මලක්  වී යළි පිපෙන්නම් – 6

0
880

තේ එකත් රැගෙන සිතාරා සැමියා සොයා යද්දී ඔහු උන්නේ පැය විසි හතරේ ප්‍රවෘත්ති නාලිකාවක් නරඹමින්ය. විශ්‍රාම සුවයෙන් ගෙවා දමන මේ කාලය විටෙක මහා පාළුවක් සිතට එක් කරමින් තිබේ. නුලාරා නිවසින් පිටව ගියාට පසුව ඒ පාළුව දස දහස් ගුණයකින් වැඩි වූවායැයි සිතාරා සිතුවාය. සැමියා සමග වුවද දවස තිස්සේ කතා කරමින් සිටින්නට දෙයක් නැත. ඔහු වැඩි හරියක් කාලය ගත කරන්නේ රූපවාහිනිය දෙස බලාගෙනය. එදවස ගමෙහි වූ ඉඩකඩම් විකුණා නගරයට විත් පදිංචි වද්දී මිලදී ගත්  පර්චස් දහයක සීමාවක් වූ මේ බිම් තීරුවේ මල් පැළයක් හැරෙන්නට යමක් වගා කරන්නට ඉඩක් වූයේ නැත. කාමර හතරක විසල් නිවස සෑදී තිබුණේ මුළු බිම් තීරුවෙන් හතරෙන් තුනක් පමණ ආවරණය වන පරිද්දෙන්ය. ක්‍රමානුකූලව නඩත්තු කළ තණකොළ බිස්සෙන් එහා පස වූයේ  රෝස, ඇන්තූරියම්, බාබන්ඩේසියා වැනි මල් පිපෙන කුඩා පඳුරු කිහිපයකි. නිවස පසුපස අඩි කිහිපයක් වූ බිම් තීරුවෙහි කතුරු මුරුංගා  ගසක්, කරපිංචා ගසක්, සේම රම්පේ පැළ කිහිපයක්ද විය. ඊයේ පෙරේදා තැන් තැන්වල විසිකර දැමූ මිරිස් ඇටවලින් පැළ කිහිපයක් මහ පොළොවෙන් උඩට මතුව තිබෙන අයුරු සිතාරා දුටුවේ සවසය.

මදක් පැරැණි තාලයේ නිවස නවීකරණය කෙරුණේ සිතාරලා මිලදී ගත්තාට පසුවය. සිමෙන්ති පොළව ග්‍රැනයිට්  පොළොවක් බවට පත් වූයේත් සම්පූර්ණ වහලය ගලවා ෆිනිෂින්  වහලයක් සවි කෙරුණේත්  පැරකුම්ගේ උවමනාවටය. තේක්ක ලීයෙන් කල  පෑන්ට්‍රි කබඩ් සවි කෙරුණු  මුළුතැන් ගෙයට  ලැබුණේ අලුත්ම පෙනුමකි. බොරලැස්ගමුව මංසන්ධියට  ආසන්නව පිහිටා තිබූ නිවස ‘දැන් බය නැතුව කෝටි දෙකකට උනත් විකුණන්න පුළුවන්..’ යැයි පවසමින් සැමියා උදම් ඇනුවේ ඉන්පසුවය. 

දෙදෙනාම බැංකු රාජකාරි කළ නිසා එදවස නුලාරා රැකබලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් වී තිබුණේ නැත. මාරුවෙන් මාරුවට නිවාඩු දමමින් රැකියාව කිරීමෙහි ඵලක් නොවන බව අවසන දෙදෙනාම තේරුම් ගත්තේය. සිතාරාට සේම පැරකුම්ට වූයේද රැකියාවේ ඉහළට යාමේ වුවමනාවකි. අවසන නුලාරාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක නතර කරන්නට ඔවුන් තීරණය කළේය. දැනෙන තරමේ මුදලක් අය කළත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී නුලාරා නිතර නිතර අසනීප වීම ඔවුන්ගේ සොයා බැලීමේත්, රැකවරණයේත් වරදක්යැයි අවසන සිතාරා සේම පැරකුම්ද තීරණය කළේය. ඒ අනුව බැංකුවේම කිහිප දෙනෙකුට ලබා දුන් පණිවිඩයකට අනුව තලත්තෑනි වූ ගැහැණියක නිවසේ වැඩ කටයුතු වලට කැදවාගෙ ඒමට හැකි විය.  නුලාරා දැනුම් තේරුම් ඇති වයසකට පත්වෙන තුරුම ඔවුනට පියසීලිගේ සේවය ලබා ගැනීමට හැකි විය. ඇය නුලාරාට සේවිකාවක පමණක් නොව මවක සේ සමීප වූවාය. කෙතරම් කාර්යබහුල වුවත්  සිතාරාත් පැරකුමුත්  තම දියණිය පිළිබඳව සොයා බැලීමට අමතක කළේ නැත. එනිසාම නුලාරා හැදුනේත් වැඩුනේත් දෙමව්පියන්ගේ අවධානයත්, රැකවරණයක් සමඟය.

