” සියත්‍ර සර් කියන්නේ කවදාවත් මෙහෙම වැඩ මඟාරින කෙනෙක් නෙමෙයි. අපි තාමත් ඉන්නේ මොකද උනේ කියලා හිතා ගන්න බැරුව. “
ශාක්‍යා නැවතත් විසල් සුසුමක් හෙළා සඳැස්වි දෙස බැලුවාය .
” ස්.. සර්… ඇයි අක්කේ.. අනේ… ගිය තැනක් , ඉන්න තැනක් දන්නෙම නැද්ද අක්කේ.?”
සඳැස්වි දෑසින් රූරා වැටෙන කඳුළු බිඳු වහ වහා පිස ගනිමින් ශාක්‍යා දෙස බලා ඇසුවාය . මුවින් පිළිතුරු දෙනු වෙනුවට නැත යැයි පැවසූ ශාක්‍යා බලාපොරොත්තු සුන් වූ මුහුණින් ඈ දෙස බලා සිටියාය.
” ම.. මහීල් අයියා දන්නෙත් නැද්ද ?”
” එයා නං දන්නවා නංගි. එයත් මේ ටිකේම ඔෆිස් ආවේ නෑ. මං කීප සැරයක්ම එයාගෙනුත් සර් ගැන ඇහුවා. එයා කිව්වේ අවුලක් නෑ කියලා විතරයි. “
“එ.. එතකොට ප්‍රොජෙක්ට් එක ගැන ?”
” තාම කිව්වේ නෑ නංගි. දැන් එනවා කියලා කිව්වා. ආවට පස්සේ හිමින් සැරේ කියනවා. ගෑනු අපි වගේ නෙමෙයි නංගි පිරිමි එක්ක ගණුදෙණු කරන්න ගියාම. අපි මහා ලොකුවට හිතන සමහර දේවල් ඒගොල්ලන්ට ගාණක් වත් නෑ. අපි ඒ තරම් නොහිතන දේවල් සමහර දේවල් ඒගොල්ලන්ට මහා ලොකු දේවල්. අන්තිමට එයාලා ඇවිළෙන්නෙත් අපි හින්දා. නිවෙන්නෙත් අපි හින්දා. “
ගෙමිදුලට ඇතුළු වූ මෝටර් රථයක හඬ ඇසුණු ශාක්‍යා හිඳ සිටි වහා හිඳ සිටි අසුනෙන් නැඟිට්ටාය.
” මහීල් ආවා. මං ගිහින් එන්නං නංගි “
ශාක්‍යා වහ වහා තරප්පු පෙළ බැස ගිය අතර මෝටර් රථයෙන් බැස ආ මහීල්ද නිවස තුළට යනු දුටු සඳැස්වි නිවස තුළට හැරුණාය.
නැවත නැවතත් දැවෙන හිත පාලනය කර ගත නොහැකිය. දින ද්විත්වයක් පුරාවටම තොරතුරක් හෝ නොමැතිව ගිය ඔහු මේ වනවිට කුමක් කරනවාද ? කොහි සිටිනවාද කියා හෝ තමා නොදනී. හදවත පතුළෙන් ගලන වේදනාව දැරිය නොහැකිය. ඔහු කෙසේ වත් මෙලෙස තම රාජකාරි පැහැර හරින්නෙකු නොවේය . ඔහු සියල්ල විනාශ කර ගැනීමට සැරසෙන්නේය . ඒ සියල්ලට හේතුව තමා බව හදවත තුළින් දෝෂාරෝපණයක් සේ නැඟෙද්දී තව දුරටත් සිටගෙන සිටීමට වාරු නොමැති වූ ඇය සෝපාව පාමුල බිමට කඩා වැටී හිඳගෙන මහ හඬින් හඬා වැටුණාය.
” බබා නිදිද ?”
” ඔව්.. , අද ඩේ කෙයා එකේදී වැටිලා. අත ටිකක් හූරගෙන. ගෙදරට ආවට පස්සෙයි අඬන්න මතක් උනේ. යන්තං ටිකක් කැව්වට පස්සේ එහෙම්මම නින්ද ගියා. ඔයා කනවද ? තේ එකක් හදන්නද ?”
” තේ එකක් හදන්න. පස්සේ කමු. හරි මහන්සියි “
මහීල් ශාක්‍යාගේ බඳ වටා දෑත යවා ඈ තුරුළු කර ගන්නා ගමන් එසේ පැවසුවේය.
එක් වරම ඉදිරිපස දොරට වේගයෙන් ගසනා හඬ ඇසුණු මහීල් සේම ශාක්‍යාද මුහුණට මුහුණ බලා ගත් අතර මුළුතැන්ගෙහි සිටි මහීල් වේගයෙන් ඉදිරිපස දොර දෙසට අඩි තබා ගොස් එය විවර කළේය.
