වසන්තය තව දුරද – 38

0
24

නෙත්මලී උන්නේ ටිකෙන් ටික නිහඬවෙමිනි. නලින්ද්‍ර උන්නේ ටිකෙන් ටික ඈත්වෙමිනි.

“මං කියන්නෙ මහ අවාසනාවන්ත මනුස්සයෙක්. මට කවුරුවත් ආදරේ නෑ. මට ආදරෙයි කියල මං හිතන හැම මනුස්සයම මාව දාලා යන්න බලාගෙනද කොහෙද මගෙ ජීවිතේට එන්නෙ” කියා තමන්ව පහත් කොට සලකන තැනකට හිතෙන් හිතන්නට තරං නලින්ද්‍රගේ ඇත් වීමද, වෙනස් වීමද ඒ වෙද්දී නෙත්මලීට හේතු කාරණා සපයා තිබුණාය.

රෑ නින්ද නැති වුනේ ඒ අනුවය. කෑම අරුචිය ආවේ ඒ අනුවය. නෙත්මලී උනේ අපහසුවෙන් සිනාසෙන්නට වෙර දරන ගමන්‍ ය. අඩුවක් පාඩුවක් නොවෙනට වැඩ ටික කරගෙන යන්නට උත්සහ දරන ගමන් ය.අනෙක් අතට අම්මා දැන් ඉස්සර තරම් බණින්නේ කරන්නෙ නැති හන්දා ගෙදර ජීවිතේ මදක් හෝ සැනසිල්ලේ ගෙවන්නට පුළුවන් වීම ගැන නෙත්මලීගේ හිතට එක්තරා අන්දමකින් සැනසුමක් වෙන්නට පටන් අරගෙන තිබුණාය. එහෙත් හිත තිබූ හෙමින් හෙමින් මිය යන්නට පටන් අරගෙනය.

නලින්ද්‍ර ඉස්සර වගේ තමන් දිහා නොබලන එක, තමන් ළඟට ආවම කතාවක් නැතිව වෙන පැත්තකට හැරෙන එක, වැඩක් තිබුණොත් විතරක් කතා කරන එක, ඒ හැම පොඩි දෙයක්ම නෙත්මලීගේ හිත ඇතුළේ ලොකු දේවල් වෙමින් තිබුණාය.

එහෙත් ඒ කිසි දෙයක් ගැන කාගෙන්වත් අහන්න ගියේ නැත. අහන්න පුළුවන්කමක් තිබුණේත් නැත.

“ඇයි ඔයා මාව මගාරින්නෙ?” කියා නලින්ද්‍රගෙන් අහන්නට ඇයට හැකියාවක් තිබුණේ නැත.

“එදා වෙච්ච දේ ගැන ඔයාට regret එකක් තියෙනවද?” කියා අහන්නට විදියක් තිබුණේ නැත.

ඒ වෙනුවට නෙත්මලී කළේ ඒ වුණ හැමදේටම තමන් විසින්ම උත්තර හොයාගන්න එකය.

“සමහරවිට නලින්ද්‍ර ඒක කරන්න ඇත්තෙ සෙල්ලමට වෙන්න ඇති. මං ඒක මහ දෙයක් විදියට දැක්කට එයාගෙ වයසෙ හැටියට එයාලට ඒව පොඩි දේවල්, නෝමල් දේවල් වෙන්න ඇති” කියා හිතන්නට අවසානයේ නෙත්මලී පෙළඹුණාය. එහෙත් ඒද ආයෙ ආයෙ රිදෙන, බිඳෙන, කැඩෙනම් ඉරිතලන හිතකිනි. ඒ හැම “සමහරවිට” එකක්ම අන්තිමට ඇවිත් නතර වුණේ එකම තැනකය.

“එයා මට ආදරේ නැතුව ඇති”

අම්මා ඉස්සර වගේ හැමදාම ප්‍රතිඵල ගැන, රස්සාව ගැන, අනිත් ළමයි ගැන කියමින් තමන්ට ප්‍රෙශර් කරන්නේ නැති නිසා ඒ වේදනාව දරාගන්නට පුළුවන් එකක් වීම සැනසීමක් උනත්  ඒ සැනසුම තිබුණේ ගෙදර දොර ඇතුළේ විතරය. ගෙදරින් එළියට ගියාම නෙත්මලීගේ හිතේ තිබුණේ වෙනමම බරකි. තමන් වැඩ කරන මේසය ඉස්සරහා වාඩි වුණත් හිත තිබුණේ නලින්ද්‍රගේ කැබින් එක ළඟය. කවදාහරි දවසක නලින්ද්‍ර ආයෙත් කලින් වගේ තමන් දිහා බලයිද කියා බලාගෙනය. හිතාගෙනය.

ඒත් දවසින් දවස ගෙවුණේ ඒ බලාපොරොත්තුවත් ටිකෙන් ටික මැලවෙන්නට ඉඩ හැරය.

