මලක් වී යළි පිපෙන්නම් – 26

0
519

ජීවිතයට මේ පැමිණ ඇත්තේ අනපේක්ෂිත කුණාටු සමයක් යැයි චාරුකට සිතුණේ පසුදා උදෑසනත් නුලාරා හරි හැටි මුහුණ නොදී සිටියදීය. ඔහු උදෑසන කෑම මේසයට වාඩිවූයේ තනිවමය. 

“අද නෝනා දොස්තර මහත්තයා ළඟට යන්න තියෙන දවස නේද සුදු මහත්තයා..”

සෝමා ඇසුවේ රතු කැකුළු බත් හැන්දක් ඔහුගේ පිඟානට බෙදමින්ය. 

“ඔව්. මම වේලාසනින් එනවා. නෝනා නැගිට්ටට පස්සේ බලෙන් හරි මොනවා හරි කවන්න සෝමා. මේ දවස්වල මමත් එක්කත් එච්චර හිත හොඳකින් නෙමෙයි ඉන්නේ.”

මට ඒක තේරුණා සුදු මහත්තයා. ලොකු නෝනත් ඊයෙ මගෙත් එක්ක කතා කරපු වෙලාවෙ ඇහුවා නෝනා එච්චර හිත හොඳකින් නෙමෙයි නේද ඉන්නේ කියලා. 

“ඇයි අම්මත් එක්ක…”

සමහර වෙලාවට ලොකු නෝන කතා කරද්දි අපේ පුංචි නෝනා මග අරිනවා. අනේ සුදු මහත්තයා මං මේ කේළම් කියනවා නෙමෙයි. 

“ඇයි ඒ…”

“ලොකු නෝනනම් කිව්වේ අමාරු ගති නිසා වෙන්න ඇති කියලා. ඒත් ඊයෙ මගෙන් ඇහුවා ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්ද සෝම කියලා.”

“ප්‍රශ්නයක් නැහැ. සමහර විට එයාට දැනෙන අපහසුව නිසා වෙන්න ඇති එහෙම ඉන්නේ.”

බඩගින්නක් වුවත් කෑමෙහි පිරියක් නොවූ චාරුක අත සෝදා ගෙන නැගී සිටියේය. කාර්යාලයේ පැය දෙක තුනක් ගත කොට ආපසු නිවසට පැමිණිය යුතු යැයි ඔහු සිතුවේ නුලාරා නිදා සිටි කාමරයට එබෙමින්ය. දින කිහිපයක සිට ඇය තමාගේ ස්පර්ශය පවා ප්‍රතික්ෂේප කරමින් උන්නාය. නිදා උන්  ඇගේ නළලත මත කෙටි හාදුවක් සටහන් කළ චාරුක නික්ම ගියේ හදවත මත මහා බරක් තබාගෙනය. තමාගේ ඇඟෙහි එල්ලී ගෙන ආදරය පමණක් ඉල්ලමින් උන් පුංචි කෙල්ල මේ සා නපුරු වූයේ කෙලෙසකදැයි  ඔහුට සිතා ගත හැකි වූයේ නැත. අම්මාත් තාත්තාත් විවාහ යෝජනා කිහිපයක් ගෙන එද්දී චාරුක ඒවා ප්‍රතික්ෂේප කළේ හේතු ඇතුවය. ඔහුට අවැසි වී තිබුණේ නිදහස් නිස්කලංක දිවියකි. සැලසුම් කරමින්, සැලසුම් සාදමින්, යෝජනා කරමින් ඒවා ක්‍රියාවට නංවමින් ඒවායේ හොඳ නරක සොයා බලමින් සේවකයන් සිය ගණනකගේ අවශ්‍යතා සපුරමින් උන් චාරුක ගෙවා දැමුවේ අවිවේකී දිවියකි. එනිසාම ඔහුට වුවමනා වූයේ තමාගේ නිවසේ ගත කරන පැය කිහිපය සන්සුන් මනසකින් යුතුව ගෙවා දමන්නටය. එනිසාම ව්‍යාපාරික පවුලකින්ම දියණියක් හෝ කලාකාරිනියක  තමා සමග සම්බන්ධ නොවිය යුතු යයි ඔහු තරයේම විශ්වාස කළේය. අවසන තමාගේ සහකාරිය තමාටම තෝරා ගන්නට ඉඩදී අම්මාත් තාත්තාත් නිහඬ වී උන්නේ එනිසා විය යුතුය. නුලාරා දුටු හැටියේම චාරුක ඇය වෙත බැඳුනේ තමා සෙවූ  ගුණාංගයන් බොහෝමයක් ඒකරාශී වූ තැන එතනයැයි  හැඟුණු නිසාය. එහෙත් තමාට වැරදුනේ දැයි ඔහු සිතුවේ වාහනය කාර්යාලීය රිය අංගනයට ඇතුළු කරමින්ය. 

