සංකල්පනීගේ කලබලයෙන් කෝප ගත්තද දනුකගේ සිතෙහි වූ ඒ කෝපය නිවී ගියේ ඇය පැවසූ වදන්වලින්ය. සියල්ල සිදුවන්නේ ඔහු බලාපොරොත්තු වනවාටත් වඩා ඉක්මනටය. චාරුක රඹුක්වැල්ලගේ බිරිඳ තමාගේ යෙහෙළියක බව සංකල්පනී පවසද්දී ධනුක එවදන් විශ්වාස නොකළ තරම්ය. අවසන සංකල්පනී ඇයත් සමඟ වට්ස්ඇප් හරහා කළ සංවාදයක ස්ක්‍රීන්ෂොට් එවා තිබුනේ ධනුක පුහුණුවීම්වල නිරතව සිටියදීය. එතැන් සිට ඔහුගේ සිතෙහි වූයේ වෙනමම බලාපොරොත්තුවකි. සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යාමටනම් සම්බන්ධ විය යුතු ආයතන දෙක තුනක් ලංකාවේ වුවත් ඒ සියල්ලන්ගෙන්ම ඉදිරියෙහි වූයේ වර්ණ ඇඩ්වර්ටයිසින්ය. මුලින්ම ඔවුන් වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේ පමණක් නිරත වුවත් වත්මනෙහි ලංකාවේ සංවිධානයවන බොහෝ රියලිටි වැඩසටහන්වල සේම සංගීත ප්‍රසංගවල සංවිධාන කටයුතු සිදුවන්නේ වර්ණ ඇඩ්විට අයිසින් හරහාය. තමාට මේ ක්ෂේත්‍රයේ ඉහළට යා හැකි හොඳම තැන වර්ණ ඇඩ්වර්ට්‍රයිසින් බව ධනුක විශ්වාස කළේය. එනිසාම ඔහු නුලාරා රඹුක්වැල්ල සමග ඇති සම්බන්ධතාවය යළි අලුත් කරගන්නයැයි සංකල්පනීට බල කරමින් සිටියේය.
“දැන් හෙට ඇඳගෙන යන්න හොඳ ඇඳුමක්…?”
“අර කහ පාට ඉරි තියෙන ටී ෂර්ට් එකයි දුඹුරු පාට කලිසමයි අඳිමු.”
“ඔයා ඔයාගේ ප්ලෑන්ස් ගැන මුකුත්ම එයාලා එක්ක කතා කරන්න හදන්න එපා. මුලින්ම චාරුකගේ විශ්වාසය ගන්න බලන්න. නුලාරා මට කියලා තියෙන විදිහට ඔය එයාගේ දකුණු අත වගේ ඉන්නේ ඉස්සර තාත්තගෙ කාලේ එතන වැඩ කරන්න ආපු කෙනෙක්ලු. දැන් චාරුකගේ හොඳම යාළුවත් එයාලු. කම්පැනි එකෙන් ගේකුයි වාහනයකුයි දෙකම දීලා තමයි ඔය තියාගෙන ඉන්නේ. ඒ හැමදේම හිතවත්කම නිසානේ. මං හිතන්නේ ලක්ෂ දෙකකට තුනකට කිට්ටු වෙන සැලරි එකකුත් ලැබෙනව ඇති. අනිත් කෙනා එයාලගේ සෙක්‍රට්‍රි, එයාගේ තාත්තා තමයිලු චාරුකගේ තාත්තා ෆර්ම් එක පටන් ගනිද්දි මැනේජර් වගේ හිටියේ. ඒ කෙල්ලත් පුදුම උනන්දුවකින් කැපවීමකින් වැඩ කරනවලු.මැරි කරන වෙලාවේ තෑග්ග විදිහට ලක්ෂ පහක් දුන්නලු. ඒ කෙල්ලටත් කාර් එකක් එහෙම අරන් දීලා තියෙන්නේ කම්පැනි එක ගානෙලු. කලබල වෙන්නෙ නැතුව කල්පනාවෙන් වැඩ කරන්න. අනිත් එක තමයි ධනුක මොනම වෙලාවකවත් වැඩ කරද්දි ඩ්‍රින්ක්ස් ගන්න යන්න එපා. මේක බෑන්ඩ් එක නෙමෙයි නේ..ඩ්‍රින්ක්ස් ගත්තට පස්සේ ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.”
“හරි.. හරි මැණිකේ මම දන්නවා කරන්න ඕන දේ. දැන් ගිහිල්ලා හොඳ ළමයා වගේ හොඳට කහටයි සීනියි දාලා රස තේ එකක් හදාගෙන එන්න. අද දවසෙම අපි මේ සතුට සමරමු.”
