මලක් වී යළි පිපෙන්නම් – 13

0
391

“ඔයා අදත් රඹුක්වැල්ලලගේ ගෙදර යනවා නේද සංකල්පි..”

නාන කාමරයේ සිට හිස පිස දමමින්  එළියට පැමිණි ධනුක විමසුවේ බිත්තියේ  ගසා තිබූ කන්ණාඩිය ඉදිරිපසට වී ඇහිබැමි මත සිය ඇඟිලි තුඩු දුවවමින්  උන් සංකල්පනීගෙන්ය.. 

“ඔව් මං අද එනවා කියලා පොරොන්දු වුණා.”

“අදනං මොනවා හරි ගෙනියන්න වෙයි නේද?”

“එයාට එහේ අඩුපාඩුවක් කියල දෙයක් නෑ ධනුක. අපි කියලා මොනවා ගෙනියන්නද?”

“අඩුපාඩුවක් නැති උනාට කමක් නෑ. අද පලතුරු ටිකක් ගෙනියමු.”

“පලතුරු මාර ගණන්නේ අනේ”

“මාසෙකට ලක්ෂ හත අටක් හොයන්න ඉඳලා හිටලා රුපියල් පන්හය දාහක් වියදම් කළාට කමක් නෑ. යමු. සේකර අයියගේ පලතුරු කඩෙන් දෙපාරකට සල්ලි දෙන්නම් කියලා පලතුරු ටිකක් ගමු.”

සංකල්පනා සැමියා දෙස බැලුවේ ඔහු එසේ පැවසුවාට පසුවය. 

“ඔයාට හිතෙනවද මේ වැඩේ හරියයි කියලා.”

“හිතෙනවා… හිතෙනවා. ආයි අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. තාම පටන් ගත්ත විතරනේ. මං දන්නවා ඔයා මාව ගොඩ දානවා කියලා.  යමු… යමු පරක්කු වෙනවා. මමත් දහයාමාර වෙද්දි ස්ටුඩියෝ එකේ ඉන්න ඕනේ.”

“you tube චැනලයක් වෙත  මුදා හරින ගීතයක් පටිගත කිරීමට සූදානම් බව ධනුක පැවසූයේ ඊයේය. නුලාරාට පොරොන්දු නොවූයේනම් ධනුක සමඟ යාමට හැකි වෙතැයි සංකල්පනී සිතුවේ  යළිත් කණ්ණාඩියෙන් තම වතට එබෙමින්ය. ඈ එවන් ගමන් වලට ප්‍රියය. ඒ සියල්ලටම වඩා භාවනාවක් සරි ඔහුගේ හඬ අසා සිටින්නට ප්‍රියය.

“සැලොන් එකක් පැත්තෙ ගියෙත් නෑ ධනුක ගොඩක් කාලෙකින්. අයිබ්‍රෝසුත් ඕනවට එපාවට වැවිලා.”

“දවස ගානේ සැලොන් යන්න පුළුවන් මේ වැඩේ හරි ගියානම් මැණිකේ.”

“මේ..චාරුකලා මොකක් හරි ලොකු ෂෝ  එකක් ලෑස්ති කරනවලු. මං හිතන්නේ පිටරටින් ආටිස්ලා ගෙන්නන එකක්. ලබන ජනවාරි වලද කොහෙද එයාලගේ කම්පැනි එකට  අවුරුදු පනහක්ලු. මට නුලාරා  කියපු විදිහට ඒකෙන්නම් කෝටි ගානක ආදායමක් ඇති.”

“එහෙමද…”

“මං හෙමින් සැරේ තව විස්තර අහගන්නම්කෝ.”

ධනුකත් සංකල්පනීත්  නිවසින් පිට වූයේ එකම වරකය. පැවසූ පරිදිම ඔහු සේකරගේ පලතුරු කඩය ඉදිරිපස යතුරුපැදිය නතර කළේය. ඇපල් ගෙඩි, දෙකක් පැණි දොඩම් ගෙඩි  දෙකක් හා කෝලිකුට්ටු කෙසෙල් ඇවරියක්, අල්පෝන්සු අඹ ගෙඩි  දෙකක් හා කොමඩු ගෙඩියක් මිල ද ගත්  ඔහු රුපියල් දහසේ නෝට්ටුවක් සේකර වෙත දිගු කළේ දවසක් දෙකක් දෙන්න අයියේ බැලන්ස් එක මම ගෙනත් දෙන්නම්යැයි පවසමින්ය. 

