මලක් වී යළි පිපෙන්නම් – 29

0
1773

නිවස තුළ සිටියත්, එකම යහන බෙදා ගත්තත්, එක්ව කෑම මේසයට අසුන් ගත්තත් නුලාරා උන්නේ චාරුකව මගහැර යාමට බැරි කමකින් සේය. ගෙවී යන දවස් ඔහුට පීඩාකාරී එකක් වී තිබුණේත් එනිසාය.  මෙවේලෙහි තේජනත් අමායාත් වූයේ අවිවේකී කාලසටහනකය. මන්දස්මිගේ කියා වෙනසක් වූයේද නැත. ප්‍රසංගයට සහභාගී වන පිටරට කලාකරුවන්ගේ කළමනාකරුවන් හා සම්බන්ධ වී කතා කිරීමට දහවල හෝ රාත්‍රිය කියා වෙනසක් නොවේ. ඒ සියල්ලෝම සිටියේ මේ ප්‍රසංගය තමාගේ වැඩක් කරගෙනය. එසේ වී තිබියදීත් තමාගේ සිතෙහි වන මේ ගැටලුව තේජන සමග හෝ කතා කරන්නට චාරුකට සිත් වූයේ නැත. 

කතා නොකර බැරිකමට හෝ ඉඳ ඉඳ හිට වදනක් දෙකක් කතා කරන නුලාරාව දකින වාරයක් වාරයක් පාසා චාරුකගේ සිතෙහි ඇති වන්නේ රිදුමකි. 

උදෑසන කෑම මේසයේදී චාරුක ඇයට ආප්පයකුත් මාලු ඇඹුල් තියල් කෑල්ලකුත් බෙදුවේ ඇය ඊට ප්‍රිය කරන නිසාය. එහෙත් ඒවා එහෙමම පිඟානෙහි තිබියදී ඕ චීස් තැවරූ සැන්විච් පෙත්තක් පමණක් ආහාරයට ගත්තාය. නිදි යහනේ වුවද චාරුක සිය දකුණත දිගු කර නුලාරාව වැළඳ ගැනීමට උත්සහ දරනා සෑම මොහොතකම ඇය මදක් එහාට වන්නේ ඔහුව නුරුස්සන  බවක් හඟවමින්ය. 

අවසන ඔහු සිතුවේ මේ පිළිබඳව යළිත් ඇය හා කතා කරන්නටය. 

“ඇයි බබා ඔයා මෙහෙම ඉන්නේ..ප්‍රශ්නයක් තියෙනවනම් අපි කතා කරමු. කවදාවත් අපි අතර මෙහෙම ගැටුම් තිබුණේ නෑ.”

චාරුක එසේ පැවසූයේ කාර්යාලයට යාමට සූදානම්වය. ඔහු උන්නේ කණ්ණාඩියට එබී ජෙල් වර්ගයක් ගල්වමින් හිසකේ සකස් කරමින්ය. නුලාරා ඇඳෙහි වැතිර උන්නාය. ඔහු තත්පර කිහිපයක්ම කන්ණාඩියෙන් පෙනෙන ඒ රුව දෙස බලා සිටියේය. ඒ මුහුණෙහි වූයේ හිස් මලානික පෙනුමකි. 

“අපි අතර ගැටුම් ඇතිවෙන්න මෙහෙම ප්‍රශ්න තිබුනෙත් නෑනේ.” 

විශ්වාසය ඒ හඬ අකාරුණිකය. 

“බබා ඔයා ඉන්නෙ වැරදි වැටහීමක. මන්දස්මි  විතරක් නෙමෙයි. එතන තව සිය ගණනක් ගෑනු ළමයි වැඩ කරනවා. අපි හැමෝම සුහදව ඉන්නවා. මං කවදාවත් මගේ ගෙදරයි ඔෆිස් එකයි පටලවා ගත්තු කෙනෙක් නෙමෙයි.”

“ඔව් ඒක මං දන්නවා. ඔෆිස්  එකේදි හැම නාඩගමක්ම නටලා ගෙදරට එන්නේ හොඳ මිනිහෙක් වගේ. ඔව් ඇත්ත ඔයා ඒ දෙකම පටලවා ගන්නේ නැතුව ගානට බැලන්ස් කරනවා.”

