දහවල් ආහාරය නිමවා විදේශීය හවුල් කරුවන් කිහිප දෙනෙකු සමඟ මාර්ග ගත සාකච්ජාවකට එකතු වී සිටි සියත්‍ර හෝරාවකට පමණ පසු එයද නිම කරමින් නැවතත් ආරක්ෂක කැමරා පද්ධතිය දෙසට දෑස විතැන් කළේය. තුන් වල මහලේ සිට කලබලයෙන් පිටත් වී යන තරුණිය දුටු ඔහු වහා අත රැඳි ඔරලෝසුව දෙසට දෑස යොමු කළේය. සවස තුනේ කණිසමට තිබුණේ තවත් මිනිත්තු දහයක් පමණය . ඈ පිටත්ව යාමට තිබුණේ මීට පෙර වුවද මෙතරම් ප්‍රමාද වූයේ ඇයිදැයි තමාගෙන්ම ප්‍රශ්න කරමින් ඔහු තම ජංගම දුරකතනය ගෙන කුඩා යුවතියගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය.
” සර්..!”
” කොහෙද ඉන්නේ ?”
” බස් එකට දැන් නැග්ගේ. කැම්පස් එකට යන ගමන් “
” මෙච්චර වෙලා ඇයි ගියේ.? මීට කලින් නේද යනවා කිව්වේ ?”
” අර ඕපනින්ග් සෙරමනි එකේ යුනිෆෝම්ස් සිලෙක්ට් කරලා ඒවට මැෂිමන්ට්ස් දුන්නා සර් . ඒකට හිතුවට වඩා වෙලාවක් ගියා. “
” හ්ම්ම්.. එහෙම උනාම එච් ආර් එකට හරි ශාක්‍යාට හරි පොඩ්ඩක් කියන්න. හදිස්සියේ දුවන්නැතුව. එතකොට මොකක් හරි ට්‍රාන්ස්පෝට් එකක් ඇරේන්ජ් කරලා දෙනවනේ. “
සියත්‍රගේ හඬෙහි මඳ අමනාපයක් තැවරී තිබුණේය . මේ පිළිබඳව මීට පෙර තමාට මතක් නොවූයේ මන්ද යැයි ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කර ගත්තේය. ඈට විශ්ව විද්‍යාලයටත් , නිවසටත් , කාර්යාලයටත් යෑමට අවශ්‍ය ඕනෑම වෙලාවක ඊට සුදුසු ප්‍රවාහන ක්‍රමයක් ඉක්මනින් සකසා දිය යුතු බව හේ තනිවම සිතුවේය.
” ඒකට කමක් නෑ සර්. “
” දැන් කාලද ගියේ ? “
” ආ.. මේ…”
යුවතියගේ කටහඬෙහි පසු බෑම ගැන සැක ඉපදුණු ඔහුගේ හදවත එවර අමනාපයකට එහා ගිය කෝපයකින් පිරුණේය.
” ඇයි ලන්ච් ගත්තේ නැද්ද ?”
” වෙලාවක් තිබ්බේ නෑ සර්. මං කැම්පස් එකේ කැන්ටින් එකෙන් ගන්නං “
තමාටත් නොදැනීම මිට මෙළවුණු අත දෙස බලා තොල් පට සපා ගත් ඔහු අනෙක් අත රැඳි ජංගම දුරකතනය තවත් සවනට තද කර ගත්තේය .
” මං කිව්වනේ කොහෙ ගියත් ලන්ච් අරන් යන්න කියලා ? තුනට තියෙන්නේ තව විනාඩි පහයි. ඔයා තාම මඟ. මේ විනාඩි පහ ඇතුළත ඔයාට කැම්පස් එකට ගිහිල්ලා , ලන්ච් ගන්නත් පුලුවන්ද ?”
” සර්. තත්පරයක් දෙන්න , මං බහිනවා. “
මුව ඇද කළ ඔහු යළිත් ඇගෙන් පිළිතුරක් ලැබෙන තුරු නොඉවසිලිමත්ව සිටියේය.
” හරි සර්.. “
” දැන් කොහෙද ? “
” Planetarium එක ගාව. “
” දැන් කන්නේ කීයටද ?”
ඔහුගේ වචන පෙරට වඩා ගොරෝසු බව වේගයෙන් ඇවිද යන ඇයට හොඳින්ම දැනුණාය .
” මේ ලෙක්චර් එක තියෙන්නේ පැයයි සර්. හතර වෙද්දි ඉවරයි. ආයේ හයට සෙකන්ඩ් බැජ් එකේ කුප්පියක් තියනවා. එතකන් පැයක් නිකන් නේ. ඒ වෙලාවේ කන්නං “
පිළිතුරු ලෙස කිසිවක් නොලැබුණු යුවතිය දුරකතනය ඉදිරියට ගෙන ඇමතුම විසන්ධි වූවා දැයි බැලුවාය. නැත. එය තවමත් පෙර පරිදිම සම්බන්ධ වී තිබුණේය.
