හරි හැටි තොරතුරක් නොදැන සිටියත් කාර්යාලයේ කුමක් හෝ සිදුව ඇති බව විශ්වාසය. චාරුක සේම තේජනත් උදෑසන කලබලයෙන් පිටව ගිය බව පැවසූයේ ධනුක සමග එක්ව වැඩ කළ මිතුරෙකි. දෙතුන් වරක්ම අමායාගේ කාර්යාලය පැත්තේ කැරකී පැමිණියත් ධනුකට සැක සිතෙන හේතුවක් සොයා ගැනුමට හැකි වූයේ නැත. මුළු කාර්යාලයම කතාවන්නේ චාරුකත්, මන්දස්මිත් ගැනය.
“අනේ අපේ සර්නං එහෙම කෙනෙක් කියලා කොහොමටවත් හිතන්න බෑ. අනිත් එක මේක අපි හැමෝම ඉස්සරහදි සිද්ධ වෙච්ච දෙයක්. මොකෙක් මේ වගේ වැඩක් කළාද මන්දා.”
“ඒ මොකෙක් උනත් අපි අතරෙම ඉඳපු කෙනෙක් වෙන්න ඇතිනේ. මොකද මේ ෆොටෝස් අපේ ඔෆිස් එකෙන් ෂෝෂල් මීඩියා වලට ගියේ නෑ කියලා කැමර්මන් විශ්වාසයෙන්ම කියනවනේ.”
ධනුකට පුදුමයට කාරණය වූයේත් කාර්යාලයේ සේවකයන් බොහෝ දෙනකු මේ පුවත විශ්වාස නොකිරීමය.
“ගින්නක් නැතුව දුමක් නඟින්නේ නෑනේ..”යනුවෙන් ඔහු දිවා ආහාරයේදී තමාගේ මේසයේ සිටි අයෙකු සමග පැවසුවත් ඕ පැවසූයේ ‘පිස්සුද? චාරුක සර් කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියලා ඔයාට අවබෝධ කරගන්න බැරි නිසා එහෙම කියන්නේ. එහෙම මිනිස්සුත් මේ ෆීල්ඩ් එකේ ඇති. හැබැයි චාරුක සර් එහෙම කෙනෙක් නෙමෙයි’ යනුවෙන්ය.
සංකල්පනීට කිහිප වතාවක් දුරකථන ඇමතුම් ලබා ගත්තත් ඇගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට තිබිණ. ඇගේ අසනීප තත්වය වැඩි වූවාදැයි ධනුක සැකයෙන් පසු වූයේ එනිසාය. වැඩ අධික දිනයක් වූ නිසා ඔහුට හදිසියකට හෝ කාර්යාලයෙන් පිටව යාමට හැකියාවක් වූයේද නැත.
“ෂික්…මේ ගෑනිත් ඕනම වෙලාවේ ෆෝන් එක ඕෆ් කරගෙනනේ.”
ධනුකගේ මුවින් එසේ පිට වූ වාර ගණන සිය ගණනක් වන්නට ඇත. අවසන ඔහු නුලාරාව අමතන්නට සිතුවත් එසේ නොකළේ සිතා මතාමය. කාර්යාලයේ සේවය කරන සියල්ලෝම එකිනෙකා දෙස සැකයෙන් බලන්නට පටන් ගෙනය. මේ වෙලාවේ චාරුක ගැන හොඳ කියනවා විනා ඔවුන් සමග එකතු වී සැබෑවටම දුක්වන බව හඟවනවා විනා කරන්නට අන් යමක් නොමැති බව විශ්වාසය.
සේරසිංහ පවා කතා කරද්දී ධනුක දුරකථනයට පිළිතුරු දුන්නේ බොහෝ අර පරිස්සමටය.
“ගිනි තියල තියෙන්නෙ සේරසිංහ මහත්තයා. දැන් අපිට තියෙන්නේ ඇවිලෙනකල් බලන් ඉන්න.”
අවසන ධනුක අමායා සොයා ගියේ තවදුරටත් දරා සිටින්නට බැරිම වූ තැනය.