“මොනවද ඔයා මේ කියන කතා..”

“ඇත්ත දකින්න අහන්න අමාරුයිද චාරුක..ඔයා හිතනවද ගෙදරට වෙලා ඉන්නකොට මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ කියලා. මම මේ කිසිම දෙයක් ගැන හොයන්නෙ බලන්නේ නැතුව ඉඳියි කියලා. මේ වෙලාවෙත් මං ඔයාට කියන්නේ මට බෙදා ගන්න හස්බන්ඩ්  කෙනෙක් ඕනේ නෑ.”

“ප්ලීස්  බබා තේරුම් ගන්න මේක වැරදි වැටහීමක්. මගෙයි මන්දස්මිගෙයි අතර ඔෆීෂියලි  ගණුදෙනුවක් මිස වෙන කිසිම සම්බන්ධයක් නෑ. ඒක එදා තිබුනෙත් නෑ අදත් නෑ හෙට ඇතිවෙන්නෙත් නෑ.”

“එහෙනම් ඇයි බැරි ඔයාට මන්දස්මි එතනින් අයින් කරන්න.”

“අපි මන්දස්මි ගත්තේ ඇග්‍රිමන්ට් එකක් සයින් කරලා. අනිත් එක පිටරටින් එන  ආටිස්ලා හැම කෙනෙක් එක්කම ඩීල් කරන්නේ මන්දස්මි. එකක් තමයි හේතුවක් නැතුව අපිට ඒ බොන්ඩ් එක කඩන්න බෑ. අනිත් කාරණය තමයි මන්දස්මි එතන නැති උනහම ඒ ආටිස්ලාගේ හිත්වලත් සැකයක් ඇතිවෙන්න පුළුවන්. ඒ හැමදේටම වඩා කිසිම සාධාරණ හේතුවක් නැතුව විශ්වාසයෙන් අවුරුදු ගානක් අපිත් එක්ක වැඩ කරපු කෙනෙක් එළියට දාන්නේ කොහොමද.?”

“ඔය තියෙන්නේ හේතු..අවුරුදු ගානක් ඔයාට අනිත් හැම කෙනෙක්ටම වඩා මන්දස්මි විශ්වාසයි. මේ මටත් වඩා. මං මෝඩ ගෑනියෙක් නෙමෙයි චාරුක. මං කැමති නෑ මගේ තැන වෙන කවුරුවත් ගන්නවට.”

එසේ පවසද්දී නුලාරාගේ කොපුල් දෙපසින් ගලායමින් තිබුණේ කඳුළු දෙපේළියකි. ඇයට මේ කුමක් වූයේදැයි සිතා ගත නොහැකිව චාරුක උන්නේ වික්ෂිප්ත අයුරකින්ය. ඇය  සමඟ ගැටුම් ඇති කර ගැනීමටවත් සිත් රිදවා ගැනීමටවත් ඔහුට උවමනා වූයේ නැත. 

“ඔයාට මං නිසාවත් මන්දස්මිව අයින් කරන්න බැරුව ගියා. චාරුක ඔයාගේ හිතේ මං වෙනුවෙන් තියෙන වටිනාකම මට දැන් හොඳට තේරෙනවා. සමහර විට ඔයා හිතන්න ඇති කිසිම දෙයක් නොදැන අහිංසක කමට ඉන්න ගෑනියෙක් තෝර ගත්තහම ඒ ගෑනිව ගෙදර තියලා ඔයාගේ නිදහස් ජීවිතේ ගත කරන්න පහසුයි කියලා.”

“කවුද මේ වගේ වැරදි දේවල් ඔයාගේ ඔලුවට දුන්නේ..”

“කවුරුවත් වැරදි දේවල් කියන්න මං කාවද ආශ්‍රය කරන්නේ කරන්නේ චාරුක? මගේ අම්මා පිළිගනීද ඔයා මේ වගේ නරකයි කියලා. ඔයාගේ අම්මා පිළිගනියිද..සංකල්පි කිව්වත් එයා කියන්නේ ඔයා නැති දේවල් හිත හිත විඳවනවා කියලා. ඉතින් මං කාත් එක්ක මේ දේවල් බෙදා ගන්නද?”

