චාරුකගේ මවත් පියාත් ලංකාවට පැමිණීමට නියමිතව තිබුනේ නුලාරා රෝහල් ගතවීමට දින තුනකට පෙරය. එනිසාම මේ දිනවල ඔහු හිතවත් සේවකයන් කිහිප දෙනෙකු ලවා නිවසත් ගේ උයනත් පිරිසිදු කරමින් උන්නේය. ගෙවී ගිය සතියේත් නුලාරා උන්නේ කාමරයට වී ගෙනමය. චාරුක ඇයව දුටු බොහෝ අවස්ථාවල ඒ දෑස් වල කඳුළු පිරී තිබුණා මතකය. ඉඳ හිට අසනා යමකට කෙටි පිළිතුරක් දුන්නා විනා සුහද කතාබහක් දෙදෙනා අතර ගොඩ නොනැගුණ තරම්ය. සතිය මැද දිනකදී චාරුක ඇයව බෙල්ලන්විල රාජමහා විහාරයට කැඳවාගෙන ගියේත් බලෙන් සේය. ඇයව යළි සන්සුන් කරන්නටත්, සතුටින් තබන්නටත් ඔහු දැරූ උපක්‍රම සියල්ලම පලක් නොවූයේ ඒ සිත කළකිරීමකින් පුරවමින්ය.
මන්දස්මී ගැන කිසිවක් නොකියා ඇගේ මේ කෝප ගැනීමත්, අලස බවත් පිළිබඳව චාරුක වෛද්‍ය සොහාන් හා කතා කළේ ඒ අතරේය.
ඔහු යළිත් පැවසූයේ පළමුවර දරු ප්‍රසූතියට සූදානම් වන මවකට මේ තත්ත්වය සාමාන්‍ය එකක් විය හැකි බවත් දරු ප්‍රසූතියෙන් පසුවත් ඇගේ හැසිරීමේ වෙනස්කම් දුටුවහොත් වෛද්‍ය උපදෙස් ගත යුතු බවත්ය.
චාරුකට තම නිවස පාළුවෙන් පිරී ගිය එකක් වූයේ නුලාරාගේ මේ හැසිරීමක් සමඟය. වෙනදා නුලාරා සමග තුරුළුව ඔහේ කියවමින් උන් තරුණයා පසුගිය දිනවල වැඩිපුර කාලය ගෙවා දැමුවේ තෙවන මහලෙහි වූ නිදහස් අවකාශයේය. කාර්‍යාලයට ගිය මොහොතේ පටන් තම වටිනා අත් ඔරලෝසුවට එබෙන චාරුක වරෙක හිතා මතාම නිවසට පැමිණීම පමා කලේය.
තමාගේ කරගෙන උන් නිවස පවා ඇය අත්හැර දමා තිබුණේ පුදුමාකාර අයුරකින්යැයි චාරුකට වරෙක සිතුනේය. ගෙවී ගිය වසර දෙක පුරාම නිවස තුලත් ගේ උයනේත් වෙනස්කම් සිදු වූයේ ඇගේ අනුදැනුම ඇතිවය. නිවසට බඩු මුට්ටු තෝරා ගැනුනේත් ඒවා ඇසිරිය යුතු තැන් පෙන්වා දුන්නේත් ඇයමය. නිවසට අමුත්තන් පැමිණෙද්දී පිටතින් කෑම ගෙන්වූයේ හෝ නිවසේ කෑම පිළියෙල වූයේ ඇගේ කැමැත්ත අනුවය. ඒ ගත කළ ජීවිතය පහසු එකක් වූ බව විශ්වාසය.
ඇගේ සරල ජීවිතයේ සතුට වූයේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම ලැයිස්තුවක් සාදාගෙන සුපිරි වෙළඳ සැලකට යාම හෝ මල් ප්‍රදර්ශන පුරා ඇවිද යමින් ගේ උයනට සුදුසු මල් පැළ තෝරා ගැනීමය. විනෝදාංශය වී තිබුනේ හින්දි දමිළ හෝ තෙළිඟු චිත්‍රපට නැරඹීමය. චාරුක ඊට අවැසි සියලු පහසුකම් ඇයට සපයා දුන්නේත් ඉතා ඕනෑකමින්ය. තවත් විටෙක ප්‍රධාන පෙළේ පොත් සාප්පුවල පොත් අතර අතරමං වීමට ඈ ප්‍රිය කළාය. විටෙක තමා ප්‍රිය කරන ඉංග්‍රීසි හා සිංහල නවකතා පොත් වාහනයේ ඩිකිය පිරෙන්නට ගෙන ආවත් චාරුක ඒවාට වියදම් කලේ නිර්ලෝභීවය. ඔහුට උවමනා වූයේම ඇය සතුටින් සිටිණු දැකීමය. දහසක් වැඩ මධ්‍යයේ වුවත් සතියකට වරක්වත් ඈ හා නිවසින් පිටතට යාමට ඕ කාලය වෙන්කර ගත්තේ එනිසාය.
