වසන්තය තව දුරද – 41

0
99

ඒ මැසේජ් එක නලින්ද්‍රට දාන්නට ඇත්තටම නෙත්මලීව පෙළඹෙව්වේ අම්මාගේ ඒ වචනය. 

අම්මා කිව්වේ අම්මාගේ ජීවිතය ගැන කතාවක් වුණත් ඒ වචන අස්සේ අම්මා දන්නේම නැතුව තමන්ගේ ජීවිතේ ගැන කතාවකට අදාල දේකුත් තවරා තිබුණ බව නෙත්මලීට හිත කියන්නට වූ බව ඇත්තකි.  සමහර දේවල් අහන් ඉන්න අමාරු බව ඇත්ත වෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න අහන්න අමාරු වෙන බවත්, ඒ ප්‍රශ්න ඇහුවාට පස්සේ ඒවට ලැබෙන උත්තර අහන් ඉන්න එක ඊටත් වඩා අමාරු දෙයක් බවත් අම්මා කිව්ව කතාව අම්මා ජීවිතයෙන් ලැබූ යම් පරිචයක් බව නෙත්මලී නොදන්නවා නොවේ. ඒ වචන වඩා පිළිගත යුත්තේ ඒ හන්දාය. කෙනෙක් අත්දැකීම්වලින් ලද දෙයක් තව අයෙකුට ගුරුහරුකමක් වනවා නොඅනුමානය. 

“මට ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද?” කියා පණිවිඩය යැව්වාට පස්සේ හිත නිදහස් වේ යැයි කියා බලාපොරොත්තු වුණාට ඒක එහෙම උනේ නැති බව නෙත්මලීට තේරුණෙත් මැසේජ් එක යැව්වාට පස්සේය. ඉන්පස්සේ තප්පරෙන් තප්පරේ කාලෙ ගෙවුනේ “නලින්ද්‍ර ඒකට රිප්ලයි එකක් එවාවිද?” කියා හිතන්නටය. ෆෝන් එක දිහා බලාගෙන ඇස් දෙක රිද්දාගන්නටය.

එහෙත් ඒ කෙටි පණිවිඩයට උත්තර ආවේ පසු දා කාර්‍යාලයේදීය.

“නෙත්මලී නලින්ද්‍ර ඔයාට කැබින් එකට එන්න කිව්වා” කියාගෙන අවිශ්ක යද්දී මූණෙන් කිසි වෙනසක් නොපෙන්නා ඉන්න සමත් වුණද හිත නම් තිබ්බේ ගල් පෙරලමින් මහා භූමිකම්පාවකට සූදානම් වෙමිනි. 

“නලින්ද්‍ර එන්න කිව්වේ අර ගැන කතා කරන්නද? එයා මට බණීවිද ආයෙ අන් ප්‍රොෆෙශනල් විදියට වැඩ කරනවා කියලා. එහෙම නැත්තම් එයා ඒව ගැන කිසි දෙයක් කතා කරන්නෙ නැතුව වැඩ ගැන මොනවා හරි කියාවිද?

එයා අර ගැන මුකුත්ම කිව්වෙ නැත්තං ඇත්තටම මම මොකද්ද කරන්න ඕන? මමත් ඒ ගැන හිතපු හැමදේම එතනින්ම ඩ්‍රොප් කරන්න ඕනද?” කියා නලින්ද්‍රගේ කැබින් එකට ඇවිදගෙන යන අඩි දෙක තුනේ නෙත්මලී උන්නේ දරාගන්න බැරි සිතුවිලි දහස් ගණනක් එක්ක හිත අස්සෙන් සංවාද කරමිනි.

නෙත්මලී කැබින් එකේ දොරට දෙවරක් තට්ටු කර ඇතුළට ගි‍යේ ඒ සිතුවිලි සමුදාය හදවත අස්සේ පෙරළි කරද්දීය.

“එන්න”

නලින්ද්‍ර උන්නේ මේසය මත තිබුණ ලැප්ටොප් එක දිහා බලාගෙනය. ඇය ඇතුළට ආ බව දැනුණත් ඔහු එකවරම හිස එසවූයේ නැත.

“මට එන්න කිව්වද?”