“මාව විශ්වාස කරන්න මං මොනවද කරන්න ඕන බබා…”

ඔහු එවර ඇසුවේ මද හඬකින්ය. ඒ හඬෙහි වූයේ කලකිරීමකි. තාත්තා උපයා ගිය යමකට වඩා දෙගුණයක් ඔහු පසුගිය කාලයේ ඉපයූවේ අධික වෙහෙසක් දරමින්ය. විවාහ යෝජනා දසතින් ගලා එද්දීත් චාරුකට වුවමනා වී තිබුණේ නිදහස් සාමකාමී ජීවිතයක් ගත කරන්නටය. කුමක්දෝ හේතුවකට නුලාරා දුටු හැටියේම ඔහු දුටුවේ තමාගේ සිතෙහි මැවී තිබූ ගැහැණු රුවය. අහිංසකකමත්, සුරතලයත්, ළඳ බොලඳ බවත්  එකට එක් වූ යුවතිය ජීවිත කාලය පුරාම තමාට සහායක්, නිවනක් වේයැයි ඔහු විශ්වාස කළේය. ඔහු ඇයව සුරැකියේත් තමා ලැබූ අගනා වස්තුවක් සේ සිතාගෙනය.

“මන්දස්මිව  අයින් කරන්න. ඔයා එහෙම කලොත් මට පුළුවන් ආපහු කලින් ඉඳපු නුලාරා වෙන්න.”

සිහින් කෙඳිරිල්ලක් නගමින් නුලාරා අනෙක් පස හැරුනේ එසේ පවසමින්ය. කිසිවක් නොකියා දිගු සුසුමක් මුදා හැරි චාරුක නිවසින් පිට වූයේ වෙනදා සේ ඇගේ නළලත මත සටහන් කරන මෘදු හාදුවවත් නොතියමින්ය. විසිත්ත කාමරයේ කෙළවරකට වී දෑස් ලොකු කරගෙන බලා සිටිනා සෝමාවත් ගණන් නොගෙන ඔහු වාහනයට නැගුණේ ඉන් පසුවය.

සෝමා මින් විනාඩි කිහිපයකට පෙර චාරුකගේත් නුලාරාගේත් නිදන කාමරය අසලට ගියේ චාරුකට උදෑසනන ආහාරය කාර්යාලයට ගෙනයාමට සූදානම් කර දෙන්නදැයි අසන්නටය. කෑම මේසයට බෙදා තිබුණත් දෙදෙනාගෙන් එක් අයෙකුවත් මේසයට වාඩිවූයේ නැත. කාමරය තුලින්  ඇසුණු උස් හඬ ඇගේ දෙපා එක තැනක නතර කරවන්නට සමත් වූවාය. මින් පෙර කිසිම දවසක ඔවුන්ගේ කතාවලට රහසේ සවන් දී නොසිටියත් මෙවේලෙහි එසේ නොකරන්නට තරම් සිතක් ඇයට වූයේ නැත. සති කිහිපයක සිට දෙන්න දෙමහල්ලන් සිටින්නේ එතරම් හිත හොඳකින් නොවන බව විශ්වාසය. එනිසාම සිතෙහි වූ කුතුහලය සෝමාගේ දෙපා එතනම නතර කරවා තබන්නට සමත් විය. අවසන ඇය තේරුම් ගත්තේ සුදු මහත්තයාට කාර්යාලයේ කවුරුන් හෝ සමග සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත් එය නතර කරන්නයැයි නුලාරා බල කරමින් සිටින බවත්ය. 

                                    **************

අලුතින් නිෂ්පාදනය වන වෙළඳ දැන්වීමක් රූගත කිරීම සඳහා ලොකේෂන් වෙත යාමට සූදානම්ව සිටි වාහන සහ උපකරණ පරීක්ෂා කරමින් උන් ධනුක හිස ඵලදාගෙන උන් කවුද බෝයි වර්ගයේ තොප්පිය ගලවා ගත්තේ අමායා පැමිණෙද්දීය. දැන හිසෙනුත් අඟල් දෙකක් පමණ උස් වූ කෙටි සායට ඇය ඇඳ උන්නේ අහස් නිල් පැහැ අත් දිගු බ්ලව්සයකි. අඟල් දෙකක් පමණ උස් වූ අඩිය ඇති කෝට් ශූ වර්ගයේ සපත්තු යුගල ඒ ඇඳුම හා මනාව ගැලපෙනවා යැයි ධනුකට සිතුනේ ඈත සිට බලද්දීය. 

