මලක් වී යළි පිපෙන්නම් – 65

0
3957

චාරුක උදෑසනම සූදානම් වී කාර්යාලයට ගිය බව පැවසූයේ සෝමාය. අන් කවරදාකවත් නොදැනුණු අයුරේ මහා පාළුවකින්, තනිකමකින් නුලාරාගේ සිත පිරී තිබිණ. ‘කිරි දෙන්නයැයි’ පවසා කාමරයට ගෙන ආ දරුවාව සුරතල් කරමින් අඩ හෝරාවක් පමණ කාලය ගත කළ නුලාරා දරුවා හෙදිය අතට දුන්නේ ‘නිදි කරන්න…’යැයි පවසමින්ය. 

“ඇයි මහත්තය යන්න කලින් මාව නැගිට්ටෙව්වේ නැත්තේ…”

අවසන ඕ එසේ ඇසුවේ සෝමාව සොයා මුළුතැන්ගෙය දෙසට ඇවිද යමින්ය. 

“මහත්තයා කිව්වා නෝනව නැගිට්ටවන්න එපා කියලා.”

“මහත්තයා කාලද සෝම ගියේ.”

“නෑ. මට කිව්වා කෑම බාස්කට් වලට දාලා දෙන්න කියලා. මං උදේ තෝසෙ හැදුවා. මහත්තයා වැඩිය තෝසෙ කන්න කැමති නැති හින්දා සැන්ඩ්විච්  ටිකකුත් හැදුවා. ඒ උනාට මහත්තයා කිව්වා අපේ නෝනගේ අම්මටයි තාත්තටයිත් එක්කම තෝසෙ ටිකක් බාස්කට් එකකට දාලා දෙන්න කියලා.”

“මටත් සැන්ඩ්විච් එකක් එක්ක කිරි එකක් විතරක් දෙන්න.”

“ඔහොමනං කාලා හරියන්නෙ නෑ නෝනා. මං අහලා තියෙනවා බබාට කිරි දෙද්දි නිකම්ම නිකං කිරි දීල තේරුමක් නෑ කියලා. නෝන කෑම ටිකක් කාලා ඒ පෝෂණයත් එක්ක එපැයි බබාට කිරි දෙන්න.”

“මට බඩගින්නක් දැනෙන්නෙම නෑ සෝමා…”

“අනේ මන්ද නෝනා මේ ගෙදරට මොනවා උනාද කියලා. ඊයෙත් සුදු මහත්තයා රෑ මගෙන් කෝපි එකක් ඉල්ලුවා. ඒක අරගෙන යනකොට බැල්කනියට වෙලා කල්පනා කර කර ඉන්නවා. මේ දවස් දෙකට සුදු මහත්තයත් ඇදිලා ගිහිල්ලා නෝනත් ඇදිලා ගිහිල්ලා. නෝනා අම්මට කතා කළාද?”

“කතා කළා…අද සමහර විට තාත්තව ඩිස්ජාර්ජ් කරයි කියලත් කිව්වා.”

“මහත්තයත් දැන් සමහර විට ඉස්පිරිතාලෙට ගිහිල්ල ඇති.” 

“මහත්තයා සෝම එක්ක මං ගැන කිසිම දෙයක් කිව්වේ නැද්ද?”

“විශේෂයෙන් දෙයක් කිව්වෙ නෑ චූටි නෝනා. ඒත් මහත්තයා ඉන්නේ දුකෙන් ඒක මට තේරෙනවා. මං දන්නෙ නෑ චූටි නෝනටයි මහත්තයටයි අවවා දෙන්න තරම් මං උගත් ගෑණියෙක් නෙමෙයි. ඒ උනාට ගෙදරක දෙන්න දෙමහල්ලේ  අතරේ ප්‍රශ්නයක් උනහම ගොඩක් වෙලාවට එක්කෙනෙක් හරි ඉවසලා අනිත් එක්කෙනත් එක්ක කතා බහ කරලා ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට එහෙම ඉවසන්න ඕනෙත් ගෑනු අපි චූටි නෝනා.”