“ඔව්. වාඩි වෙන්න”

නෙත්මලී පුටුවේ වාඩි වූවේ ඒ වදන් අනුවය.

අතේ තිබූ පෑන ඇඟිලි අතරට තද වී තිබුණේ ඇයටත් නොදැනීමය. ඊයේ රාත්‍රියේ යැවූ එකම එක මැසේජ් එක මේ මොහොතේ ඔහුගේ ලැප්ටොප් එකේ වට්සැප් වෙබ් බ්‍රව්සර් එකේ කොහේ හරි තැනක ඕපන් වී තිබෙනවා ඇතැයි නෙත්මලීට නොහිතුනා නොවේ. ඒකට reply එකක් නොඑවා අද උදේ තමන්ව මෙහෙම කැබින් එකට කැඳවා තිබීම හිත තවත් කලබල කරන්නට කටයුතු කිරීම ඉතින් සාධාරණය.

නලින්ද්‍ර හිස එසෙව්වේ තවත් විනාඩියක් පමණ ලැප්ටොප් එකට හිස ඔබාගෙන ඉඳය.

“අර සෙත්සිරි campaign එකේ copy එක ආයෙත් බැලුවද?”

ඔහු කියන දේ තේරුම් ගන්නට නෙත්මලීට තත්පරයක් ගත විය. හිත තිබුණේ එතරම්ම කලබලයකය.

 “ඔව්.”

“දැන් ඒක ඕකේ කියල හිතනවද?”

“ඔව්”

“මට නම් opening එක තව ටිකක් වෙනස් කරන්න ඕන වගේ හිතුණා”

“හරි”

“ඔයාට මං කියපු point එක තේරුණාද?”

“ඔව්”

“හරි. එහෙනම් ඒක ආයෙත් ලියලා බලන්න”

“හරි”

නෙත්මලී හිස වැනුවාය. එපමණයක්. තනි වචනේ උත්තරය. හිත අස්සේ කියන්නට පොදි ගැසී බලාගෙන ඉන්නා වචන දහස් ගණනක් තිබුණද, සිංහල වචන අටෝරාසියක් දන්නා කෙල්ලක වීද නෙත්මලී එවෙලේ උන්නෙ ගොලුවීය. ඒකපාර්ශ්වික ප්‍රේමයක් නිසා ගොලු වීය. ඒකපාර්ශ්විය විරහවක් නිසා නිහඬ වීය.

නලින්ද්‍ර document එකේ තවත් පිටුවක් open කලේ ඒ නිහඬබව අතරවාරයේය.

“තව මේක. Third slide එකේ numbers ටික update කරන්න. Finance එකෙන් අලුත් figures ටික එවලා තියෙනවා. මං mail එක forward කරන්නම්”

“හරි”

“අද දවල් වෙනකොට පුළුවන්ද?”

“පුළුවන්”

“හොඳයි” නැවතත් නිහඬතාවකි. නෙත්මලී ඔහු දිහා බැලුවේ ඒ අවසරයේය.නලින්ද්‍ර උන්නේද කිසිවක් නොකියාය. ඊයේ රාත්‍රියේ තමන් යැවූ මැසේජ් එක ගැන “ඔයාට කියන්න මුකුත් නැද්ද?” කියා නලින්ද්‍ර විමසන්නට තිබුනා නම් හොඳ බව ඇත්තක් උනත් ඒ සිතුවිලි වචන බවට හරවා දෙතොලින් මුදවාලන්නට තරම් ගෑනු හයියක් කෙල්ලකට තිබ්බේ නැත. අලුතෙන් ආදරේ කරන්නට පටන් ගත් කෙල්ලකට ඒ හයිය තිබුණේ නැත.

නෙත්මලීට මොහොතකට හිතුණේ, “නලින්ද්‍ර ඒ මැසේජ් එක දැකලා නැද්ද දන්නෙ නෑ” කියාය. කොහොමත් ඔහු වට්සැප් රීඩ් රිසීප්ට්ස් ඕඩ් කරගෙන ඉන්නා නිසා බ්ලූ ටික් එක වැටෙන්නේ නැත. “නැත්තම් දැකලා තිබ්බත් ඒකට උත්තර දෙන්න තරම් ඒක ඉම්පෝටන්ට් නෑ කියලා හිතනවද දන්නෙ නෑ” කියාය. පපුව අස්සේ තිබුණ බර වැඩි වුණේ ඒ සිතුවිල්ල එක්කය.