” අ… අයියේ…!”
” සඳැස්වි මේ මොකෝ මේ ..?”
එතෙක් චුරු චුරුවට වැස්ස හමායන සුළඟත් සමඟම මඳක් දැඩි වී තිබූ අතර පිටත වසිනා වර්ෂාව සේම කඳුළු වගුරවමින් දොරකඩ සිටින යුවතිය දුටු මහීල් කලබලයට පත් වී සිටියේය.
” න.. නංගි ඇයි මේ ?”
වහා ඉදිරියට ආ ශාක්‍යා හිරිකඩට තෙමෙමින් දොරකඩ අසල සිට ගෙන මහ හඬින් හඬා වැටෙන තරුණියගේ අතින් අල්ලාගෙන නිවස තුළට කැඳවා ගත්තාය.
” අනේ.. අයියේ. .. ! එයාට එන්න කියන්නකෝ.. මං මං.. කියපු හැම දේටම සමාව ගන්නං. මං වැරදියි තමයි. මං හදිස්සි උනා තමයි. අනේ… අයියේ ඒත්. .. ඔහොම ඉන්නෙපා කියන්න. අනේ.. එයාට එන්න කියන්න අයියේ… එයාට එන්න කියන්න. “
තමා දෙස බලමින් හඬ හඬා එක දිගට පිණ්සෙණ්ඩු වෙන තරුණිය දෙස වික්ශිප්තව බලා සිටි මහීල් වේගයෙන් ඇසිපිය සලා නැවතත් ශාක්‍යා දෙස බැලුවේය. කිසිවක් නොපැවසූ ශාක්‍යාද තරුණියගේ හැඬීම නිසා තුෂ්නිම්භූතව ඈ දෙස බලා සිටියාය.
” එන්න කියන්න හරි ගිහිල්ලා උස්සන් එන්න හරි , ඔයා මේ කියන්නේ කා ගැනද කියලා මුලින්ම කියලා ඉන්න නංගි. කාටද එන්න කියන්න ඕනේ…”
මහීල් නැවත වතාවක් සඳැස්වි දෙසත් ශාක්‍යා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ඇසුවද සඳැස්වි ඉකි ගසමින් හඬා වැටුණා විනා කිසිවක් නොපවසාම බිත්තිය දිගේ රූරා පොළොව මතට කඩා වැටුණාය.
” දෙයියනේ.. නංගි … ඇයි මේ…?”
වහා ඈ අසලට පහත් වූ ශාක්‍යා ඇගේ උරහිස් දෙකෙන් අල්ලා සෙළවූ අතර කඳුළු පිරි දෙනෙත ඔසවා බැලූ සඳැස්වි ආයාසයෙන් ඈ දෙස බලා කිසිවක් පැවසීමට උත්සාහ ගත්තාය.
” එ.. එයාට එන්න කියන්න අක්කේ…!”
” කාටද සර්ටද ?”
ශාක්‍යාගේ පැනයට පිළිතුරු ලෙස හිස සලා ඔව් යැයි පැවසූ සඳැස්වි ඈට තුරුළු වී දිගටම හඬා වැටුණු අතර තොල්පට සපාගත් ශාක්‍යා තවමත් සිට ගෙන තමන් දෙස බලා සිටින මහීල් දෙස බැලුවාය.
” හරි ෂෝක්…..!”
ශාක්‍යා දෙස බලා කෝපයෙන් එසේ පැවසූ මහීල් ඔවුන් දෙදෙනාට පිටු පා අනෙක් පස හැරී සාක්කුවේ බහා තිබූ ජංගම දුරකතනය අතට ගෙන මිතුරා වෙත ඇමතුමක් ගත්තේය.
” කොහෙද @$&% ඉන්නේ ? “
ඔහු තරුණියන් දෙදෙනාටම නෑසෙන සේ අනෙක් පසින් සම්බන්ධ වූ මිතුරාගෙන් ප්‍රශ්න කළේය.
” තොට ඇහෙනවද සද්දේ ? මෙතන මරලතෝනි දෙනවා. ඉන්න තැනකින් වරෙං “
සඳැස්විගේ විසල් හැඬුම දෙසට මහීල් ජංගම දුරකතනය දිගු කළ සැණින් එය ඇසූ අනෙක් පස සිටි සියත්‍ර වේගයෙන් මෝටර් රථය රොස්මේඩ් ප්ලේස් වෙතට හැරවුයේය .
