කොන්ක්‍රීට් ඇතිරූ රොස්මිඩ් පෙදෙසෙහි දිගු මාවත දිගේ ඔහුගේ අධි සුඛෝපභෝගී මෝටර් රථය නොපෙනී යන තුරුම දෑස දල්වා බලා සිටි ඈ කුඩා බැල්කනියේ තිබූ වේවැල් පුටුවට නොදැනීම බර වූවාය . මෙතෙක් කල් තමා දැන හා හඳුනා ගෙන සිටි රාස්සයාගේ කතාව වෙනමම එකක් බව ඈ මේ වන විට දැනගෙන හමාරය. පිටතට නොපෙනෙනා බොහෝ වෙනස් මනුස්ස ප්‍රාණියෙකු එකී රාස්ස හදවත තුළ සිටින බව තේරුම් ගත් ඈ හට ඈටත් නොදැනීම විසල් සුසුමක් හෙළුණාය. බොහෝ වේලාවක් කල්පනාවෙන් ගිලී හුන් ඈ තිගැස්සී ඉන් මිදුණේ නැවත වතාවක් ගේට්ටුව අසලින් ඇසුණු ශබ්දයකටය. ප්‍රසිද්ධ අවන්හලක බෙදා හැරීම් සේවකයෙකු පැමිණ ලබා දුන් විසල් ආහාර පාර්සලය දුටු ඈ එය චකිතයෙන් මෙන් අතට ගෙන නැවත තරප්පු පෙළ දිගෙහි ඉහල මහලට පැමිණියාය.
” කෑම එක ආවද ?”
එකෙණෙහිම දුරකතනයට ලැබුණේ කෙටි පණිවිඩයකි.
” ඔව්. සර්.. ඒත් ඇයි ? ”
” ඔයාගේ තේ එක තරම් ඕක රහ නැතුව ඇති . ඒ උනාට කමක් නෑ යන්න කලින් කාලා යන්න. “
” සර් මෙතන කෑම ජාති ගොඩක් තියනවා. “
” එහෙනං අරන් ගිහින් යාලුවො එක්ක කන්න. “
” බොහොම ස්තූතියි සර්..”
තව දුරටත් ඔහු වෙත කුමක් පැවසිය යුතුද යන්න කල්පනාවට නොආ ඈ අවසාන කෙටි පණිවිඩය ලෙස එසේ සටහන් කළාය.
*********************************************
වෙනදා නොමැති ආකාරයට තැන තැන කසු කුසු සිදුවන කාර්‍යාලයේ කාර්‍යාල සේවකයින් දෙස යටැසින් බලමින් පැමිණි මහීල් ශාක්‍යාගේ කාර්‍යාල මේසය අසල නතර වූයේය.
” ගුඩ් ආෆ්ටර්නූන් . ..! බෝම්බයක්වත් පිපිරිලාද තැන තැන හැමෝම කුටු කුටු ගාන්නේ ? “
ශාක්‍යාගේ මේසය මතට වැලමිට තමා බර වූ මහීල් එසේ ඇසූ සැණින් ඈ මුව පුරා සිනහවක් නඟා ගත්තාය.
” ගුඩ් ආෆ්ටර්නූන් .. ! බෝම්බයක් පිපිරුණාට වඩා හපන් දෙයක් උනේ. “
” ඒ මොකෝ ?”
මහීල්ගේ පැනය හමුවේ හිඳ සිටි පුටුවෙන් ඉදිරියට ආ ශාක්‍යා මඳක් හරි බරි ගැහුණාය.,
” අද සර් උදේ ඔෆිස් එද්දි කා එකෙන් බැහපු තැන ඉඳන් පාක් එකේ සිකියුරිටිලගේ ඉඳන් මෙහෙ ඔෆිස් එකේ ඇතුලේ සර්ට ගුඩ් මෝනින් කියන හැමෝටම ගුඩ් මෝනින් කියාගෙන ඇවිල්ලා. නිකන්ම නෙමෙයි හිනාවෙන ගමන් .”
” ඇහ් ?”
බර වී සිටි මේසයෙන් වහා කෙලින් සිට ගත් මහීල් දෙබැම ඔසවා විමතියෙන් ශාක්‍යා දෙස බලා සිටියේය.
” සර් ඔෆිස් එකට එද්දි පුරුද්දට වගේ හැමෝම ගුඩ් මෝනින් කිව්වට කවදාවත් ආපහු ඒකට රිප්ලයි එකක් විදිහට සර් කාටවත් ගුඩ් මෝනින් කියන්නෙත් නෑ. මූණක් බලලා කවදාවත් හිනා වෙන්නේවත් නෑ. කවුරු ගුඩ් මෝනින් කිව්වත් එයාට නෙමෙයි වගේ ඔෆිස් එක ඇතුළට යනවනේ. ඉතිං ඔෆිස් එකේ කට්ටිය අද වෙච්ච වැඩේට ෆුල් හොල්මන් වෙලා ඉන්නේ. “
” අපේ එකාට මොකක් හරි අසනීපයක්ද දන්නෙත් නෑ. ඉන්නකෝ මං බලලා එන්න “
ශාක්‍යා වෙත එසේ පැවසූ මහීල් හැරී සියත්‍රගේ ප්‍රධාන කාර්‍ය්ලය වෙත අඩි තැබුවේය.