“මිස් මට අද චුට්ටක් වේලාසනින් ගෙදර යන්න පුළුවන්ද? වයිෆ් ටිකක් අසනීපෙන්.”
“ඒක මගෙන් අහන්න දෙයක් නෑ නේ ධනුක නිවාඩු ගන්න ප්‍රොසීට්‍රියර් එක අනුව ඔයාට නිවාඩුවක් ගන්න තිබුණා. හැබැයි දැන් මේ ඒ දෙකටම නැති වෙලාවක්. සුපවයිසර්ට කතා කරලා එයාට ප්‍රශ්නයක් නැත්නම් යන්න පුළුවන්.”
අමායා එසේ පැවසූයේ ලැප්ටොප් පරිගණක තිරයෙන් දෑස් මුදා නොගෙනමය.
“තැන්කියු…”යනුවෙන් පැවසූ ධනුක කාර්යාල කාමරයෙන් පිටවූයේ ‘මේ ගෑනිගේ ලොකුකම’ යැයි තමාටම කියා ගනිමින්ය.
නුලාරා දුරකථන ඇමතුම හා සම්බන්ධ වූයේ සංකල්පනී කිහිප වතාවක්ම උත්සාහ කළාට පසුවය. මුලින්ම එහා පසින් ඇසුණු හැඬුම් මුසු හඬට කන් දී ගෙන උන් ඈ ‘අඬන්නෙ නැතුව මොකද වුනේ කියල කියන්න’ යනුවෙන් පැවසූයේ හිත මත මහා බරක් තබා ගෙනය. නුලාරා සියල්ල කියවා ගෙන ගියේ එක හුස්මටය.
“ඇයි ඔයා මේ තරම් කලබල උනේ…”
“මට ඒ වෙලාවේ මං කරන්න ඕනේ මොනවද කියලා හිතාගන්න බැරුව ගියා. මං ඔයාට කී පාරක් ගත්තද…?”
“මං ප්‍රශ්නෙක නුලාරා. මට ඕන උනා මේ හැම දේකින්ම නිදහස් වෙලා මට මොනවද වෙන්නේ කියලා හිතන්න. ඒ ප්‍රශ්නේ මං විසඳ ගන්නම්. දැන් අපි මොකද කරන්නේ කියලා කියන්න. අංකල්ට කොහොමද…?”
“තාත්තා රූම් එකට දාලා…අම්මයි චාරුකයි දෙන්නම එයාගේ ළඟ ඉන්නවා.”
“මේ ජීවිතය අපි හිතන තරම් සරල නෑ නුලාරා. කසාද බැඳලා ගෙදරින් පිටවෙලා ගිය ගෑනියෙකුට එහෙම හිතුමතේ තීරණ ගන්න බැහැ කියලා මට වුණත් තේරෙන්නේ දැන් තමයි. දැන් ඔයා ඇඬුව කියලා වැඩක් නෑ. මින් එහාට උනත් ජීවිතය ගැන තීරණ ගන්නකොට දහස් වතාවක් හිතන්න.”
“තේජන අයියා මට ටිකක් සැරෙන් කතා කළා. සමහර විට චාරුකට මාව එපා වෙලා ඇති. ඒත් තවමත් මගේ හිත කියන්නේ එයා වැරදියි කියලා.”
“තේජන මොනවද කිව්වේ….”
නුලාරා තේජන පැවසූ බොහෝ දෑ ඇහා පැවසූයේ ඉවසිල්ලේය.
“එයා කියනවා මං චාරුක මැරි කරන්න ඉඳිද්දි චාරුක කිසිම දෙයක් මට හැංගුවේ නෑ නේද කියලා. සෙලිබ්‍රේටර් කෙනෙක්ට මේ වගේ ගොසිප් එකක් සාමාන්‍යයි කියලා. එයා කියනවා මිනිස්සු මාව අඳුරන්නේ චාරුකගේ වයිෆ් විදිහට මිසක් නුලාරා විදිහට නෙමෙයි කියලා. මේවා අද නෙමෙයි ඉස්සරහටත් මේ විදිහටම වෙන්න පුළුවන් කියලා. ඒ හැම වතාවකම මේ ගෙදර දාල යනවද චාරුකව විශ්වාස කරලා එයා එක්ක ජීවත් වෙනවද කියලා තීරණය කරන්න ඕනේ මම කියලා. ඇයි මේ හැම දේකින්ම තැලෙන්නේ මම කියලා එයාලා කාටවත් තේරෙන්නේ නැත්තේ.”
