“පුතේ” කියා තාත්තා කියද්දී වෙනදා මෙන් දුවගෙන් ගොස් ඒ අත් අතරට හිරවෙන්නට හෝ “තාත්තී” කියා ආදරයෙන් අමතන්නට හැකියාවක් නෙත්මලීට තිබුණේ නැත. කුමක් හෝ කියාගන්නට නොතේරෙන හැඟීමක් මෙතෙක් දවසක් තමනුත් තාත්තාත් අතර දෝරෙ ගලන්නට සැලැස්සූ තාත්තෙකුගේත් දුවෙකූගෙත් ආදර ගංගාව කුමක් හෝ හේතුවක් නිසා නතර කරන්නට හේතු වී ඇති බව පමණක් නෙත්මලීට තේරුණාය.
“තාත්තා ඇයි කවදාවත් නැතුව අද ආවෙ?” කියන සිතුවිල්ල හිත බර කර තියද්දි නෙත්මලී තාත්තා උන් දිහාවට ඇදී ගියේ කකුල් දෙකේ ගල් දෙකක් ගැට ගසා ඇතුවාක් මෙන් මහා බර හැඟීමකින් යුතුවය. වෙනදානම් හැමදාම තාත්තාගේ බයිසිකලයට නැගුණේ හිතේ පිරුණු සැහැල්ලුවෙන් සහ සතුටෙන් වුවත්, අද ඉදිරියට තබන සෑම අඩියක්ම නෙත්මලීට දැනුණේ මුළු ඇඟම අප්‍රාණික කරවන, මහ අසීරුවෙන් තබන අඩියක් ලෙසිනි. තමන් සහ තාත්තා අතර තිබූ ඒ සුන්දර, නිදහස් සම්බන්ධයට කොහෙන් හෝ වැටුණු අඳුරු සෙවනැල්ල තමන්ගේ මුළු සිරුරටම මෙතෙක් නොදැනුණු මහා බරක් එකතු කර තිබුණාය යන්න පමණක් එවෙලේ නෙත්මලීට තේරුණාය.
“අද මං ඒත් හිතුවා වෙනසකටත් එක්ක පුතාව එක්කරගෙන යන්න එනවා කියලා. පුතා හැමදාම නැත්තං බස් වල තෙරපිලා මහන්සිවෙලනෙ ගෙදර එන්නෙ. මං ඒ හන්දමයි ආවෙ” කියා තාත්තා කිව්වාට මේ සියලු වචනත්, ක්‍රියාවනුත් පිටිපස්සේ තියෙන්නේ වෙන කතාවක් බවත්, ඒ කතාව ඊයේ රැයේ වෙච්ච දේ හා සම්බන්ධ බවත් නෙත්මලීට නොතේරුණා නොවේ.
නෙත්මලී බයිසිකලය පිටුපසින් වාඩි වී අතේ තිබූ ක්ලාස් එකේ ටියුට් සහ නෝට්ස් ඇතුළත් ෆෝල්ඩරය පපුවට තද කරගනිද්දීම තාත්තා එකපිට එක අනවශ්‍ය විස්තර කියවන්නට පටන් ගත්තේද ඒ හැඟීම නිසා බව නෙත්මලීට නොතේරුණා නොවේ. වෙනදාට අඩුවෙන් කතා කරන සන්සුන් මිනිසා අද තමන්ගේ සිත ඇතුළේ පිරී තිබූ මහා වරදකාරී හැඟීම වසාගන්නට මෙන් නොඉවසිල්ලෙන් එක එක කතා කියවමින් බයිසිකලය පණගැන්නුවේය.
“ඔෆිස් එකේ වැඩත් අද වේලාවට ඉවර වුණා පුතේ. මං හිතුවා එන ගමන් බස් හෝල්ට් එක ළඟ රොටි කඩෙන් පුතා ආස හන්දා එළවලු රොටි ටිකකුත් අරන්ම යන්න. අම්මා කිව්වා අද හවසට තේ බොන්නත් මුකුත් නෑ කියලත්”
නෙත්මලීගෙන් උත්තරයක් නැත. ඇය බයිසිකලයේ පිටුපස බාරය අල්ලාගෙන ඔහේ බිම බලාගෙන සිටියාය.
