වසන්තය තව දුරද – 30

0
408

හඳ තිබුණේ අහස සිසාරා හඳ එළිය පතුරාලමිනි.

ස්පෝට්ස් ක්ලබ් එකේ කැරොකේ රූම් එක ඇතුලේ කට්ටිය පමණට මත් වී සිංදු කියමින් උන් නිසාත්, එවන් තැනක වැඩි වෙලාවක් රැඳී සිටීම හිස කකියන්නට හේතුවක් වෙන නිසාත් නෙත්මලී මදක් අවසර ගෙන එතනින් එලියට විත් එලිමහන් බැල්කනියට වී අහස දිහා බලා උන්නේ අතේ පැශන් මොහිටෝ වීදුරුවක් රඳවාගෙන එය බිඳෙන් බිඳ තොලගාන අතරවාරයේය.

දවස පුරාම තිබූ සතුට ඒ වෙද්දිත් හිතෙන් පහව ගොස් තිබුණේ නැත.

“කට්ටියව දාලා පැනලා ආවෙ තනියෙන් ඉන්නද?” කියා ඇසුණ හඬට නෙත්මලී මදක් ගැස්සුණ බව ඇත්තකි. එහෙත් මත් පැන් නිසා මද මත්බවක් තැවරී තිබුනද ඒ හඬ අඳුනාගන්නට රූපය දකින්න උවමනාවක් නෙත්මලීට තිබුණේ නැත. ගත ඒ හඬ ආ දෙසට හැරුණත් නෙත් බිමට හැරවී තිබුණේ ලැජ්ජාව නිසාවෙනි.

“පැනලා ආව නෙවෙයි. සද්දෙ වැඩියි.”

“ආහ්. ඒක තමයි. මං හිතුවා අද starට අපිව එපා වෙලා කියලා.” නෙත්මලීට සිනා ගියේ නලින්ද්‍රගේ ඒ වචනවලටය.

“එහෙම නෑ.”

“එහෙනම්?”

“ගොඩක් සද්ද තියෙන තැන්වල ගොඩක් වෙලා හිටියම ඔළුව රිදෙන්න වගේ එනවා.”

“බොන්නෙ නැති එක හොඳයි එහෙනම්.” නෙත්මලී අතේ තිබුණු පැශන් මොහිටෝ වීදුරුව දෙස බැලුවේ නලින්ද්‍රගේ ඒ වචන අනුවය.

“මේක විතරයි.”

“මේක?”

“ඔව්.”

“ඒකත් බොන්නෙ නැද්ද?”

“බොනවා.”

“මං දැක්කෙ නෑනෙ.”

“මං හෙමින් බොන්නෙ.”

“ඒක නම් පේනවා.”

නෙත්මලී ඔහු දෙස බැලුවේ ඒ වචන වලින් පාර හොයාගෙනය.

“මොකක්ද?”

“ඔයා කරන හැමදේම හෙමින් කරන්නෙ”

“මං?”

“ඔව්. කතා කරන්නෙත් හෙමින්. බොන්නෙත් හෙමින්. අද pitch එකේදිත් මුලින් හෙමින් හෙමින් කියලා අන්තිමට එයත් අඬලා අපිවත් අඬවන්නනෙ හැදුවෙ”

“අනේ” ඇය එසේ කියද්දී ඔහු කවදාවත් නැතුව මදක් හයියෙන් සිනාසුණේය.

“හරි හරි. ඒක ආයෙ කියන්නෙ නෑ.”

“ඔයා හැමදාම ඔය ටික තමයි කියන්නෙ.”

“අදින් පස්සෙ නෑ.”

“බලමු.”

“ඇයි? මාව විශ්වාස නැද්ද?” කියා නලින්ද්‍ර කවදාවත් ඔහුගෙන් අසා නැති ස්වරයකින්ද දැක නැති බැල්මකින්ද අහද්දි එයට දෙන්නට උත්තරයක් නෙත්මලීට එකවරම හොයාගන්නට පුළුවන් වුණේ නැත. ඒ වෙනුවට ඇය අහක බලා සිනාසුණාය.

නලින්ද්‍රද මඳ වේලාවක් නිශ්ශබ්දව සිටියේ කිය යුත්තක් සිතාගන්නට නොහැකි වූ නිසාවෙනි. මත් බව එකකි. එහෙත් හිත තිබුණේ වෙන කුමක් හෝ හේතුවක් නිසාවෙන් ආසාවෙන් මත්වෙමින් බව නලින්ද්‍රට නොදැනුනා නොවේ.ඒ නිශ්ශබ්දතාවය අස්සේ නෙත්මලීට ඈතින් කැරොකේ රූම් එකේ සද්දය ඇසුණාය.

