කාලය ගෙවී ගියේ නෙත්මලීටද නොදැනීමය.
Spark Ads ආයතනයේ දසවන සංවත්සරය ආවේ එයාකාරවය.
ඒ වෙනුවෙන් සංවිධානය කර තිබූ සාදය පැවැත්වූ දවස වන විට නෙත්මලී එහි වැඩ කරන්නට පටන් අරගෙන මාස කිහිපයක් ගත වී තිබුණි. එතෙක් දවසක් ඇයට නුහුරු වූ කාර්යාලය දැන් නෙත්මලීට ගෙදර වගේය. නුපුරුදු යැයි කියන්නට කෙනෙක් එහි නැත. සියල්ලන්ම තමන්ගෙ අයය. මුල් දවස්වල වගේ දැන් වැඩවලද අලුතෙන් ඉගෙනගන්නට දෙයක් නැත. නෙත්මලී දැන් ක්‍රියේටිව් ඇඩ්වටයිසින් වල බොහෝ දේ දන්නා දක්ශ කොපි රයිටර් කෙනෙකි. ඒ වනාහී දවස පුරා අලුත් අලුත් දේවල් ඉගෙන ගනිමින්, තමන්ටත් යමක් කළ හැකි බව ටිකෙන් ටික විශ්වාස කරන්නට පටන්ගෙන තිබූ කාලයකි.
එදා හවස් වන විට කාර්යාලය පිරී තිබුණේ කට්ටිය කතා කරන සද්දෙනි. එක තැනකින් සිනා හඬක් ඇසෙද්දී තවත් තැනකින් කෙනෙකුගේ කටහඬක් ඒ අතරින් ඉහළට මතු විය. සංගීතයද තරමක් වැඩි හඬකින් වාදනය වෙමින් තිබූ අතර, අතරින් පතර බීම ග්ලාස් එකිනෙක ගැටෙන සිහින් හඬද ඒ සියල්ල අතරට එකතු විය.
Spark Ads සමග වැඩ කළ පැරණි ක්ලයන්ට්ලා මෙන්ම, දැන් දැන් ඔවුන් සමග වැඩ කරමින් සිටින අලුත් මුහුණුද එදා එහි පැමිණ සිටියහ. වෙනදා කාර්යාලයේ පරිගණක ඉදිරිපිට වාඩි වී සිටින මිනිසුන් එදා වෙනස්ම පෙනුමකින් එහා මෙහා ඇවිදිමින් සිටියේද ඒ අනුවය. කාර්‍යාලය තිබුණේ පාටි වයිබ්ස් සමග අලුත්ම මුහුණුවරක් අරගෙනය.
නෙත්මලීත් උන්නේ ඒ උත්සව ශ්‍රීය අස්සේ ගිලීයමිනි. මුලදී කවුරුත් නොදන්නා අලුත්ම කෙල්ලකව සිටි ඇය, ඒ වන විට කාර්යාලයෙන් පිටත සිටින ඇතැම් අය පවා දන්නා තරමට ඇඩ්වටයිසින් සමාජයට පුරුදු වී සිටියාය. එනිසාම ඉඳහිටක පැමිණෙන ක්ලයන්ට් කෙනෙකු ඇය අසලට පැමිණ “හායි නෙත්මලී” කියා අසද්දී ඇය මද සිනහවකින් හිස සොලවමින්, “හායි.” කියා පිළිතුරු දුන්නාය.
“කොහොමද වැඩ? කොහොමද ඒජන්සි එක? You are a school leaver right?”
“Yes, I am. හොඳයි. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා තාම ඉතින් අලුත්නෙ.”
එවැනි කෙටි කතාබස් අතරින් නෙත්මලී උන්නෙ මදින් මද අලුත් ජීවිතයට පොඩ්ඩ පොඩ්ඩ පුරුදු පුහුණු වෙමිනි. අනුගත වෙමිනි. දන්නා අඳුරන මිතුරියන්ගේ උපන්දින පාටි වලට කොතෙක් ගොස් තිබුණද එයට වඩා මේ කාර්‍යාල පාටි කොච්චර වෙනස්දැයි හිතෙන් හිතන ගමන් ය. කොතෙක් දෙනා ඇවිත් කතා කරද, සොයා බලා කරන්නට කොපමන වැඩ තිබුනද, ගිලී යන්නට අපමණ සිනා කතා තිබුනද නෙත්මලීගේ දෙනෙත් තිබුණේ නිතරම සෙනග අස්සේ එක් මුහුණක්, නොවේනම් දෙනෙතක් සොයා ඇදෙමිනි.
