අතුල සමරසිංහ උන්නේ වැඩ කරගන්නට අපහසුවෙනි.
කන්තෝරුවේ මේසය මත වෙනදාට නම් හවස් වරුවේ මේ වෙලාව වෙද්දි එකදු ෆයිල් එකක්වත් ඉතුරු නොවන පරිද්දෙන් වැඩ කටයුතු අවසන් කරන්නට අතුල සමරසිංහ කටයුතු කරන්නට වග බලා ගන්නවා වුවද අද කාලය ගෙවුණේද, වැඩ කටයුතු කෙරුණේද වෙනදා පරිද්දෙන් නොවේ.
“අද නම් වෙලාව යනවා දැනුනෙවත් නෑ නේද? කෝච්චියක් වගේ ගියේ” කියා එහා අසුනේ වාඩි වී ඉන්නා සුභා මිස් ගෙදර යන්න බලාගෙන හනි හනික අත් බෑගස් අස් කරගන්නට පොරකන අතරවාරයේදීය අතුල සමරසිංහ පියවි සිහියට ආවේ.
“අතුල මහත්තය මොකෝ අද වෙනදට වඩා වෙනස්? මං ඒත් බලාගෙන වෙනදා වගේ විහිළු තහළු කතන්දරත් නෑ? මොකෝ ගෙදරවත් මොකක් හරි කරදරයක්ද?” කියාගෙන සුභා මිස් තකහනියේම ඇසුවේ කොහොමත් රජයේ කන්තෝරු පෞද්ගලික කන්තෝරු කියා වෙනසක් නැතුව අනුන්ගේ ඕපදූප හොයන්නට ගෑනුන්ට තියෙන උවමනාව සහ ආසාව මොනවට කියා පාමිනි.
“ගෙවල්වලද සුභා මිනිස්සුන්ට ප්‍රශ්න නැත්තෙ. එහෙම දෙයක් නෙවි. අද චුට්ටක් මගෙ මූඩ් හරි නෑ” වගේ කියමින් අතුල සමහරසිංද පුටුවෙන් නැගිට්ටේ ගෙදර යන්න බලාගෙනය.
“මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු” කියමින් කන්තෝරුවට අලුතෙන් එකතු වූ විශ්ව විද්‍යාලයෙන් මාස කිහිපයකට පෙර උපාධිය ගෙන අවසන් ව ආ තරුණයකු වුණ සෙනුරද තමන්ගේ සයිඩ් බෑගය උරහිස හරහා පැත්තකට දාගෙන ආවේ අතුල සමරසිංහ සමගම කොට්ටාව පැත්තට යන බස් එක ගන්න බලාගෙනය. අතුල සමරසිංහ ගේම දඬු මොණරේ නැගී බස් හෝල්ට් එක පැත්තට යන එකේ වාසියක් ඇත. ඉක්මණින් යා හැක. පියෙකුගේ වයසේ වුණාට අතුල සමරසිංහ අස්සෙන් පස්සෙන් වෙට්ටු දමා පරිස්සමට යන මාර්ගය හොඳින් හඳුනයි.
“ඉඟුරු තේකක් බොන්න නං ඉතින් ගෙදරම යන්න වෙනවා. හැබැයි කොල්ලො උඹට අද මං එක්ක නම් යන්න වෙන්නෙ නෑ” කියා අතුල කියද්දී සෙනුරගේ මූණ ඇඹුල් වුණේ ආං ඒ හන්දාය.
“අර මොකෝ?”
“අද මං අපේ කෙල්ලව පංතියෙන් ගන්න වෙන්න රූට් එකකට යනවා. නැත්තං ඒ දරුවා හැමදාම ක්ලාස් ඇරිලා බස් වල නැහිලා නැහිලා මං ගෙදෙට්ට ආවටත් පස්සෙ තමයි ගෙදෙට්ට ගොඩ බහින්නෙ” කියා දිග කතාවක් අතුල සමරසිංහ කෙටි කොට කිව්වේය.
“එහෙනම් ඉතින් මක් කොරන්නද? එහෙනම් අපි කැපුණා. සුභා මිස් අපි ගියා ඈ. අතුල මහත්තයා නැති එකේ මං පික් මී එකක් දාන් අදට යනවා. හෙට මං එක්ක යන් හොඳේ අතුල මහත්තයා. දූ උන්නට කමක් නෑ. අලුතෙන් සෙට් වෙච්ච මේ පුත්‍රයව අමතක කරන්නෙපා ඉතින්” කියාගෙනම සෙනුර දුවගෙන දුවගෙන යද්දී අතුල සමරසිංහ වෙනදා මෙන් ඒ කතන්දර ඉවසුවේ මූණේ සිට දෙකණද, දෙනෙතද වසාගත් සිනාවකින් නොවන බව දුටු කවුරුවත් ගෙදර යන්නට හදිසියෙන්, කලබල වී උන් මී මැසි පොදියක් වී උන් කන්තෝරුවේ උන්නේ නැත.