නුලාරා සෝමා කියන සියල්ලම අසා සිටියේ කිසිවක්ම කතා නොකරය. ඔහුගේ මේ මගහැරයාමෙන් නුලාරා උපරිමයෙන් පීඩා විඳිමින් උන්නාය. රණ්ඩු කරන්නට, යමක් අසන්නට හෝ චාරුක තමා සමඟ වදනක්වත් කතා නොකිරීම දැන් දැන් ඒ සිතට වදයක් වී තිබිණ. අම්මා සමගවත් මේ කසවක් කතා කරන්නට නොහැකි වූයේ තාත්තාගේ අසනීප තත්වය නිසාය. 

අවසන සෝමා විසින් ගෙනවිත් දුන් සැන්ඩ්විච්  පෙත්තක් කා කිරි වීදුරුව බිව්වාට පසුව ඕ ආලින්දයට පැමිණියේ යළිත් වතාවක් සංකල්පනීගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගන්නට උත්සාහ දරමින්ය. සිතූ සේම එවේලෙහි ඇය දුරකථනය එහා ඉමෙන් පිළිතුරු සැපයූවාය. 

“ඔයා වැඩකද…”

“පොඩි පොඩි වැඩ වගයක් තිබුණා. දැන් ඒ ටික ඉවරවුණා කොහොමත් මම ඔයාට ඒ වැඩ ටික ඉවර වෙලාම කතා කරන්න හිටියේ.”

“අනේ චාරුක මමත් එක්ක එක වචනයක්වත් කතා කරන්නේ නෑ.” 

“ඔයත් එහෙම වෙච්ච දවස් තිබුණනේ නුලාරා. ඒ වෙලාවේ එයත් ඒ විදිහටම විඳවන්න ඇති. හොඳම දේ තමයි තවදුරටත් මේ ප්‍රශ්නෙ දුරදිග ගෙනියන්නෙ නැතුව ඔයාලා දෙන්න කතා කරන එක. ඒකට ඉස්සර වෙන්න ඕනේ ඔයා. මේ ප්‍රශ්නෙ ගෙනාවේ ඔයා. මේ ප්‍රශ්නෙ ඉස්සරහට ගෙනිච්චෙත් ඔයා.”

“ඔයා බනින්නෙත් මටද?”

“මේ ජීවිතය ගැන මටත් ලොකු අවබෝධයක් තිබුණේ නෑ නුලාරා. ඔයා දන්නවද මට වෙච්ච දෙයක්?”

“ඔයා අඬන්නද හදන්නේ..ඇයි මොකද උනේ…?”

“ධනුක මාව දාලා ගියා…”

“මොකක්.. ඔයා මේ මොනවදද කියන්නේ?..”

“ඇත්තටම කිව්වොත් ධනුක අවුරුදු එකහමාරක් තිස්සෙම කරල තියෙන්නේ මව රවට්ටපු එක. එයාට මැරි කරන්න කෙනෙක් ගමේ ඉන්නවා. ඒක අවුරුදු දහයක එෆෙයාර් එකක්. එයාගේ මාමගෙ දුව. දන්නවද එයා මාව පාවිච්චි කරලා විතරයි.”

“අනේ ඔයා මොනවද මේ කියන්නේ?….”

“ගෑණු අපි රැවටෙන තැන් තමයි ඒ. තවදුරටත් චාරුකට වදයක් වෙන්න එපා. මං මගේ කතාව ඔයාට පස්සේ කියන්නම්. අනේ ප්ලීස් ඔයා මේ වෙලාවෙ චාරුක එක්ක  කතා කරන්න. රන්දික ළඟ නැති උනේ මං බලාපොරොත්තු වෙච්ච නිදහස විතරයි. බිරිඳක් විදිහට මට ආදරය, ගෞරවය ඒ ගේ  ඇතුලේ ඕන තරම් තිබුණා. ආපහු ආපස්සට හිතල බලද්දි මට හිතෙනවා ධනුක ළඟ උනත් මට තිබුණෙ හරි අඩු තක්සේරුවක් කියලා. කවදාවත් එහෙම වෙන්න එපා. ඔයා දන්නවද මේක චාරුකගේ බිස්නස් වට්ටන්න ප්ලෑන් එකක්. ඔයා ඔහොම උනොත් නොදැනුවත්වම හරි චාරුකව වට්ටන්න ඕන මිනිස්සුන්ට ඔයත් උදව් කරලා.”