                                      ************

සංකල්පනී පැමිණියේ දහවලේය. තමා නිවසේ සිටම කාර්යාලයට පැමිණෙන බව ඊයේ ධනුක දැනුම් දුන්නේ කෙටි පණිවිඩයකින්ය. ඈ උන්නේ තරමක් කෝප ගෙනය. දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගත්තාට පසුව ධනුක පිළිතුරු දෙන්නේ එකම එක ඇමතුමකටය. ඒත් හදිසියෙන්ය. ‘නෝනා තවමත් ඇඳට වී සිටිනවා…’ යැයි සෝමා පැවසූ නිසා සංකල්පනී කෙලින්ම ඇගේ නිදන කාමරයටම ගියාය. ඇය සිටින්නේ නින්දේ නොවන බව වටහා ගත් සංකල්පනී ඒ මුහුණට එබුණේ සිනහ මුසුවය. 

“ඇයි…”

“ඔය ආපු එක හොඳයි මං හරි අවුලෙන් හිටියේ.”

“මොකද උදේ පාන්දර උනේ? චාරුක එක්ක රණ්ඩු උනාද?”

“රණ්ඩු වෙලා මං මොනවා ලබා ගන්නද. එයාට මං ඊයේ කිව්වා මන්දස්මි ඔය තැනින් අයින් කරන්න කියලා.”

“ඉතින්”

“එයා මාව ගානකටවත් ගත්තේ නෑ. ඒකෙන්ම ඔයාට තේරෙනවනේ එයාට මන්දස්මිව කොච්චර ඕනෙද කියල.”

“එයා මොනවද කිව්වේ කියලා කියන්නකො.”

“ඇග්‍රිමන්ට් සයින්  කරලා තියෙන්නේ අරකයි මේකයි, මන්දස්මි කියන්නේ එඩියුකේටඩ් කෙනෙක් මේ වැඩේ එච්චර හොඳට වෙන කාටවත් කරන්න බෑ. මම විතරක් නෙමෙයි මේ තීරණය ගත්තේ ධනුකයි අමායයිත් මේකට හවුල් තාත්තත් දන්නවා..ඔය වගේ විකාර ගොඩක් කියෙව්වා ඉතින්.”

“ඒ හැම දෙයක්ම ඇත්ත වෙන්න බැරිද නුලාරා.”

“ඇත්ත වෙන්න පුළුවන් හැබැයි එයාට මට වඩා වටින තැනක් වෙන තියෙන්න බෑ නේද. මම එයාගෙ වයිෆ්. ඒ විතරක් නෙමෙයි. එයාගේ දරුවෙක් බඩේ තියාගෙන මම ඉන්නේ.”

“අනේ මං දන් නෑ නුලාරා මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.”

“මං මේ විඳවන විඳවීම කාටවත් තේරෙන්නෙ නෑ.”

“නුලාරා එවර දිගු සුසුමක් මුදා හැරියේ ඇඳෙන් නැගී සිටිමින්ය. මේ විසල් නිවස සිර ගෙයක් සේ ඇයට දැනෙන්නට විය. එහි කිසිඳු සතුටක් හෝ නිවනක් වූයේ නැත.”

“අපි තව ටිකක් ඉවසල බලමුද..අඩු ගානේ මේ ෂෝ එක ඉවර වෙනකල්වත්. එතනින් එහාට මන්දස්ම් වැඩකට ගන්න හදනවනම් අපි ඒ වෙලාවට චාරුකට කෙලින්ම කියමු එයාව ගන්න එපා කියලා.”

“එතකොට මගේ ජීවිතේ හැම දෙයක්ම නැතිවෙලා තියෙයි. ඔය ගෑනු ජීවත් වෙන්නේ හැමදාම සල්ලිකාර මිනිහෙක් අල්ලගෙන. චාරුක තේරුම් ගන්න ඕනේ මං ආදරය කලේ එයාගේ සල්ලි වලට නෙමෙයි කියලා. අඩු ගානේ එයා අපේ ගෙදරට එනකල් එයා කාගේ කවුද කියලවත් මම දැනගෙන හිටියේ නෑ සංකල්පි.”