දහඩිය බිඳුවක් එකඳු රැල්ලක් නොවන්නට ඈ තමාගේ ඇඳුම් ගැන සොයා බැලුවේ මහත් ඕනෑකමකින්ය. කෑම බීම ගැන වද වූයේ ඒ තමාගේ ප්‍රථම රාජකාරියයැයි සිතාගෙනය. ඒ සිනහවෙන් කතාවෙන් මේ නිවස පිරී තිබූ යුගය ගැන චාරුක සිහි කලේ පපුව දැවී යන හැඟීමකින්ය.
සැබවින්ම ඇය තමාට හොඳ පෙම්වතියක, බිරිඳක, යෙහෙළියක වූවා මතකය. මවත් පියාත් සොහොයුරිය ළඟට යාමෙන් ඇති වූ හිස්තැන තමාට නොදැනුනේ නුලාරා නිසා බව විශ්වාසය. කණපිට ගැහුණු මේ ජීවිතයේ පාළුව තමාට ඔරොත්තු නොදෙනා තරම්යැයි චාරුකට සිතුණු වාර අනන්තය.
************
නුලාරාත් චාරුකත් අතර යමක් සිදු වී ඇති බව හරි හැටිම අවබෝධ කරගත් සෝමා උන්නේත් වික්ෂිප්ත වූ හැඟීමකින්ය. මේ පිළිබඳව පිටරටක සිටින ලොකු නෝනා සමග කතා කරන්නේදැයි වරක සිතූ ඇය අවසන නිහඬ වූවාය. විටෙක නුලාරාගේ මේ ස්වරූපය පිළිබඳව ඇගේ සිතට දැනුනේත් බියකි. ඇයට යමක් කෑමට බීමට දෙන්නේත් කිහිප වතාවක් වද කලාට පසුවය. නුලාරාගේ වෙනසක් වී නම් ඒ සංකල්පනී පැමිණි දිනවලදී පමණි. අන් සෑම දිනක්ම ගෙවී යන්නේ ඇයව නිදන කාමරයට කොටු කර තබාය.
චූටි නෝනා පිටරට පදිංචියට ගොස් වසර අටකට ආසන්නව තිබිණ. ඇය විවාහ වූයේම ඇමරිකාවේ ව්‍යාපාරිකයකු සමඟය. ලොකු නෝනා ගත කළේ නිස්කලංක දිවියකි. ඇගේ දවසේ වැඩකටයුතු සිදු වූයේ කාලසටහනකට සේය. චූටි නෝනාගෙන් හිස් වූ නිවසේ පාළුව මැකී ගියේ නුලාරා පැමිණි පසුවය.
කට ගැස්මට යමක් සාදා ගනිමින් විසිත්ත කාමරයේ එක් කෙළවරක වන විසල් රූපවාහිනියේ ඈ චිත්‍රපටියක් නරඹද්දී ‘සෝමා වැඩ ඉවරයිනේ එන්න අපි ෆිල්ම් එකක් බලමු…’ යනුවෙන් ආරාධනා කළාය. පසු කලෙක මුළුතැන් ගෙයි වැඩ ඉක්මනින් නිම කරන සෝමා රූපවාහිනිය ඉදිරිපසින් වාඩි වෙන්නේ ඇගේ ආරාධනයෙන් තොරවය. වර්තමානයේ නිවසට පැමිණෙන ස්වාමිදුව කුමන ආකාරයේ කෙනෙකු වේදැයි සෝමා එදවස උන්නේ බියෙන් සැකයෙන්ය. හරි හැටි යන්නට එන්නට තැනක් නොවූ ගැහැණිය බියපත් වීම අරුමයක් නොවේ. නුලාරාගේ පැමිණීමෙන් පසුව ලොකු නෝනාත් මහත්තයාට සිටින කාලයටත් වඩා සැනසිලිදායක ජීවිතයක් ලැබුණු ඇය සිටියේ සතුටින්ය.
