ඔලියැන්ඩර් – 72

0
749
oleander Flower

ඈ සෙමින් හිස ඔසවා බැලුවාය. තමා තදින් විසල් පපුතුරට තුරුළු කර ගනිමින් ඔහු සුව නින්දකය. ඉදින් මේ වසර ගණනාවකින් හරිහැටි සුව නින්දක් නොලබා සිටි ඔහුය. තමන්ගේ උන්ගේම ද්‍රෝහීත්වයට මුහුණ දී වසර ගණනාවක් පුරාවටම රැවටීමකට ලක් වී සිටි ඔහුය. පිරිමි උවනේ හෝ දෑසේ කිසිදු විටම තමා ලක් වූ ද්‍රෝහීත්වයට ශෝකයක් තබා වේදනාවක සේයාවක් හෝ පිටතට නොපෙන්වා සිටියද එකී හදවත තුළ ඇති වේදනාව ඇයට හොඳින් තේරුම් ගත හැකි වූවාය . ළංවී කොපුලක හෝ නළල මත සියුම් හාදුවක් තැබීමට දැඩි ආසාවක් ඉපැදුණද සුව නින්දක පසු වූ ඔහු අවදිකිරීමට ලෝබ වූ ඈ සෙමින් යහනෙන් නැඟිටීමට උත්සාහ දැරූ අතර යහන අසලම තිබූ ඇගේ ජංගම දුරකතනය විසල් හඬකින් නද දෙන්නට පටන් ගත්තේය. 

ඇමතුම් නාදය හේතුවෙන් ඔහු අවදිවේ යැයි සිතූ ඈ  යටි සිතින් දුරකතනයට බැණ වදිමින් කලබලයෙන් එය අතට ගත්තාය. 

” අම්මේ..!” 

උදෑසනම මවගේ නමින් දුරකතන ඇමතීමක් ලැබීම බොහෝ සෙයින් හදවත බියෙන් බර කළ හෙයින් ඈ යහන මතම හිඳ ඇමතුමට සම්බන්ධ වූවාය.

” සුද්දියේ ..! නිදිද ?” 

” දැන් අම්මේ ඇහැරුණේ. ඇයි මේ උදේ පාන්දර ?” 

” කරදරයක් උනා සුද්දියේ “

” කරදරයක් උනා කිව්වේ ?” 

තවමත් නිදා සිටින ඔහු දෙස බැලූ ඈ රහසින් මෙන් කලබලයෙන්ම මවගෙන් ප්‍රශ්න කළාය. 

” ඊයේ මල්ලවපිටියේ සංගීතයක් තිබ්බා. කාලිංග අයියා රෑ ඒකට ගිහින්. එතනදි ප්‍රශ්නයක් වෙලා. එතන හිටපු කාණ්ඩයක් අයියට හොඳටම ගහලා. අත පය හතරම කඩලා දාලලු සුද්දියේ . ආයේ කකුල් දෙකෙන් නම් හිටගන්න බැරි තත්වයක්ලු තියෙන්නේ. “

” අම්.. අම්මා දැන් කොහෙද ඉන්නේ ?” 

” ඉස්පිරිතාලේ . ආරංචිය ආපු හැටියේ අක්කා දරුවත් උස්සන් අපේ ගෙදර ආවා. ඒ පයින්ම මායි , අක්කයි ඉස්පිරිතාලේ ආවා. “

” මොකද්ද දැන් එතකොට වෙලා තියෙන්නේ. ?” 

” ගෑනු හුටපටයක් සුද්දියේ. ආරංචියේ හැටියට කාලිංග අයියා එතන හිටිය කෙල්ලෙක්ට මොනාද කරලා , ඒ කෙල්ල කෑගහද්දි වටේ හිටපු උන් තමයි ගහලා තියෙන්නේ”

” මං එන්න ඕනෙද අම්මා ?” 

” ඕන්නෑ සුද්දියේ. ඔය විස්තරේ ඇහුවම අක්කා කිව්වේ ඕකා එහෙම වැඩක් කරලානම් මෙතනම මැරෙන්න දාලා යනවා ආයේ ඇහැක් ඇරල බලන්නැ කියලා. “

” දැන් අක්කා කෝ ?” 

” කාලිංගගේ තාත්තයි , අයියයි ඇවිල්ලා එයාලා එක්ක කතාව. මං ඔයාට පස්සේ විස්තර බලලා කෝල් එකක් දෙන්නං සුද්දියේ “

” හොඳයි අම්මා..” 

ඇමතුම විසන්ධි කර දැමූ ඈ තවත් මොහොතක් දුරකතනය දෙස බලා සිටියාය. 