රන්දිකගේ ඇල්ටෝ වර්ගයේ කුඩා මෝටර් රථය පලතුරු කඩය ඉදිරිපස නතර කෙරුණේ සංකල්පනී  ධනුකගේ දෙවුරහිස් වලින් අල්ලාගෙන යතුරු පැදියට නගිද්දීය. ඔහුව නුදුටුවා සේ  ඉවත බලා ගත්තත් රන්දික දෙඇස් විසල් කරගෙන තමා දෙස බලා සිටින ආකාරය සංකල්පනී දුටුවේ දෑස් කොනකින්ය. 

“මිනිහගේ කනට දෙකක් ගැහුව වගේ ඇති…”

ධනුක පැවසූයේ ඉදිරිපස බලාගෙනය. ඒ මුහුණෙහි එවේලෙහි ලියවී තිබූ හැඟීම් හඳුනා ගන්නට මහත් උවමනාවක් වුවත් සංකල්පනීට  ඊට අවකාශ නොවූයේ ඔහු ඉදිරිපස බලාගෙන යතුරුපැදිය පදවමින් උන් නිසාය. එදා ඔහු නුලාරාගේ නිවස ඉදිරි පිටටම ඈ ඇරල වූයේය. 

“දැන්නං හෙමින් වචනේ දැම්මත් කමක් නෑ නොදැනෙන්න..”

හිස් වැසුම ගලවා පැති කන්ණාඩියට එබී හිස කේ සකසනා අතරේ ධනුක පැවසූයේය. ඉන්පසු ඉගිල ගියේ සංකල්පනීගේ නළලත මත හාදුවක් තබමින්ය. දැන් රඹුක්වැල්ල නිවසේ කිසිවෙකුට සංකල්පනී අමුත්තියක නොවේ. එනිසාම ඇයට සුභ උදෑසනක් පැතූ ආරක්ෂක නිලධාරියා ගේට්ටුව ඇරියේ කිසිවක්ම නොවිමසාය. ඕ පිළිගන්නට ඉදිරියට පැමිණියේ සෝමාය. 

“අපේ නෝනා බාතෲම්  එකේ. මට කියලා ගියේ දැන් සංකල්පනී මිස් එයි කියලා.”

ඒ වතෙහි වූයේ සිනහවකි. සංකල්පනී ‘කොහොමද ඉතින් ඔයාගේ චූටි නෝනට…’යැයි අසාගෙන ආලින්දයේම වූ සුවපහසු අසුනකට බර වූවාය. 

“හොඳින් ඉන්නව මිස්. දැන්නම්  චුට්ටක් කකුල් දෙකත් ඉදිමිලා. ඊයෙත් නෝනාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇවිත් ගියා. අද මිස් එන  හින්ද තමයි නෝනගේ අම්මා ආවේ  නැත්තේ. තව හරියටම සති දෙකයිනෙ තියෙන්නේ.” 

“ඒක තමයි නේද දන්නෙම නැතුව දවසත් ළං වුණා.” 

“අපේ නෝනා හරි කැමතියි මිස් එනවට…ඉස්සර ඉස්කෝලේ වෙච්ච දේවල් කතා කර කර ඉන්න පුළුවන්නේ නේද. නෝනගේ අම්මා ආවහම ඒ තරම් කතා කරන්න දෙයක් නෑනේ.”

“ඔව්….හැමදාම හරි එන්න තිබ්බනම් හොඳයි සෝමා. ඒත් සමහර දවසට මහත්තයා ගෙදරනේ. ඒ දවස්වලට ඉතින් එයා ගැන බලන්නත් ඕනනේ.”

“ඒකනෙ නේද.…?”

