මලක් වී යළි පිපෙන්නම් –  60

0
21

රාත්‍රිය ගෙවී ගියේ ඒ නොසන්සුන් බවත් සමගින්ය. යළිත් රෝහලට යනවායැයි පැවසූ චාරුක නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රියේදීය. ඒ තේජනත් සමගින්ය. ඔහුගේ වාහනය පැමිණ ගේ උයනේ නවතත්දීම ආලින්දයට වී සිටි නුලාරා කාමරයට ගියේ  තවදුරටත් ඔහුට මුහුණ දිය හැකි කමක් නොවූ නිසාය. 

විනාඩි ගණනාවකට පසුව ඔහු කාමරයට පැමිණෙනුත් නාන කාමරයට වැදී  ටික වේලාවකට පසුව බොටම් වර්ගයේ සැහැල්ලු කලිසමකුත් ස්කිනි  වර්ගයේ ටී ෂර්ට් එකකුත් ඇඳ කාමරයෙන් පිටවනුත් ඈ බලාගෙනය. එහෙත් චාරුක නුලාරා සමගත් නුලාරා චාරුක සමගත් එකඳු වදනක්වත් කතා නොකළේය.

සෝමා කෑම මේසය පිළියෙල කලේ ඒ අතරේය. 

මහත්තයා කැමති කෑමක් හදන්නයැයි නුලාරා පැවසූ නිසා ඕ රාත්‍රියට ආප්පත්, බිත්තර ආප්පත් සාදා මාළු ඇඹුල් තියල්,  ලුණු මිරිස්  පිළියෙල කළාය. ඊට අමතරව පෙති කැපූ  පාන් ගෙඩියක් හා චීස් බටර් මේසය මතින් තැබුවේ වෙනදා පුරුද්දටය. 

“අපේ චූටි නෝනත් දවල් ඉඳලා කිසිම දෙයක් හරියකට කාලා නෑ මහත්තයා. හවස වදෙන් පොරෙන් සුප් එකක් හදල පොවා ගත්තේ බබාට කිරි දෙන්න ඕන නිසා.”

සෝමා එසේ පැවසූයේ කෑම මේසය අසලින් නික්ම යන්නට පෙරය. තේජනත් පැමිණ අසුන් ගත්තේ එවේලෙහිය. සෝමාව නෑසුනා සේ බිත්තර ආප්පයක් තම පිඟාන මතින් තබාගත් චාරුක ලුණු මිරිස් ස්වල්පයකුත් ඇඹුල් තියල්  කළ මාළු කෑල්ලකුත් බෙදා ගත්තේය. තේජන සිටියේ ඔහු දෙන පිළිතුර අපේක්ෂාවෙන්ය. එහෙත් තම මිතුරා දෙසට ආප්ප පිඟාන දිගු කළ චාරුක කන්නට පටන් ගත්තේ සෝමාගේ දෑස් විමතියෙන් විසල් කරමින්ය. 

නුලාරා එක වේලක් බඩ ගින්නෙහි සිටියහොත් ඒ පිළිබඳව ඔහු වද වෙන තරම ගැන ඈ හොඳින්ම දැන සිටියාය. වඩා බිය සිතුනේත් එනිසාය.

“සෝමට කියන්නද නුලාරට කතා කරන්න කියලා.”

තේජන ඇසුවේ තවත් විනාඩි කිහිපයක් ඉක්ම ගියාට පසුවය. සෝමා කෑම මේසය අසලින් ඉවත්ව ගියත් මදක් එහාට වන්නට නතර වූයේ ඔහුගේ පිළිතුර අපේක්ෂාවෙන්ය.