” ගුඩ් ආෆ්ටර්නූන් …!”
වීදුරු ද්වාරය හැර කාර්‍යාලය තුළට ආ මිතුරා දෙස සිහින් දෑසින් බැලූ සියත්‍ර ඉන්පසුව තම අත බැඳි අත් ඔරලෝසුව දෙස බැලුවේය.
” උඹට දැන්ද එන්න මතක් උනේ ?”
” අද කෝට් එකට ගියා බං. ඒකනායක ගෲප් එකේ කේස් එක අදනේ තිබ්බේ..”
කිසිවක් නොපැවසූ සියත්‍ර යළිත් තමා ඉදිරියේ දිග හැර දමා තිබූ ලිපි ගොනුවට මුහුණ ඔබා ගත්තේය .
” ඔෆිස් එකේ උන් පාටි එකක් ඇරේන්ජ් කරලා කියන්නේ ?”
” ඒ මොකටද ?”
” ලොක්කා කවදාවත් නැතුව හැම එකාටම ගුඩ් මෝනින් කිව්වලු “
සියත්‍ර වහා ලිපි ගොනුව මතට බර කර තිබූ දෑස මිතුරා වෙතට විතැන් කළේය.
” උඹට මුකුත් අසනීපයක් එහෙම නෑ නේද මචං ?”
රකුසු දෑසින් මිතුරා හට එරවූ සියත්‍ර යමක් පැවසීමට උත්සාහ කළද හදිසියේ වීදුරු ද්වාරය විවර කරමින් එහි පැමිණි පියකරු තරුණියක් නිසාවෙන් එයට බාධා ඇති විය.
” ගුඩ් ආෆ්ටර්නූන් ලොකු සර්…! ආ.. මේ ඇණෙත් මෙතනද ?”
ඈ මහීල් දෙස බලා අනාරාධිතවම ඔහු අසල අසුනකට බර වූවාය .
” හදාගත්තු පැළ දාලා කොහෙ යන්නද සුදු නෝනා ?”
මහීල් ඈ දෙසට හිස හරවා එසේ පැවසූ අතර වහා ඉදිරියට ආ ඇය ඔහුගේ බාහුවට පහරක් ගැසුවාය .
” ආහ්… මේකි නං එදා හිටපු යකින්නම තමයි “
” නැත්තන් උඹට මොකක් හරි වෙනසක් පේනවද ? “
තරුණිය නැවතත් ගොරවමින් ඔහු වෙත කඩා පැන්නාය .
” හරි.. හරි.. මොකෝ එක පාරට අපිව මතක් වෙලා. ?”
මහීල් හා රණ්ඩු අල්ලමින් සිටි තම එකම වැඩිමහල් සොහොයුරිය වූ පහන්‍යා රන්දෙණිගල දෙස බලා සියත්‍ර විමසුවේය .
” මං ආවේ රස විමන හැදෙන හැටි බලන්න. “
” අම්මත් ආවද ? “
” හ්ම්ම්.. ඩයිනින්ග් එකේ. මං ආවේ ඔයාට ලන්ච් ගන්න යං කියන්න. “
” හ්ම්ම්.. යං…”
මහීල්ටද දෑසින් ඉඟි කරමින් සියත්‍ර තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුව වසා දමා හිඳ සිටි අසුනෙන් නැඟී සිටියේය .
භෝජනාගාරයේ උන් උත්පලා රන්දෙණිගල ඒ වන විටත් එහි සිටි සඳැස්වි සමඟ විසල් කතාවක නියැළෙමින් සිටියාය . හෝජනාගාරයට ඇතුළු වූ සියත්‍රගේ දෑස එක එල්ලේ හුරුබුහුටිය කරා යොමුව තිබූ අතර පුත්‍රයාගේත් , දියණියගේත් පැමිණීම දුටු උත්පලා සඳැස්වියගෙන් මිදී ඔවුන් හා එක් වී මේසයක හිඳ ගත්තාය. සේවකයින් කිහිප දෙනෙකුම යුහුසුලුව තම ආයතන ප්‍රධානියා ඇතුළු තිදෙනාට ආහාර බඳුන් පිළිගැන්වූ අතර පමණට වඩා බරැති පිඟන් හා පළඟනා එහා මෙහා රැගෙන යමින් මහත් වෙහෙසක් දරන කුඩා යුවතිය වෙත සියත්‍රගේ දෑස තව දුරටත් රහසේම යොමු වී තිබුණේය.