සුදු මහත්තයා එවන් සල්ලාල ජීවිතයක් ගත කරන අයෙකුයැයි සිතන්නට තවමත් ඒ සිත ඉඩ දෙන්නේ නැත. එහෙත් නිරතුරුවම දෑස් වල කඳුළු පුරවාගෙන බලා සිටිනා චූටි නෝනා දකින සෝමාගේ හදවත වේදනාවෙන් ඇවිල යයි. කුරුලු ජෝඩුවක් සේ දෙදෙනා මේ නිවස තුළ තුරුළු වී ඔහේ කියවමින් ගත කළ කාලය නිමා වී ඇතැයි සිතද්දී ඇගේ සිතට පවා දැනෙන්නට වූයේ බියකි.
‘බඩගිනියි සෝමා….’ යනුවෙන් හඬ නගාගෙන සුදු මහත්තයා හෝ චූටි නෝනා තමා සොයා එන්නේ මවක සොයා එන කුඩා දරුවන් දෙදෙනෙකු පරිද්දෙන්ය. ගෙවී ගිය සති කිහිපයේදී දෙදෙනාගෙන් එක් අයෙකුවත් එසේ නොපැමිණි බව සෝමා සිහි කළේ වේදනාවෙන්ය. මේසයට කෑම බෙදා කිහිප වරක්ම ඔවුනට ඇවිටිලි කරන්නට ඇයට සිදුවිය.
නිවසට පැමිණි චූටි නෝනා සෝමා බියෙන් සිටියා සේ නරක නපුරු ගැහැණියක වූයේ නැත. ‘සෝමා මේක මෙතනට ලස්සනයි නේද.. සෝමා! මේක අපි අතනින් හිටවමුද..සෝමා ඔයා කියලා දෙන්න මං හදන්නම්. අද අපි රෑට මහත්තයට මොනවද සෝමා හදන්නේ..’යනුවෙන් තමා පසුපස පැමිණෙමින් උන් ඈ මේසා නිහඬවීම මේ විසල් නිවසට ඔරොත්තු නොදෙන තරම් යැයි වරෙක සෝමාට සිතිණ.
ඇයට මේ ගැන කතා කරන්නට සිටියේත් වසර කිහිපයක සිට මේ නිවසෙහි ආරක්ෂාව ගැන සොයා බලන මුරකරු පමණි.
“ඕවා හොයන්නයි ඕව පැමිණිලි කරන්නයි ගිහිල්ලා අවුරුදු ගානක් තිස්සේ නිදහසේ කරගෙන ආපු මේ රස්සාව නැති කරගන්න ඕනේ නෑ සෝම අක්කේ. අනික ඉතින් අපි නොදැන හිටියට ඒ ගොල්ලෝ අතර මොන මොන රහස් තිබුනද කියලා කවුද දන්නේ?. ඒක හින්ද මං නං කියන්නේ ඕවා ඇහුනත් දැක්කත් නෑහුනා නොදැක්කා වගේ ඉන්න එක තමයි හොඳම දේ. සල්ලිකාරයොන්ට ඔහොම දේවල් අරුමයක් නෙමෙයි. ටික කාලෙකින් චූටි නෝනටත් ඕව මහා දේවල් නෙමෙයි කියලා දැනෙයි..”
ඔහු පැවසූයේ ඒ අයුරින්ය.
“මට තාම නිකං හීනයක් වගේ. අපේ චූටි මහත්තයා චූටි නෝනට ආදරේ කරපු තරමට හොයලා බරපු තරමට මෙහෙම වෙනස් වෙයි කියලා කීයටවත් හිතුවෙ නෑ බං. මං ඔය ගෑනිව දැකලා තියෙන්නේ ටීවී එකෙන් විතරයි. එහෙම කරන්න ඕන නං මේ අහිංසක චූටි නෝනව කසාද බැඳ ගත්තේ මොකටද?”
“හරියට දේවල් දන්නේ නැතුව අපිට තීන්දු තීරණ ගන්න බෑ බං. මාත් ඔය පහුගිය දවස්වල ෆෝන් එකෙන් දැක්කා දෙන්න ලංවෙලාා ඉන්නවා. ඔය අපේ මහත්තයලා කරන්න යන ලොකු ෂෝ එකේ වැඩ බලන්නෙත් ඔය මන්දස්මි කියන ගෑනි තමයි. මාධ්‍ය සාකච්ඡා වලට එහෙම ගිහිල්ලා දෙන්නත් එක්ක හිනා වෙවී ඉන්න ෆොටෝ මේකෙ තිබුණා.”
