක වහා ඇගෙන් ඉවතට වූවාය. යහනෙන් බිමටම බැස්සේය.

“ අපි කතා කරනවා මැණික … තේකක් බීලා, වොශ් එකක් දාලා, කාලා ..අපි කතා කරනවා… මං උඩටම කෑම ගෙන්නගන්නම් … අපි දෙන්නා එක්ක ඉන්පස්සේ පහලට යමු ..”

“ මං පහලට එන්නම් අයියේ .. මං නෑවිත් ඉද්දී අම්මා කලබල වේවි…. මට අමාරුවක් නැහැ…”

චරක විහගි වෙත දැඩි බැල්මක් පා කලේය. එහි වූයේ, ඔබ මගේ ගැහැණිය මිසෙක, අම්මාගේ දියණියක නොවන බැල්මය. ඉන් නොනැවතී ඔහු එය කීවේය. විහඟි මන්දහාසයක් දවටා ගත්තාය.

“ ඇඳෙන් බිමට බහින්නේ නෑ මම එනකල් ..”

චරක අවධාරණයද කලේය.  විහඟි හිස සැලුවාය. සිතට යම් සැනසුමක් දැනෙන බව ඕ අත්වින්දාය. චරක චායාගේ කාමරයට් එබුනේය. ඕ දොර  අගුළු දමාගෙන නොමැති විම සැනසුමක් සේ දැනුණි. ඇය නින්දේ බව  තත්පර කිහිපයක් ඇතුලත තහවුරු කරගත් චරක  පහල මාලයට බැස්සේය.

“ ලොකූට ඔයා තදින් කතා කරන්න මහත්තයා … මේක මේ ලේසියට අතාරින්න පුලුවන් දෙයක් නෙවෙයිනේ … අර දරුවා කොයි වෙලේද දන්නේ නෑ…. චායා ඉන්නෙත් අපිට මෙහෙමයි කියලා හිතාගන්න පුලුවන් තත්වෙක නෙවෙයි … අනේ ඇත්තමයි, අපිට සැනසීමෙන් ඇස් දෙක පියාගන්න වෙන්නේ නැහැ මෙහෙම ගියොත් ….. ලොකූ අර දරුවාව බලාගනීවි කියලා මට විශ්වාස නැහැ මහත්තයා…  වෙලාවකට මගේ පපුව රිදෙනවා, මගෙ කුසෙන් වදාපු දරුවෙක්ගෙන් , මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද කියලා.. වතාවක් අපි ඔක්කොටම එල්ලෙන්න වෙන දෙයකින් යන්තම් ගැලවුණා විජේසිරි නිසා..  ඒ සෙල්ලක්කාරකම් වල ඉවරයක් වෙන්නේ නැහැ මහත්තයා.. අඩුම, තමන් තව සති තුන හතරෙන් තාත්තා කෙනෙක් කියලා   කල්පනාවෙන් වැඩ කරන්න ඕනි නේද ?… .”

“ හරි හැටි මුකුත් නොදැන තීණ්දු තීරණ අරන්, කියවන්නේ නැතුව ඉන්න නෝනා…. කොල්ලා අතින් වරදක් වුනා,, ඒක හදාගෙන දැන් කොච්චර ඉස්සරහට ඇවිල්ලාද ?.. ඔය පරණ කුණු ආයේ අදින්න එපා..”

“ එහෙම නෙවෙයි මහත්තයා… මම මේ අපි දෙන්නා නිසා කිව්වේ.. මං ආයේ වෙන කොහෙවත් ඔව්වා කියවන්න යන්නේ නෑ..”

“ හ්ම් … පන්සලට ගිහින් එමූ … අර ළමයාට පිරිත් ටිකක් දේශනා කරගන්න ආරාධනා කරමු අපේ හාමුදුරුවන්ට …”

“ එහෙම කරමු මහත්තයා.. ඒ ළමයාත්, ඉන්නේ හිත හොඳින් නෙවෙයි …”

“ අපි අපේ එකා අතෑරියත්, විහගිව අතාරින්න හොඳ නෑ… මට චරක ගැන  ඉස්සර ඉඳන්ම පිටින් ආරංචි වෙච්ච සිද්දි විහඟි නොදන්නවා වෙන්න බෑ…එහෙව් එකේ ඒ කෙල්ල මූ මත්තෙම නැහෙන එක පුදුමාකාර ආදරයක් ..”

චරක ගේ පපුව හිර වෙන්නට ගත්තේය. අද සියල්ල දිග ඇරෙන දිනයයි. එහෙම දිනයක උදෑසන දෙමාපියන් එහෙම පිවිසුමක් ගෙන සිටීමද හොඳය. ඔහු උගුර පාදාගෙනම මුලුතැන්ගෙට ඇතුලු වූයේය. අම්මා සහ තාත්තා දෙස නොබලාම දෙදෙනාගේ කෝප්ප දෙක සේදුවේය.

කිරි  තේ නොනිවෙන සේ දමා තිබූ පෝච්චියෙන් කෝප්ප දෙක අඩක් ඉක්මවන සේ පුරවා ගත්තේය.

ඉනික්බිති, මුලුතැන්ගෙයින් පිටතට ආවේය.

“ අපි අපේ එකා අතෑරියත්, විහගිව අතාරින්න හොඳ නෑ… මට චරක ගැන  ඉස්සර ඉඳන්ම පිටින් ආරංචි වෙච්ච සිද්දි විහඟි නොදන්නවා වෙන්න බෑ…එහෙව් එකේ ඒ කෙල්ල මූ මත්තෙම නැහෙන එක පුදුමාකාර ආදරයක් ..”

පියාගේ කියවීම  යළි යළි දෝංකාර දෙන්නේය.

.. වතාවක් අපි ඔක්කොටම එල්ලෙන්න වෙන දෙයකින් යන්තම් ගැලවුණා විජේසිරි නිසා..  ඒ සෙල්ලක්කාරකම් වල ඉවරයක් වෙන්නේ නැහැ මහත්තයා.. අඩුම, තමන් තව සති තුන හතරෙන් තාත්තා කෙනෙක් කියලා   කල්පනාවෙන් වැඩ කරන්න ඕනි නේද”

අම්මාගේ ඇණුම් පද දෝංකාර දෙන්නේය.

ඒ සියල්ල තම පුද්ගලික දුර්වලතාවයන්‍ ය.

තවදුරටත්, එවැනි වැරදි , දුර්වලතාවයන් සඳහා ඉඩ ලබා නොදෙමි.

 සියල්ල හැකි උපරිමයෙන් සකසමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here