” ඕකේ තව තියනවා බලහන් . මේ දවස්වල ඔය වීඩියෝ එක සෑහෙන්න වෛයිරල් වෙලා හැමතැනම ශෙයා වෙනවා. “
මහීල් එසේ පවසා අතේ තිබූ පෑනෙන් මේසය මතට සෙමින් තට්ටු කළේය.
” අම්මා මේ ටිකේම උඩ පැන පැන ඉන්නේ ඒක තමා.”
” එහෙම වෙන්න ඕනේ සර්. ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩාක් ටුවරිස්ට්ලා රසවිමන හොයාගෙනම ඇවිල්ලා තියනවා. මැඩම්ට දැන් තියන ලොකුම ප්‍රශ්නේ ඉඩ කඩ නැති එක. “
” මෙහෙ ඔය රෙස්ටුරන්ට් එක ඕපන් කළාම රස විමන RD foods එකත් පරාද කරලම දායිද දන්නෑ බං”
මහීල් එසේ පවසා ශාක්‍යා දෙස බලා මඳ සිනහවක් පෑවේය .
” ඔය වීඩියෝ එකෙන් පස්සේ සඳැස්විට යුනිවසිටි එකෙත් යාලුවො ගොඩක් සෙට් උනා කියලා කිව්වා. “
” ඒක නං හිතාගන්න පුලුවන් මේවයේ තියන කමෙන්ට්ස් බැලුවම ”
සියත්‍රගේ ගොරහැඬි වචන වල තිබුණු ඉරිසියාව මහීල්ට හෝ ශාක්‍යාට පහසුවෙන් නොතේරුණහ.
” අම්මෝ ඔව්. පුදුම කමෙන්ට්ස් ගොඩක් ඒවයේ තියෙන්නේ. මට සඳැස්වි කිව්වා මැසෙන්ජර් එකට මැසේජස් දෙසිය ගාණක් ඇවිත් තිබුණා කියලා “
” හම්මටසිරි , එහෙනං සඳැස්විට ඕකෙන් හොඳ කොල්ලෙකුත් හොයා ගන්න පුලුවන් ?”
” පිස්සුද අනේ.. ? ඒ ළමයා එහෙම කෙනෙක් නෙමෙයි. ඒ කෙල්ලට ඊට වඩා ටාගට්ස් තියනවා. “
මහීල්ගේත් , ශාක්‍යාගේත් කතාවට සවන් දෙමින් වුවද රකුසු දෑස යොමු වී තිබුණේ ලැප් ටොප් පරිගණකය හරහා දිස් වන පහත මහලේ ආරක්ෂක කැමරා දර්ශන වෙතටය . දින ගණනාවක් පුරා නිර්මාණය වෙමින් පවතින රස විමන අවන්හල මේ වන විට පවතින්නේ අවසාන අදියරේය. එහි සියලු කටයුතු සොයා බලමින් එහා මෙහා දිව යන හුරුබුහුටිය වෙත ආ රස විමනේම තරුණයෙකු විටෙක ඇගේ අතකින් ඇද්දේය. විටෙක ඇගේ කොණ්ඩයෙන් ඇද්දේය. තවත් වරක ඈ ලඟට විත් කුමක් හෝ පවසා සිනාසුණේය. මේ සියල්ලටම සිනහවෙන් ප්‍රතිචාර දක්වමින් උන් තරුණිය බොරු තරහක් මවා පාමින් ඔහුට බැන වදින්නීය. සියත්‍රගේ දෑස රකුසු බවේ උච්චතම අවස්ථාවට ගොස් රත් පැහැ ගැන්වී තිබුණේය . දෑතම මිට මෙළවී ගොස් තිබුණේය . ඔහු ඉදිරියේ සිටි මහීල් හෝ ශාක්‍යා මේ කිසිවක් නොදැක ඔවුන් දෙදෙනාගේ කතාවක නියැළෙමින් සිටියහ.
වහා කාර්‍යාලීය දුරකතනයේ රිසිවරය අතට ගත් සියත්‍ර ඉන් ඇමතුමක් ලබා ගත්තේය .