සංකල්පනී නුලාරාගේ කාමරය තෙක්ම ඇවිද ගියේ ඉන් පසුවය. මේ නිවසේ කිසිදු තැනක් ඇයට දැන් අමුත්තක් නොවේ. ඇඳ මත දිගහැර තිබූ පරණ පින්තූර ඇල්බමය දෝතට ගෙන ඈ ඇඳ මතින් වාඩි වූයේ නාන කාමරයෙන් ඇසෙන වතුර වෑස්සෙන ශබ්දයට කන් දීගෙනමය. එහි වූයේ චාරුක රඹුක්වැල්ල පසුගිය කාලයේ පෙනී සිටි වෙළඳ දැන්වීම්වල, ගීතමය ජවනිකාවල හා චිත්‍රපටිවල විවිධ අවස්ථාවලදී ලබාගත් සේයා රූ එකතුවකි. ඒ බොහෝ ඒවායෙහි ඔහු උන්නේ ජනප්‍රිය නිළියක හෝ නිරූපණ ශිල්පිනියක සමඟය. සංකල්පනී ඒ සේයා රූ  මත ඇඟිලි තුඩු දිවවූයේ මහත් වූ ලෝබකමකින්ය. සැබවින්ම යෙහෙළිය වාසනාවන්තියකි. කාලයක්ම මේ, කෙල්ලන්ගේ සිහින කුමාරයා වූ බව විශ්වාසය. එදවස ඔහු රඟපෑ ජනප්‍රිය ගීතවල රූපරාමු  අදටත් ඇගේ මතකයෙහි හොඳින් වේ..සමහර කෙල්ලන් ඒ ගීත ඇසුවේම රූප රාමුවල ඔහු උන් නිසාය. ඔහුව සිත්හි මවාගෙනය.  ඉන්පසු ටෙලි නාට්‍ය දෙක තුනකත්, චිත්‍රපටි දෙක තුනකත් චාරුක රඹුක්වැල්ල රඟපෑ බව සංකල්පනීට මතකය. අදටත් ඔහු ව්‍යාපාරිකයෙකුට වඩා සුදුසු වන්නේ රංගන ශිල්පියෙකුටයැයි ඇය සිතුවේත් ඒ අතරය. නාන කාමරයේ දොර විවර වද්දීත් සංකල්පනී උන්නේ ඒ සේයාරූ එකතුව තම දෑත් මත තබාගෙනය.

“ඔයා එන්න කලින් නාන්න ඕනි කියලා හිතුනා. එතකොට ටිකක් වෙලා කතා කර කර ඉන්න පුළුවන්නේ.”

“ඔහොම ඉඳගන්නකො මං කොණ්ඩෙ පිහිදාන්න…”

සංකල්පනී නැගී සිටියේ එසේ පවසමින්ය. කණ්ණාඩි මේසය ඉදිරිපස වූ කුඩා බංකුවෙන් ඉඳගත් නුලරාගේ කොණ්ඩය සීරුවට පිස දැමූ ඈ අවසන ඕඩික්ලෝන් බිඳු කිහිපයකුත් ඒ මත තැවරුවාය. ඉන්පසු තම දෑඟිලි ඒ හිස කේ අතර ඇවිදවන්නට වූයේ නිහඬවය. 

“හරි සනිපයක් දැනුනා මට..”

“චාරුක ඔෆිස් ගියාද..?”

“හ්ම්…”

නුලාරාගේ  පිළිතුර කෙටි එකකි. එනිසාම සිත රිදවන යමක් සිදුවී ඇතැයි සංකල්පනී  වටහා ගත්තාය. 

“මොකද නිකන්..”

“ඔය ඇල්බම් එක බලාගෙන හිටියහම ඔයාට මොනවද හිතුනේ?”

“එහෙම විශේෂයෙන් දෙයක් හිතුනෙ නෑ. මට හිතුනා  චාරුක අපරාදෙ රඟපාන එකෙන් අයින් වුනේ කියලා. මේ වෙලාවේ එයා ආපහු ඇක්ටින් වලට ගියත් අනිවාර්යෙන් එයා ජනප්‍රිය වෙනවා. ඒ තැන ගන්න කාටවත් බෑ.”

“ඒ ඔයා පිටින් ඉඳගෙන බලද්දි හිතන විදිහ. ඔය ඇල්බම් එක පෙරලල බලද්දි මට මං ගැන මහ දුකක් ඇතිවෙනවා.” 

“ඒ මොකද ඒ..”

“මං ඔය ඇල්බම් එක ඊයේ පෙරේදා අහම්බෙන් දැක්කේ අපේ ලයිබ්‍රි එකේ තිබිලා.”

අපේ ලයිබ්‍රිඑකයැයි නුලාරා හැඳින් වූයේ නිවසෙහි වූ කාර්යාල කාමරයට යාබදව තිබෙන පොත් රාක්ක රැසකින් සමන්විත වූ කුඩා කාමරයයි. වටිනා ඉංග්‍රීසි සිංහල නවකතා රැසක් එහි විය. ඒ බොහෝ පොත් එදවස චාරුකගේ අම්මා පරිහරණය කළ ඒවායැයි පැවසූයේත් නුලාරාමය. ඉංග්‍රීසි, දෙමළ, තෙලිඟු සහ වෙනත් භාෂාවලට අයත් චිත්‍රපටි රාශියක සීඩී තැටි ගණනාවක්ම තවත් අල්මාරියක් පුරවා තිබිණ. වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ චිත්‍රපටි නැරඹිය හැකි වුවත් අතීතයේදී භාවිතා කළේ මේ සීඩී තැටිය. 