අධ්‍යාපනය විශ්ව විද්‍යාල ගමන සහ රැකියාවන් ලැබීමෙන් කාලයක් ගත වූ පසුව විවාහ වූ සිතාරා සේම  පැරකුම් මුලින්ම හමු වූයේ විවාහ යෝජනාවකට අනුවය. ඒ වද්දී සිතාරාගේ වයස අවුරුදු තිස් හතරකුත් පැරකුම්ගේ වයස අවුරුදු තිස් හතකුත් වී තිබිණ. දෙදෙනාගේ හදහන් සියයට සියයක් නොගැලපුනත් පළමු දැකුමෙන්ම දෙදෙනා විවාහයට එකඟ වූහ. දරුඵල අඩුයැයි හඳහන් ගැලපූ දෛවඥයා පැවසූ සේම ඔවුනට සිටියේ නුලාරා පමණි. විවාහයෙන් දෑ අවුරුද්දක් ගතවන තුරුත් සිතාරා ගැබිනියක වූයේ නැත. නුලාරා ඉපදෙන්නට සිටීයැයි  දැනගත්දීත් ඔවුන් සිටියේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන්ම  උපදෙස් ලබා ගනිමින්ය. 

සිතාරාට සේම පැරකුම්ටද බැංකු සේවයේ උසස්වීම් ලැබුණේ නුලාරාගේ උපතක් සමගය. ඒ ඇගේ වාසනාවකට සිදුවූවක්යැයි දෙදෙනාම විශ්වාස කළේය. එතැන් සිට ඔවුන් දෙදෙනාම සිටියේ කාර්යබහුල ලෝකයකය. නුලාරා  ඔවුන්ගේ ජීවිතවල අංක එක වුවත් තවත් දරුවෙක් ගැන සිතීම පමා වූයේ ඒ අධික කාර්යබහුලතාවය නිසාය. අවසන වයස ගෙවී ගොස් තිබිණ. ඒ කාර්යබහුල ජීවිතයත් සමඟ නුලාරා සේම තවත් දරුවෙකු රැක බලා ගන්නේ කෙසේදැයි සිතාරා සේම පැරකුම්ද සිතූ වාර ගණන අනන්තය. අවසන ඔවුන් තීරණය කළේ නුලාරා පමණක් හදා වඩා උස්මහත් කර ගැනීමටය. එහෙත් ඒ තීරණය එදා නොගත්තානම් කියා අද සිතාරාට සිතේ.

පැරකුම් රූපවාහිනී තිරයෙන් දෑස් ඉවතට ගත්තේ බිරිඳ විසින් ගෙන ආ තේ එක සැනසිල්ලේ බී නිමවූවාට පසුවය.

“මේ තෙල් ප්‍රශ්නෙ දැන් මුළු ලෝකෙටම බලපාලා තියෙන්නේ. බඩු මිලත් සෑහෙන්න වැඩි වේවි. මේක ලෝක ආර්ථික අර්බුදයක් කියලා තමයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ. උන් එහෙන් ඩොලර් එකක් ගණන් උස්සනකොට මෙහේ බඩු ඩොලර් දෙක තුනකින් ගණන් වැඩි වෙන එකනේ ප්‍රශ්නේ”

සැමියා කුමක් කීවත් ඒ පිළිබඳව වගක් සිතාරාට වූයේ නැත. ඊයේ පෙරේදා  සිට ඇගේ සිත දැවෙමින් තිබුණේ වෙනස්ම ප්‍රශ්නයකින්ය. කිහිප වරක්ම ඒ පිළිබඳව සැමියා සමග කතා කරන්නට සිතුවත් ඇය යළිත් ගොළු වූයේ හිතා මතාමය. පදනමක් නොමැති සැකයක් තමාගේ සිතෙහි මතුවී ඇතැයි කියමින් ඔහු කෝප ගනීවියැයි සිතාරා බිය විය. 

“ඔයාට අපේ දුවගේ වෙනසක් දැනුනේ නැද්ද පැරකුම්..?”