“එතනදි අපිට තේජන කියන දේට එකඟ වෙන්න වෙනව නුලාරා.”
“මේ කාරණය ඇත්ත නෙමෙයි කියලද ඔයා කියන්නේ.”
“දැන් ඔයා තේජන කියපු හැම දෙයක්ම මට අකුරක් නෑර කිව්වනේ. අපිට චාරුක ගැන සැක හිතන්න කොතනද තැනක් ඉතුරු වෙලා තියෙන්නේ. මං ඔයා වැරදියි කියලම කියනවා නෙමෙයි. තේජන කියන්න වගේ ඔයාට තියෙන්නේ ඔෆ්ෂන් දෙකයි. චාරුක වගේ මනුස්සයෙක් රටට ලෝකෙට, එයාගේ දෙමව්පියන්ට, ඔයාට නැති නොකරගෙන ජීවත් වෙන එක. එහෙම නැත්තන් ඔයා එයාගේ ජීවිතෙන් අයින් වෙන එක….”
“ඔයා හිතනවද මට ඒක කරන්න පුළුවන් කියලා. මං මේ හැම තත්පරේකම පිච්චෙන්නේ මං එයාට ආදරේ නිසා. මට එයාව ඕන නිසා. මට එයාව නැතිවෙයි කියලා හිතේ තියෙන බය නිසා. මට මං ගැන දුකයි. මං ගැනම හරි දුකයි. කවුරුවත් මාව තේරුම් ගන්නේ නෑ.”
“නුලාරා..අර ඔයාගේ යාළුවා කවුද මට නම මතක නෑ. ධනුකගේ වයිෆ්. එයාව කොතැනකදී හරි මුණගැහුනම චාරුක කතා නොකර ඉඳීද. අවස්ථාවට අනුව එයාගේ අතක් අල්ලන්න චාරුකට බැරිද. එයාව හග්කරලා පිළිගන්න චාරුකට බැරිද? එයාට ලිප්ට් එකක් දෙන්න. එහෙම නැත්තං අහම්බෙන් හම්බවෙච්ච තැනකදී එයත් එක්ක කොෆී එකකට යන්න චාරුකට බැරිද..එහෙම වෙලාවක ඒක ගොසිප් එකක් වෙන්න බැරිද…අපි පොළොවෙ පය ගහලා මේ යථාර්ථයේ ජීවත් වෙන්න ඕනේ නංගී. ඔයා එදා අම්මත් එක්ක පොළට ගියාට ඔයාගේ ෆොටෝ එකක් ගහලා මේ සෝෂල් මීඩියාවල දාන්න කෙනෙක් නෑ. හැබැයි හෙට ඔයා පොළට ගියොත් චාරුකගේ වයිෆ් හරි සරල සාමාන්‍ය ගෑනියෙක් කියලා ෆොටෝස් ගහලා මේ සෝෂල් මීඩියා වලට දාන්න ඕන තරං මිනිස්සු ඉඳයි.”
තේජන එසේ පැවසූ බවත් නුලාරා සංකල්පනී හා පැවසූයේ එවේලෙහිය.
