වසන්තය තව දුරද – 35

0
57

“අ යන්න ලියන්න
අ යන්න ආලේ මුල
අපේම පෙම් මන්තරේ
සිතින්ම ගනින්න සිතින්ම අපි ගිය දුර
කියන්න ඇයි තනි කරේ
නුඹෙ නමින්ම මා තැනූව රාජමන්දිරේ
හේ හේ”

සති අන්තය ගෙවුණේ අනන්ත අප්‍රමාණ සිහින කන්දරාවක් අස්සේ කුළුඳුල් පෙම්වතියක සේ නෙත්මලීව ගිල්වාලමිනි.

වචනයෙන් නලින්ද්‍ර තමන්ට ආදරෙයි කියා නොකියූ බව ඇත්තක් වුවත්, “කිස් කරන්නෙ නෑනෙ ආදරේ නැත්තං” කියා හිතට කියන්නට තරම් නෙත්මලී ඒ හාදුවෙන් කුල්මත්ව උන්නාය.

ඇයට දැනුණේ තමන් ගැන නලින්ද්‍රගේ හිතේ තිබූ නලින්ද්‍ර වචනවලට නොපෙරළූ අදහස් ගණනාවක් ඒ හාදුව තුළ තිබුණාක් මෙන්ය. එදා රාත්‍රියේ නලින්ද්‍ර තමන්ගේ අත අල්ලා නතර කළ මොහොතේ සිට “Good night, නෙත්” කියා මඳ සිනහවකින් පැවසූ තත්පරය දක්වා සිදුවූ හැම දෙයක්ම ඇය ආයෙ ආයෙත් මතකයෙන් රස වින්දාය. හදවතින් ස්පර්ශ කර බැලුවාය.

සමහරවිට එකම සිදුවීම විසි තිස් වතාවක් පමණ ඇගේ හිත අස්සේ සිදුවන්නට ඇත. එහෙත් ඒ කිසිම වතාවකත් එය ඇයට එපා වූයේ නැත. ආදරය වැඩ කරන්නේ එහෙමය. එකම බැල්මක් ආයෙ ආයෙත් මතක් කරමින් සතුටු වෙන්නටත්, එකම වචනයක තේරුම් එකිනෙකට වෙනස් කරමින් හිතන්නටත්, සිදුවූ දෙයක් නැවත සිදුවෙන තුරු බලා සිටින්නටත් ආදරය මිනිසුන්ව පුරුදු කරන බවට නවකතා පොත්වලින් පමණක් කියා තිබූ කතන්දර නෙත්මලී ඇත්ත ජීවිතයේ එක්ස්පීරියන්ස් කරන්නට පටන් ගත්තෙ ඒ හාදුවෙන් පසුවය. සාමාන්‍ය දවසකදී කිසිදු තේරුමක් නැතිව පෙනෙන පුංචිම දෙයක් පවා ආදරය කළ හිතකට මහ ලොකු දෙයක් වී දැනෙන බවත්, එක බැල්මක් දවසක් පුරා මතක තියාගන්නටත්, එක වචනයක් හිත අස්සේ දවස ගණනක් තියාගෙන ඉන්නටත්, කෙනෙකු කියූ දෙයක් ගැන තමන්ටම නොදැනී දහස් වතාවක් කල්පනා කරන්නටත් ආදරය හේතු කාරණා සපයන බව නෙත්මලී තේරුං ගත්තෙ ආදරය තමන්ගේ ජීවිතය අස්සට හාදුවක් සේ හිස පෙවූ මොහොතේ පටන් ය. ඒ නිසාම නෙත්මලීට එදා රාත්‍රියේ සිදුවූ දේවල් එකින් එක මතක් කරමින් සතුටු වීමෙන් කිසිදු වෙහෙසක් තිබුණේ නැත. ඇය ඒ මතකය අතහැර දමන්නට හදිසි වුණේද නැත. මක්නිසාද යත් ඒ වන විටත් හිත තිබුණෙ නලින්ද්‍ර ගැන හිතන එක පුරුද්දක් කරගන්නට බලාපොරොත්තුවෙනි. ආසාවෙනි. ඒ පුරුද්ද කොතැනින් පටන් ගත්තේද කවදා තමන්ගේ හිත තුළ මෙතරම් ඉඩක් ගත්තේද කියා නෙත්මලීටම නොතේරුණත් ඒ මතකයත් ඒ සිතුවිලිත් අතරේ ඇය සිටියේ වෙනදාට වඩා සැහැල්ලුවෙන් වෙනදාට වඩා සතුටින්ය.  එනිසාම සති අන්තය දැනුණේ කල්පාන්තය මෙන් දිගටය.