“අද happy ද?” නලින්ද්‍ර මද වෙලාවකට පසු නිහඬවතාවය බින්දේ අතේ වූ වීදුරුවෙන් තව මත් පැන් උගුරකින් දෙතොල් තෙමා ගනිමිනි.

“ගොඩක්.”

“ඒක පේනවා.”

“ඇත්තටම මට තාම හිතාගන්න බෑ.”

“මොකක්ද?”

“මේ account එක ආව කියන එක”

“ඇයි?”

“මං මෙහෙට ඇවිල්ලා තාම චූටි කාලයයිනෙ. මෙච්චර ලොකු අකවුන්ට් එකකට පිච් කරන්න ලැබෙයි කියලා හිතුවෙත් නෑ. ඊටත් වඩා එහෙම පිච් කරලා ඒ අකවුන්ට් එක ලැබෙයි කියලා හිතුවෙ නෑ කීයටවත්”

“ඒක තමයි මං කිව්වෙ. ඔයාට පුළුවන් කියලා.”

“ හැමදේම කලින්ම පේනවා වගේ. අනාවැකි කියන්න ගියා නම් හරි” කියා නලින්ද්‍රගේ වචන වඩා සැහැල්ලුවෙන් බාරගන්නට නෙත්මලී උත්සහ කරද නලින්ද්‍ර තම දෙනෙත්වල තිබුණ ගැඹුරු බැල්ම වෙනස් කරගත්තේ නැත.

“හැමදේම නෙවෙයි.”

“එහෙනම්?”

“සමහර දේවල් පේනවා, දකිනවා, තේරෙනවා.”

“මොනවද?” 

“ඒක දැන් කියන්න ඕනෙ නෑ.”

“ඇයි?”

“අද ඔයා  celebrate කරන්න ඕන දවසනෙ.”.

“ඔයා මාව හොඳටම confuse කරනවා.”

“ඒක මගේ talent එකක්.”

“Marketing වලද?”

“නෑ. මිනිස්සු confuse කරන එකේ.”

“අනේ යන්න අනේ.” කියා නෙත්මලී  ආයෙවරක් සිනාසෙද්දී නලින්ද්‍රද  ඒ අනුව සිනාසුණේය.

“නෙත්.”

“ම්ම්?”

“අද ඔයා ගැන ආඩම්බර වෙන්න.”

“මං?”

“ඔව්. අද ඔයා සන්තෝස වෙන්න deserve කරන දවසක්.”

“Thank you, සර්.”

“සර් කියන්න එපා.”

“ඇයි?”

“එක අපි ඉන්නෙ ඔෆිස් එකේ නෙවෙයි. දෙක මං ඉන්ටවිව් එකේදිත් කිව්වනෙ අපේ ඔෆිස් වල ඔය සර්ලා මැඩම්ලා නැති බව.”

“එහෙනම් මොකක් කියලද කතා කරන්නෙ?”

“ නලින්ද්‍ර කියන්න.”

“ඒක ටිකක් අමුතුයි.”

“ඇයි?”

“මට පුරුදු නෑ.”

“පුරුදු වෙයි.”

නෙත්මලීට ඒ වචන දෙක ඇසුණේ වෙනදාට වඩා මඳක් බරටය. ඒ නිසාමදෝ ඇය ඔහු දෙස කිසිවක් නොකියා බලා උන්නාය.

“මොකෝ ඔහොම බලන්නෙ?”

“මුකුත් නෑ.”

“මුකුත් නෑ කියන එක ඔයාගෙ favourite answer එකද?”

“නෑ.”

“එහෙනම්?”

“ඔයා අද වෙනස්.”

“වෙනස්?”

“ඔව්.”

“ඒ කොහොමද?”

“දන්නෙ නෑ. ඔෆිස් එකේදි මෙහෙම කතා කරන්නෙ නෑනෙ.”

නලින්ද්‍ර මඳ වේලාවක් ඇය දෙස බලා සිටියේ ඒ උත්තරයෙන් හිත අස්සේ ඉහිරී ගිය ගැස්ම අනුවය. පසුව අතේ තිබූ වීදුරුව මඳක් ඉහළට ගෙන එහි තිබූ මත්පැන් උගුරක් බීවේද ඒ ගැස්ම මදකට හෝ අස්වසාගනු පිණිසය..