“මේක එයාගේ ගෙදර කියලා එයාට දැනෙනවනං ඕන වෙලාවකක ඇවිල්ලා කයි. මොකද එයා තමන් වෙනුවෙන් නෙමෙයි දරුවා වෙනුවෙන් හරි දැන් ඒ කැපකිරීම කරන්න ඕනේ. මට අමතක කරන්න බෑ බං එයා මාව දාලා යන්න ගියා කියන එක. තනියම  නෙමෙයි මගේ ජීවිතේම අරගෙන. ඒ වෙලාවේ තාත්තා අසනීප  නොවුනනම් මේ සිටුවේෂන් එක මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබුණ බං. එහෙනම් අද මේ ගෙදර බබත් නෑ පොඩි මෑනුත් නෑ. මමත් පිස්සෙක් වෙලා. මොකද බබාගේ තාත්තා එයාව එක පයින් විශ්වාස කරනවා ඒ වෙලාවේ.

“මං උඹට  කිව්වේ මං ටිකක් නංගි එක්ක කතා කළා කියලා. මචං එයාට උඹව නැති කරගන්න වුවමනාවක් නෑ.”

“ඒක එහෙම වෙන්න පුළුවන් බං. ජීවිත කාලේ පුරාවටම නැති විදිහේ පීඩනයක් පහුගිය කාලේ මට තිබුණා. ඒ පහුගිය කාලෙත් නැති තරමට පීඩනයක් අද දවස ඇතුළත මං වින්දා බං. මට ඒ දේවල් මතක් වෙනකොට එයාට මුහුණ දීලා කතා කරන්නත් හරි අපහසුයි. මචං මං එයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු උනා. ගොඩක් දේවල් කියන්නේ සල්ලි නෙමෙයි බං.”

“මට තේරෙනවා උඹ කියන දේ මොකක්ද කියලා.”

“එයා මගේ හිත පුරෝපු කාලයක් තිබුණා. මං හිතන්නේ ඒ ආදරේට මං නොසෑහෙන්න එයාට ආදරේ දුන්නා. මං හංගගෙන ආදරේ කරන්න දන්න මිනිහෙක් නෙමේ බං. බබා කියලා කියන්නේ මගේ ජීවිතේ එක කොටසක් නෙමෙයි, මුළු ජීවිතේම. ඒකයි මටත් සමහර දේවල් දරන්න අමාරු. මං හරි විවෘතව ජීවිතය දිහා බලපු මිනිහෙක්. මචං පාරේ අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් ගියත් මම ලිෆ්ට් එකක් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ. මට ලොකු පොඩි මිනිස්සු හිටියේ නෑ. අපි හැමෝම මිනිස්සු. පොළවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක් මට ඕන උනේ ඒ නිසා.  මම මිනිස්සුත් එක්ක ගණුදෙනු කරපු විදිහ මං මගේ සේවකයන්ගෙන් වැඩ ගතපු විදිහ හරි වෙනස්. ෂෝ එකක් කරන තැනකට ගිහිල්ලා මං කවදාවත් අත් දෙක බැඳගෙන බලාගෙන හිටියේ නෑ. මං  දේවල් ඉගෙන ගත්තේ තාත්තගෙන්. ඉස්සර තාත්තල වැඩ කරන ලොකේෂන් වලට ගියහම මං කල්පනා කරනවා ඇයි මේ තාත්ත ලයිට් එක අල්ලන්නේ, ඇයි මේ තාත්ත කැමර් එක මයික් එක උස්සන්නේ කියලා..  හැබැයි මම කාලයත් එක්ක තේරුම් ගත්ත බං තාත්තා මේ බිස්නස් ඇතුලේ සාර්ථක වුණේ ඒ ටීම් වර්ක් එක නිසා කියලා.  මචං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ලත් නුලාරට එක චුට්ටක්වත් මං මේ වැඩ කරන ෆීල්ඩ් එක ගැන තේරුම් ගන්න බැරි වුණා කියලා කියන්නේ ඒක….හරි අමාරුයි බං. පහුගිය කාලෙ පුරාම මං කොච්චර පීඩනයකින්ද හිටියේ කියලා මට තේරෙන්නේ දැන්. මං මගේ වැඩ අරයට මෙයාට පවරලා ඒක කෙරෙනකල් බලන් ඉඳපු බොස් කෙනෙක් නෙමෙයි. මං හවසට ගෙදරට එන්නෙ බං එයාගේ හිනාව බලාගෙන. ඉස්සර වගේ එයා මගේ ළඟට වෙලා ඔහේ කියව කියව ඉන්නව දකින්න ආසාවෙන්. හැබැයි පහුගිය කාලෙ පුරාවටම එයාගේ ඇස් වල තරහා මිසක්, එයාගේ ඇස් වල සැකය මිසක් ඒ හිනාව මං දැක්කේ නෑ බං. ඒ ගැන හිතද්දිත් මට මාර අමාරුයි. සමහර විට මේ තැනදි උනත් මන්දස්මිට ඇත්ත තේරුම් කරන්න, එහෙම නැත්නම් එයාට අපි පොරොන්දු වෙච්ච සම්පූර්ණ ගාන ගෙවලා එයාව මෙතනින් අයින් කරන්න මේ මොනවා හරි දෙයක් කරන්න තිබුණා. හැබැයි බං මං මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ මන්දස්මි එක්ක විතරක් නෙමෙයිනේ. මන්දස්මි කියන්නේ මට එක්කෙනෙක් විතරයි.  ඊට පස්සේ මට බබා කිව්වනම් අමායා ඔතනින් අයින් කරන්න කියලා. ඒක මට කරන්න බෑනේ බං. අමාය කියන්නේ මගේ මේ දකුණු අත…”