“අනික අද හවස අහසත් අඳුරු කරගෙන එනවා වගෙ පෙනිච්ච හන්දමයි මං හිතුවෙ කෝකටත් මේ පැත්තෙන්ම එනවා කියලත්. ඕකට අහු වුණොත් එහෙම පුතාට අර ඉඳ හිට එන ඔළුව කැක්කුමත් ඒවි. කෝකටත් ගෙදර ගිහින් හොඳට වොශ් එකක් එහෙම දාලා අම්මට කියලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් හදාගෙන එළවලු රොටියක් කන ගමන් බොමු නේද?” තාත්තා බයිසිකලය ඉස්සරහා කන්නාඩියෙන් නෙත්මලී දෙස බලන්නට උත්සාහ කරමින් නැවතත් කිව්වේය.
“ම්ම්” කියා කිව්වා මිසක වෙනදා කිරිල්ලියක මෙන් තාත්තා සමග කිචිබිචි ගාන නෙත්මලිය අද නිහඬය.
“ක්ලාස් එකේ වැඩ කොහොමද පුතේ? විභාගෙ වැඩ එහෙම කොහොමද? ඔයාට මුකුත් අමාරුවක් නෑනෙ? පංතිවලවත් ඉස්කෝලෙවත් එහෙම ප්‍රශ්නයක් නෑනෙ? ” කියා අතුල සමරසිංහ නැවත වතාවක් කටහඬ අවදි කරේ දියණියගේ ඒ නිහඬතාවය ජීවිතයේ පළමුවරට තේරුම්ගන්නට නොහැකි වූ පියෙකු පරිද්දෙනි.
“නෑ” නෙත්මලී ඉතා හීන් හඬින් කිව්වාය.
” ඒක මිසක්. විභාගෙ ලංවෙන නිසා දැන් පාඩම් වැඩත් වැඩි ඇති නේද? මොනවා වුණත් හිත පරිස්සම් කරගන්න ඕන පුතේ. මං කිව්වේ වෙන විකාර අමතර දේවල් ඔළුවට ගන්නේ නැතුව පාඩම් වැඩ විතරක් හිතට අරන් ඉන්න එකයි ඇඟට ගුණ. මේ වෙලාවෙ පුතාගෙ ඔළුවෙ කොහොමත් තියෙන්නෙ ඕන විභාගෙ සම්බන්ධ දේවල් විතරයි. වෙන ඉතින් හිතන්න කියලා දේවල් පුතාට නෑනෙ.”
“වෙන විකාර අමතර දේවල් ඔළුවට ගන්නේ නැතුව” කියමින් තාත්තා උත්සාහ කරන්නේ උදේ පාන්දර සිදුවූ දේ තමන්ගේ මතකයෙන් මකා දැමීමට බව නෙත්මලීට නොතේරුණා නොවේ.
තාත්තා කියවන ඒ වචන අස්සේ තමන්වම රවටාගන්නට දරන අසරණ උත්සාහය දකිද්දී නෙත්මලී නැවතත් බොඳවී ගිය දෑසින් යුතුව මහ පාරේ තමන් පසුකර යන වාහන දෙස බැලුවේ හදවත ඇතුළෙන් නැගී එන වේදනාකාරී නිහඬතාවයට තමන්ව පරාද කරන්නට, යටත් කරගන්නට බාරදෙමින් බොහෝ දුර කල්පනාවක් අස්සේ ගිලී යමිනි.
පාසල් ඇරී ගෙදර එන නෙත්මලී දවල්ට බත් කයි.
