වසන්තය තව දුරද – 36

0
66

ආදරේ කරන මුල් කාලයේ කොච්චර හිත සතුටු වෙනවාද ඒ නිසාම හිත රිදෙන තරමත් වැඩි ය.

නෙත්මලී උන්නේ හිත රිද්දගෙනය. එදා හාදුවෙන් පස්සේ නලින්ද්‍ර තමාට කතා කරාවියැයි බලාපොරොත්තුවෙන් උන්නද සඳුදා නලින්ද්‍ර වැඩට ආවේත් පරක්කු වෙලා හන්දා නෙත්මලී උන්නේ හිත අස්සෙ දරාගන්න බැරි කලබලයක් රඳවාගෙනය.

සඳුදා උදෑසනේ නෙත්මලී ඔෆිස් එකට ආවේ වෙනදාටත් වඩා කලින්ය.

එදා උදේ පාන්දර ගෙදරින් පිටවෙද්දී පවා නෙත්මලීගේ හිතේ තිබුණේ වෙනදාට වඩා අමුතු නොඉවසිල්ලකි. ඒ එදා රෑ සිදුවූ දේවල් නිසාද, නැත්තං ඒ සිදුවීමෙන් පස්සේ සඳුදා නලින්ද්‍ර තමන් ඉස්සරහා කොහොම හැසිරේවිදැයි දැනගන්නට තිබූ ආසාව නිසාද කියා ඇයටම හරියට තේරුමක් තිබුණේ නැත. ඒත් වෙනදාට වඩා ඉක්මනින් තමන් ලෑස්ති වී තිබුණ බවත්, වෙනදාට වඩා ඇඳුම පැළඳුම ගැන හිතා තිබුණ බවත්, වෙනදාට වඩා ඉක්මනින් කාර්යාලයට පැමිණ තිබුණ බවත් නෙත්මලීට නොතේරුණා නොවේ.

තමන්ගේ මේසය ළඟට පැමිණි පසු බෑගය තබා, පරිගණකය පණගන්වාගෙන නෙත්මලී ටික වේලාවක් නිහඬව එතැනම උන්නාය. වෙනදා මෙන් වැඩ පටන් ගන්නට, ඩෙඩ්ලයින් වලට කලින් වැඩ අහවර කර යාලුවන් සමග චැට් එකක් දාන්නට අද හිතට කිසි හදිස්සියක් තිබුණේ නැත. හිත හදිස්සි වුණේ ඒ ලස්සන දුඹුරු පාට ඇස් මුණ ගැසෙන්නට බව හිත දැනගෙන උන් බව ඇත්තකි. 

එහෙත් නලින්ද්‍ර තවමත් පැමිණ තිබුණේ නැත.

ඇය දුරකතනය අතට ගෙන වේලාව බැලුවාය. පසුව ආයෙමත් screen එක දෙස බැලුවාය. කරන්නට වැඩක් තිබුණත්, ඒකට හිත එකලස් කරගන්නට නෙත්මලීට ඒ වෙලාවේ හැකි වූයේ නැත.

දෙනෙත් තිබුණේ නිතරම කාර්යාලයේ දොර වෙත ඇලීගෙනය. කෙනෙකු දොර ඇරගෙන ඇතුළට එන සෑම වතාවකම නෙත්මලීගේ දෙනෙත් නිරායාසයෙන්ම ඒ දෙසට හැරුණේ “අනේ ඒ නලින්ද්‍ර වෙන්න” යන පැතුමත් එක්ක බව දැනගෙන උන්නෙ හදවත පමණකි. ඒ නලින්ද්‍ර නොවන බව දැකගත් පසු හිත රිදුණ බව දැනගෙන උන්නේද හිතම පමණකි.

එහෙත් නලින්ද්‍රගේ රුව දෙනෙත් ඉදිරියේ ඇඳුණේ නැත.

“අද පරක්කුයිනෙ” නෙත්මලීට නොදැනීම හිතෙන් කියවුණේ ඇත්තටම හිතට තවදුරටත් ඒ කුකුස දරාගන්නට බැරිවෙච්ච හන්දාය. වෙනදාට මේ වෙලාව වන විට නලින්ද්‍ර කාර්යාලයට පැමිණ තිබෙන බව නෙත්මලීට විශ්වාසය. ඒත් අද ඒ සියල්ල වෙනස් වී ගොසිනි.