“ඔෆිස් එකේදි අපිට අපේ roles තියෙනවනෙ නෙත්. ඔයා employee කෙනෙක්. මං ඔයාගෙ senior. මට ඒක අමතක කරන්න බෑ. ඔයාටත් අමතක වෙන්න දෙන්න හොඳ නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ අපි හැම වෙලාවෙම ඒ roles ඇතුළෙම ඉන්න ඕනෙ කියන එක නෙවෙයි. Office එකෙන් එළියට ආවම මිනිස්සු වෙන්නත් පුළුවන්. කතා කරන්න පුළුවන්. හිනා වෙන්න පුළුවන්. එකිනෙකා ගැන දැනගන්න පුළුවන්. මට හිතෙන්නෙ මිනිස්සුන්ව තේරුම් ගන්න හොඳම වෙලාවත් ඒක තමයි. මොකද වැඩ කරන තැනදි අපි හැමෝම අපේ හොඳම version එක පෙන්නන්න උත්සාහ කරනවනෙ. ඒත් ජීවිතේ කියන්නෙ ඒ version එක විතරක් නෙවෙයි.”

නෙත්මලී ඔහු කියන දේ අසාගෙන නිහඬව සිටියේ ඒ ඇත්ත නිසාවෙන්ම පමණක් නොවේ. නලින්ද්‍රගේ බැල්මේද, මදක් මත් වූ හඬේද ගැබ් වූ යම් කිසි දෙයක් හිත ඔහු වෙත නැඹුරු කරගන්නට හේතු වූ නිසාවෙනි.

“ඔයා තාම හරි පොඩියි නෙත්. ඒක මං නිකන් ඔයාව පොඩි කරලා කියන කතාවක් නෙවෙයි. ඇත්තටම තාම ජීවිතේ ගොඩක් දේවල් ඔයාට ඉස්සරහට හම්බවෙන්න තියෙනවා. සමහර දේවල් ඔයා හිතපු විදිහට වෙයි. සමහර දේවල් හිතපු විදිහටම වෙන්නෙ නෑ. සමහර මිනිස්සු ඔයා හිතපු විදිහටම ඉඳී. තවත් සමහර මිනිස්සු ඔයා හිතපු මිනිස්සු නෙවෙයි කියලා තේරෙයි. ඒ හැම දෙයක්ම එක්ක ජීවිතේ ගෙනියන්න ඉගෙනගන්න එක තමයි ලොකුම වැඩේ.”

“ඒක අමාරුයිද?”

“ගොඩක්.”

“ඔයා ඒක ඉගෙනගෙන තියෙනවද?”

“තාමත් ඉගෙනගන්නවා.” කියා නලින්ද්‍ර කියද්දී නෙත්මලී මදකට දෙනෙත් ඔසවා නලින්ද්‍ර දෙස බලා සිනාසුණාය.

“ඇත්තටම මිනිස්සු හිතන්නෙ ලොකු වුණාම ජීවිතේ ගැන ඔක්කොම තේරෙනවා කියලා. එහෙම නෑ. වයස වැඩි වෙනවා විතරයි. ප්‍රශ්න වෙනස් වෙනවා. පොඩි කාලෙ ප්‍රශ්නයක් කියන්නෙ exam එකේ ලකුණු වගේ දේවල්නෙ. ශිශ්‍යත්වෙ පාස් වෙයිද, ඕලෙවල් පාස් වෙයිද, කැම්පස් යන්න පුලුවන් වෙයිද වගේ ඒවනෙ. ඊට පස්සෙ රස්සාව. සල්ලි. ආදරේ. පවුල. මිනිස්සු. ඊට පස්සෙ තමන්ගෙ හිත. අන්තිමට තේරෙනවා ඇත්තටම ලොකුම ප්‍රශ්නය තිබිලා තියෙන්නෙ අනිත් මිනිස්සු එක්ක නෙවෙයි, තමන් එක්කම කියලා.”

නෙත්මලී ඔහු දෙස බලා උන්නාය.

“ඒත් එක දෙයක් මතක තියාගන්න. මොන දේ වුණත් තමන්ට තමන්ව නැති කරගන්න එපා. කෙනෙක් නිසා, relationship එකක් නිසා, job එකක් නිසා, family එකක් නිසා මොන හේතුවක් නිසා හරි තමන් කවුද කියන එක අමතක කරගත්තොත් ආයෙ ඒක හොයාගන්න හරි අමාරුයි. ජීවිතේ සමහර වෙලාවට මිනිස්සු අපිට කියනවා අපිට කරන්න බැරි දේවල් ගැන. සමහර වෙලාවට අපිටම හිතෙනවා අපිට බෑ කියලා. ඒ දෙකෙන්ම බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි තමන් ගැන පොඩි හරි විශ්වාසයක් තියාගන්න එක.”

“මං ගැන ඔයාට එහෙම විශ්වාසයක් තිබුණද මාව හයර් කරද්දි?” කියා නෙත්මලී අහද්දි නලින්ද්‍රගේ මුහුණේ සිනාවක් මතු විය.

“නැත්තං ඔයාව හයර් කරයිද?”

“මං බොරුවක් කියලත්?”