එදා උන්නේ වෙනදා දකින නලින්ද්‍ර නොවන බව නෙත්මලීට හොඳටම විශ්වාසය.
කළු පාට කලිසමකට කළු පාටම එළිය වැටෙන විට මදක් දිලිසෙන කමිසයක් ඇඳ සිටි නලින්ද්‍ර, කාර්යාලයේදී නිතර දකින සරල ඇඳුමෙන් සිටින නලින්ද්‍රට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙකු මෙන් නෙත්මලීට පෙනුණේ ඒ නිසාවෙනි.
නෙත්මලී නලින්ද්‍රව එතරම් ලස්සනට දැක්කේ එදාය.
නලින්ද්‍රට එදා විවේකයක් තිබුණේම නැති තරම්ය. කෙනෙක් ඔහු සමග කතා කර අවසන් වෙද්දී තවත් කෙනෙක් ඔහු ළඟට පැමිණියේය. පැරණි ක්ලයන්ට්ලා ඔහුව දැක නවතිමින් කතා කළහ. ආයතනයේ දස වසර ගැන මතකයන් කියමින් සිනාසුණහ. කෙනෙකුගේ උරහිසට අත තබමින් ඔහුත් ඒ කතා අතර සිනාසෙමින් සිටියේය.
නෙත්මලී ඈතින් සිට ඔහු දෙස බැලුවේ කිසිම හේතුවක් නැතිවය.එහෙත් ඒ ඇත්තටම කිසිම හේතුවක් නැතිවම නොවේදැයි තේරුංගන්නට නෙත්මලීටම පුළුවන් වුණෙ නැත්. හිත මොනවා හෝ කියන බව තේරුණත් ඒ කුමක්දැයි කියා තේරුංගන්නට නෙත්මලීට ඇත්තටම පුළුවන්කමක් තිබුණේ නැත.
නෙත්මලී වටපිට බැලුවේ ඒ බැල්මෙන් මිදෙන්නට මෙනි. කතා කරමින් සිටි පිරිස අතරට ආයෙමත් එක්වීමට ඇය උත්සාහ කළද නොසිතාම, හිත මෙච්චල් කරගන්නට බැරුවාක් මෙන් මඳ වේලාවකට පසුව ඇගේ දෙනෙත් ආයෙමත් නොදැනුවත්වම නලින්ද්‍ර සිටි පැත්තට ඇදී ගියේය.
එවර නම් නලින්ද්‍රගේ දෙනෙත්ද තිබුණේ ඇය දෙසට යොමුවය.
එය දුටු වහා නෙත්මලී ඉවත බලාගත්තාය. දෙනෙත් අහකට හරවාගත්තාය. එහෙත් දෙනෙත සඟවන්නට උත්සහ කර දේ කියන්නට මෙන් දෙතොල මත සිනාවක් ඇඳී ගියාය.තමන් ඔහු දෙස බලා සිටි බව ඔහුට පෙනුණාදැයි යන සිතුවිල්ලක් සිත ලැජ්ජාවට පත් කලේ ඒ මොහොතේය. වහා අවධානය වෙනතකට යොමු කරගත්තේ ඒ සිතුවිල්ල දරාගන්නට බැරි තැනමය.
එහෙත් නලින්ද්‍රගේ අවධානයෙන් නම් ඒ කිසිවක් ගිලිහී ගොස් තිබුණේ නැත.
මුලදී එය අහම්බයක් ලෙස සිතීමට හැකි වුවද එකම බැල්ම නැවත නැවතත් තමන් වෙත යොමුවන බව දැනෙන්නට පටන් ගත් පසු ඒ ගැන නොසිතා සිටීමට නලින්ද්‍රට පුළුවන් වුණේ නැත. නෙත්මලී තමන් දෙස බලන බවත්, ඒ වෙනදා හුරු පුරුදු බැල්මට වඩා වෙනස් බැල්මකින් බවත් තේරුණ නිසාම නලින්ද්‍ර ඒ බැල්ම වඩා හොඳින් අඳුරාගන්නට ඇය දෙස බැලුවද තමන් බැලූ වහා ඇය ලැජ්ජාවෙන් අහක බලාගත් වග තේරුං ගත්තාය.