නෙත්මලී උදෑසන අවදි වූයේද නලින්ද්‍ර ගැන සිතමිනි. දත් මදිද්දීද, තේ කෝප්පය අතේ තබාගෙන කල්පනා කරද්දීද, ඇඳුමක් තෝරද්දීද, කණ්ණාඩිය ඉදිරියේ හිසකෙස් සකසද්දීද ඇගේ හිත තිබුණේ නලින්ද්‍ර ළඟමය.

“ඇත්තටම නලින්ද්‍ර මට කැමති නැත්තං එහෙම කරයිද?” කියා තමන්ගෙන්ම අහගත්තේ එහෙම වෙලාවකය.

“නෑනෙ.” හිත ඇයට පිළිතුරු දුන්නේ ඇයවම සනසන්නට මෙනි.

“එහෙම කැමැත්තක් නැත්තං ඔච්චර දේවල් කියන්නෙත් නෑ. මං කියන ඒවා ඔච්චර notice කරන්නෙත් නෑ. මං අද ලස්සනයි කියලා කියන්නෙත් නෑ. අන්තිමට එහෙම කිස් කරන්නෙත් නෑනෙ.”

ඒ සිතුවිල්ල දෙතොල මතට සිනාවක් ගෙනාවේ නිරායාසයෙනි. ඇත්තටම ආදරය ගැන කිසිවක් නොදැන සිටියේ නෙත්මලීය. පිරිමියෙකු තමන්ට කැමති වූ විට ඒ පිරිමියා හැසිරෙන්නේ කෙසේදැයි කියා අත්දැකීමක් ඇයට තිබුණේ නැත. ඒ නිසාම නලින්ද්‍ර කළ කුඩාම දෙයක් පවා මහමෙරක් සේ භාරගන්නට නෙත්මලී පෙලඹුණ බව ඇත්තකි. ජීවිතේ පළවෙනි වරට ආදරේ දිහා වඩා ආදරණීය ඇහැකින් බලන කෙල්ලන් සියල්ලම හැසිරෙන්නේ ඉතින් ඔහොමය. කුඩා දෙයකින් පවා සතුටු වෙමිනි. කුඩාම දෙයකින් පවා හිත රිද්දාගනිමිනි.

නලින්ද්‍ර තමන් දිහා බැලූ විදිහ, කතා කරද්දී මඳක් මුදු වන, වෙනස් වන නලින්ද්‍රගේ හඬ, “නෙත්” කියා කතා කළ විදිහ, ඒ හැම දෙයක්ම එකතු වී නෙත්මලීගේ හිත අස්සේ මැව්වේ, ලිව්වේ, කියා දුන්නේ එකම එක කතාවකි.

“නලින්ද්‍ර මට කැමතියි.”

ඒ වචන හිත අස්සේ කියවෙන සෑම වතාවකම පුංචි පුංචි සතුටු බිඳිති ගණනාවක් හිත පුරා උතුරා යන්නාක් මෙන් නෙත්මලීට දැනුණි. එහෙත් ඒ සතුටත් එක්කම ප්‍රශ්න අහන්නටද ඇගේ හිත පටන්ගෙන තිබුණ බව ඇත්තකි. එදා රාත්‍රියේ සිදුවූ දේවල්වලින් පසු ඊළඟට කුමක් සිදුවේදැයි සිතාගන්නට නොහැකිව නෙත්මලී උන්නේ කුකුසකය.

“නලින්ද්‍ර මට කතා කරාවිද? මැසේජ් එකක් එවාවිද? එයා එදා වෙච්ච දේ ගැන ආයෙ මාත් එක්ක කතා කරොත් මං කොහොමද ඒකට රියැක්ට් කරන්න ඕන?” කියා නෙත්මලී හිතෙන් කී වාරයක් ඇසුවාද, ඒ මොහොත එන මොහොතේ තමන් හැසිරිය යුත්තේ කෙසේද යැයි කාමරයේ දොර වසාගෙන කණ්ණාඩිය ඉස්සරහට වී කී වතාවක් රඟපෑවාද කියා ඇයටවත් ගණන් කරගන්නට පුළුවන් වුණේ නැත.

දහස් වරක් පමණ දුරකතනය අතට ගෙන බැලුවේ ඒ අනුවය. ඒ හාදුව තමන්ට මෙන්ම නලින්ද්‍රටද මහ දෙයක් වන්නට ඇති බව නෙත්මලී සිතා උන්නාය. ඒ නිසාම “නලින්ද්‍ර මට කතා කරාවි” යැයි සිත බලාපොරොත්තු වූ බවද ඇත්තකි.