“ඔව් ඒක තමයි ඇත්තම කතාව. ඒ මොනවා වුනත් ඔයා මහ නූගත් ගෑනියෙක් විදියට හැසිරිලා චාරුකගේ හිතේ ඔයා ගැන තියෙන ආදරයයි, ගෞරවයයි නැති කර ගන්න එපා. තේජන කියපු විදිහට මේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දෙන්න. ඊට පස්සේ එයාලා හේතුවක් හොයාගෙන මන්දස්මි එක්ක ඉස්සරහට වැඩ නොකර ඉඳී. එහෙම නැත්තං ඔයා ඔෆිස් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට ඔය කියන විදිහට සම්බන්ධ වෙලා එතන සිද්ධ වෙන්නේ මොනවද කරන්න ඕන මොනවද කියන එක ගැන අවබෝධයක් ලබාගන්න. නුලාරා ඔයා මුලින්ම හිතන්න ඔයා මැරි කරල ඉන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි. අනිත් එක තමයි ඔය විදිහට එයාට හතුරුකමක් කරන්න කෙනෙක් ඉන්නවා කියලා හරි දැනගතපු එක ලොකු දෙයක්. අපි දන්නේ නැහැ ඒ මනුස්සයාගේ ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, බලය මේ හැම දෙයක්ම නැති කරලා දාන්න කාටහරි උවමනා වෙලාද කියලා. ජීවිතේ සමහර තීරණ ළඟදි, සමහර සිදුවීම් ළඟදි ඉවසපු නැති වරදට දඬුවම් අද ඕනවටත් වඩා විඳින ගෑනියෙක් මං. එහෙම එකේ ඔයා මගේ තැනට වැටෙන්න ඕන නෑ. ඔයා දැන් තේජන කිව්වා වගේම අඩියක් ඉස්සරහට තියන්න ඕනේ චාරුකව ආරක්ෂා කරගන්න මිසක්කා ඒ මනුස්සයා බින්දුවටම ඇදලා දාන්න නෙමෙයි. අද ධනුක කීයට එයිද කියන්න මම දන්නෙ නෑ. හෙට අර වෙඩින් එකට යනවා. මං හෙට උදේම එන්නම්. එතකල් ඉවසීමෙන් ඉන්න.”
සංකල්පනී පැයකට ආසන්න වූ ඇමතුම නිමා කළේ එසේ පවසමින්ය.
ධනුකගේ යතුරුපැදිය බොරළු පොළොවේ හැපීවිත් නවතින හඬ ඇසුණේ එවේලෙහිය.
“ඇයි තමුසෙගේ ෆෝන් එකට මොනව වෙලාද…?”
ඔහු කුඩා කාමරයට එබුණේ කෑ ගසමින් එසේ අසාගෙනය.
“දවසෙම ඔළුවේ කැක්කුම නිසා නිදා ගත්තා. මේ දැන් තමයි ෆෝන් එක ඔන් කලේ. නුලාරගෙන් කෝල්ස් ගානක් තිබුණු හින්දා මං එයාට ගත්තා.”
“ඇයි මොකක්ද වෙලා තියෙන්නේ…මාර ප්‍රශ්නයක් වෙලා”
එවර ධනුක ඇසුවේ හැකිතාක් සාමාන්‍ය ස්වරූපයට පත් වන්නට උත්සාහ කරමින්ය.
“ඔෆිස් එකෙත් එහෙන් මෙහෙන් එක එක දේවල් කතා වෙනවා. මං ඒ කිසිම දේකට උත්තර දෙන්න ගියේ නෑ. නුලාරා අවුලෙන්ද ඉන්න. ඕවා කටකතා කියලා හිතලා අමතක කරන්න තියන්නේ.”
“ගොඩක් දේවල් වෙලා….”
“ඒ මොනවද…අනේ සංකල්පි මට තේ එකක් හදන අතර කියන්නකො. ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති හින්දා මම දවල් කෑවෙත් නෑ. අසනීපත් උන නිසා බයෙන් හිටියේ.”
ධනුකට උවමනා වූයේ සංකල්පනීගේ දෑස් වෙනතකට යොමු කරන්නටය. ඈ තමාගේ මුහුණෙහි වන හැඟීම් හඳුනා ගනීයැයි ඔහු බිය විය. සංකල්පනී නුලාරාගේ නිවසේ සිදුව තිබූ සියල්ල ධනුක හා පැවසූවේ ඒ අතරේය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්……)