“මට තේජන අයියත් ඔය කතාව ඔය විදිහටම කිව්වා. ඔයාලා මොනවා හරි දෙයක් දන්නවද…?”

“මට මේ වෙලාවේ ඔයාව මුණගැහෙන්න එන්න බෑ. එහෙම එන්න තරම් මානසිකත්වයකුත් නෑ. නුලාරා චාරුක ඔයාට ආදරේ කරන විදිහ මම දැකලා තියෙනවා. හැම මනුස්සයෙකුටම තියෙන්නේ දෙබිඩි ජීවිත නෙමෙයි. චාරුකගේ ජීවිතෙන් ඈත් වෙන්න ඈත් වෙන්න එයාට ඔයා ගන කළකිරීමක් ඇති වෙයි. අපි එයාව, එයා ජීවත් වෙන තැන, එයා රැකියාව කරන තැන ගැන අවබෝධයකින් ජීවත් වෙන්න ඕනේ. ප්ලීස් ඔයා දැන් ඉස්සර වගේ බොළඳ ගෑනු ළමයෙක් විදිහට හිතන්න එපා. මේ දැන්ම මේ අදම මාව විශ්වාස කරලා ඔයා චාරුකට කතා කරන්න. ඔයාට ලැබිච්ච ඒ ආදරේ, රැකවරණය නැති කරගන්න එපා. ඔයා බබා ලැබෙන්න හොස්පිට්ල් ඇඩ්මිට් වෙච්ච වෙලාවේ චාරුක හිටියෙ කොච්චර නොසන්සුන් කමකින්ද කියලා මං හොඳටම දැක්කා. ඔයාගේ ඔපරේෂන් එක ඉවර වෙනකල්  එක තත්පරයක් එයා ඉඳගත්තේ නෑ. බොරුවට ආදරේ කරන මනුස්සයෙකුට එහෙම කරන්න බෑ නුලාරා. මේ දවස් දෙකේ ඔයා විඳවන්න ඇති. ඒ වගේම චාරුකත් සමහරවිට එයාගේ හිතට දැනෙන කලකිරීම නිසා ඔයාගෙන් ඈතට ගිහිල්ලා ඉන්න ඇති. තවදුරටත් ඔයාල මේ ප්‍රශ්නෙත් එක්ක ඉස්සරහට යන්න ඕන නෑ.”

“ඔයා මොකක්ද දැන් කරන්න හදන්නේ…”

“මං ධනුක  එන්න කලින් මෙහෙන් පිට වෙන්න ඕනේ.”

“අනේ අපේ ගෙදර එන්න…”

“මේ වෙලාවේ මං එහෙම එන්න ඕනෙ නෑ නුලාරා. මං එක දෙයක් ඔයාට විශ්වාසයෙන්ම කියනවා. මේ වෙලාවේ කවුරු හරි චාරුකගේ හතුරෙක්ට ඕනේ චාරුකව  බිමටම ඇදලා දාන්න. සමහරවිට ඒ මනුස්සයා තමන්ගේ අරමුණ වෙනුවෙන් චාරුකගේ ජීවිතේට වුණත් කරදරයක් කරන්න බැරි කමක් නෑ. මේ වෙලාව එයාට තමන්ගේ ජීවිතේ හිස් වෙලා කියන හැඟීම දැනෙන්න ඉඩ දෙන්න එපා. ප්ලීස් ඔයා දැනටමත් පරක්කු වැඩියි. ජීවිතේ ගන්න හැම තීරණයක්ම හොඳට හිතලා බලලා ගන්න. එහෙම නොවුනොත් මං වගේ ආපස්සට හැරි හැරි පසුතැවෙන්න තමයි ඔයාටත් සිද්ධ වෙන්නේ. මං ඉක්මනින්ම යන තැනට ගිහිල්ලා ඔයාට කෝල් එකක් දෙන්නම්.” 