” සර්… !”
හදවත තුළින් නැඟෙන කෝපය අපහසුවෙන් දරා ගත් ඔහු තොල් පට සපා ගනිමින් තව දුරටත් නිහඬව සිටියේය.
” දෙයක් කිව්වම කරන්නම බෑනේ. ? තියනවා ෆොන් එක. “
දේශන ශාලාව ආසන්නයටම පැමිණි ඈට තවත් මොහොතකින් පෙරටත් වඩා ගොරහැඬි ලෙස විධානයක් ලැබුණේය.
” සොරි සර් …”
ඇයට තවත් කිසිවක් කීමට ඉඩ නොදීම ඔහු ඇමතුම විසන්ධි කර දමා ජංගම දුරකතනය මේසය මතට දැමුවේය. දේශනය ඉදිරිපත් කරන මහාචාර්යවරයාද දේශන ශාලාවට ඇතුළු වනු දුටු ඈ නැවතත් ඇමතුමක් ලබා ගැනීමේ උවමනාව පසෙකට දමා දේශන ශාලාවට ඇතුළු වූවාය.
” Planetarium එක ලඟ කා පාක් එකට එන්න. “
දේශනය අවසන් වී පිටතට ආ සැණින් ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩය දුටු සඳැස්විගේ හදවත බියෙන්, චකිතයෙන් මෙන්ම ප්‍රීතියකින්ද පිනා ගියේය. ඉක්මන් අඩි තබා ග්‍රහලෝකාගාරය අසල රථ ගාල දෙසට ගිය ඈ එහි නතර කර තිබූ මෝටර් රථය අසලට ගොස් සිට ගත් අතර වහා එහි ඉදිරි දොර විවර වූයේය .
” ආවනං නඟින්න බැරිද ? “
රියදුරු අසුනෙන් නැඟුණේ ගර්ජනාවක්ය. නිහඬවම ඉදිරිපස අසුනට නැඟි ඈ දෑස බිමට බර කර ගත් අතර රියදුරු අසුනේ සිටි ඔහු මෝටර් රථය යළි හරවා ඊට මඳක් ඔබ්බෙන් තිබූ ප්‍රසිද්ධ අවන්හලක රථ ගාලක එය නතර කළේය .
” යං “
ඉදින් විධානය එපමණකි. වේගයෙන් ඇවිද යන ඔහුගේ පසුපසින් දිගු අඩි තබමින් ඇවිද ගිය යුවතිය ඔහු අත දිගු කර පෙන් වූ මේසය අසලට ගොස් හිඳ ගත්තාය . මඳ වේලාවකින් ආහාර ඇණවුම රැගෙන පැමිණි අවන්හල් සේවකයෙකු ආහාර බඳුන ඈ ඉදිරිපස තබා ඔහු ඉදිරියේ කෝපි බඳුනක් හා එය පිළියෙළ කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය පමණක් තැබුවේය. තමා ඉදිරිපිට ඇති ආහාර බඳුන දෙස බැලූ ඈ ඉන් පසුව නිහඬව තම කෝපි කෝප්පය පිළියෙළ කරගන්නා ඔහු දෙස බලා සිටියාය.
” මූණ දිහා බලන් ඉන්නැතුව ඕක කන්න. “
සීනි කැට කිහිපය දිය කර ගත් කුඩා හැන්ද පසෙකින් තැබූ ඔහු ඈ දෙස හිස ඔසවා නොබලාම පැවසුවේය .
” සර්.. කන්නැද්ද ?”
” මට එක වේලකට දෙපාරක් කන පුරුද්දක් නෑ.”
නැවතත් ඇසුණු ගර්ජනයෙන් පසු වහා හිස පහත් කර ගත් ඈ ඉක්මනින් ආහාර ගන්නට පටන් ගත්තාය . මඳ වේලාවක් නිහඬවම ගෙවී ගිය අතර එකී නිහඬ බව බිඳිමින් ඇගේ ජංගම දුරකතනය නාද වන්නට පටන් ගත්තේය . ඇමතුම මවගෙන් හෝ නැගණියගෙන් බව දුටු සඳැස්වි කලබලයෙන්ම එයට පිළිතුරු බඳින්නට ගොස් ඇගේ මවගේ හඬ උස්ව පසෙකින් හිඳ සිටි සියත්‍රට ඇසෙන්නට පටන් ගත්තේය.
” සුද්දියේ…!”
වහා ජංගම දුරකතනයේ හඬ බාල කළ ඈ නැවත වතාවක් එය කනේ තබා ගනිමින් මව හට පිළිතුරු බැඳීමට පටන් ගත්තාය.