” ඔතන ඉන්න සඳැස්විට ෆෝන් එක දෙන්න. “
ඇය පණිවිඩය ලැබ දුරකතනය වෙත යන ආකාරයද ඔහු පරිගණක තීරය මතින් බලා සිටියේය.
“හෙලෝ..”
” මෙතනට ආවනං මඟුල් නටන්නැතුව වැඩ කරනවා. මේක RD foods හෙඩ් ඔෆිස් එක. වැදගත් විදිහට හැසිරෙන්න බැරි නං ගෙදර නවතිනවා. “
මාන්නක්කාරයාගේ ගොරගැඬි කටහඬ කාර්‍යාල කාමරය පුරා පැතිර යද්දි අනෙක් පස සිටි ඇයට කිසිවක් පැවසීමට ඉඩක් නොදීම ඔහු රිසිවරය දඩාස් යන හඬින් දුරකතනය මත තබා මහීල්ගේත් , ශාක්‍යාගේත් වික්ශිප්ත දෑස් වලට පිළිතුරු නොදීම කාර්‍යලයේ වීදුරු ද්වාරය හැර පිටව ගියේය.
*******************************************
සියත්‍ර රන්දෙණිගල වේගයෙන් හුස්ම ගනිමින් සිටියේය . තරප්පු පෙළ දිගේ නොඉවසිල්ලෙන් නිවසට පැමිණි ඔහු හැඳ සිටි බ්ලේසරයත් , උඩු කමිසයත් , යට කමිසයත් යහන මතම ගලවා අත හැර විගසින් නාන කාමරයට ගොඩ වැදී වතුර මලට හිස ඇල්ලුවේය .
හදවත දැවෙන්නේ කුමක් අරඹයාද කියා වැටහීමක් නොමැත. මින් පෙර දිවියේ කිසිදා විඳ නොමැති ආකාරයේ දැවීමක් මෙන්ම එතුළින්ම නැඟෙන ප්‍රීතියකින් හදවත ඔහු හා ඔට්ටු අල්ලමින් සිටියේය. දෑස වසා ගන්නා ඕනෑම මොහොතක හුරුබුහුටි කුඩා යෞවනිය තම දෑස් අද්දර මැවෙන ආකාරයත් එකී සෑම මොහොතකම හදවත පුරා නැඟ එන ප්‍රීතිමත් හැඟීම් මතින් මුව පුරා හසරැල් නැඟෙන ආකාරයත් ඔහු බොහෝ වාරයක් විඳ ඇත්තේය. ජීවිතයේ පළමු වතාවට අන් අයෙකුගේ කඳුළක් දැක හදවත තමාටත් පාලනය කර ගත නොහැකි ආකාරයට දැවුණේ පෙර දිනක ඈ හඬමින්ම මෝටර් රථයට ගොඩ වූ අවස්ථාවේදීය. බොහෝ ආයාසයෙන් හදවතින් සහ මුහුණින් නැඟෙන හැඟීම් මැඩ පවත්වා ගනිමින් එකී අවස්ථාව පාලනය කර ගත්තද නැවත වරක් ඇගේ කඳුළු හමුවේ ඔහුට එසේ කළ නොහැකි බව දැනටමත් හදවත ඒත්තු ගන්වා හමාරය.
මවගේ ඉල්ලීම පිට රස විමන අවන්හල තම ප්‍රධාන කාර්‍යල ගොඩනැගිල්ල වෙත ගෙන ඒමේ යෝජනාව දුටු සැණකින් හදවත පිනා ගිය වග පිළිගත යුතුමය. එය මවගේ නොව ඇයගේ බව දැනගැනීමෙන් අනතුරුව එම සතුටු හැඟීම් තව තවත් දෙගුණ තෙගුණ වූයේය. කිසිම අවස්ථාවක මවගේ කුඩා ව්‍යාපාරයට අත ගැසීමට හෝ අයිතිවාසිකම් කීමට හිතේ කොනක හෝ බලාපොරොත්තුවක් නොතිබූ තමා ඒ මොහොතේ ක්ෂණික තීරණයක් ගත්තේද ඈ නිසා බව පිළිගත යුතුමය. තම දෑස් මානයේ ඈ හිඳිනු දැකීමට තමා ප්‍රිය කළ බව පිළිගත යුතුමය. තොර තෝංචියක් නොමැතිව ගිරවියක මෙන් කියවනා ඇයගේ හඬ ඇසෙන මානයක සිටීමට තම හදවත කෙතරම් ප්‍රියතාවයක් දක්වන්නේද යන වග පිළිගත යුතුමය.