එහෙත් දුරකතන තිරය  තිබුණේ නිසොල්මන්වය. ඒ හැඟීම දරාගන්නට බැරිම තැන නෙත්මලී  දුරකතනය වසා දැමුවාය. මඳ වේලාවකට පසු ආයෙමත් එය අතට ගත්තාය. එහෙත් බලාපොරොත්තු තිබුණේ පොඩ්ඩ පොඩ්ඩ බිඳ වැටෙමිනි.

“මං මුලින්  කතා කරන්නද?” කියා හිතෙන් ඇසුවේ ඒ බිඳ වැටෙන බලාපොරොත්තු කන්දරාව දරාගන්නට බැරි තැනය.

“නෑ මං මොකටද කතා කරන්නෙ?”

ඇත්තටම නලින්ද්‍රට කතා කරන්නට තරම් හේතුවක් ඇයට තිබුණේ නැත. එදා සිදුවූ දේ ගැන අහන්නටද බැරිය. “ඔයා මට කැමතියි නේද?” කියා අහන්නටද බැරිය. එහෙම අහන්නට තරම් සම්බන්ධයක් තවමත් ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟී තිබුණේද නැත. ඒ නිසා කරන්නට තිබුණ එකම දේ නම් බලා හිඳීමය.

සෙනසුරාදා උදෑසන නලින්ද්‍රගෙන් පණිවිඩයක් එනු ඇතැයි නෙත්මලී සිතුවාය. එහෙත් උදෑසන ගෙවී ගියේය. දහවලද ගෙවී ගියේය.ඇස් තිබුණේ දුරකතන තිරය මත ඇලවීගෙනය. එහෙත් බලාපොරොත්තු වූ පණිවිඩය නෙත්මලී බලා ආවේ නැත.

“එයා busy ඇති. සමහරවිට සෙනසුරාදා නිසා ගෙදර ඇති. එහෙමත් නැත්තං යාලුවොත් එක්ක එළියට යන්න ඇති.” කියා නලින්ද්‍රව සාධාරණීකරණය කරන්නට නෙත්මලී කටයුතු කරේ ඒ අනුවය. ඉරිදා උදෑසන වන විට ඒ සිතුවිලිවලට තවත් හේතු අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් එකතු වී තිබුණි. එහෙත් දුරකතන තිරයෙන් දෙනෙත් ගලවා වෙනතක යොමාගන්නට නම් ඒ හේතු කිසිවක් නෙත්මලීට හේතු සැපයුවේ නැත.

“අද නම් කතා කරයි.” කියා මහත් බලාපොරොත්තුවකින් ඉරිදා දවස පටන් ගත් බව ඇත්තකි. එහෙත් ඉරිදාවද චුට්ට චුට්ට ගෙවී ගියේ ඒ බලාපොරොත්තුවද එකින් එක බිඳ වට්ටවමිනි. හවස් විය. රෑ විය. නෙත්මලී උන්නේ ඇඳ මත දිගාවී දුරකතනය අතේ තබාගෙනය. 

එහෙත් ඒ සති අන්තය පුරාම නෙත්මලී බලා සිටි ඒ ඇමතුම නලින්ද්‍රගෙන් පැමිණියේ නැත.

“ප්‍රේමයේ සැබෑම ස්වභාවය අවිනිශ්චිත බවයි කියන්නෙ ඔස්කාර් වයිල්ඩ්. ඇත්තටම ආදරේ තියෙන ලස්සනම දේ වෙන්නෙත් අන්න ඒ අවිනිශ්චිතකම වෙන්න ඇති. කෙනෙක් තමන්ට ආදරෙයිද, නැද්ද කියලා හරියටම දන්නෙ නැතුව, ඒත් ඒ කෙනා තමන්ට ආදරෙයි කියලා හිතාගෙන සතුටු වෙන එකේත්, ආයෙමත් ඒක ඇත්තක්ද කියලා සැක කරමින් හිත රිද්දාගන්න එකේත් තියෙන්නෙ පුදුම ලස්සනක්. වේදනාකාරී ලස්සනක් මොකද ආදරේ කියන්නෙ හැමදේම දැනගෙන පටන් ගන්න දෙයක් නෙවෙයිනෙ. සමහරවිට කිසිම දෙයක් හරියට දන්නෙත් නැතුව, එක පුංචි බලාපොරොත්තුවක් විතරක් අල්ලාගෙන හිත පුරාම කෙනෙක් වෙනුවෙන් ඉඩක් හදාගන්න එකට වෙන්න ඇති ආදරේ කියන්නෙ” කියා කොහේ හෝ කියෙව්ව බවක් දුරකතන පපුව උඩ රඳවාගෙන ඉරිදා රැයේ නිදි දෙව් දුවට දෙනෙත අයිති කරගන්නට ඉඩ දී ඉද්දී නෙත්මලීට මතක තිබුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here