“උඹ කියන දේ හරි….”

“මට බබාව ඕන බං. එයා මාව එහෙම අත ඇරලා දාලා ගියොත් ආයේ සමහරවිට මං මේ ජීවිතේට කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැතිවෙයි. හැබැයි තවදුරටත් එයා ඒ සැකයත් එක්ක මං ගාව රැඳෙන්න ඕන නෑ. එහෙම උනහම ජීවත් වෙන්න හරි අමාරුයි කියලා මම දැන් දන්නේ අත්දැකීමෙන් බං…”

චාරුකගේ වදන්වල වූයේ කලකිරීමකි. තේජන ඔහුව අසා සිටියා විනා කිසිවක්ම පවසන්නට නොගියේය. අවසන තේජනට අමුත්තන්ගේ කාමරය සූදානම් කර දෙන්න යැයි සෝමාට පැවසූ චාරුක උඩුමහලට නැගුනේය. එහෙත් ඔහු නුලාරාගේ කාමරයට නොගියේය. චාරුකට වුවමනා වී තිබුණේ නිවී සැනසිල්ලේ තමාගේ ජීවිතය ගැන සිතන්නටය. 

උදෑසනත් ඔහු පිටව යනතුරුම නුලාරා  සිටියේ ඇඳට වීගෙනය.

අම්මාට දුරකතන ඇමතුමක් දී තාත්තා පිළිබඳව සොයා බැලූ ඈ කුඩා පුතුට කිරි දී යළිත් කාමරයට පැමිණියේ වෙහෙසකර අයුරකින්ය. 

“අනේ රත්තරනේ මේ කිරි ටික බීලා සැන්ඩ්විච් එකවත් කාලා ඉන්න.”

සෝමා එසේ පවසද්දී පිරියක් හෝ බඩගින්නක් නොමැති වුවත් ඇය සැන්ඩ්විච්  පෙත්තක් කා කිරි වීදුරුව  එක හුස්මට හිස් කලේ දරුවා නිසාය. සංකල්පනී පැමිණියේ උදෑසනමය. 

“අනේ සංකල්පනී  මිස් ආපු එක කොච්චර දෙයක්ද..?”

සෝමා ඇයව පිළිගත්තේ මහත් වූ සැනසීමකින්ය. 

“ඊයේ  මට එන්න විදියක් තිබුණේ නෑ සෝමා. කෝ දැන් නුලාරා නිදිද?”

“දැන් චුට්ටකට කලින් මං කාමරේට ගිහිල්ල බලද්දි නින්ද ගිහින් තිබුණා. ඊයේ එළිවෙනකල් නිදි නැතුව ඇති. මං හිතන්නේ මහත්තයත්  ඊයේ උඩ කාමරයක නිදා ගත්තේ?. තේජන  මහත්තයත් මෙහේ  නතර වුණා. උදේම දෙන්නත් එක්ක පිටවෙලා ගියේ ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඔෆිස් එකේ වැඩ වගේකට යනවා කියලා.”