“ඉතින්…”

“මං කවදාවත් කොල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැතිවුනාට චාරුක ගෑනු කී දෙනෙක් තුරුල් කරගෙන ඉඳලා තියෙනවද කියලා මට හිතුනා. අනේ මන්දා මගේ හිතට මොකක්දෝ වේදනාවක් දැනුනා.”

“ඇයි එහෙම හිතන්නේ..මේ ලෝකේ ඉන්න හැම ඇක්ටර්  කෙනෙක්ගෙම මොඩල් කෙනෙක්ගෙම වයිෆ්ලා, ගර්ල්ප්‍රෙන්ඩ්ලා එහෙම හිතුවොත් කොහොමද ඒ මිනිස්සු තමන්ගේ රස්සාව කරගන්නේ. අනිත් එක චාරුක රඹුක්වැල්ල කියන්නේ ඒ වගේ ෆේම්ස් කැරැක්ටර් එකක් කියලා දැන දැනමනේ  ඔයා එයාව මැරි කළේ. නළුවෙක් කියන්නේ සමහරවිට තනියම අපිට අයිති කරගන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. ඒ කොහොම වුණත් නුලාරා ඔයාව මැරි කරන්න කලින් ඉඳලම චාරුක ආපහු ඇක්ට්  කරන්නේ නෑ කියන තීරණය අරගෙන තිබුණනේ. ඔයාම මට කියලා තියෙනවනේ එයා සමහර ඇඩ් වලට පවා ගියේ තාත්තගෙ බල කිරීමට මිසක් එයාගේ කැමැත්තට නෙමෙයි කියලා. ඉතින් ඇයි මේ…”

“මං මේ කියන හැඟීම ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි බැරිවෙයි.”

එවේලෙහි සංකල්පනී ඈ දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. මේ සා සැප සම්පත් මැද යෙහෙළිය සිටින්නේ සතුටකින් නොවේයැයි දැන් ඇය හොඳටම දනී. එහෙත් මේ ජීවිත කතාවලට ඈදා ගත යුතු සිතුවිලි නොවේ යැයි සංකල්පනී විශ්වාස කළාය. ධනුකගේ අරමුණ සිතෙහි මූලික වුවත් මෙවේලෙහි යෙහෙළිය ගැන ඇයට ඇතිවූයේ අනුකම්පාවට සමාන වූ හැඟීමකි. ඒ හිසකෙස් අතර ඇවිද යමින් තිබූ දෑඟිලි වලින් නුලාරාගේ දෝතම අල්ලා ගත් සංකල්පනී ‘ඔයා මොනවද  මේ හිතන්නේ. මේ වෙලාවේ මේ වගේ දේවල් හිතන්න එපා.’ යනුවෙන් පැවසූයේ ඒ දෑස් වලට එබී ගෙනය.

“ඒක හරි දුක හිතෙන හැඟීමක්. එයා අදටත් මේ වගේ ලස්සන ගෑණු අය එක්ක ගැවසෙන කෙනෙක්. අපි හැමෝටම තියෙන්නේ හිත්.  ඔයා උනත් මට කියන්නේ රන්දික කොච්චර හොඳ උනත් මට ධනුක ළඟදි එයාගේ අඩුපාඩු දහසක් පෙනුනා කියලා.” 

“මට වෙච්ච දේ වෙනස් නුලාරා. එදා ඉඳලම මං අසීමිතව නිදහස ප්‍රිය කරපු කෙනෙක්. හැබැයි ඔයාගේ ජීවිතේ ඊට වඩා වෙනස්. චාරුක  කියන්නේ එහෙම නරක කෙනෙක්නම් එයා කවදාවත් ඔයාව මේ ජීවිතයට තෝරගන්නෙ නෑ. එහෙමනම් එයාට තිබුණා මේ ඇල්බම් එකේ ඉන්න නිළියෝ අතරින් කෙනෙක් තෝර ගන්න. එයාට ඔයා මේ හැමෝටම වඩා විශේෂයි.”

සංකලපනී එවර පැවසූයේ සැබෑවටමය.

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here