නෙත්මලීට ඒ වෙද්දී එක දෙයක් හොඳටම තේරුණාය. ඒ  නලින්ද්‍ර තමන්ගෙන් ඈත් වෙන තරමට තමන්ගේ හිත ඔහු ළඟට තව තවත් යන බවය.

නෙත්මලී බය වුණේත් එකටය.මක් නිසාද යත් ආදරේ කරන කෙනෙක් ළඟට යන්න බැරි වෙන එකට වඩා බය හිතෙන දෙයක් තිබුණේය. ඒ තමන් තනියම ආදරේ කරමින් ඉන්නවා වෙන්න පුළුවන් කියන සිතුවිල්ලය. උදේම වැඩට යන්නටත්, ඔෆිස් එකේදි වෙනදා වගේ ඔහේ වැඩ කරන්නටත්, අනතුරුව ගෙදර විත් අම්මාට ගෙදර වැඩ වලට උදව් පදව් කොට කාමරේට රිංග ගන්නටත් පුරුදු නෙත්මලීට ඒ වෙද්දී නින්ද තිබුණේ ගව් ගානක් ඈතිනි. නින්ද තමා සොයා එන්නේ නැති නිසා දුරකතනයෙන් ටික්ටොක් බලන්න නෙත්මලී අලුතෙන් පුරුද්දක් ඇති කරගත්තේද ඒ අනුවය. AI වලින් සකසන ලද කෙටි චිත්‍රපට කොටස් ද, එක එක වීඩියෝද ඔහේ රෑ තිස්සේ බලමින් හිඳ මහ රෑ ගෙවා දමන්නටත්, නලින්ද්‍රව ඒ කොන්ටෙන්ට් අස්සේ අමතක කර දමන්නටත් නෙත්මලීට අවශ්‍ය හේතු කාරණා සැපයුවාය.

“ඔයාට කෙනෙක් ගැන ගොඩක් හැඟීම් තියෙනවා. එයා ගැන නිතරම හිතනවා. එයාගෙන් පණිවිඩයක් එනකම් බලන් ඉන්නවා. එයා ටිකක් දුරස් වෙනකොට ඔයාට ඒක තවත් දැනෙනවා. ඒත් ඔයා ළඟට යන්න යන්න එයා තවත් ඈත් වෙනවා නම්”  ඇඟිල්ල screen එක මතම නතර කරන්නට ඒ වචන සමත් වුණේ මන්දැයි කියන්නට තවත් හේතු සාධක අවශ්‍ය වුණේ නැත. ඒ වීඩියෝවේ උන්න මනෝ වෛද්‍යවරිය කතා කරේ තමන්ට බව නෙත්මලීට හොඳටම විශ්වාසය.

“සමහර වෙලාවට මේක වෙන්නේ ඔයා ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන නිසා නෙවෙයි. ඒ වගේම සමහර වෙලාවට ඒක එයාට ඔයා ගැන ගාණක් නැති නිසාත් නෙවෙයි. සමහරවිට ඔයා මේ අත්දකින්නේ එකිනෙකාගේ බැඳීම ගැන තියෙන වෙනස් රටාවක් නිසා වෙන්න පුළුවන්”

ඒ වනාහී ප්‍රේමය ගැන අලුත් අදහසකි.

“බයක් එක්ක ළං වෙන්න හදන කෙනෙක්.
ඈත් වෙන්න හදන කෙනෙක්.” ගැන නෙත්මලී කවදාවත් අසා තිබුණේ නැත.

“බයක් එක්ක සම්බන්ධතාවයක ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් අනෙක් කෙනාගෙන් නැවත නැවතත් තහවුරු කරගැනීමක් ඕන වෙනවා. තමන් ඉන්නේ කොතැනද, අනෙක් කෙනා තමන් ගැන මොනවා හිතනවද කියලා දැනගන්න ඕන වෙනවා. පණිවිඩවල වෙනසක්, කතා කරන හඬේ වෙනසක්, තමන්ට දෙන අවධානයේ වෙනසක් වගේ පොඩි දේවල් පවා එයාලට දැනෙනවා. අනෙක් කෙනා ඈත් වෙන්න පටන් ගත්තම, එයාලට තවත් ළං වෙන්න ඕන වගේ දැනෙනවා.”

නෙත්මලීගේ ඇස් තිරයෙන් ඉවතට ගියේ නැත.

“පණිවිඩවල වෙනසක්, කතා කරන හඬේ වෙනසක්, තමන්ට දෙන අවධානයේ වෙනසක්”

එය අහද්දී ඇගේ හිත ඇතුළේ එකවරම මොනවාදෝ ගැලපෙන්නට පටන් ගත්තේය.