පාසලෙන් පසුදාට කරගෙන එන මෙන් දුන් ගෙදර වැඩ අවසන් කරයි. හවස අතිරේක පංති ගොසින් ගෙදර එයි. ඒ පැමිණ හවස හතට විතර රෑටත් බත් කයි. ඇඟ පත සෝදාගෙන තාත්තාට ප්‍රවෘත්තිද, අම්මාට රෑ දහය විතර වෙනතුරු ටෙලි නාට්‍යයද එක දිගට බලන්නට ඉඩ දී නෙත්මලී නින්දට යයි. අනතුරුව දහයමාරට විතර නැගිටියි. ආයම පාන්දර තුන හතර වනතුරු පාඩම් වැඩ වල නිරත වී පැය දෙකක් දෙකහමාරක් විතර නිදාගෙන පාසල් යන්නට නැගිටියි.
මූණ සෝදාගෙන අම්මා උයා තිබෙන දෙයක් කා බී ඇඳ පැළඳගෙන පාසල බලා පිටත්වෙයි.
මේ නෙත්මලී දේවස්මිතා සමරසිංහගේ සුපුරුදු උසස් පෙළ දෛනික චර්‍යාවය.
එහෙත් එදින කාල සටහන වැඩ කලේ වෙනදා පරිද්දෙන් නොවේ. හවස් වරුවේ සිංහලේ පංතිය අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී හීන් සැරේ ඔලුවේ වම් පැත්තේ සිට නැගී ආ හීනි රිදීම මහා ඔලුව කැක්කුමක් වී නෙත්මලී රිදවන්නට පටන් ගත්තේ බසයේ සෙනග අස්සේ තෙරපී ගෙදර විත් සීතල වතුරෙන් ඇඟ සෝදාගනිද්දීය.
“ඔළුව කැක්කුම තියෙද්දි තව සීතල වතුරෙන් ඇඟ හේදුවෙ ඇයි පුතේ ඔලුව කැක්කුම ට්‍රිගර් වෙනවනෙ” කියා තාත්තා කිව්වාට මොකෝ නෙත්මලී උන්නේ එයටවත් උත්තර දෙන්නට තරම් හරි සිහියක නොවේ. කන්නට තරම් පිරියක් නොවුනාට කෑම මග හැර ඇඳට වැටීම ඔළුව කැක්කුම ඩබල් වෙන අන්දමේ කතාවක් අම්මාගෙන් අහගන්නට හේතුවක් වන බව දන්න හන්දාම නෙත්මලී කෑම මේසයට වාඩිවුණාට මොකෝ වැඩිපුර කලේ කෑම කනවාට වඩා අතගාන එකය. කෑම කටක් උගුරෙන් පල්ලහෙට යන වාරයක් පාසා නෙත්මලී උන්නේ “දැන් වමනේ යාවිය” යන බයකිනි.
“මං මෙතන නැහිලා නැහිලා උයනවා, අනේ මන්දන්නෙ නෑ මොකද්ද ළමයො ඔය අල්ල අල්ල ඉන්නෙ හරියට අනාගනෙ කන්නකො” කියා අම්මා නොරිස්සුමෙන් කියද්දී වෙනදා මෙන් එය ඉවසන්නට පුළුවන්කමක් නොතිබ්බ එකේ නෙත්මලී නොරිස්සුමෙන්ම ඉඳුල් පිඟාන උස්සගෙන කෑම මේසයෙන් නැගිට්ටේ හොස්සද ගස්සාගෙන හරියට මහ ගෑනියක මෙනි. අතුල සමහරසිංහ වෙනදා මෙන් ඒවාට මුකුත් කියන්න වෙනදා මෙන් කටයුතු නොකලේ ලොකු ඩයිනමයිට් කරල වගේම ඔලුව කැක්කුම හැදිච්ච දවසට පොඩි ඩයිනමයිට් කරලේද හැටි දන්න හන්දාය. ඉඳුල් පිඟානද අරගෙන එහෙම්ම කුස්සියට ගිය නෙත්මලී ඉතුරු වෙච්ච කෑම ඔක්කොම කුණු බක්කියට හලා පිඟානද උඩින් පල්ලෙන් හෝදා අනතුරුව වැසිකිලියට ගොස් වමනේ කරාය. ඇඟ තිබුණේ අඩපණවය. කට සෝදා දත් මැද ගත්තේ සින්ක් එකට බර වී නිකන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්නා මිනිසෙක් පරිද්දෙන් ය. හෙට කියා දවසක් නැති පරිද්දෙන් ඇඳට වැටුණ නෙත්මලී දෑස් පියාගත්තේ “අනේ දෙයියනේ හෙට උදේ නැගිටිද්දිවත් මේ ඔළුව කැක්කුම හොඳ වෙලා තියෙන්න” කියා හිතාගෙනය. හිතාගෙන උන්නේ අද රෑ නැගිට දේශපාලන විද්‍යාව පාස්ට් පේපර්ස් කීපයක බහුවරණ කරන්නට වුණාට ඒක නම් දැන් ඉතින් හීනයක් බව නෙත්මලීට හිතුනේ ඔලුවේ කැක්කුමේ අමාරුවට ඇස් දෙක ඔහේ පියවීගෙන යද්දීය.