” මේ මල්ලි , මට ඔයාට කියන්න දෙයක් තියනවා “
තමා ඉදිරියේ තිබූ සුප් බඳුනෙන් හැන්දක් ගෙන තොළ ගෑ පහන්‍යා මව දෙසත් , සොහොයුරා දෙසත් මාරුවෙන් මාරුවට බලා පැවසුවාය.
” මේ… ම්ම්ම්… මේ.. මං….”
සොයුරියගේ වදන් වල ඇති චකිතය දුටු සැණින් හිස එසවූ සියත්‍ර දෑස සිහින් කොට ඈ දෙස බැලුවේය.
” මොකෝ ප්‍රශ්නේ ?”
සොයුරිය සිටින්නේ ගැටළුවකද යන්න නොවැටහුණු ඔහුගේ හඬ එක්වරම මඳක් ගොරහැඬි වී තිබුණේය .
” ප්‍රශ්නයක් නෙමෙයි ළමයෝ. ගුඩ් නිවුස් එකක් “
පුත්‍රයාගේ වදන් වල වෙනස්වීම තේරුම් ගත් උත්පලා වහා ඔහු සන්සුන් කිරීමට උත්සාහ කළාය. නමුදු පෙර ඇතිවූ සැකය හේතුවෙන්ම ඒ රකුසු බැල්මෙන්ම ඔහු පහන්‍යා දෙස බලා සිටියේය.
” අම්මා කියන්නකෝ…”
එවර පහන්‍යා උත්පලාගේ අතේ රැඳී තිබූ රන් වළල්ලක් එහා මෙහා කරමින් ළතැවුණාය . දියණියගේ ලැජ්ජා සහිත උවන දුටු උත්පලා මුව පිරි සිනහවක් නඟා පුත්‍රයා දෙස බැලුවාය.
” ඔයා මාමා කෙනෙක් වෙන්න යනවා. මෙයා වැඩිපුරම ආවේ ඔයාට ඒ නිවුස් එක දෙන්න. “
” වාව්.. My congratulations …!”
වහා පහන්‍යා වෙත ළං වූ සියත්‍ර ඈව තදින් වැළඳ ගත් අතර බරැති ආහාර බහාලුමක් ඔසවා පැමිණි සඳැස්විද එය දැක මඳ සිනහවක් නැඟුවාය.
” ඔයාට තව නිවුස් එකක් දෙන්න තියනවා. නිවුස් එකක්ම නෙමෙයි මේක පොඩි ප්‍රපෝසල් එකක්. හැබැයි මෙච්චර කල් අපි කාටවත් නාපු එකක්. මං හිතනවා ඔයා මේකට කැමති වෙයි කියලා. “
” කියන්න බලන්න . මේ දවස්වල ඔයාගෙත් ප්‍රපෝසල්ස් හොඳටම වැඩියි. “
තමා ඉදිරියේ තිබූ සුප් බඳුන සෙමින් හැඳි ගාමින් සියත්‍ර මවගේ උවන දෙස කෙලින් බැලුවේය .
” අහ්.. හා.. නරක් වෙලාම තියෙයි.. පොඩ්ඩක් ඉන්න. මේ අයිඩියා එක මගේ නෙමෙයි. “
එසේ පැවසූ උත්පලා වහා අනෙක් පස හැරී සඳැස්වි දෙස බැලුවාය.
” සඳැස්වී…! එන්න…”
සියත්‍රගේ දෑස දිලිසෙන්නට පටන් ගත් අතර හිඳ සිටි අසුනේ පසුපසට වී ඔහු එයට බර වූවේය.
” මැඩම්.. ?”
උත්පලාගේ පසුපසින් සිට ගත් හුරුබුහුටිය මඳක් පැකිළෙමින් පහන්‍යා දෙසත් සියත්‍ර දෙසත් බලා දෑස බිමට හරවා ගත්තාය .
” හේයි… ! ඔයා නේද අර වීඩියෝ එකේ හිටියේ ?”
පහන්‍යා එක වරම පුදුමයෙන් සඳැස්විය දෙස බලා එසේ ඇසුවාය .
” ඔව් මැඩම්…”
” කෝ.. කෝ.. මෙහෙට එන්න.. “
ඈ වහා මව පසුපස සිටි කුඩා යුවතියට අතින් අඬ ගැසූ අතර ඈ අසලට අඩියක් තැබූ විගස ඇය සඳැස්විගේ අතකින් අල්ලා ගත්තාය .
” මෙයා එතකොට මෙහෙ ඇත්තටම වැඩ කරනවද ? මං හිතුවේ අම්මලා රස විමන වෛරල් යන වීඩියෝ එකක් කරන්න මොඩ්ල් කෙනෙක්ව හයර් කරලා කියලා ?”
උත්පලා වහා දියණියගේ කතාවෙන් පුදුමයට පත්ව දෙබැම ඉහලට ඔසවා ගත්තාය.