චාරුකයි නුලාරයි රණ්ඩු උනාද සෝමා..

“නෑ එහෙම කෑ ගහගත්තේනම් නෑ. ඒ උනාට දෙන්න දෙමහල්ලෝ වැඩිය කතා කරන්නෙත් නෑ මිස්. ඊයේ කෑම මේසෙදි අපේ මහත්තයා හරි කලකිරීමකින් තමයි නෝනා ගැන කතා කළේ. මට තේරෙන්නේ නෑ මොනවද මේ වෙන්නේ කියලා. ඒ කතාව අහගෙන හිටියහමනං මට හිතුනේ මේ හැම දෙයක් දෙයක්ම බොරු කියලා.”

“බොරු කියල කිව්වේ.”

“අර මන්දස්මි කියන මිස්ගෙයි  අපේ මහත්තයගෙයි  තියෙන සම්බන්ධකම  ගැන. මට හිතෙනවා එහෙම දෙයක් නෑ, මිනිස්සු කියන බොරු කියලා.”

සෝමා එසේ පැවසූයේ වටපිට බලමින්ය. මේ ගෙදර ඒ නමවත් කියන්නට ඈ බියය. 

“ඒ ඔක්කොම බොරු තමයි සෝමා. ගෑණු අපි සමහර දේවල් වලට හරියට කලබල වෙනවා. ඔයාගේ චූටි නෝනටත් උනේ ඒක තමයි. එයා හරි බයයි චාරුක මහත්තයා එයාට නැතිවෙයි කියලා. කවුරු හරි චාරුක මහත්තයව එයාගෙන් උදුර ගනියි කියලා. මේ වෙලාවේ ඒ ගින්න අවුලවල ඒකට පිදුරු දාලා ප්‍රයෝජන ගන්න මිනිස්සුත් ඉන්නවා කියන එක ඔයාගේ චූටි නෝනා දන්නෙ නෑ. මොකද සමහරවිට එයාගේ ජීවිතේ එයාට හමුවෙලා තියෙන්නේ හොඳ මිනිස්සු විතරක් වෙන්න පුළුවන්.” 

“අනේ ඒකනේ සංකල්පනී මිස්. දෙන්නා දෙපැත්තට වෙලා ඇස් වල කඳුළු පුරවන් බලන් ඉන්නකොට මගේ පපුව පැලෙන්න වගේ. කොයි තරම් සතුටින් කුරුළු ජෝඩුවක් වගේ ඉඳපු දෙන්නෙක්නේ  ඔය.”

“සෝම බය වෙන්න එපා. ආයේ ඒ කාලේ ඉක්මනට එයි.” 

“මහත්තයා උදේ නෝනත් එක්ක කතා කළේ නැද්ද?”

“මහත්තයා ගිහිල්ල කාමරේට එබෙනවා මං බලාගෙන. හැබැයි නෝනට උදේ නින්ද ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ මහත්තයා බබාගේ කාමරේට වෙලත් ටිකක් වෙලා හිටියා. කුස්සියට ඇවිල්ලා මට කිව්වා සෝමා අම්ම හරි තාත්ත හරි කතා කළොත් අන්කල් අසනීප වෙච්ච බව කිව්වට කමක් නෑ මේ ගෙදර තියෙන ප්‍රශ්න කිසිම දෙයක් කියන්න එපා කියලා. සැරින් සැරේ බලලා අපේ චූටි නෝනට ඕන කරන කෑම බීම දෙන්න කියලත් කිව්වා.”

“චාරුක පව්…”

එපමණක් පැවසූ සංකල්පනී  දරුවාත් හෙදියත් උන් කාමරය දෙසට ඇවිද ගියේ ‘තව ටිකකින් චූටි නෝනව නැගිට්ටව ගමු…’ යැයි පවසමින්ය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here