“Traffic එකට අහුවෙලාද දන්නෙ නෑ”

නෙත්මලී කියාගත්තේ තමන්ටමය.

“නැත්තං වෙන වැඩක් ඇති” හිත උන්නේ නලින්ද්‍රගේ නිදහස වෙනුවෙන් හේතු කාරණා සපයන්නට පටන් අරගෙනය. එහෙත් දෙනෙත් ඒ නිදහසට කාරනා පිලිගත්තේ නැත. දොරෙන් දෙනෙත් මුදවාගන්නට ඒ නිදහසට කාරණා කිසිවකට පුලුවන් වුණේ නැත.

වැඩ කරන්නට වුනේ ඔන්න ඔයාකාරෙට හිත කලබල වී තිබියදීය. ආදරේ පලමුවන අනෝරා වර්ශාවෙන් හිත නැහැවි නැහැවි තියෙද්දී, ආදරේ හිත අස්සේ පලමු වතාවට අකුණු ගහන්නට සලස්සවද්දී වැඩ කරන්නට වෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා නෙත්මලීට තේරුණෙත් ඕන්න ඔය වෙලාවේය. එහෙත් මේ කාරණා කිසිවෙකුට කියන්න පුළුවන් කාරණා නොවේ.  නලින්ද්‍ර වනාහී තමන්ගේ බොස් ය. තමන් මේ ඔෆිස් එකට තවමත් අලුත් ය. එහෙමෙකෙ තමන්ට තමන්ගේ බොස් එක සම්බන්ධයක් ඇතැයි කවුරුන් හෝ දැනගන්න එක “අපෝ ඕකි බොස් එක්ක සෙට් උනේ වැඩ ලේසි කරගන්නයි, ප්‍රමෝශන් ගන්නයි” කියා අහගන්න හේතුවක් වේයැයි බියක් කොච්චර පුංචි වයසක වුණත් නෙත්මලීගේ හිත අස්සේ කැරකි කැරකි තිබුණාය. එනිසාම හිත මොන දේ කිව්වත් මේ හැමදේම නලින්ද්‍ර එක්ක මේ ගැන කතා කරන තුරු රහසක් ලෙස තබාගන්නට වෙන බව නෙත්මලීට තේරුණාය.

“සුපිරි කෑල්ල අද ඉන්නෙ නම් වෙන ලෝකෙක?” කියා රචී අයියා කියද්දී දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙන විත්තිය නම් නෙත්මලීට තේරුණාය. දෙතොල ඈත් මෑත් කර බොරු හිනාවක් මවාගත්තේ ආන්න ඒ හන්දාය.

“මොන ලෝකෙද? අඟහරු ලෝකෙද? මොන ලෝකෙද?” කියා විහිලුවෙන් වගේ ඇහුවාට හිත නම් තිබ්බේ පොඩ්ඩක් තිගැස්සිලාය.

“ඒක නං බබා ඔයා තමයි අපිට කියන්නෝන” 

“ඉතින් අනේ ඔයානෙ මට කිව්වෙ මං මේ වෙන ලෝකෙක ඉන්නවා කියලා” 

“ඔව් ඉතින්. ඒක තමයි මං අහන්නෙ. මොන ලෝකෙද ඉන්නෙ කියලා.”

“මං දන්නෙ නෑ රචී අයියේ.”

“ඇයි දන්නෙ නැත්තෙ? ඔයානෙ ඉන්නෙ. අපි නෙවෙයිනෙ.”

“අනේ මං මේ” කියා කතාව පටන් ගත්තාට මොකෝ  නෙත්මලී උන්නේ කියන්නට දෙයක් හිතාගන්නට බැරිවය.

“මොකද මේ ‘මං මේ… මං මේ…’ ගගා ඉන්නෙ? වෙනදට නම් ඔයාගෙ කට නවත්තන්න බෑනෙ කටර් එක වගේනෙ වැඩ කරන්නෙ”

“මං මේ වැඩක් ගැන හිතුවෙ.”

“මොන වැඩක්ද?”