“මම තේජනයට කතා කරලා ඔයාට කොහේ හරි ඇනෙක්ස් එකක් හොයලා දෙන්නද..?”

“එපා. ඔයා මේ වෙලාවේ මං ගැන නෙමෙයි. චාරුක ගැන බලන්න.”

එපමණක් පවසා සංකල්පනී  ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දැමුවාය. මෙවේලෙහි ඇයට යා හැකි තැනක්  වූවා නම් ඒ පොළොන්නරුවේ චූටි නැන්දාගේ නිවසයි.

ඕ  යළිත් කාමරය සිසාරා බැල්මක්  හෙළුවේ හදවත වේදනාවෙන් දැවී යද්දීය. මෙතැන් සිට මේ ජීවිතයේ ගන්නා තීරණ හොඳින් සිතාමතා ගතයුතු ඒවාය. පොළොන්නරුවට ගොස් ඈ චාරුකට දුරකතන ඇමතුමක් ලබාගෙන මේ සියල්ල පවසන්නට සිතුවාය. ධනුකට  තවදුරටත් රැකියාවේ රැඳී සිටීමට ඉඩ දීම හෝ නොදීම ඔවුන්ගේ තීරණයකි. එහෙත් තමා දැනගත් සත්‍යය ඔහු හා පැවසිය යුතුය. ධනුක නුලාරාට වරින් වර කතා කරමින් ඇගේ සිතෙහි වූ සැකයට පොහොර දමන්නට ඇතැයි සංකල්පනීට සිතුනේත් එවේලෙහිය. මේ ඇනෙක්සියෙන් ගෙන යාමට තරම් මහ මෙරක් දේ සංකල්පනීට  වූයේ නැත. ඈ අතේ වූයේත් පොලොන්නරුවට යාමට තරම් සෑහෙන මුදලක් පමණි. ඊට අමතරව සන්තකයේ වූයේ ට්‍රැවලින් බෑගයක් පිරෙන්නට දමා ගෙන උන් ඇඳුම් පැළඳුම් කිහිපයය. 

ඇනෙක්සිය ඉදිරිපස වාහනයක් පැමිණ නවතන හඬත් කිහිප වතාවක්ම නලා හඬවන හඬත් ඇයට ඇසුණේ එවේලෙහිය. මින් එහාපස වූයේ ඇනෙක්සිය හිමි කාන්තාවට ම අයත් බෝඩිං කිහිපයකි. එහි වූයේ කොළඹ රැකියාවන්වල නියුතු පිරිමින්ය. ගෙහිමි කාන්තාවගේ සැමියා මියගොස් තිබුණේ රිය අනතුරකින්ය. එදා සිට දියණියන් තිදෙනෙක්ම උස්මහත් කර ඔවුන්ව සරණ පාවා දෙන්නටත් ඇයට උපකාරී වී තිබුණේ මේ ඇනෙක්සියත් බෝඩිං කාමර කීපයත්ය. වර්තමානයේ නිවසේ සිටින්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක විධායක තනතුරක් දරන බාලම දියණියත් ඒ ගෙහිමි කාන්තාවත් පමණි. තරුණ වියේදීම දියණියන් තිදෙනකු හා තනි වුවත් ඈ දෙවන විවාහයක් ගැන සිතා තිබුණේ නැත. එවන් ධෛර්ය සම්පන්න අරුම ගැහැණුන් ජීවත්වන ලෝකයක් තුළ තමා සොයා ගියේ තාවකාලික සුවයක් යැයි සංකල්පනීට සිතෙන්නේ දැන්ය. ගත වූයේ තත්පර කිහිපයකි. 

“සංකල්පනී…. සංකල්පනී..”

ඒ හඬ හොඳින් ඇයට හුරු පුරුදු ය. එහෙත් ඒ කවරෙකුදැයි වටහාගන්නට තරම් සන්සුන් මනසක් ඇයට වූයේ නැත. ඒ හා සමගම ඇසුණේ කිසිවෙකු විසින් දොරට තට්ටු කරනා හඬකි. 

(හෙ⁣ටත් හමුවෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here