ඒ රිදුම නිකම්ම නිකම් සාමාන්‍ය හිසරදයක් නොවේ.
ඇගේ වම් ඇස ඇතුළතින් යකඩ ඉන්නකින් අනින්නාක් වැනි තද හිරියක් සමඟින් ආ ඒ මහා අසහනකාරී කැක්කුම මුළු හිස්කබල පුරාම පැතිරී ගියේය. ඇසේ වම් පස නහරයක් තත්පරයෙන් තත්පරය අස්වාභාවික ලෙස ගැහෙන රිද්මය නෙත්මලීට තදින්ම දැනෙන්නට විය. ඒ සමගම මතුවූ මහා බර ගතිය නිසා වම් ඇසි පිය උස්සාගෙන සිටීම පවා ඇයට අතිශය අපහසු කාර්‍යයක් විය.
වටපිටාවෙන් ඇසුණු පුංචිම ශබ්දයක් පවා කෙළින්ම මොළයට වදින්නාක් මෙන් දැනෙද්දී, කාමරයේ රාත්‍රී ලාම්පුවෙන් නික්මෙන විදුලි ආලෝකය පවා දෙනෙත් කපාගෙන යන තරම් වේදනාවක් ගෙන දුන්නේය. දෑස් තදින් පියාගෙන සිටියද ඒ රිදුමේ අඩුවක් නම් නොවීය. හිස ඇතුළතින් ආ ඒ වේදනාවත් සමඟ මුළු සිරුරම පණ නැති වී යද්දී, නෙත්මලීට හිතුණේ යම් මොහොතක තමන්ගේ හිස දෙපළු වී යතැයි කියාය.
කන් අස්සෙන් මහා සූසූ හඬක් නැගෙද්දී, මුළු හිසම යමහලක් මෙන් රත් වී එන බව නෙත්මලීට දැනුණි. බස් රථයේ තෙරපෙමින් පැමිණීම නිසා ඇතිවූ වෙහෙසත්, දින ගණනාවක් තිස්සේ රාත්‍රී නිදි වර්ජිතව පාඩම් කිරීමෙන් උපන් කායික පීඩනයත් එකතු වී මේ වන විට ඒ හිස රදයේ වේදනාව තවත් තීව්‍ර කර තිබුණි. නළල දෙපසට ඇඟිලි තුඩු තද කරමින් කෙතරම් පීඩනයක් යෙදුවද, හිස ඇතුළතින් නැගෙන ඒ දරුණු වේදනාව පාලනය කරගැනීමට කිසිදු මගක් නොවීය.
තමන්ගේම හුස්ම වැටෙන ශබ්දය පවා හිස ඇතුළත ප්‍රතිරාවය දෙද්දී, නෙත්මලීට හිතුණේ මේ මොහොතේ මුළු ලෝකයම නිහඬ වූයේ නම් කොතරම් අගනේද යන්නය. කොට්ටය මත හිස තබාගත්තද, හිසේ වම් පස කොට්ටයේ ගෑවීම පවා දරාගත නොහැකි තරමට හිස්කබල සංවේදී වී තිබුණි. ඒ සෑම මොහොතකම ඇගේ මුළු සිරුරම අප්‍රාණික කරවමින්, පපුව අස්සෙන් මහා වමනයකට එන අප්පිරියා සහගත හැඟීමක්ද ඒ වේදනාව සමඟ මුසු විය.