“තව එකක්”

නලින්ද්‍ර ආයෙ වරක් කතා කරේ නෙත්මලී එසේ කල්පනා ලෝකයක හිර වී ඉද්දීය. නෙත්මලී ඉක්මනින් ඔහු දෙස බැලුවාය. නලින්ද්‍ර තමන් බලාපොරොත්තුවෙන් ඉන්න වචන කියාවි යැයි බලාපොරොත්තුවෙන් උන්නද නලින්ද්‍ර උන්නේ ඒ ගැන හාංකවිසියක් නැති ගානටය.

“ඔයා අර presentation එකේදී කියන කොටස practice කරගන්න. Client  ඉස්සරහ explain කරනකොට ටිකක් confident වෙන්න ඕන.”

“හරි”

“ඔයාට ඒක පුළුවන්” ඒ වචන දෙක ඇහුණු මොහොතේ නෙත්මලීගේ හිත මොහොතකට ගැස්සුනාය. එදා වගේමය. තමන්ට බැරි දෙයක් පුළුවන් කියලා කියන ඔහුගේ ඒ පරණ හඬමය. එහෙත් ඔහුගේ මුහුණේ ඒ දවස්වල තිබුණු කිසිම හැඟීමක් අද නොතිබුණ බවත් නෙත්මලී දැක්කාය.

“හරි”

“හරි”

මේ වගේ දෙයක් කතා කරන්න තමන්ව කැබින් එකට කැඳවන්න තරම් ඕනකමක් නලින්ද්‍රට තිබුනාදැයි හිතන්නට නෙත්මලීව පෙළඹෙව්වේ ඊලඟට ඇතිවෙච්ච නිහඬතාවයයි. ඇය තවත් මොහොතක් එතන බලා සිටියාය. නලින්ද්‍ර කිසිවක් කිව්වේ නැත. ඉතින් තමන් දැන් මෙතනින් නික්ම යා යුතු බව තේරුම් ගත් නිසාවෙන්ම අවසානයේ ඇය හෙමින් පුටුවෙන් නැගිට්ටාය.

“එහෙනම් මං යන්නම්.”

“හරි” කියා නලින්ද්‍ර කිව්වාට නෙත්මලී යන්නේ යන්න හදිස්සියක නොවේ. යන්නට බැරි කුමක් හෝ හේතුවක් නිසා දෙපා ඒ කට් සිමෙන්ට් පොලොව උඩ ඇලී ගැලී තිබෙන බව තේරුණත් නලින්ද්‍ර තමන්ට යන්නට අවසර දී තිබියදීත් එතන රැඳී සිටීම පිස්සු වැඩක් බවට හිත කිව්ව නිසාම නෙත්මලී වෙර යොදා දොර අරින්න කටයුතු කරාය.

නලින්ද්‍ර හඬ ආයෙවරක් සවන් කරා ඇදී ආවේ අන්න ඒ වෙලාවේය.

“නෙත්මලී”

නෙත්මලී දොර අරින්නට ගිය අත එතැනම නතර කර ආපසු හැරුණේ ඒ හඬ අනුවය.

“ම්ම්?”

නලින්ද්‍ර මොහොතක් කිසිවක් නොකියා ඇය දෙස බලාගෙන උන්නේය. කියන්නට ගිය දෙයක් ආයෙත් හිත ඇතුළේ නවත්තගන්නවා වගේ ඒ බැල්මේ තිබුණ සුළු වෙනස නෙත්මලීට මගහැරුණේ නැත.

“අද” කියා නලින්ද්‍ර නැවතත් මඳ වේලාවකට නතර විය. නෙත්මලීගේ හදවත තිබුණේ වේගයෙන් ගැහෙන්නට පටන් අරගෙනය.

“අද හවස ෆ්‍රීද?”

“හවස?”

“ඔව්”

“ඇයි?”

“මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here