” අම්මේ.. ! කියන්න අම්මේ.. ඇයි හදිස්සියේ ? මොකක් හරි කරදරයක්ද ? “
මවගෙන් ලද ඇමතුම දුටු සැණින් ඈ කලබල වූ අයුරුත් නැවතත් ඈ සැනසුම් සුසුමක් හෙළන අයුරුත් සියත්‍ර යටැසින් බලා සිටියේය.
” කමක් නෑ අම්මේ. හා… , චූටි කෝ ? හා… චූටි.. ! ඔව් ඔව්.. ලබන සතියේ සල්ලි දාන්නං. සපත්තු දෙකයි , බෑග් එකයි දෙකම ගන්න. නෑ.. නෑ.. එහෙම කරන්න එපා. දෙකම ගන්න. ඔව්.. ගණන් අඩු ඒවා හොයන්න එපා. හොඳ එකක් ගන්න. හා.. හා.. අම්මා එක්ක යන්න. චූටී..! ඔයා හොඳින් නේද ? කරදරයක් නෑනේ ? මං කියපුවා මතකනේ..? හා… “
ඈ දිගටම ඇමතුමේ ඉන්නා අතර ඔහු කෝපි කෝප්පය තොළ ගාමින් ඇගේ සියලු ඉරියව් දෙස මහත් ඕනෑකමින් බලා සිටියේය.
“හරි අම්මේ තියන්නං .. බුදු සරණයි..!”
ඇමතුම විසන්ධි කළ ඈ එකදු බත් ඇටයක් හෝ ඉතිරි නොවන්නට ආහාර බඳුන හිස් කළාය.
” තව මොනාහරි ගේන්නද ? “
” එපා සර්. කන්න පුලුවන් කමකට නෙමෙයි , විසි කරන්න පව් නිසයි ඔක්කොම කෑවේ. හොඳටම ඇති. “
එසේ පැවසූ ඈ ඉදිරියේ තිබූ වතුර වීදුරුව ගෙන තොළ ගෑමට පටන් ගත්තාය.
” ගෙයි උගසට කීයක් ගෙවන්න තියනවද ? “
ඈ වහා තිගැස්සී ගිය අතර ආයාසයෙන් වතුර වීදුරුව අල්ලා ගත්තාය .
” තව.. මේ .. ලක්ශ දෙකයි අනූවක් විතර. “
පසෙක තිබූ ජංගම දුරකතනය අතට ගත් ඔහු එහි තීරය මත දෑඟිලි එහා මෙහා යවා එය ඈ දෙසට ළං කළේය.
” එකවුන්ට් නම්බර් එක දාන්න ඕකට “
” ඒ .. ඒ .. මොකටද සර්..?”
” මං ඒක ට්‍රාන්සර් කරන්නං. ඒක ඒ මනුස්සයට දෙන්න “
” අනේ එපා..”
ඇගේ හඬ එවර මහත් උස්ව නැඟුණේය.
” ඇයි ?”
ඈ අසලටම උවන බර කර ගත් ඔහු ඇගේ දෑසට එබී ඇසුවේය .
” මට මාසෙට සැලරි එකක් ලැබෙනවනේ. ඒකෙන් ගෙවාගෙන යන්න පුලුවන් සර් ”
” විකාර නැතුව ඕක දාන්න “
” එපා සර්. ඇත්තටම එපා. මට පුලුවන් තනියම කරගන්න. අනික ආයේ මට බෝඩින් ෆී එකක් ගෙවන්නත් නැති එකේ ඒ සල්ලි ටිකත් මට ඉතිරි වෙනවනේ. මං තනියම කරගන්නං සර්. බොහොම ස්තූතියි . ඒත් එපා..”
ඈ දවාලිය හැකි තරමට විසල් හුස්මක් පිට කෙරූ ඔහු වහා කෝපයෙන් ඉවත බලා ගත්තේය .
” හිතුවක්කාරකමනං තියනවා. “
ඉවත බලා සෙමින් දෙඩුවද ඈට එය ඉතා හොඳින් ඇසුණේය .
“යකාගේ හැටියට විමානේ කියනවනේ. බොස්ගේ හැටියට තමා වැඩ කරන අයත්..”
පිටතට පැනීමට පෙර මං බලා සිටින සිනහව තද කර ගත් ඈ පැවසූ වදන් ඇසුණු සැණින් කෝපය අතුරුදහන් වී ගිය ඔහු තොල්පට තද කර ගනිමින් ඈ දෙස බලා ඇගේ අතින් අල්ලා ගත්තේය .
” ආහ්…”
ඈටත් නොදැනිම නැඟුණු සිහින් කෙඳිරිල්ලක් නිසාවෙන් තිගැස්සුණු ඔහු වහා ඇගේ අත දිග හැර බැලුවේය.