“මට බඩගිනියි ධනුක..බනිස් ගෙඩියක්වත් ගේමුද..”
“හරි ඔයා තේ එක හදන්න මං ගේන්නම්…”
ධනුකගේ සිතට දැනෙමින් තිබූ සතුට වදන්වලට පෙරලන්නට ඔහු අපොහොසත් වූයේය. තමා මේ නිල් අහස් කුස පුරා පියාසර කරන සෙයක් ඔහුට දැනෙන්නට විය. ඇඳ උන් කෙටි කලිසමට උඩින් ටී ෂර්ට් එකක් දමාගත් ඔහු අසල කඩයට ගියේ මුහුණවත් නොසෝදාය.
මාළු පාන් දෙකක් සහ වඩේ දෙකක් මිලදී ගත් ඔහු ආපසු හැරුනේ මදක් එහාට වන්නට උන් මුදලාලිගේ දුවට ඇසක් ඉඟි මැරුවාට පසුවය. වසර තිස් හතරක් ගෙවී ගොස් තිබුණද තවමත් ඔහු කොලුකමනම් අතහැර තිබුණේ නැත. හදිසියේ යමක් සිහිවූවා සේ ආපසු හැරුණු ධනුක සංකල්පනී වෙනුවෙන් චොක්ලට් පෙත්තක් මිලදී ගත්තේය. සාක්කුවෙහි වූ ජංගම දුරකථනයේ නාද වූයේ ඔහු එයට මුදල් ගෙවද්දීය. දුරකථනයෙහි නම සදහන් වූයේ අම්මා යනුවෙන්ය.
‘නඩුවක්’යැයි තමාටම පවසාගත් ධනුක දුරකථන ඇමතුමට පිළිතුරු සැපයූයේ සෙමින් පා තබා ඉදිරියට ඇවිද යන අතරේය.
“මේ සති අන්තෙවත් ගෙදර ඇවිත් යන්ඩ බැරිද ලොකු ළමයෝ..”
මේ සති කිහිපයක් පුරා අම්මා කරන ඇවිටිල්ලකි.
“මට අලුත් තැනක ජොබ් එකක් හම්බුනා අම්මේ. හොඳ තැනක ඉතින් එක පාරටම එහෙම එන්න බෑ. මං දන්නෙ නෑ එතන සති අන්තෙත් වැඩ කරන්න වෙයිද කියලා.”
“අනේ මන්ද ළමයෝ කඩ කෑම කකා. සින්දු කිය කිය ඔය ගත කරන ජීවිතේ මොකක්ද කියලා. මාමා කියපු විදිහට අර සිල්ලර බඩු කඩේ බලාගෙන ඔය ආසාවට සින්දුවක් දෙකක් කියාගෙන හිටියනම් මොකද.”
“ඒ ගැන ආපහු කතා කරන්න එපා අම්මේ. මං අම්මට කිව්වනේ මට යන්න ඕන තැනක් තියෙනවා. ඒ තැනට ගිහිල්ලා මිසක් මං ආපහු පස්ස හැරෙන්නේ නෑ.”
“අනේ මන්දා ළමයෝ මෙව්වා. මාමා මට ඊයේ හැන්දෑවෙත් කෝල් එකක් දීලා කිව්වා මේවා එකලාසයක් වෙන්න ඕනනේ කියලා.”
“අම්මටයි මාමටයි ඔය තියෙන හදිස්සිය දේවිට නෑ..”
“දේවිකාට ඒ හදිස්සිය නැති වෙන්න පුළුවන්. මොකද ඉතින් ඔයා කියන ඕන දේකට හා, හූම් කියනව ඇරෙන්න ඊට පිටින් ඒ ළමයා යන්නේ නෑනේ. ඒ උනාට ගෑනු ළමයෙක් ගෙදරට නාකි වෙනකොට අම්මටයි තාත්තටයි ඒක ප්‍රශ්නයක්. ඒ ළමයට දැන් අවුරුදු විසි නවයක්. මේවා ඔයාලම ඇතිකරගත්තු සම්බන්ධතා මිසක් අපි බලෙන් ඇතිකරවපුව නෙමෙයිනේ. අනික පවුලක් පන්සලක් වෙලා ළමයි ඹමයි හදනකොට ඔය ළමයින්ට හතළිහත් පැනලා තියෙයි.”
“මට තව අවුරුද්දක් දෙන්න අම්මේ..”