” කාලකණ්නියා.. උඹට සාපම වෙන්න ඕනේ.. “

යටි සිතින් එසේ සිතූ ඇගේ මුවඟ මත සිහින් සිනහවක් ඇඳී ගිය අතර හඬ නොනැඟෙන්නට යහනෙන් බට ඈ නිශ්ෂබ්දවම නාන කාමරය වෙතට අඩි තැබුවාය. 

සිහින් සිනහවක් මුව දරා නාන කාමරයට ඇතුළු වූ ඈ දෙස දෑස හැර බැලූ ඔහු මුව මත රඳවා ගත් සිනහවෙන් යළි අනෙක් පස හැරී දෑස පියා ගත්තේය .

******************************************

” මල්ලි මොකද ඊයේ රෑ ?” 

” අවුලක් නෑ ශේප්. ගොඩක් රෑ වෙනකන් ඇහැරිලා නම් හිටියා . ඊට පස්සේ නිදා ගත්තා “

කෑම මේසය මත චිත්‍රා ගෙනැවිත් තැබූ දුම් දමන පැස්ටා බඳුන දෙස බැලූ පහන්‍යා විසල් සුසුමක් අත හැරියාය. 

” වෙනදට ප්‍රශ්නයක් උනු ගමන් එයා ක්ලබ් එකට දුවන්නේ. ඔයා ඉන්න හින්දා දැන් ගෙදර ඉන්නවා. “

ඈ සඳැස්විගේ අතින් අල්ලා මඳ සිනහවක් නඟා පැවසුවාය. 

” ඔය එන්නේ “

හැඳ පැළැඳගෙන පහත මහලට ආ මළණුවන් දුටු පහන්‍යා යළිත් සිනහවක් දරා කෑම මේසයෙන් නැඟිට නිදන කාමරය වෙත ඇවිද ගියාය. 

” දැන්ම යනවද ?” 

බෙරි කර ගත් උවනින් ඔහු අසලට ගිය ඈ හැඳ සිටි කමිසය යන්තමින් අල්ලමින් ඇසුවාය. 

” ම්ම්.. උදෙන්ම මීටින් එකක්. “

” අනේ…!” 

නැවත වතාවක් බෙරි කර ගත් උවනින් මෙන්ම බෙරි වූ කටහඬින්ද තවත් ඔහුට තුරුළු වූ ඈ තොල්පටද නොපිට පෙරළමින් පැවසුවාය. 

” දැන් මට දවසම ඔයා ලඟට වෙලා ඉන්නද කියන්නේ ?” 

” ඔව්.. ඇයි ?” 

” පොඩි එකෙක් වගේ හුරතලේ නම් තියනවා. “

” පොඩියි තමා ඉතිං “

” කොයි හරියෙන්ද දන්නෑ ? මට නං එහෙම පොඩියට මුකුත් අහුවෙලා නෑ.. “

” අනේ සර්..!” 

විළියෙන් රතු වූ මුහුණින් ඔහු වෙතින් ඉවත් වූ ඈ වහා වෙනතක් බලා ගත් අතර ඈ දෙස බලා මුවඟින් සිනාසූ ඔහු කෑම මේසයෙන් අසුන් ගත්තේය. 

” මල්ලි ..!” 

සියත්‍ර හිඳගත් මේසය ඉදිරියෙන් ගෙනා ලිපි ගොනුවක් තැබූ පහන්‍යා සෙමින් ඉහලට පීරා තිබූ ඔහුගේ කොණ්ඩය පිරි මැද්දාය. හිඳ උන් තමා අසලට වී දැනෙන නොදැනෙන ආකාරයට හිස පිරිමදින ඈ දෙසත් , මේසය මත තැබූ ලිපි ගොනුවත් දෙස බැලූ ඔහු ප්‍රශ්නාර්ථ බැල්මකින් පිළිතුරු අපේක්ෂා කළේය.

” මේ තියෙන්නේ RD එකේ  , සුපර් මාර්කට් වල , ෂොපින් මෝල් වල හැම එකේම මට අයිති ශෙයාර්ස් ගැන තියන ඩොකියුමන්ට්ස් ටික. ඔක්කොම බැලුවම සීයට විස්සක මගේ ප්‍රමාණේ. මේ ඔක්කොම ඔයාගේ නමට පවරගන්න මල්ලි. “

කෑම මේසයට බරව තිබු ගැඹුරු දෑස ක්ෂණිකව ඈ වෙතට යොමු වූ අතර පසෙක සිටි තරුණියද ඇගේ කතාවෙන් විශ්මයෙන් පිරුණාය. 