“වැඩක්”

“මොන වැඩක්ද කියලා ඇහුවම වැඩක් කියනවනෙ. ඒක නං ගැලවිජ්ජාවට දුන්න උත්තරයක්ද වගේ. නංගි බබා මේ ඔය වයස අපිත් පහුකරලා ආවෙ හොඳේ. ඔය ගොරකා මදි අපිව තම්බන්න”

“අනේ රචී අයියේ, ඔයාටත් ඉතින් ඔක්කෝම දැනගන්නෝන”

“එහෙම තමයි ඉතින්. අපි ඉතින් මේ අපේ ඔෆිස් වල ඉන්න අපේ දරුවො වගේ නංගිලා ගැන බලාගන්න එපාය” කියා රචී අයියා කියද්දී ඒකට සම්මාදම් වෙන්න ආවෙ අචිනි අක්කාය.

“අම්මේ බටර් පාර. පාන් කෑල්ලක් අරන් එන්නද ගාං කන්න? දරුවො වගේ ඉන්න නංගිලා. දරුවොත් නෙවි නංගිලත් නෙවි මිණිපිරියො කියපං”

“හරි හරි අපි නාකියො කියලනෙ ඔය කියන්නෙ”

“නාකි තමයි ඉතින්. දැන් කියපං මොකද කියලා මේ උදේ පාන්දරම උඹ මේ අපේ සුපිරි කෑල්ලව අල්ලගත්තෙ?”

“අද උඹට නෙත්ගෙ වෙනසක් පේන්නෙ නෑද්ද?” කියා රචී අහද්දී අචිනි අක්කා පුටුවෙන් පොඩ්ඩක් ඈත් වි බිත්තියේ එල්ලා ඇති චිත්‍රයක් දිහා බලන ආකාරයට තමන් දිහා බලද්දී නෙත්මලී ඇත්තටම කම්මුල් රතු කරගත්තේ ලැජ්ජාව නිසාම නොවේ. තමන් හිත අස්සේ හංගාගෙන ඉන්නට හදන සියල්ලම මේ තමන්ට වඩා වැඩිමල් වූද, තමන්ට වඩා ජීවිතය ගැන අත්දැකීම බහුල වූද මේ අයියලා අක්කලාට තේරෙවි යැයි යන බියටය.

“මොකක්ද වෙනස?” අචිනි ඇහුවේ ආයෙම වතාවක් නෙත්මලී දිහා බලාගෙනය.

“ඒක තමයි මං අහන්නෙත්”

“මට නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.”

“හොඳට බලපංකො. උඹට පේන්නෙ නෑ. මට පේනවා.”

“මොකක්ද?”

“මූණ වෙනස්”

“ මුකුත් වෙනස් නෑ අනේ” කියා නෙත්මලී ඇද පැද කිව්වද කට්ටිය නම් උන්නේ ඒ වචන පිළිගන්න අදහසක නොවේ.

“ඒක ඉතින් ඔයා තමයි කියන්න ඕනෙ.”

“අනේ රචී අයියේ…”

“ඇයි බබා?”

“මුකුත් නෑ”

“ආයෙත් මුකුත් නෑ”

“ඇයි අනේ?”

“මෙයා අද මුකුත් නෑ කියන එක විතරයි වැඩේ.”

“අනේ ඉතින්”

“හරි හරි. අපිට තේරෙනවා.”

“මොනවද තේරෙන්නෙ?”

ඒ ප්‍රශ්නය ඇගේ කටින් පිටවූයේ  සිතන්නටත් කලින් බව නෙත්මලීට තේරුණේ වචන පිටවුණාට පස්සේය. එහෙත් දැන් පිටවෙච්ච වචන ආපහු ගන්නට බැරිය. 

රචී අයියා අචිනි අක්කා දෙස බලන බවත්,  අචිනි අක්කා රචී අයියා දෙස බලන බවත් නෙත්මලී දැක්කේ ඇස් කොනකිනි.

“දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා

වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා

නංගිගෙ පාමුල ඉර හඳ තියලා

ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ” කියාගෙන රචී අයියා මූණේ ඇඳගත්ත අමුතු හිනාවක් එක්කම එතනින් නික්ම යද්දීත් නෙත්මලී උන්නේ ඔෆිස් එකට ඇතුළු වෙන දොර දිහාවම බලාගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here