අතුල සමරසිංහ දැන් පණස් පස් වියට කිට්ටුය.
හතළිහ පහු වෙද්දීම හිස පුරා නැගුණු නරකෙස්, දැන් උඩට පීරා ඇති කොණ්ඩය අස්සෙන් වඩාත් කැපී පෙනෙයි. ඒ නර කෙස් එකින් එක කියන්නේ වෙන කිසිවක් නොව, සාමාන්‍ය රජයේ රැකියාවකින් ලැබෙන පඩියෙන් පවුලක බර කරගසාගෙන ඒමට ඔහු කළ අසීමිත කැපකිරීම් සමුදායයි. අතුල වනාහී ඒකාකාරී ලිපිකරු රජයේ රැකියාව අස්සේ හිරවී සිටියද, තමන්ගේ අඹුදරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම දියකර හැරි සැබෑ පියෙකි.
අතුල සමරසිංහගේ බිරිඳ චන්ද්‍රාය.ඈ ගෙදර දොරේ සියලු වැඩපල අස්සේම මහන මැෂිම කැරකවීම නතර කරේ නැත. ඇය අසල්වැසියන්ගේ ඇඳුම් මහමින් උපයා ගන්නා සොච්චම් මුදල, ගෙදර අතමාරුවටත් දරුවන්ගේ අමතර පන්ති ගාස්තුවලටත් ලොකු අත්වැලක් විය. පවුලේ වැඩිමලා වූ පුතා වන නෙත්මාල් පෞද්ගලික විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාරන අතරතුරම, තමන්ගේ පාඨමාලා ගාස්තු ගෙවාගැනීමට සහ පියාට බරක් නොවී සිටීමට පරිගණක අංශයේ අර්ධකාලීන රැකියාවක නිරත විය. අතුලගේ ලෝකයේ ලොකුම අභිමානය මෙන්ම ලොකුම බලාපොරොත්තුව වූයේ බාල දියණිය නෙත්මලීය. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඇය වෙනුවෙන් තමන්ගේ මුළු නිදහසම කැප කිරීමට අතුල සැදී පැහැදී සිටියේය.
කන්තෝරුවේ වාහන ගාලෙන් තමන්ගේ දඬු මොණරය එළියට ගත් අතුල, නෙත්මලීගේ පංතිය දෙසට යන්නට බයිසිකලය පාරට දැම්මේ හවස් වරුවේ මහ පාර අත්පත් කරගෙන සිටි මහා වාහන තදබදය අස්සෙනි.
හෝරාව පහ පහු වී තිබුණි.
එකින් එක පණ ගන්වාගත් බස් රථවලින් පිටවන කළු දුම් රොටුත්, කන් අඩි පැලෙන්නට හඬ නගන හෝන් හඬවලුත් අස්සෙන් කොළඹ අහස තිබුණේ මහා මූසල අඳුරකින් බරවය.
වහින්නට මෙන් තදින් අඳුරු කරගෙන ආ අහස යට, එක පෙළට රතු පාටින් දැල්වෙන වාහනවල පිටුපස ලයිට් එළි අතරින් අතුල තමන්ගේ බයිසිකලය පරිස්සමට ඉස්සර කළේය.
“උදේ ඉස්කෝලේ ගිහින්, හවස පංති ගිහින්, මේ සෙනග අස්සෙ තෙරපිලා මේ දරුවො කොහොම මේ විභාග වලට මහන්සි වෙනවද මන්දා අප්පා?” කියා අතුලට හිතුණේ පාසල් ළමුන්ගෙන් පීරි, පැත්තකට ඇලවී වේගයෙන් තමන් පසුකර යන්නට තැනුව බස් රියකට ඉඩ දෙනු පිණිස බයිසිකලය පැත්තකට ගන්නට වෙර දරන අතරවාරයේය.
හිස ඇතුළේ පැටලී තිබුණු දහසකුත් එකක් කල්පනාවන් අස්සේ අතුලගේ අවධානය මොහොතකට මගහැරී ගියේය. මහ පාරේ තදබදය අස්සෙන් සිග්නල් පවා නොදමා එකපාරටම කපාගෙන ආ ත්‍රීවීල් රථයක වදින්නට ගිය පාරට අතුල දෙපා බිම ගසා අමාරුවෙන් බ්‍රේක් පෑගුවේ අන්න ඒ අවසරයේය. ත්‍රීවීල් එකේ පැත්තක බයිසිකලයේ හැන්ඩල් එක ලාවට වදීගෙන යද්දී නගරයේ හෝන් හඬ පරයා මහා සද්දයක් මතු විය.