නිෂ්පාදන කළමනාකරුවාට යමක් පවසමින් උන් ඇය ධනුක දෙසට හැරුනේ සිය සවන් පතක ඵලදාගෙන උන් ශ්‍රව්‍ය උපකරණය ඔත්සේ දුරකථන ඇමතුමක් හා සම්බන්ධ වන අතරේය. 

“ධනුකට ඩ්‍රයිව් කරන්න පුළුවන් නේද..මම කැබ් එකේ ඩ්‍රයිවර්ව වෙන වැඩකට යවනවා ධනුක. ඔයා කැබ් එක ගෙනියන්න..ඔය කරන වැඩේ බස්නායකට භාර දෙන්න.”

පිරිස ඉදිරිපස කළමනාකරුවෙකුගේ භූමිකාව රඟ දක්වමින් උන් තමා ඇගේ වදන් වලින් අපහසුතාවයට පත් වූවායැයි ධනුකට සිතුනේ වටපිට  බලද්දීය. කිසිවක් පවසන්නට හෝ අසන්නට පෙර ඔහු දුටුවේ අමායා ආපසු හැරී යන ආකාරයය. 

ධනුකගේ සිතුවිලිවල වූයේ කෝපයකි. නිරායාසයෙන්ම තමා රියදුරෙකුගේ තැනට වැටුණායැයි ඔහු සිතුවේ අත වූ ෆයිල් කවරය කැබ් රථයේ ඉදිරිපසින් තබනා ගමන්ය. 

                                     ***********

නුලාරාගේ ඉදිමී ගිය දෑස් වලින් පෙන්නුම් කලේ පැය කිහිපයක්ම ඇය හඬා ඇති බවය. මඳක් ඉදිමි ගිය දෙපා අපහසුවෙන් ග්‍රැනයිට් කල  පොළොව මත තබමින් ඇය සංකල්පනී වෙත ඇවිද ආවේ සෝමාගෙන් ලද පණිවිඩයෙන් පසුවය. යෙළියගේ අත අල්ලාගෙන ඇයව යාබද අසුනකින් අසුන් ගැන්වූ සංකල්පනී දිගු සුසුමක් මුදා හැරියේ නුලාරාගේ හිසත් අතගාමින්ය. මේ අපැහැදීම සැකය සිතුවාටත් වඩා දුරදිග ගොස් ඇතැයි ඇයට සිතුනේ යෙහෙළියගේ  මුහුණ දකිදීය. 

“මොකද උනේ…”

“චාරුක මට ඇත්තටම ආදරේ නෑ කියන එක මං අද තේරුම් ගත්ත සංකල්පනී. එයා තාමත් මන්දස්මිව අයින් කරන තැනක නෑ. මිනිහෙක්ට තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ආදරය වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් මොනවාද අතාරින්න බැරි. එයාට අපිට වඩා මන්දස්මිව වටිනව කියන හැඟීම මගේ හිතට දැන් හොඳටම දැනෙනවා. මොනව කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. හැබැයි ඉතින් මට චාරුක දිහා වෙනද තරම් ආදරෙන්වත්, ගෞරවයකින්වත් බලන්න බැරි වෙයි. වෙලාවකට මට හිතෙනවා මේ හැම දෙයක්ම දාලා යන්න. මේ ගෙවල් දොරවල් සල්ලි යානවාහන මේ කිසිම දේකින් සතුට ගන්න බෑ කියන එක විශ්වාසයි. චාරුක මෙහෙම කළේ මට. මගේ ආදරේට. මං එයාව ගොඩක් විශ්වාස කළා.”

ඇය එසේ පැවසූයේත් බිඳී ගිය හඬකින්ය. මඳක් එහාට වන්නට වූ කෑම මේසය අසල සිටගෙන සෝමා මේ කතා බහට සවන් දුන් බව යෙහෙළියන් දෙදෙනාම දැන සිටියේ නැත. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here