නලින්ද්‍ර කලින් කතා කළ විදිය. දැන් කතා කරන විදිය. තමන් කැබින් එකට යනකොට ඔහුගේ මුහුණ වෙනස් වන විදිය. තමන් දිහා බලලා ඉක්මනින්ම අහක බලාගන්න විදිය. එදා රාත්‍රියේ තමන්ගේ අත අල්ලාගෙන උන් මිනිසාත්, දැන් තමන්ට “නෙත්” කියලා වත් මෘදු හඬකින් කතා නොකරන මිනිසාත් එකම මිනිසාද කියලා හිතෙන තරමට වෙනස් වී තිබුණු විදිය මේ කියන වචන එක්ක ගලපාගන්නට නෙත්මලී කටයුතු කරාය.

“අනිත් පැත්තෙන්, හැඟීම් ඕනෑවට වඩා තදින් දැනෙන්න පටන් ගත්තම, සමහර අයට ඈත් වෙන්න ඕන වෙනවා. තමන් අනෙක් කෙනාට ඕනෑවට වඩා ළං වෙනවා කියලා දැනෙන්න පටන් ගත්තම, එයාලා ආයෙත් ආපස්සට යන්න පුළුවන්. ඒ වගේ ඈත් වීමක් නිසා අනෙක් කෙනාට තවත් ළං වෙන්න හිතෙන්න පුළුවන්.”

එදා රෑ ඔහු තමන්ව ළඟට ගත්තේය. තමන්ගේ අත අල්ලාගෙන උන්නේය. තමන්ගේ කම්මුල සිපගෙන “Good Night නෙත්” කියා ගියේය.ඊට පස්සේ ඈත් විය. 

“හැබැයි කෙනෙක්ගේ උත්සාහය නැතිකම සාධාරණීකරණය කරන්න මේ වගේ බැඳීම් ගැන තියෙන රටා පාවිච්චි කරන්න එපා. හැඟීම් ගැන කතා කරන්න අකමැති හැම කෙනෙක්ම ඈත් වෙන්න හදන වර්ගයේ කෙනෙක් නෙවෙයි. ඒ වගේම ගැඹුරින් ආදරේ කරන හැම කෙනෙක්ම බයෙන් බැඳෙන වර්ගයේ කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට සරලම උත්තරේ වෙන්න පුළුවන් මේ සම්බන්ධතාවය අනෙක් කෙනාට වඩා එක් කෙනෙක්ට විතරක් වැඩියෙන් ඕන වීම.

ඒ නිසා කෙනෙක් ඈත් වෙන හැම වෙලාවකම එයාට හැඟීමක් තියෙනවා කියලා හිතන්නත් එපා. ඒ වගේම ඈත් වෙන එකෙන් එයාට ඔයා ගැන කිසිම හැඟීමක් නෑ කියලා තීරණය කරන්නත් එපා. මොකද කෙනෙක්ගේ නිහඬකමට, ඈත්වීමට, වෙනස් හැසිරීමකට එකම එක හේතුවක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. සමහර වෙලාවට එයා ඇත්තටම ඈත් වෙන්න හදනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාටම තේරෙන්නෙ නැති දෙයක් එක්ක එයා අරගල කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපිට ඒ හැමදේම ගැන හොඳ කතාවක් හදාගන්න පුළුවන් වුණාට ඒ කතාව ඇත්තද කියලා අපි දන්නෙ නැතිවෙන්න පුළුවන් නෙ.

ඒක තමයි අපි කෙනෙක් ගැන ගොඩක් හැඟීම් තියාගෙන ඉන්නකොට වෙන්නෙ. එයා කරන හැම පොඩි දෙයක්ම අපි කියවන්න පටන් ගන්නවා. ඊයේ තිබුණු උණුසුම අද නැත්තේ ඇයි කියලා හිතනවා. කලින් ඉක්මනට ආපු පණිවිඩයක් අද පරක්කු වෙන්නේ ඇයි කියලා හිතනවා. එයා බලපු විදියක්, කතා කරපු වචනයක්, නැත්නම් කතා නොකරපු එකක් පවා අරගෙන ඒක ඇතුළේ අපිට ඕන උත්තරේ හොයනවා.

හැබැයි අනුමාන කියන්නේ උත්තර නෙවෙයි. ඒවා අපේ හිත හදාගන්න කතා විතරයි. සමහර කතා අපිට බලාපොරොත්තුවක් දෙනවා. තවත් සමහර කතා අපිවම තවත් රිදවනවා. ඒත් ඒ දෙකෙන් මොන එකද ඇත්ත කියලා අපි දන්නෙ නැහැ.

ඇත්තටම දැනගන්න පුළුවන් එකම විදිය තමයි ඒ කෙනා එක්ක කතා කරන එක. 

එයා මොනවද හිතන්නේ, එයාට මොනවද දැනෙන්නේ, එයාට මේ සම්බන්ධතාවය ඕනද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එයාගෙන්ම අහලා විතරයි. අනුමානවලින් සම්බන්ධතාවයක් තේරුම් ගන්න අමාරුයි. මොකද අපි කොච්චර කෙනෙක්ව තේරුම් ගන්න උත්සාහ කළත්, එයාගේ හිත ඇතුළේ තියෙන දේ අපේ හිතෙන් කියවන්න අපිට බැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here