අවන්හල ආරම්භ කිරීමට අවසර දීමෙන් පසුව එහි කොටස් ඉල්ලා අයිතිවාසිකම් පැවසුවේද එවිට අවන්හලේ ක්‍රියා පටිපාටියට තමාට අතගැසිය හැකි බව හොඳින් විශ්වාස කරමින්ය. ඈ ඉතා කටුක දිවියක් ගත කරන බව තව දුරටත් තමාට රහසක් නොවන්නේය. එසේම ඈ කුමන දුෂ්කර , කඨෝර කාලයක වුවද සියල්ල අත නොහැර සිටීම ඔහුගේ හදවත තව තවත් ඈ කෙරෙහි බැඳෙන්නට හේතුවක් වී තිබුණේය . ඒ නිසාවෙන්ම ඇගේ සුබ සිද්ධිය උදෙසා තමා කිසිවක් හෝ කළ යුතුමය. නමුත් එය ඇගේ ධෛර්‍යවන්ත බව හා උත්සාහය නිසාවෙන් බවද ඒත්‍තු ගැන්විය යුතුය. එනම් ඈට උදව් දිය යුත්තේ රාජකාරි මට්ටමෙන්ය . නිකරුණේ ඈ හට උදව් කිරීමට යාමෙන් ඇගේ ආත්මාභිමානය හෝ ඈ පිළිබඳව ඇගේ සිතෙහි ඇති අධික විශ්වාසයද බිඳ දැමිය නොහැක. රසවිමනේ අයිතිය තමා සතු කර ගත් පසු තමාට රිසි අයුරින් ඇයට උදව් කළ හැකිය. ඉදින් රස විමන තමා යටතට ගන්නට කළ උත්සාහයට හේතුවද ඈ පමණක්මය.
හදවත රිදෙන්නේ හේතුවක් නොමැතිවමය. කාර්‍යාල ගොඩනැගිල්ලට අඩිය තැබූ මොහොතේ පටන්ම ඈ ඕනෑම තරාතිරමක කෙනෙක් සමඟම බොහෝ කුළුපඟ වන්නීය. සිනහ වන්නීය. තොර තෝංචියක් නොමැතිව දොඩමලු වන්නීය. නමුදු තමා ඉදිරියට ආ සැණින් කොහේ හෝ සැඟවෙන්නීය. තම උවන දෙස එක එල්ලේ නොබලන්නීය. ඉදින් සිත රිදෙන්නේය. හේතුවක් රහිතවම කුඩා කුඩා සිදුවීම් අරබයා කඩා පැනීම් සිදුවන්නේය. ඊර්ෂ්‍යාව පළමු තැනට පැමිණෙන අතර තරහක් , කෝපයක් නොමැතිවද සිත දැවෙන්නේය.
හෝරාවකට ආසන්න කාලයක් වතුර මල යටට වී දැවෙන හදවත නිවා ගැනීමට උත්සාහ කළ ආඩම්බරකාරයා ඉන් පිටතට විත් නිදන කාමරයට යාබද බැල්කනියට ගොස් එහි බරාඳයට බර වූවේය. ඉන් පසුව ජංගම දුරකතනය අතට ගෙන එහි ජායාරූප ගැලරිය වෙත ගොස් වෙනම සාදා තිබූ ජායාරූප ගොනුවකට ඇතුළු වූයේය . එකී ජායාරූප ගොනුව පිරී පැවතුණේ කුඩා රුවැත්තියගේ ජායාරූප වලින් පමණක්මය. බොහෝ අවස්ථා වල ආරක්ෂක කැමරා වලින් ලබා ගත් ඇගේ ජායාරූප සහ තවත් විටෙක ඈටත් , ඈ අසල සිටියවුන්ටත් රහසින් තමා විසින්ම ලබා ගත් ඇගේ ජායාරූප සියල්ල එකින් එක පිරික්සමින් ඇගේ සොඳුරු රුව දෙස බලා සිටි ගොරහැඬි පිරිමියාගේ හදවත සම්පූර්ණයෙන්ම නිවී ගියේය . තමා මෙතරම් ඇවිළුණේද , නිවුණේද ඈ නිසාම යන වග පසක් කර ගත් ඔහු විසල් සුසුමක් හෙළා ළා හසරැල්ලකින් මුව සරසා ගත්තේය .