“කොහෙද හලෝ යන්නේ? ඇස් පොට්ටද?” ත්‍රීවීල් එක ඇතුළේ සිටි කොල්ලෙකු එකපාරටම රියැදුරු අසුනෙන් ඔළුව එළියට දමා කෑගැසුවේ තදින් හෝන් එකද තද කරගෙනමය.
“ඔය ළමයටත් මගේ වයසෙ තාත්තලා ඇති නේද? ඔහොමද වැඩිහිටියෙක්ට කතා කරන්නෙ?” කියලා අහන්න කොච්චර උවමනාව තිබ්බත් මේ වනාහී හොඳ නරක කියා දෙන්නට වෙලාව නොවන බවට මොලේ රතු එළි දැල්වුව නිසාවෙන් අතුල සමරසිංහ ඒ දෙබසට පිළිතුරු නොදීම වරද හිස නමා භාරගෙන දැල්වුණ කොළ එළිය හමුවේ ඉස්සරහට යන්නට බයිසිකලය ධාවනය කරන්නට වූවේය.
නෙත්මලී පංති කාමරයේ අසුන්ගෙන සිටියාට ඇගේ සිත තිබුණේ එතැන නොවේ.
දේශපාලන විද්‍යා පංතියේ සර් බෝඩ් එක පුරා සටහන් තබමින් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය ගැන මහ හඬින් පැහැදිලි කළද ඒ එකදු වචනයක්වත් නෙත්මලීගේ මොළයට ධාරණය වූයේ නැත. ඇගේ දෑස් පොතට යොමුව තිබුණද, මනස ඇතුළේ එක දිගටම කැරකෙමින් තිබුණේ පෙරදා පාන්දර දෙකට අඳුරු කුස්සිය ළඟ සිටගෙන තාත්තා කියන්නට යෙදුණ කතාවයි. කෙදිනකවත් අසන්නට බලාපොරොත්තුවෙන් නොඋන් කතාවයි.
“නෙත්මලී!”
එකපාරටම පංති කාමරයේ නිහඬතාවය දෙපළු කරමින් සර්ගේ කටහඬ අකුණක් මෙන් ගර්ජනා කළේය.
නෙත්මලී ගැස්සී ගොස් පියවි සිහියට ආවාය.
පංතියේ සිටි සිය සිය ගණනක් ළමයින්ගේ දෑස් එකපාරටම තමන් වෙත යොමු වී ඇති බව තේරෙද්දි නෙත්මලී රතු වුණාය. දෙනෙත් මුල කඳුලු බිංදු පිරෙන්නට වුණාය.
“මම මෙච්චර වෙලා බෝඩ් එකේ ලිව්වේ මොකක්ද කියන එක නෙත්මලීට පොඩ්ඩක් කියන්න පුළුවන්ද?” සර් ඇසුවේ අඩක් කෝපයෙන්ද අඩක් සරදමෙන්ද බව නෙත්මලීට නොතේරුණා නොවේ.
නෙත්මලී බියෙන් සහ ලැජ්ජාවෙන් වෙවුලමින් පොත දෙසත්, සර් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ඒ හඬ ඔස්සේය.
වියළී ගිය උගුරෙන් එකදු වචනයක්වත් පිටවූයේ නැත. වෙනදාට අසන ඕනෑම ප්‍රශ්නයකට පළමුවෙන්ම උත්තර දෙන, පංතියේ දක්ශතම ශිෂ්‍යාවක වූ නෙත්මලී මෙසේ ගොළු වී සිටිනු දැක ගුරුවරයා උන්නේ ගෝලයා කෙරෙහි තවත් කෝප ගෙනය.
“තව මාස කීපයකින් ඒ ලෙවල් එක්සෑම් නෙත්මලී. වෙනදා හොඳට පාඩම් කරපු ළමයෙක්ට මෙහෙම වුණේ කොහොමද? එක්සෑම් මෙච්චර ලංවෙද්දී එක එක විකාර ඔළුවට ගහගන්න තියාගත්තද? ක්ලාස් එකේ ඉන්න බැරි නම්, හිත වෙන කොහේ හරි තියෙනවා නම් ගෙදර යන්න පුළුවන්. නැත්තං අන්තිමේ වෙන වෙන විකාර ඔළුව අස්සෙ පුරවගෙන කියාවි අපි ඉගැන්නුවෙ නෑ, සිලබස් කවර් කරේ නෑ අරකයි මේකයි කියලා. එහෙමනෙ ඔයාලා අන්තිමේ කියන්නෙ. නිදහසට කරුණු කියන්නෙ අපිව පාවලා දීලනෙ නේද?” සර් අනුකම්පාවකින් තොරව මුළු පංතියටම ඇහෙන්නට බණිද්දී නෙත්මලීගේ දෑස්වලින් කඳුළු කැට සට සට ගා කඩා වැටෙන්නට පටන් ගත්තේය.