අවසන ඇය එසේ ඇසුවේ තවදුරටත් සිතට වද දෙන මේ සිතුවිලි වලින් නිදහස් විය යුතු නිසාමය.

“වෙනසක් කිව්වේ.”

“දුව ඉන්නෙ සතුටින් නෙමෙයි කියල මටට හිතෙනවා. ඒ දෙන්නා අතරේ මොනවා හරි ප්‍රශ්න තියනවද මන්දා.”

“මං නං හිතන්නෙ නෑ. ඔයා මේ මනස්ගාත ඔළුවේ පුරවගෙන දඟලනවා. චාරුක කියලා කියන්නේ දාහකින් හොයාගන්න බැරිි දරුවෙක්.”

“ඒක ඇත්ත මං චාරුක පුතාට දොසක් කියනවා නෙමෙයි. අනේ මන්දා. එදා දුව එක්ක ඩොක්ටර් ගාවට ගියපු වෙලාව ඉඳලා මට ඒ වෙනස දැණුනා. කවදාවත් නැතුව එයා හොඳටම කේන්ති අරගෙන හිටියේ. දැක්කනේ චාරුකටවත්  කියන්නෙ නැතුවනේ අන්තිමට මෙහෙට ආවේ. මං දන්නවා එදා චාරුක  පුතා ආපු වෙලාවේ එයා නිදාගෙන හිටියෙත් බොරුවට කියලා. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෝ තාත්ත කෙනෙකුට ටිකක් වැඩියෙන් දැනෙනවා පැරකුම්.”

“මං කියන්නෙ එහෙම වෙන්න හේතුවක් නෑ කියලා.” 

“හේතුවක් තිබුණත් නැති උනත් සමහර ප්‍රශ්න වලට ඉබේටම හේතු මැවෙනවා. මං දුව එක ටිකක් ඒ ගැන කතා කරල බලන්නද?”

“එපා..ඒ දෙන්න දෙමහල්ලො අතර ප්‍රශ්නයක් තියෙනවානම් ඒක එයාලට විසඳගන්න ඉඩ දෙන්න. අපේ දූ වගේම චාරුක  කියන්නෙත් නූගත් ළමයෙක් නෙවෙයි. දෙමාපියන්ගේ උදව් ඕනයි කියලා හිතුණු  වෙලාවට එයාලම  කතා කරලා අපිට කියයි. එතකල් ඔයා කිසිම දෙයක් අහන්න එපා. දෙන්නෙක් අතර පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒවා ඒ දෙන්නම විසඳගන්න එකයි හොඳ. ඔය උදේ ලස්සනට ලෑස්ති වෙලා ගියේ”

පැරකුම් එසේ පැවසූයේ හිස් කළ තේ කෝප්පය තම බිරිඳ දෙසට දිගු කරමින්ය. දියණියගේත් චාරුකගේත්  විවාහය පිළිබඳව ඔහු වූයේ මහත් වූ ආඩම්බරයකින්ය. පැරකුම් ගේ පවුලේ වූයේ ඔහුත් නැගෙණියත් පමණි. නැගණිය ගුරුවරියකි. අද අන් සියල්ලන්ටම වඩා ඉහල තලයක තමා ජීවත්වනවායැයි පැරකුම් නිතර පැවසුවේ ආඩම්බරයෙන්ය. රඹුක්වැල්ල ව්‍යාපාරයේ වර්තමාන අධිපති චාරුක  රඹුක්වැල්ලගේත් දියණියගේත් විවාහය ඔහුගේ ඒ මාන්නයට අත්තටු ලබා දී තිබිණ. කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති විවාහ මංගල්‍යයට ඔහු පවුලේ සියල්ලන්ටම ආරාධනා කළේ එනිසාය. 

“ආයෙ කවද ඔය මිනිස්සු ගෝල්ෆේස් හෝටලේ මගුලකට එන්නද?”

බාප්පලා, පුංචි අම්මලා, නැන්දලා, මාමලා සේම ඔවුන්ගේ දූ දරුවන්ද කොළඹට කැඳවාගෙන ඒමට මස්සිනා විසින් සොයාගත් රෝසා බස් රථයට මුදල් ගෙව්වේද පැරකුම්ය. ඔහුට ඕනෑ වූයේ ප්‍රවාහන පහසුකම් සපයා හෝ පිරිස කොළඹට ගෙන්වා තමාගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන්නටය.