” හායි… කවුද ඉන්නේ ?’
නිදන කාමරයේ දොර විවර වීමත් සමඟම එසේ පවසමින් ඇතුළට ආ තරුණිය දුටු සියත්‍ර වහා ජංගම දුරකතනයේ තීරය වසා දමා ඈ වෙතට හැරුණේය .
” Hi, how are you? “
තරුණියගේ පැනයට කිසිදු පිළිතුරක් නුදුන් ඔහු ආයාසයෙන් මඳ සිනහවක් පා වෙනතකට හැරුණේය .
” ඔයා දැන්ද ආවේ ?”
” හ්ම්ම්..”
” අම්මයි , ආන්ටියි එක්ක අපි අද ෂොපින් ගියා ඔයාලගේ රෙස්ටුරන්ට් එකේ ඕපනින්ග් ෆන්ක්ශන් එකට “
” අපේ ..?”
” ඇයි ආන්ටිගේ රෙස්ටුරන්ට් එක. ආන්ටි කිව්වා ඒකේ ශෙයාස් Fifty percent ඔයාට දුන්නා කියලා. “
මව පිළිබඳවත් හදවතේ නැඟ ආ කෝපය සමඟම ඔහු තව දුරටත් නිහඬ වූවේය . සෙමින් සෙමින් ඔහු අසලට ආ තරුණිය ඔහුගේ සිරුරේ ගෑවි නොගැවී මෙන් බරාඳයට පිට දී ඔහු වෙත මුහුණ පෑවාය.
” මේ ඉයර් එන්ඩ් එකේ ඉලෙක්ශන් පටන් ගන්නවා. තාත්‍තා කිව්වා ඊට කලින් අපේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඕනේ කියලා “
” දැන් ඔයාලා තාත්තට ඕන විදිහටද මගේ මඟුල කරගන්න ඕනේ ? “
ඔහුගේ හඬ ගොරහැඬි වී තිබූ අතර කෙතරම් සමීපයේ සිටියද ඈ වෙතට විතැන් නොවුණු දෑස හිස් බැල්මකින් බොහෝ දුර බලා සිටියේය.
” එහෙම නෙමෙයි අනේ.. එයා කිව්වේ එයාගේ අයිඩියා එක. ඒ ගැන අන්කල් රන්දෙණිගල එක්ක කතා කරන්න ඕනේ කිව්වා. “
” ම්ම්.. ඒකත් ජන්ද ගුණ්ඩුවක් කරන්න යන්නේ ?”
” මොනාද සියත්‍ර , අපිට එයාලගේ ඉලෙක්ෂන් වැඩයි , බිස්නස් වැඩයි අවශ්‍ය නෑනේ ? අපි දෙන්නට ඉක්මනට මැරි කරන්න තියනවනං කොච්චර හොඳද ? මං නං ඒක හෙට වෙනවනං ඒකටත් කැමතියි. “
” ඒ උනාට මට එච්චර හදිස්සියක් නෑ..”
එසේ පැවසූ ඔහු බැල්කනියෙන් නික්ම නිදන කාමරය හරහා ගොස් ඉන් පිටතට අඩි තැබුවේය.
” අපි බලමුකෝ…”
ඔහු යන දෙස බලා සිටි තරුණිය තමාටම මුමුණා ගනිමින් ඉවත බලා ගත්තාය.


