ඔලියැන්ඩර් – 70

0
328
oleander Flower

” අනේ.. ඒ ටික හරි ලස්සනයි “

තරුණිය පහන්‍යා පෙන්වූ බිළිඳු නිදන කාමරයක සුරතල් ආයිත්තම් දැක සතුටින් ඉපිළ ගියාය .

” අපි ඔක්කොම රෝස පාටින් හදමු “

” මල්ලි කිව්වා ඩිසයිනර් කෙනෙක්ට රූම් එක හදන්න බාර දෙන්න කියලා. “

” කාට බාර දුන්නත් කමක් නෑ නෝනේ නෝනෙත් ඔය නැපියක් , ගවුම් පොඩියක් අතේ මහන්න. එතකොට තමයි අම්මා කෙනෙක් වෙන එකේ නියම සතුට හිතට දැනෙන්නේ. “

නැවත සේවයට පැමිණි චිත්‍රාද තරුණියන් දෙදෙනාගේ කතාව අතරමැදට පැන්නාය. 

” ඒක හරි අක්කේ. මගේ අක්කගෙ බබා ලැබෙන්න ඉද්දි අපේ අම්මයි , අක්කයි තමා ඔක්කොම ඇඳුම් ටික ගෙදර මැහුවේ. “

” නැත්තන් .. අපිත් එහෙම තමයි නෝනේ. මල් පීස් ගෙනල්ලා ගෙදරම තමා අතේ පුංචි පුංචි ඇඳුම් පොඩි ටික මහන්නේ “

” ඇයි කොට්ට. තනිකර ගස් පුළුං හොයලා , සුද්ධ කරලා , ඒවා විතරක් දාලා කොට්ට හදන්නේ. මට මතකයි අපේ අම්මා සේපාලිකා මල් වේළලාත් පුංචි කොට්ට හැදුවා “

” නෙවෙන්නං.. “

චිත්‍රා සඳැස්විගේ කතාවට උල් පන්දම් දෙමින් තවත් කුමක් හෝ පැවසීමට සූදානම් වුණිද ඉදිරිපසින් ඇසුණු මෝටර් රථ හඬට තිදෙනාගේම සවන් යොමු විය .

” මං බලන්නම් නෝනේ.. “

” මල්ලිගේ වාහනේ නං නෙමෙයි. “

එසේ පැවසූ පහන්‍යා හිඳ උන් පුටුවෙන් නැඟිට ඉදිරිපස ආලින්දය වෙත ගිය අතර සඳැස්විද ඈ පසුපසින් වැටුණාය. 

” අම්මා..!” 

බෑග මළු කිහිපයක්ම ඔසවාගෙන පැමිණි උත්පලා රන්දෙණිගල ඒ සියල්ල සෝෆාව මත අත හැර වහා ඉදිරියට විත් පහන්‍යා වැළඳ ගත්තාය. 

” කොහොමද ඩාර්ලින්.. ?” 

” හොඳින් ඉන්නවා අම්මා..”

” කොහොමද අක්කා..?” 

උත්පලාත් , උත්පලාගේ පසුපසින් මතු වූ රුවත් දුටු සඳැස්වි හට සිටි තැනම ගල් ගැසී බියෙන් බලා සිටියා හැරෙන්නට කිසිවක් සිතා ගැනීමට පවා නොහැකි වී ගියාය. 

” හායි ෂෙනාර්‍යා ..” 

” අම්මලා කවද්ද ආවේ ? තාත්තත් ආවද ?” 

” ම්ම්.. ආවා.. “

පහන්‍යා පසුපස මුහුණ බිමට බර කරමින් සිටි යුවතිය දෙස යටැසින් බැලූ උත්පලා තමා අසල සිටි ෂෙනාර්‍යා දෙස බලා කිසිදු අමුත්තක් නොමැතිව සිනහවක් නැඟුවාය . 

” අම්මා මෙහෙ එන්නත් කලින් ෂෙනාර්‍යාව බලන්න ගියාද ?” 

” නැතුව.. ඊලඟට ගෙදට්‍ට එන්න ඉන්න දුව මමනේ . ඉතිං මාව බලන්න තමයි ඔක්කොටම කලින් එන්න ඕනේ. “

” අනේද කියන්නේ. හීන තමා ඉතිං “

යටි සිතින් එසේ සිතමින් ෂෙනාර්‍යා වෙත සමච්චල් සිනහවක් පෑ පහන්‍යා එකී සිනහවෙන්ම මව දෙස බැලූ අතර ඇගේ සිනහවේ යටි පෙළ අරුත හොඳින් වැටහුණ උත්පලා කිසිවක් නොදත්තියක සේ යළි ෂෙනාර්‍යා දෙස බලා සිනාසුණාය. 