සංකල්පනී උන්නේ නිහඬ නිරුත්තරවය. සැබවින්ම යෙහෙළියට පවසන්නට තරම් දෙයක් ඇයට වූයේ නැත. ඕ බොහෝ විට උත්සාහ දැරුවේත් නුලාරාව සන්සුන් කරන්නටය. ඇයත් චාරුකත් අතර ගැටුමක් ඇතිවීම වළක්වන්නටය. එහෙත් තවදුරටත් එය එසේ කරන්නට නොහැකි බව විශ්වාසය. 

“චාරුක ඊට පස්සේ ඔයා එක්ක කතා කළේ නැද්ද?”

“නෑ ඇඳට ඇවිල්ලත් මොන මොනවදෝ කියවන්න හැදුවා. මට නිදහසට හේතු කාරණා වැඩක් නෑ සංකල්පි. එයාට මට වඩා මන්දස්මි වටිනවා කියන එක මගේ හිතට පුදුමාකාර වේදනාවක්. ඇතමයි මට මේ හැම දෙයක්ම දමල ගහලා යන්න හිතෙනවා. මැරි කරලා ආවට පස්සේ මං එයාගෙන් එක ටොපියක්වත් ඉල්ලපු ගෑනියෙක් නෙමෙයි. එයා ගෙනත් දෙන ඕන දෙයක් මං සතුටින් බාරගත්තා. බබෙක් හදමු කියනකොට හා කියලා ඒකට එකඟ වුණා. මං මට යන්න ආස තැන් ගැන කවදාවත් එයා ඒක කතා කරලා නෑ. උපරිම එයාට නිදහස දුන්නා. එයාගේ සතුට මගේ සතුට කරගත්තා. ඒකයි මට වැරදුනේ. එයාගේ උදේ කෑම එක ගැන දවල් කෑම එක ගැන රෑ කෑම එක ගැන ඕනවට වඩා වද වුණා. ඔෆිස්  එකට ඇඳගෙන යන ඇඳුම ගැන ඕනවට වඩා හිතුවා. වැඩ වැඩිවුණු දවස් වලට නින්ද යනකල් මං එයාගේ ඔළුව අතගෑවා. අහන්න කවදාවත් මං එයාගේ ඔලුවට අනවශ්‍ය බරක් වෙලා තියෙනවද කියලා.”

“එහෙම කරන්න හේතුවක් ඔයාට තිබුනෙත් නෑනෙ නුලාරා…” 

“මේ අවුරුදු දෙකහමාරටම මං එයාගෙන් එකම ඉල්ලීමයි ඉල්ලුවේ..ඇයි එයාට ඒකට උත්තර දෙන්න බැරි.”

“මේ වෙලාවේ මන්දස්මි ඒ වැඩේට ඉන්වෝල් වෙලානේ ඉන්නේ. එයා අයින් කරලා අලුත් කෙනෙක් ඔතෙන්ට දැම්මොත් මුල ඉඳලා මේ වැඩේ එයාට පුරුදු කරන්න වෙනවා. ඒක ලේසි නැතුව ඇති නේද. අඩු ගානේ මේ  ඉවෙන්ට් එක ඉවර වෙනකල්වත් එයාට කල් දෙන්න බැරි වෙයිද?”

“මේක මන්දස්මිගේ ජොබ් එක සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි සංකල්පි. මගේ මනුස්සයා ගැන ප්‍රශ්නයක්. කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක්. ඉවෙන්⁣ට් එක  ඉවර වෙනකන් විතරක් නෙමෙයි එක දවසක් එක පැයක් එක විනාඩියක්වත් එයා එක්ක චාරුක ඉන්න එකට මං දැන් බයයි. මේ මොහොතෙත්”

“ඔයා මේ දරුවටත් මොනවා හරි කරගන්නවා අනවශ්‍ය පීඩනයක් හිතට අරගෙන. මම චාරුක එක කතා කරන්නද…?”

“කැමැත්තක් මං හිතන්නෙ නෑ එයා ඔයාට ඇහුම්කන් දෙයි කියලා.”

“ඇහුම්කන් දෙන්න හරි නොදෙන්න හරි අපි කතා කරල බලමු.”

“ඔයාට හිතෙනවානං එහෙම කතා කරන එක හොඳයි කියල එහෙම කරමු.” 