ඒ බැල්මට නමක් දිය හැකි තරම් හේතුවක් නලින්ද්‍රට පෙනුණේ නැත. එහෙත් ඒ තුළ කිසියම් වෙනසක් තිබෙන බව ඔහුට නොදැනී තිබුණේද නැත.
කාලයක් තිස්සේ ඇයව දැන සිටි නිසා මෙන්ම, අවුරුදු පහලවකටත් වැඩි කාලයක් ක්ශේත්‍රයේ විවිධාකාර මිනිසුන් සමග හැල හැප්පී තිබුණ නිසාවෙන්මද මනුස්සයෙකුගේ මුහුණේ සිදුවන ඉතා සුළු වෙනස්කම් පවා නලින්ද්‍රට ඇතැම් විට හඳුනාගත හැකි විය.නෙත්මලී විශයෙහිද එහි කිසිත් වෙනසක් සිදු වුණේ නැත. සතුටු වූ විට ඇගේ ඇස්වල පෙනෙන දීප්තියද, කුමක් හෝ ගැන කල්පනා කරමින් සිටින විට මුහුණේ ඇඳෙන ඒ නිහඬ බවද, අපහසුතාවකට පත් වූ විට නොදැනුවත්වම පහළට යොමුවන දෙනෙත්ද නලින්ද්‍රට ඒ වෙද්දී හුරු වී තිබුණි.
එහෙත් අද ඒ සියලු දැන ගැනීම් පරදා අද නෙත්මලී තමන් දෙස බලමින් සිටියේ මන්දැයි පමණක් නොව ඒ බැල්මෙන් ඇයම පලා යන්නේ මන්දැයිද තේරුම් ගන්නට නලින්ද්‍රට පුළුවන් වුණේ නැත.
නෙත්මලී තනිවෙන තුරු නලින්ද්‍ර බලා උන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයාගන්නටය.
කාර්යාලයේ පිරිසක් එක් පැත්තකට එකතු වී ඡායාරූප ගනිමින් ඉද්දී තවත් පිරිසක් පැරණි ක්ලයන්ට්ලා කිහිපදෙනෙකු වටකරගෙන කතාබහක යෙදී සිටියහ. ඒ අතරේ ජනේලයක් අසලට වී, අතේ තිබූ ෆෘට් ජූස් ග්ලාසයත් රඳවාගෙන නිහඬව පිටත බලා සිටියේ නෙත්මලීය.
නලින්ද්‍ර එතැනට යන්නට තීරණය කළේ ඒ මොහොතේය.
“ඇයි තනියෙන්?” නෙත්මලී ආපසු හැරී බැලුවේ ඒ හඬටය
“ටිකක් මහන්සි වගේ.”
“අනිත් කට්ටිය කොහෙද?”
“ෆොටෝ ගන්න ගියා.”
“ඔයා ගියේ නැද්ද?”
“ගිහින් ආවා”
“ඇයි?”
“නිකන්.”
“නිකන්?” ඔහුගේ මුහුණේ මඳ සිනහවක් ඇඳුණේ නෙත්මලී තමන් ඇය දෙස බලන හැම විටකම දෙනෙත ලැජ්ජාවෙන් බිමට හරවාගන්න අයුරු දකිද්දීය.
“හැම එකම නිකන්ද?” කියා නලින්ද්‍ර ආයෙ අහද්දී නෙත්මලීටද සිනහවක් ගියේය.
“එහෙම නෑ.”
“හරි. එහෙනම් පාටි එක කොහොමද?”
“හොඳයි.”
“Enjoy කරනවද?”
“ඔව්.”
“ම්ම්ම්ම්.”
නලින්ද්‍ර එසේ කියද්දී නෙත්මලී ඔහු දෙස බැලුවාය. ඒ බැල්ම මඳ වේලාවක් ඔහුගේ දෙනෙත් සමග පැටලී තප්පර ගාණකට නතර වූවාය.
“ඒත් මට එක දෙයක් තේරෙන්නෙ නෑ.”