” ඒ උනාට මල්ලිට අච්චර කරදරයක් වෙච්ච වෙලාවේ ෂෙනාර්‍යා අඩුම මට කෝල් එකක්වත් දුන්නෑ. හැමෝම හොඳටම දන්නවා ඒ වෙලේ අපේ පවුලේ කිසිම කෙනෙක් ලංකාවේ හිටියේ නෑ කියලා. පිට මිනිස්සු කීප දෙනෙක් නොඉන්න මං හිටියෙත් ඒ වෙච්ච දේවල් දරාගන්න පුලුවන් මට්ටමක නෙමෙයි. “

පහන්‍යා එතෙක් සිත තුළ දැවෙමින් තිබූ 

කාරණාවක් පිටට දැමූ අතර මඳක් කලබල වූ ෂෙනාර්‍යා වහා උත්පලා දෙස බැලුවාය. 

” කතා කරන්න නෙමෙයි අක්කේ. මාත් ඒ දවස් ටිකේ ශොක් වෙලා හිටියේ. ඒත් මං ආන්ටි උත්පලා එක්ක කතා කළා. “

ෂෙනාර්‍යා දිගින් දිගටම පහන්‍යා හමුවේ නිදොස් වීමට උත්සාහ කළාය. 

යළිත් වතාවක් ගෙමිදුල දෙසින් මෝටර් රථයක හඬක් ඇසුණු අතර එවර එහි හඬ හොඳින් හඳුනාගත් පසෙකින් සිටි  යුවතිය තව දුරටත් බියෙන් ගල් ගැසුණාය. නතර කළ මෝටර් රථයෙන් පිටතට බට හැඩිදැඩි තරුණයා නිහඬවම බර අඩි තබමින් ආලින්දය වෙත පිවිසි අතර ඔහු දුටු උත්පලා වහා දුව ගොස් ඔහුගේ ගෙලෙහි එල්ලී ඔහු වැළඳ ගත්තාය. 

” කොහොමද පුතේ ? කරදරයක් නැතුව  හොඳින් ඉන්නවා නේද ?” 

මවගේ හැසිරීමට හෝ එකදු පැනයකට ප්‍රතිචාර නුදුන් ඔහු සිටි වනම සෙල් රුවක් සේ සිටි අතර උත්පලා පසුපසින් පැමිණි ෂෙනාර්‍යාද වහා ඔහුගේ ගෙල වැළඳ ගත්තාය. 

” කොහොමද සියත්‍ර ?” 

නැඟෙන ප්‍රශ්න , ගැටළු වලට කිසිදු පිළිතුරක් නුදුන් ඔහු ෂෙනාර්‍යාගේ වැළඳ ගැනීම හමුවේ යටැසින් පසෙකට වී බිම බලා සිටින යුවතිය දෙස බැලුවේය . ඉන් අනතුරුව පැළැඳ සිටි බ්ලේසරය ගලවමින් බර අඩි තබා ප්‍රතාපවත් ගමනින් කුඩා තරුණිය වෙත ඇවිද ගොස් ගැලවූ බ්ලේසරය ඇය අත මතින් තැබුවේය. ඉන් පසුව පැළැඳ සිටි මිලාධික අත් ඔරලෝසුවද ගලවා ඈ වෙත දිගු කළ ඔහු සාක්කුවේ බහා තිබූ තම මුදල් පසුම්බියත් , ජංගම දුරකතනයත්  ගෙන ඒවාද තරුණිය වෙත දිගු කළේය .

” මහන්සියි.. රූම් එකට එන්න. “

ඈ දෙස බලා එපමණක් පැවසූ ඔහු විසල් කර ගත් කෝපාවිශ්ට දෑසින් තමා දෙස බලා උන් මව දෙස නොබලාම තරප්පු පෙළ වෙතට අඩි තැබූ අතර ඊලඟ මොහොතේ සිදුවන්නට නියමිත දෑ ඉවෙන් මෙන් තේරුම් ගත් සඳැස්වි අත තිබු බ්ලේසරය තදින් අල්ලා ගත්තාය. 

” සියත්‍ර..!” 

උත්පලාගේ හඬෙහි මෙතෙක් තිබූ ආදරණීය බව ක්ෂණිකව පලා ගොස් තිබුණි. 

” මොන නාඩගමක්ද උඹ මේ නටන්නේ ? ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද උඹට ?” 

” අනේ.. ආන්ටි ! කවුද මේ..? ඇයි සියත්‍ර ඔයා මේ කෙල්ලව රූම් එකට එක්කන් යන්නේ ? මමයි ඔයාව මැරි කරන්න ඉන්නේ ? මොන විකාරයක්ද මේ කරන්නේ ? කවුද මේ ? අනේ ආන්ටී..!  මොකක්ද සියත්‍ර මේ වෙන්නේ ?”