“මාමා කතා කරන්නේ හිත් නොහොඳින්. මට හිතෙනවා දේවිකා ළමයා උනත් ඔයයි මාමයි අතරේ තැලෙනවා කියලා. අඩුගානේ කසාඳේ හරි අත්සන් කරලා ගියා නං ඒ මිනිස්සුන්ගේ හිතට බයක් නෑ.”
“මං මගේ හුස්ම ගියත් දේවිව අතාරිනවද අම්මා.”
“ඒක දන්නෙ ඔය ළමයි දෙන්නනේ. මාම කෙසේ වෙතත් රංජනී පිට ගෑනියෙක්. ඒ මනුස්සයාගේ හිතෙත් ආසාව ඇතිනේ තමන්ගේ දරුවා මඟුල් පෝරුවක නැගලා ඉන්නවා බලන්න.”
“මං දේවිට කතා කරන්නම් අම්මා. ඊයෙ රෑත් මං එයත් එක්ක විනාඩි පහළොවක් විතර කතා කර කර හිටියා. මට කිව්වෙ නෑ මාමා එහෙම කරදර කරන කතාවක්.”
“ඒ ළමයා ඔයාගේ හිත රිදෙයි කියලා බයට කිසි දෙයක් කියන්නේ නෑ. පෙරේදා හැන්දෑවේ මෙහෙ ඇවිල්ලා මමත් එක්ක කිව්වා අම්මයි තාත්තයි නිතරම අහනවා ධනුක කවදද මේ කසාද කටයුතු කරන්නේ කියලා. ධනුක එහෙ ඉන්නෙත් හිතේ කරදරෙන් නැන්දේ මං කොහොමද එයාගෙන් එහෙම අහන්නෙ කියලා.”
“මට මේ සති දෙක දෙන්නකෝ අම්මේ මං මාසේ අන්තිමේ අනිවාර්යෙන් ගෙදර ඇවිල්ල යන්න එන්නම්. එතකොට මං මාමත් එක්කත් කතා කරන්නම්. තව ටික කාලයයි අම්මේ. මගේ හීනේ හැබෑ වෙනවා..”
ධනුක දුරකථන ඇමතුම විසන්ධි කලේ ඇනෙක්සිය පිහිටි ඉඩමේ ගේට්ටුවෙන් ඇතුළු වන ගමන්ය.
දේවිකා ගිම්හානි විමලසූරිය යනු ඔහු කුඩා කල සිට පෙම් බැඳි යුවතියයි. නෑකමට ඒ අවැස්ස නෑනාය. තරමක් තද හිතක් වූ මාමාට වසර ගණනාවක් හංගාගෙන උන් පෙම් පලහිලව්ව ඉව වැටුණේ ධනුක සිය සංගීත ගමනේ අභිමතාර්ථයන් සඵල කර ගැනීම උදෙසා කොළඹ ඒමට සැරසෙද්දීය. දේවිකා අවිහිංසක පියකරු යුවතියක වූවාය. නැන්දාත් අම්මාත් ඔවුනගේ ඒ සම්බන්ධයට කැමැත්ත පළ කලේ නොසිතූ විලසය. ධනුක කොළඹට පැමිණ මේ ගෙවී යන්නේ පස්වන වසරයි. පොළොන්නරුව නගරයේ කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලාවක කාර්යාලයේ ගිණුම් ලිපි කාරිනියක ලෙස සේවය කරන දේවිකා නව ජීවිතයකට පිවිසීමට අවැසි සියලු භෞතික සම්පත් එකතු කරගෙන බලා සිටියේ ධනුක තීරණයක් ගන්නා තුරුය. ඇය ඒ පවුලේ එකම දියණිය වූ නිසා කොහොමත් මාමා සතු සියලු දේපළ අයිති වනුයේ ධනුකටය.