සිතාරා තම සැමියා ඉදිරිපසින් නැගී සිටියේ නිහඩවය. සැමියාගේ  මේ අලස ප්‍රතිචාරය ඈ බලාපොරොත්තු වූ එකක් විය. 

                                    **************

“මමයි ධනුකයි හිතුවා ඔයාව බලල යන්න එන්න. ඔයා ඒකට කැමතිද..?”යනුවෙන් අසා සංකල්පනී එවා තිබූ කෙටි පණිවිඩය නුලාරා දුටුවේ පසුදා උදෑසනය. 

“ධනුකට මං ඔයා ගැන කිව්වහම එයා හරි සතුටු වුණා. ඔයාගේ ප්‍රෙග්නන්ට් යාළුවව බලන්න අපි යන්න ඕන නේද කියලා මුලින්ම ඇහුවෙත් එයා. එයා කොහොමත් හැම කෙනෙකුටම හරි ෆ්‍රෙන්ඩ්ලි. අපි මේ සෙනසුරාද හවස ඔයාව බලන්නන එනවා. රසට කෑම හදන්නනම් මං දන්නෙ නෑ කෙල්ලේ..ඒ නිසා මං මෙහේ රසට පිරිසිදුවට කෑම හදන තැනකින් ඔයාට දවස් කීපයක් තියාගෙන කන්න පුළුවන් ජාති ටිකක් ඕඩර් කළා.”

“අනේ ඒ මුකුත් එපා. ඔයා ඇවිත් යන්න එන්න. ඒක මට සතුටක්.”

නුලාරා ඒ කෙටි පණිවිඩය ඇයට යැව්වේ සැබවින්ම සිත්හි ඇති වූ සතුටක්ද සමඟය. පුද්ගලික විශ්ව විද්‍යාලයේදී හොඳම යෙහෙළිය ලෙස නුලාරා හා උන් පවනි උන්නේ විදේශගතවය. ඇය එහි ගෙවුවේ අවිවේකී දිවියකි. පාසල් යාළු යෙහෙළියන් වට්ස්ඇප් ගෲපය මගින් සම්බන්ධ වූවාට තවම හමුවී තිබුණේ නැත. එනිසාම සංකල්පනීගේ  පැමිණීමට ඇය සූදානම් වූයේ දින දෙක තුනක සිටය. ඔවුන්ට රාත්‍රී ආහාර වේල ලබා දීමට ඇය සෝමා සමග එක්වී විවිධ මෙනු පත් සැකසුවාය. අවසන තීරණය කළේ සෝමා නිතර සාදන කිරි මිශ්‍ර කහ බතත් වම්බටු මෝජුවත්, කුකුල් මස් කළුවට ඉවූ ව්‍යාංජනයත්, අල කිරි හොද්දත් සාදා බිත්තර සලාදයක්  සේම හතු බැදුමක් සාදන්නටය. චොක්ලට් පුඩිමකුත්  යෝගට් හා  ජෙලි යෙදූ පුඩිම් වර්ගයකුත් සෑදූයේ නුලාරාමය.

“සොරි බබා මං සැටර්ඩේ එද්දි චුට්ටක් රෑ වෙයි. අත්‍යවශ්‍යම මීටින් එකක්. ඔයා දන්නවනේ ගොඩක් මීටින්ග්ස්  අපි දා ගන්නේ සැටඩේවල. හැබැයි මං පොරොන්දු  වෙනවා ඔයාගේ යාළුවො යන්න කලින් මං එයාලව මීට් වෙලා කතා කරන්න එනවා කියලා.”

අවසන චාරුක එසේ පවසද්දී නුලාරා කෝප ගත්තාය. සිතෙහි වූ සතුට දියව යන්නට වූයේ ඇයටත් හොරාය. මේ නිවසට යන එන ඔහුගේ ව්‍යාපාරික මිතුරන්, නෑදෑයන් ඕනෑ තරම්ය. එහෙත් තමාගේ පාර්ශවයෙන් පැමිණෙන්නේ අම්මාත් තාත්තාත් පමණි. එසේ වී තිබියදීත් ඔහු තමාව නොසලකා හැරියායැයි දුකක් වේදනාවක් නුලාරාගේ  සිතෙහි ඇතිව තිබිණ.

“බලමුකෝ ඔයා මගේ යාළුවන්ට ෆේස් කරන විදිහට තමයි මීට පස්සේ මං ඔයාගේ කවුරු ආවත් ෆේස් කරන්නේ”

අවසන නුලාරා එසේ සිතුවේ තනිවමය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here