ලැජ්ජාව අසීමාන්තික වූ අතර එකී ලැජ්ජාවෙන් බේරීමට ෂෙනාර්‍යා ඉදිරියේ හදිසියේ කෝප වී කෑගසා යන්තමින් ගැලවිය හැකි බව සිතා උත්පලා තම මුව ඉස්සර කළද ඊට නොදෙවෙනි වූ ෂෙනාර්‍යා වහා ඈවද නිහඬ කරමින් කෑගැසුවාය. 

” ඔයාට මං කියපු දේ ඇහුන්නැද්ද ?” 

තමා සමඟ එන ලෙස පවසා ඉදිරියට පැමිණියද එක අඩියක් හෝ ඉදිරියට නොතබා සිටි තැනම තව දුරටත් වික්ශිප්තව බලා සිටින තරුණිය දෙස බැලූ සියත්‍ර උත්පලාගේ හෝ ෂෙනාර්‍යාගේ එකදු වදනක් හෝ මායිම් නොකර ඈ දෙස බලා ඇසුවේය. 

” සියත්‍ර..! උඹ ගාණට වැඩි වෙලා පුතේ. මේ කාගේ කවුද කියන්න මං උඹට කලින්ම තේරුම් කරලා දුන්නා. “

තමා කෙරෙහි බල පැවතියාවූ පුත්‍රයාගේ නොසැලකිල්ල හේතුවෙන් තවත් කෝපයට පත් උත්පලා යළිත් වරක් කෑ ගැසූ අතර තරප්පු පෙළ වෙත ඇවිද ගිය හැඩි දැඩි තරුණයා යළිත් හැරී මව වෙත බර අඩි තැබුවේය. 

” සඳැස්වි ආරණ්‍යා සෝමතිලක . ෆැක්ට්‍රි එකේ හිටපු සුපවයිසර් රංජිත් සෝමතිලකගේ දුව . මොකද්ද ප්‍රශ්නේ ?” 

එක එල්ලේ මව වෙත පතිත වු ගැඹුරු දෑස ඇගෙන් ගොරහැඬි ස්වරූපයකින් විමසුවේය. 

” ප්‍රශ්නේ මොකද්ද කියන්න උඹ මට වඩා හොඳට දන්නවනේ සියත්‍ර ?”

” සෝමතිලක අපේ ගෙදර බැල්කනියෙන් වැටිලා මැරුණා. හැබැයි සෝමතිලකගේ ඒ ඇක්සිඩන්ට් එකට මං සම්බන්ධ නෑ. කොටින්ම මං ඒ වෙලාවේ බැල්කනි එකේ හිටියෙත් නෑ. “

මවගේ සවන අද්දරට පහත් වූ ඔහු සෙමින් එසේ කෙඳිරූ අතර ඔහුගේ සියුම් මෙන්ම ස්ථීර කටහඬින් උත්පලාගේ දෑස මෙන්ම දෙතොලද වෙව්ලන්නට පටන් ගැනිණි. දෙපතුල් තුළින් හට ගත්තා වූ ක්ෂණිකව අප්‍රාණික බව ඇසිල්ලකින් හිස් මුදුනටද දැනීමෙන් මුළු සිරුරෙහිම පාලනය තමා තුළින් ගිලිහෙන බව වටහා ගත් උත්පලා රන්දෙණිගල තමා පසුපස වූ සෝෆාවේ ඉහල කොන තදින් අල්ලා එයට බර වූවාය. 

” සියත්‍ර..! මේක හොඳට අහගනින්. මං උඹේ අම්මා. උඹට බෑ මට ඉහලින් යන්න. මෙච්චර කල් කළා වගේ උඹ ඉස්සරහටත් වැඩ කරන්න ඕනේ උඹේ අම්මටයි , තාත්‍තටයි ඕන විදිහට. ඊට පිටින් හරි , ඊට උඩින් හරි යන්න ලෑස්ති වෙන්න එපා. ” 

තමා ඉදිරියේ උන් මහා පෞරුෂයක් ඇති හැඩිදැඩි තරුණයාව තව දුරටත් තමා මත රඳන කුඩා එකෙකු සේ පහතට හෙළූ උත්පලා දිගු කරගත් දබරැඟිල්ලෙන් නැවතත් ඔහු දෙස බලා ගිගිරුවාය. මවගේ ගිගිරුමට හෝ ඇගේ කෝපයට එක් අංශු මාත්‍රයක හෝ වෙනසක් , සෙළවීමක් නොපෙන්වූ ඔහු ඈ දෙසට විතැන් කර ගත් ස්ථීර ගැඹුරු බැල්මෙන්ම තව දුරටත් බලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here