“ඒක වෙනම story එකක්.”

“අනේ.”

“හරි හරි. ඒක අමතක කරමු.”

ඔහු නැවතත් සිනාසුණේය.

“හැබැයි නෙත්, ඔයාට තියෙන එක දෙයක් මට හොඳටම පේනවා.”

“මොකක්ද?”

“ඔයාට දේවල් ගැන feel වෙනවා. ඒක creative කෙනෙක්ට ලොකු දෙයක්. හැබැයි ඒකම ඔයාගේ weakness එකක් වෙන්නත් පුළුවන්. එදා pitch එකේදි ඇඬුවා වගේ.”

නෙත්මලී මූණ බිමට හරවා සිනාසුණේ ඒ මතකය හිත ලැජ්ජාවට පත් කරන්නක් නිසාවෙනි.

“මං ඒක කියන්නෙ ඔයාව බය කරන්න නෙවෙයි. ඔයාට ඒක control කරගන්න ඉගෙනගන්න ඕන හන්දා. ඔයාට දැනෙන දේ නැති කරගන්න එපා. ඒක තමයි ඔයාගේ හොඳම කොටස, ඒක තමයි ඔයාගෙ strenght එක. හැබැයි ඒ දේවල් ඔයාව control කරන තැනට යන්න දෙන්නත් එපා.”

“මට ඒක කරගන්න පුළුවන් වෙයිද?”

“පුළුවන්.”

“එච්චර sure ද?”

“ඔව්.”

“ඇයි?”

නලින්ද්‍ර මඳ වේලාවක් ඇය දෙස බලා සිටියේ ඒ ප්‍රශ්නයට දිය යුතු පිළිතුරු හිතෙන් සකසා ගන්නට මෙනි..

“මං ඔයාව දැක්ක දවසේ ඉඳන්ම ඔයා ගැන එක දෙයක් හිතුවා. ඔයාට තේරෙන්නෙ නැති තරම් ඔයාට ඔයා ගැන අඩු විශ්වාසයක් තියෙන්නෙ. ඒක විතරයි ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ.”

“එහෙනම් ඒක හදාගන්න ඕනෙ.”

“ඔව්. හැබැයි ඉක්මනට හදාගන්න ඕනෙ නෑ.”

“ඇයි?”

“මොකද ඔයාට තාම කාලෙ තියෙනවා.”

ඔහු එසේ කියද්දී නෙත්මලී උන්නේ කිසිවක් කියාගන්නට නොහැකිවය.

“ඉක්මනට ලොකු වෙන්න හදන්න එපා නෙත්. ජීවිතේ ඉක්මනට තේරුම් ගන්නත් හදන්න එපා. සමහර දේවල් තේරෙන්න ඒවා පහුකරගෙන යන්න ඕනෙ. අද ඔයාට තේරෙන්නෙ නැති දේවල් අවුරුදු පහකින්, දහයකින් තේරෙයි. ඒ වෙලාවට අද හිටපු ඔයාව මතක් කරලා හිනාවෙන්න පුළුවන්. ඒකටත් අද දවස enjoy කරන්න ඕනෙ.”

“අද දවස enjoy කරන්න?”

“ඔව්. අද account එක ලැබුණා. ඔයාට සතුටු වෙන්න හේතුවක් තියෙනවා. ඒක ගැන වැඩිය analyse කරන්න එපා. ඒ සතුට ඒ විදියට භාරගන්න. නිකන් දෙන අස්සයගෙ දත් බලන්න එපා කියනවනෙ නේද”

“ඔයාටත් ඒක කරන්න පුළුවන්ද?”

“මට?”

“ඔව්. ඔයා හැමදේම analyse කරන කෙනෙක් වගේ තමයි මට පේන්නෙ”

නලින්ද්‍ර සිනාසුණේ ඒ වචනවලටය.

“මං?”

“ඔව්.”

“සමහර දේවල්වලදි මං එහෙම තමයි.”

“මොන දේවල්ද?”

“සමහර මිනිස්සු ගැන දේවල්වලදි.”

“ඒ කිව්වෙ?”

“ඔය ඔක්කොම අපි අදම කතා කරන්න ඕන නෑනෙ”

“ඇයි?”

“ඔයා confuse වෙයි.”

“දැනටමත් confuse වෙලා ඉන්නෙ.”

ඒ වචන දෙක පිටවූ පසු නෙත්මලීට තමන් කියූ දේ ගැනම ලැජ්ජා සිතුණි. නලින්ද්‍ර ඇය දෙස බලා සිනාසුණේ ඒ බව තේරුණාක් මෙනි.

“එහෙනම් අදට ඒ ඇති.”

“මොකක්ද?”

“Confuse වෙලා ඉන්න එක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here