නලින්ද්‍රගේ හඬ තිබුණේ වෙනදාට වඩා මදක් බර වීය. ඒ හිත අස්සේ වූ හැඟීම් නිසාද මත් බව නිසාද කියා තේරුං ගන්නට පුළුවන්කමක් නෙත්මලීට තිබුණේ නැත.
“මොකක්ද?”
“එක්කෙනෙක් ඇයි අද මං දිහාම බලන් ඉන්නෙ කියලා?”
නෙත්මලීගේ මුහුණේ සිනහව එකවරම නතර වුණේ නලින්ද්‍රගේ ඒ වචන ළඟය. හොර අසුවී ඇති බවත්, ලැජ්ජාව හිතෙන් එළියට විත් කම්මුල් රතු කරන බවත් නෙත්මලීට නොතේරුණා නොවේ.
“කවුද? මං?”
“ඔව්.”
“මං ඔයා දිහා බැලුවෙ නෑ.”
“හරි.” ඔහු එය තර්ක නොකරම පිළිගත්තේය.
“එහෙනම් මං වැරදි.”
නෙත්මලී ඔහු දෙස බලා සිටියේ කිසිවක් කියාගත නොහැකිවය.
“පිළිගත්ත එක හොඳයි.” කියා නෙත්මලී මදක් සැහැල්ලුවෙන් තමන් කිව්ව දේ භාරගෙන කියද්දී නලින්ද්‍ර ආයෙමත් සිනාසුණේය.
“මං සමහර වෙලාවට මං වැරදියි කියලා පිළිගන්නවා.”
“ඔයා?”
“ඔව්.”
“ඒක නම් මට විශ්වාස නෑ.”
“ඇයි?”
“ඔයා හැම වෙලාවෙම හරි වගේනෙ ඉන්නෙ.”
“ඒ මං මට වැරදිච්ච තැන් ඔයාට තාම පෙන්නලා නැති නිසා.”
නෙත්මලීට ආයෙමත් සිනහවක් ගියේය. ඒ සිනහව දකිමින්, විඳගනිමින් නලින්ද්‍ර මඳ වේලාවක් නිහඬව සිටියේය.
“අද ඔයා වෙනස්.”
“මං?”
“ඔව්.”
“කොහොමද?”
“දන්නෙ නෑ.”
ඔහු එය කියා මඳ වේලාවක් ඇය දෙස බලා සිටියේය.
“හැබැයි හොඳ වෙනසක්.”
නෙත්මලීට ඒ වචනවලට පිළිතුරක් සොයාගැනීමට හැකිවූයේ නැත. ඇය අතේ තිබූ ෆෘට් ජූස් ග්ලාසය දෙස බලාගත්තේ එබැවිනි.
“අද ලස්සනයි.”
නලින්ද්‍ර එසේ කියා නිහඬ වූ බව ඇත්තකි. හිත සෙලවුණෙ කිසිවක් කියාගන්නට, තේරුංගන්නට නොහැකිවය.
“Thank you.” ඇය කීවේ එපමණකි. කියන්නට හැකිවූයේද එපමණකි. වචන තිබුණේ කොහේ හෝ තැනක සිරවීය.
“හ්ම්.”
නලින්ද්‍ර මඳ සිනහවකින් හිස සොලවා ආයෙමත් සෙනග අතරේ සැඟවී යද්දීත් නෙත්මලී එතැනම නතර වී සිටියාය. වටපිටින් ඇසෙන සංගීතයත්, සිනා හඬත්, කතාබහත් ඒ මොහොතේ ඇයට ඇසුණේ අනන්තයෙන් මෙනි.
“අද ලස්සනයි.” ඔහු කීවේ එපමණක් බව ඇත්තකි. ඒ වනාහී ඉතා සරල, ඕනම අයෙකු තවකෙකුට කියන අන්දමේ වචන පෙළක් බවත් ඇත්තකි.
එහෙත් ඒ වචන දෙක තුන හිත අස්සේ අකුණු ගසන්නට හේතු වී තිබුණ බව දැන උන්නේ නෙත්මලී පමණකි.
මක් නිසාද යත් නලින්ද්‍රගේ හදවත ගැන ඒ වෙද්දිත් ඇය දැන උන්නේ නැති නිසාය.