මිනිත්තු කිහිපයක් ගත වූ තැන වේගයෙන් පැමිණ ශාක්‍යාගේ ගෙමිදුලේ නතර කරනු ලැබූ මෝටර් රථයෙන් බැස වර්ෂාවේම නිවස තුළට දිව ආ සියත්‍ර එතකුදු පොළොව මත හිඳ ගෙන ශාක්‍යා හට වාරු වී හඬා වැළපෙන තරුණිය දෙස තොල් පට තද කරමින් බලා සිටියේය. එක් වරම තමා අසලට පැමිණි තරුණයා දුටු සඳැස්වි වහා හිඳ උන් තැනින් නැඟිට වික්ශිප්තව ඔහු දෙස බලා සිටියාය.
” මොකද්ද මචං මේ…”
” මොකෝ ?”
මහීල්ගේ පැනයට බාධා කළ සියත්‍ර වහා හඬමින් , වැළපෙමින් ඉන්නා කුඩා යුවතිය දෙස බලා තරවටු ස්වරයකින් විමසුවේය .
” කො.. කොහෙද ගියේ ? දවස් දෙකක් ස්.. සර්.. ඔයා ඔයා… කොහොමද ඔහොම ඉන්නේ ?”
හැඬුම් අතරින්ම තරුණිය ඔහු දෙසට අත දිගු කර විමසුවාය .
” ඇයි අහන්නේ ? ආ ? දාලා යන්න කිව්වේ ? මමද කිව්වේ ? මං කිව්වනේ ගියොත් ආයේ එන්නෙත් නෑ. මාව හොයන්නත් එපා කියලා ? “
කිසිදු තෙතමනයක් නොමැති ආකාරයට සඳැස්වියගෙන් එසේ ඇසූ ඔහු තවදුරටත් වාවා ගත නොහැකි අන්දමකින් ඈ දෙස බලා සිටියේය.
” ස්.. සර්.. ඔෆිස්.. ඔෆිස් එකේ වැඩ හිර වෙලා සර්. එතන මිනිස්සු අසරණ වෙලා. ඔයා කොහොමද ඔහොම හැමදේම දමලා ගහලා මුකුත් නොවුණා වගේ පැත්‍තකට වෙලා ඉන්නේ ?”
මහීල් දෑතම බැඳ තමා ඉදිරියේ සිදුවන සිදුවීම පිළිබඳව වටහා ගත නොහැකිව බලා සිටි අතර මින් පෙර මෙවැන්නක් පිළිබඳව ඉව වැටී උන් ශාක්‍යා මහීල්ගේ මුව දෙස බැලීමට අපහසුවෙන් මුහුණ බිමට බර කරගෙන සිටියාය.
” යකාට ගියදෙන් ඔය බිස්නස් එක. මට ඔය කිසි දෙයක් වැඩක් නෑ. මං කිව්වා මං ගැන හොයන්න එපා කියලා. ආයේ ආයේ මෙහෙම වැඩ කරලා මගේ යකා අවුස්සගන්න හදන්න එපා. “
” අහ්.. මං බයවෙයි ඔයාගේ යකාට ”
සඳැස්විගේ වචන හමුවේ තිගැස්සුණු ශාක්‍යා එවර වහා හිස ඔසවා මහීල් දෙස බැලුවාය.
” ඔයා.. ඔයා මුල ඉඳලම කරලා තියෙන්නේ බොරුව. මුල ඉඳලම මට කියලා තියෙන්නේ බොරු. “
” නංගි…! ”
තම ප්‍රධානියා වෙත දබරැඟිල්ල දිගු කොට බැණ වදිනා කුඩා එකිය වැළැක්වීමේ අරමුණින් ශාක්‍යා ඈ පසුපස සිට ඇගේ අතකින් අල්ලා ගත්තද ඈ වහා එකී අත ගසා දැමුවාය .
” ඒයි මහියා…?”
” ඔව් මචං , කියපන්. “
තමා ඉදිරියේ දිග හැරෙන නාට්‍යයක් ඉතා රසවත් ආකාරයකින් නරඹනවා සේ දෑතම පපුවට බැඳ බලා සිටින මහීල් කිසිදු වෙනසක් නොපෙන්වා මිත්‍රයාට පිළිතුරු බැන්ඳේය .
” මට මීට කලින් කවුරුහරි මේ විදිහට කතා කරනවා දැකලා තියනවද බං ?”
” නෑ.. මචං.. මීට කලින් දැකලා නෑ. I’m confused, I can’t figure out what’s going on. “
” නංගි.. දැන් ඇති..”
ශාක්‍යා නැවත වරක් සඳැස්විගේ අතින් අල්ලා ඈ නතර කරන්නට උත්සාහ කළද කුඩා යුවතිය එයද ගණනකට නොගත්තාය.
” දැන් කියමු බලන්න මං මොකද්ද ඔයාට කරලා තියෙන බොරුව ?”
තවමත් කඳුළු වගුරවමින් වේදනාවෙන් හා කෝපයෙන් තමා වෙතට චෝදනා එල්ල කරන තරුණිය දෙස බලා සියත්‍ර යළි ඇසුවේය.