සංකල්පනී යනු ඔහුගේ මේ ගමනට අහම්බෙන් ළංවූ අයෙකි. ඇය ගැන ගමේ කිසිවෙකුත් ගම ගැන මහමෙරක් තරමට යමකුත් ඇය නොදැන සිටියාය. කොහොමටත් ධනුක තමා පිළිබඳව විස්තර ඇය හා කතා කළේ අඩුවෙන්ය. පසුගිය දෙවතාවේම ඔහු ගමට ගොස් පැමිණියේ සිය සංගීත කණ්ඩායම සමග කොළඹින් පිට වන ප්‍රසංගයකට දින දෙකක් සහභාගී වනබව පවසමින්ය. සංකල්පනී සමග ගත කරන මේ ජීවිතය කවදා කොතැනකින් නිමාවේදැයි ඔහුටම සිතාගත හැකි කමක් වූයේ නැත. එය හුදෙක්ම කායික බැඳීමක් පමණක් බව විශ්වාසය. දේවී සමග වූ සුන්දර මතකවල ජීවත්වන ධනුකට අදටත් ඇය එදා සේම තම ජීවිතයේ කුළුඳුල් පෙම්වතියය. සංකල්පනීත් දේවිකාත් එක් කොට සිතත්දී දේවිකා වූයේ ගව් ගණනක් ඉදිරියෙන්ය. සංකල්පනී ගැන සිතද්දී ධනුකගේ සිතෙහි උපදින්නේ අනුකම්පාවකට සමාන වූ හැඟීමකි. ඇය තමා සමග ජීවත් වන්නට පැමිණියේ තමාගේ බලකිරීමකින් නොවන බව විශ්වාසය. එහෙත් දේවිකාත් සමඟ සසදා බලද්දී සංකල්පනී පිළිබඳව ධනුකගේ සිතෙහි වූයේ අඩු ලංසුවකි. සිතට වද දෙන මේ කාරණය පිළිබඳව ඔහු වැඩිදුර සිතන්නට නොගියේය. එහෙත් දේවිකා වෙනුවෙන් තම යුතුකම ඉටු කළ යුතු බව ඔහු විශ්වාස කළේය.
“මං හිතුවා ඔයා බනිස් හදන්න බේකරියට ගිහින් කියලා.”
කුඩා ඇනෙක්සියේ උළුවස්සට හේත්තු වීගෙන උන් සංකල්පනී පැවසූයේ සිනහමුසුවය. ඇගේ කර වටා අතක් යවාගත් ධනුක කුඩා කාමරයට පිවිසියේ ඇයත් සමගමය.
“මං ඔයාට කිව්වනේ නුලාරා මොනවද ඔයාව මේ ජොබ් එකට යවලා බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි ඒකට මොනවද ධනුක කරන්නේ?. මම චාරුක ගැන කියන්න දන්නෙ නෑ. චාරුක නුලාරට හරි ආදරෙයි කියලා විතරක් මට පේනවා. හැබැයි ඉතින් සල්ලි තියෙන මිනිහෙක්ට වියදම් කරන්න කාගෙන් තහනමක්ද..චාරුකට ගෑණු එක්කෙනෙක් නෙමෙයි දහයක් පහළොවක් වුණත් නඩත්තු කරන්න පුළුවන්. අනිත් එක චාරුක නුලාරට වඩා ලස්සන ශෝෂල් ගෑනුත් එක්ක වැඩ කරන්නෙ. ඔය සමහර ගෑනු තමන්ගේ පැවැත්ම හදාගන්න ෆීල්ඩ් එකේ ඉහලින් ඉන්න මිනිස්සුත් එක්ක එල්ලෙනවා. එහෙම නැත්නම් තමන්ට ඕන ඕන විදිහට වියදම් කරන්න සල්ලි උපයා ගන්නත් සමහර ගෑණු සල්ලිකාරයෙක් දැක්කහම දෙපාරක් හිතන්නෙ නෑ. පිරිමි වුණත් සිල් ගන්න අය නෙමෙයිනේ. ජීවිතේ විඳිනවා කියලා හිතාගෙන දවසින් දවසට ගෑනු මාරු කරන පිරිමින් මේ ලෝකේ ඉන්නවා. ගෙදර ඉන්න ගෑනි ආදරයෙන් නළවන ගමන් සුරංගනා කතා කිය කිය වටේම ඉන්න ගෑනුන්ගේ හිත්වලට එබෙන පිරිමිත් ඉන්නවා. අපි තවම දන්නෙ නෑ චාරුක අයිති වෙන්නේ මේ මොන කොටසටද කියලා. ඒ කොහොම වුණත් අපිට ඒ දේවල් නුලාරට කියලා එයාගේ හිත රිද්දන්න බෑ ධනුක. පව් පුරවගන්නත් බෑ.”
“අපි ඒක ඒ වෙලාවට බලාගමු. මුලින්ම කරන්න ඕනේ අපේ පැවැත්ම හදා ගන්න එක. නුලාරාගේ හිත ඒකෙන් හැදෙනවනං ඉඳලා හිටලා පොඩි බොරුවක් කිව්වට පව් පිරෙන්නෙ නෑ. අනික ඉතින් අපි මොනවා කිව්වත් ඔය ගෑනි දැන් ඉන්නේ චාරුක විශ්වාස කරන තැනක නෙවෙයි නේ…”
ධනුක එසේ පැවසුවත් සංකල්පනී උන්නේ වෙනමම කල්පනාවකය. එහෙත් ඕ එවේලෙහි හිස වනමින් ධනුකට එකඟ වූවාය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