” ෆැමිලි බිස්නස් එකට එන්නැතුව ඔයා ඔයාගෙම බිස්නස් එකක් කරන්න හොටෙල් ෆීල්ඩ් එකට ගියාම මට ඔයා ගැන අමනාපයක් දැනුණා මල්ලි. කොහොම හරි යන්තන් අවුරුදු පහ හයකට කලින් ඔයා වැටෙන්න ගියපු RD එක ආයේ ගොඩ ගත්තා. ඒත් ඊට පස්සේ ඔයා දිගින් දිගටම බිස්නස්ම කළා ඇරෙන්න වෙන දේවල් ගැන බැලුවේ නෑ. අඩුම ඔයා .. ඔයා ගැනවත් බැලුවේ නෑ. වෙලාවක් කලාවක් නැතුව බිස්නස් කළා. රෑ එළි වෙනකන් ක්ලබ් ගාණේ ගියා. ආයේ උදේට මුකුත් නොවුණු ගාණට ඔෆිස් ගියා . එක දිගට පුරුද්දට වගේ ක්ලබ් ගිහින් ඔයා කරපු දේවල් සේරම මම දන්නවා.  මං හිතුවෙම ඔයා සල්ලි පස්සෙම යනවා. , ක්ලබ් ගාණේ යනවා. ඔයත් අම්මයි , තාත්තයි වගේමයි කියලා. අන්න එතනදිත් මං ඔයා ගැන හිත හොඳින් නෙමෙයි හිටියේ. හැබැයි මට අමතක උනා පුංචි කාලේ ඉඳන් තාත්තට තියා අපි දෙන්නා ගැන හොයලා බලන්න අම්මටවත් උනන්දුවක් නොතිබිච්ච කාලේ ඔයා මාව අයියා කෙනෙක් වගේ බලාගත්තු හැටි. එකදිගට පිස්සෙක් වගේ බිස්නස් පස්සේ දුවද්දි වාඩි වෙලා තේ එකක් බොන්න ගෙදර එන්න කියලා ඔයාට කතා කරන්න මට අමතක උනා. ඔයා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙක කියලා හිතාගන්න මට බැරි උනා. මට සමාවෙන්න මල්ලි. ඇත්තටම සමාවෙන්න. මට ඔයා ගැන හොයන්න බැරි උනා. “

අවසන් වාක්‍ය හමුවේ ඇයට ඉකි ගැසුණු අතර සියත්‍ර වහා නැඟිට ඇය තුරුළු කර ගත්තේය. 

” දැන් ඒ ඔක්කොම ඉවරයි අක්කා. ඔයා මේ කිසි දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්න ඕනෙනෑ. “

” ඔයා RD එක ඔයාගේ අතට ගන්න ඕනේ මල්ලි. ඔයා ඒකේ CEO වෙන්න ඕනේ. බංකොළොත් වෙලා වැටෙන්න ගිය කම්පැණි එක ගොඩ දැම්මේ ඔයා. ඒ නිසා ඒක ඔයාට අයිති වෙන්න ඕනේ. ඔයාගෙයි , මගෙයි ශෙයාර්ස් ඔක්කොම එකතු උනාම ඒක කර ගන්න ලේසියි. “

” ඒ උනාට ඔයාගේ හැමදේම මට දුන්නට පස්සේ ?” 

” ඔයා මාව බලා ගන්න. ඉස්සර ඉස්කෝලේ යන කාලේ මාව බලාගත්තේ. මගේ අයියා වගේ. මේ දැන් මාව බලා ගන්නේ. දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා මාස හයකුත් ගිහිල්ලා තියෙද්දි අම්මා තාත්තවත් , හස්බන්ඩ්වත් නැතුව ඔයා මාව බලාගන්නේ. ඒ විදිහට බලා ගන්න. “

” අනුජ් මේ වැඩේට කැමති වෙන එකක් නෑ අක්කා. “

” මල්ලී.. ! මේ දේවල් අම්මා තාත්තා මට මගේ නමට දුන්නට මේ හැමදේකම තියෙන්නේ ඔයාගේ මහන්සිය. ඉතිං කොහොමත් මේ දේවල් අයිති ඔයාට. මහීල්ට කතා කරලා මේ ටික පිළිවෙළක් කරන්න මල්ලි. හැබැයි ඒ දේවල් එහෙම කරනකන් වෙන කාටවත් මේ ගැන කියන්න එපා. “

යළිත් වතාවක් සොහොයුරියගේ අත අල්ලා ගනිමින් ඔහු මඳ සිනහවක් පෑවද පසෙක උන් කුඩා යුවතියගේ හදවත නම් තව දුරටත් ඇවිළෙමින් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here