අවසන නුලාරා නැගී සිටියේ යෙහෙළියට  එකඟවය. වෙනදාටත් වඩා දුබල බවක් ඒ සිරුරට දැනෙමින් තිබිණ. කයත් මනසත් එක සේ  ගිලන් වූ  පසු සිරුරට දැනෙන අපහසුව ඕ අත්විඳිමින් උන්නාය. උදෑසන කෑමෙන් පසු නුලාරා යළිත් සිය නිදන කාමරයට ගියේ ඇඟට අපහසුවක් දැනෙනවායැයි පවසමින්ය. ගේ උයනේ ලී බංකුවට ගිය සංකල්පනී චාරුකට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ඒ අවසරයෙන්ය. 

“චාරුක මම සංකල්පනී…”

“ඔව්  කියන්න සංකල්පනී  බබා හොඳින් නේද…?”

ඔහුගේ ඒ වදන්වල වූයේ ආදරයය. 

“මං එද්දි  අවදිවෙලා  උන්නේ නෑ. දැන්නම් කාලා ආපහු මහන්සියි කියලා රූම් එකට ගියා.” 

“මම තව පැයකින් විතර වගේ එනවා. කොහොමත් අද ඩොක්ටර් ළඟට යන්න ඕන දවස නේ.”

“චාරුක බිසී නැත්තම්  මට ටිකක් කතා කරන්න පුලුවන්ද?”

“කියන්න සංකල්පනී කිසි ප්‍රශ්නයක් නෑ.”

“මං මේ කතා කරන්නේ නුලාරගෙ බලකිරීමකටවත් ඉල්ලීමකටවත් නෙමෙයි. දවස් කිහිපයක ඉඳලා මට හිතුණු දෙයක් නිසා. මං ඔයාලගේ ෆැමිලි ලයිෆ් එකට මැදිහත් වෙනවා කියලා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්නත් එපා. එක පැත්තකින් ඔයා මගේ හස්බන්ඩ්ගේ  බොස්. අනිත් පැත්තෙන් මගේ හොඳම යාළුවගේ හස්බන්ඩ්. මං හිතනවා මේ දේ මම ඔයත් එක්ක කතා නොකර හිටියොත් තමයි මම වැරදි කියලා”

“ඒ ගැන එච්චර දුරට හිතන්න එපා සංකල්පනී..අපි කතා කරමු මොකක්ද ප්‍රශ්නය.”

“නුලාරා  ටිකක් දුකෙන් ඉන්නේ.”

“ටිකක් නෙමෙයි සංකල්පනී එයා හොඳටම දුකෙන් ඉන්නේ. මට ඒක දැනෙනවා. හැබැයි ඒකට හේතුව තමයි මම දන්නෙ නැත්තේ. ඒ නිසා මමත් ගොඩක් අවුලෙන් ඉන්නේ.”

“නුලාරාට බයයි එයාට ඔයා නැති වෙයි කියලා.”

“ඇයි එහෙම හිතන්නේ එයා මගේ ආදරේ අවිශ්වාස කරනවද. එහෙම නැත්තං මාව අවිශ්වාස කරනවද..?”

“සමහර විට ඒ දෙකම වෙන්න පුළුවන්. එක එක විදිහේ වචන පාවිච්චි කරලා මං එයාගේ හිත හදන්න උත්සහහ කළා. නුලාරා කියන්නේ ගෙදරටම වෙලා හැදුණු ගෑනු ළමයෙක්. මං හොදාකාරවම  දන්නවා එයාගේ ජීවිතේ පළවෙනි ආදරේ ඔයා කියලා. එයාට මේ ලෝකෙ ගැන මේ සමාජෙ ගැන තියෙන අත්දැකීම් අඩු ඇති. සමහර විට එයාගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ ආත්මාර්ථකාමී ඇති. සමහරවිට ආදරේ වැඩිකමට එහෙම හිතනවත්  ඇති. මමත් දන්නෙ නැහැ මොකක්ද ඔයා මෙතනදි කරන්න ඕනේ කියලා. ඒ උනාට නුලාරගේ  පැත්තෙන් දිගින් දිගටම මෙහෙම හිතන එක එයාට හොඳ මදි කියලා මට හිතෙනවා.”

එහා පසින් වූයේ තත්පර කිහිපයක නිහඬ බවකි. ඒ නිහඬ බව මධ්‍යයේම සංකල්පනී වඩා හොඳින් ලී පුටුවට හේත්තු වුවාය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here