ඒ වේදනාව මැද්දේ නිදි දෙව් දුව උන්නේ කෙමෙන් කෙමෙන් සුමුදුව දෙනෙත් මත නින්දේ සුවබර ඇතිරිළි අතුරලමිනි.
ඒ පියවුණ දෙනෙත් යළි ඇරුණේ පාන්දර දෙකට පමණය.
අඳුරු කාමරයේ මහා නිහඬතාවය අතරේ ඇයට පළමුවෙන්ම දැනුණේ හිස වෙළාගෙන තිබූ අර යකඩ ඇණයක තියුණු රිදුම පහව ගොස් තිබූ වගය.
හිස්කබල පුරා තෙරපුණු මහා ගිනි ජාලාව නිවී ගොස් තිබුණද, ඇගේ සිරුර පුරා ඉතිරිව තිබුණේ මහා කුණාටුවකට පසු ඉතිරිවන මුළුමනින්ම සුන්බුන් වූ පාළුවකි. අත් පා සෙලවීමට පවා නොහැකි තරමට ඇගේ මුළු සර්වාංගයම අඩපණව තිබුණි. ඒ අඩපණ බව පරාජය කරමින් ඊළඟ මොහොතේ ඇය සොයා ආවේ මහා පිපාසයකි. වියළී ගිය උගුර සහ දෙතොල් පෙති බිඳක්දු දිය පොදක් නොලැබුණු කාන්තාර බිමක පැලුම් මෙන් තදින්ම දැවෙන්නට විය. නෙත්මලී නිදිමතින්ද, පහව ගිය ඔලුව කැක්කුම නිසාවෙන් හිස ඉතිරි වූ බර ගතියෙන්ද ඇඳ මත වාඩිවුණේ අධික පිපාසාව සංසිඳුවාගනු පිණිස වතුර උගුරකින් දෙතොල් තෙමා ගනු සිතාගෙනය.
තද කළුවරේම අතපත ගාමින්, රාත්‍රියට පාඩම් කරද්දී නිරන්තරයෙන් ඇගේ ලඟින්ම තිබෙන මේසය මත වූ ජොග්ගුව වෙත ඇය අත දිගු කළාය.
නමුත් අතට අසු වූ වීදුරු ජොග්ගුවේ සැහැල්ලු බවෙන්ම එහි වතුර නැති බව ඇයට තේරුණි.
ඊයේ හැන්දෑවේ ආ මහා හිසරදයේ අමාරුව නිසා ජොග්ගුවට වතුර පුරවා තබන්නට පවා තමන්ට අමතක වුණ බව නෙත්මලීය මතක් වූයේ එවිටය. වියලුණ උගුරේ දැවිල්ලත්, අප්‍රාණික සිරුරේ බරත් සමඟින් ඒ පාන්දර ජාමයේ කුස්සිය දෙසට යනවා හැරෙන්නට වෙනත් මගක් නෙත්මලීට නොවීය.
කළුවරේම ඇඳෙන් බිමට බැස්ස නෙත්මලී, බිත්තිය අල්ල අල්ල හිමින් හිමින් කාමරයෙන් එළියට ආවාය.
මේ මහ රෑ විදුලි ලාම්පු දැල්වීම අම්මාගෙන් බැණුම් ඇසීමට හෝ තාත්තාව ඇහැරවා කලබල කරවීමට හේතුවක් විය හැකි නිසා නෙත්මලී කුස්සියට දිහාවට ඇවිද ගියේ අන්ධකාරයේමය.
තමන්ට පුරුදු බිමේ පය පැටලෙන්නට හේතුවක් නැති බව ඇත්තක් යැයි නෙත්මලීට හිතුණේ තව අඩියක් ඉදිරියට තියන තුරු පමණි.
කුස්සියේ සිට එළියට බසින දොර මදක් ඇරී තිබෙන බවත් ඒ දොරෙන් කවුරුන් හෝ ගෙට ගොඩවෙන බවත් නෙත්මලී දුටුවේ එවෙලේය.