“කෝ මටත් එකක් පෙන්නපංකෝ බලන්න…”
සිය ජංගම දුරකථන තිරය ඔස්සේ දෑගිලි එහා මෙහා ගෙන ගිය තිලකසිරි අවසන නතර වූයේ සේයාරුවකය. මුර කුටියට වී සිටියදී ඔහු තමාගේ කාලය ගෙවා දමන්නේ මේ ජංගම දුරකථනයේය. මුහුණු පොත හරහාත්, යූ ටියුබ්, හා වෙනත් ගොසිප් නාලිකා හරහාත් ඔහු ලෝකයේ සිදුවන බොහෝ දේ දැනගත්තේය. ඒවා සෝමා හා බෙදා ගත්තේ කෑමට හෝ තේ පානයට පැමිණි විටකය. නිවසත් ඉන් පිටත කොටසත් සම්පූර්ණ කැමරා පද්ධතියකින් ආවරණය කර තිබූ නිසා තිලකසිරි මුර කුටියට තනි රැක්කා පමණි. චාරුකගේ පියා සිටියදී මෙන්ම චාරුකත් ඔහුගෙන් අපේක්ෂා කළේ ගැහැණු දෙදෙනෙකු සිටින නිවසේ තනි නොතනියට සිටීමය.
තිලකසිරි දෑගිලි වලින් මඳක් විසල් කළ සේයා රුව දෙස සෝමා බලා සිටියේ කම්මුලට අතකුත් තබාගෙනය. එහි චාරුකත් මන්දස්මිනම් යුවතියත් හිනැහෙමින් මුහුණට මුහුණ බලාගෙන සිටියේය. දෙදෙනාගේම මුහුණුවල වූයේ ආදරණීය සිනහවකි.
“අප්පේ ඉතින් මේව දිහා බලාගෙන අපේ චූටි නෝනා ඉවසන් ඉන්න එකනේ පුදුමේ.”
“එහෙම කියන්නත් බෑනේ සෝමක්කේ. අපේ සුදු මහත්තයාගේ රස්සාව මේ. තාත්තගේ උනත් ඔය කොම්පැනිය වැඩබාර ගන්න කලින් අපේ සුදු මහත්තයා නළුවෙක්නෙ. ඉතිං කොච්චර නිළියො එක්ක රඟපාලා තියෙනවද..?”
“ඒ උනාට ඒ කාත් එක්කවත් මෙහෙම කතාවක් හැදිලා නෑනේ බං. ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ කියනවනේ. බඩේ දරුවෙකුත් තියාගෙන චූටි නෝනා හරියට කන්නේ බොන්නෙත් නෑ. ඒ මූණේ හිනාවක් දැකපු දවසක් මතක නෑ බං. වෙනදා ඔය වත්ත වටේ රවුමක් දෙකක් යන ගමන් උඹ ළඟටත් ඇවිත් අහනව නේද තිලකසිරි කෑවද බිව්වද කියලා. දැන් ඒ කිසි දෙයක් මතක නැති ගානයි. අපේ චූටි මහත්තයා මෙහෙම වෙනස් වෙයි කියලා කවුද හිතුවේ.”
“අපි ඕවා ගැන තීරණ ගන්නේ නැතුව අපිට අදාල රාජකාරිය විතරක් කරමු බං. කොච්චර උනත් මේ තැනින් අපිට කවදාවත් වරදක් උනේ නෑ. අදටත් චුටි මහත්තයා ගේට්ටුව ලඟින් යන ගමන් වීදුරුව පහත් කරලා මට කියන්නේ ‘චුටි නෝනාව හොඳට බලා ගන්න ඕනේ බං…’ කියලා.”
“මටත් ඒ ටික නං ඒ විදිහටම කියලා යනවා. දහ සැරයක් කෝල් කරනවා. මට ඕනෙ මේ ගෙදර ඒ තිබුණු හිනාව සතුට ආපහු දකින්න බං. චූටි නෝනයි අපේ සුදු මහත්තයයි මට අම්මා කියලා නොකිව්වට ලොකු නෝනා ගියාට පස්සේ මට ඒ තනතුර ඉබේටම ලැබුණ බං. ඒ නිසා අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන වේදනාවම තමයි මගේ හිතේ තියෙන්නෙත්..”
සෝමා එසේ පැවසූයේ මදක් පහතට නැවී චීත්ත ගවුමට උඩින් ඇද උන් ඒප්‍රනයෙන් දෑස් පිස දාගන්නා ගමන්ය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්……)


