“මෙහෙමනෙ නෙත්, බොස් කෙනෙක් බැන්නා කියලා ඉතින් අඬන්න මේක දැන් ඉතින් ඉස්කෝලෙ නෙවෙයිනෙ. මේක ඔෆිස් එකක්. මේ වගේ එන්වයන්ට්මන්ට්ස් වලදි මේ බොස් එකෙන් බැන්නා කියලා එහෙම අඬන්න තියාගන්න එපා නෙත්. ඔයා දැන් ඉන්නෙ ප්‍රොෆෙශනල් එන්වයන්ට්මන්ට් එකක කියන එක කීයටවත් අමතක කරන්න එපා.”
රචී අයියා එහෙම කිව්වේ නෙත්මලීට බනින්නට නොව ඇයව ටිකක් තේරුම් කරවන්නට මෙනි.
“අනික හැමදාම එකම විදියට වැඩ හරියන්නම ඕන කියලා එකක් නෑනෙ. වැඩ වැරදෙන්නත් පුළුවන්. අපි අතින් වැරදි වෙන්නෙ නැද්ද? වෙනවා. සමහර වෙලාවට අපි හිතන විදියට වැඩේ නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හිතාගන්නවත් බැරි තැනකින් ෆීඩ් බැක් එකක් එන්න පුළුවන්. ඒක ඉතින් මේ වැඩේ කොටසක් විදියට අපිට භාරගන්න වෙනවා”
නෙත්මලී නිහඬව උන්නේ කඳුළු පිස දමමිනි.
“ඒ වගේම තමයි ඔයා ආව මුල් දවස්වල වගේ හැමෝම හැමදාම අකුරෙන් අකුර හැමදේම ආදරෙන් කියලා දේවි කියලා බලාපොරොත්තුවෙන්නත් බෑනෙ නෙත්. පරණ වෙන්න පරණ වෙන්න අපිට මේ ප්‍රසීඩියස් වලට පුරුදු වෙන්න වෙනවා ඉතින්. ඔයා දැන් අලුත් කියලා අපි හැමෝම දන්නවා. ඒක නිසා තමයි මුලින් අපි වැඩක් කියද්දිත්, වැරැද්දක් පෙන්නද්දිත් හෙමින් කියන්නෙ. ඒත් කාලයක් යද්දි ඔයාටත් අපි වගේම මේක පුරුදු වෙන්න ඕන.”
ඔහු මඳක් නතර වී නෙත්මලී දෙස බැලුවේය.
“හැබැයි ඒකෙන් කියන්නෙ කවුරුහරි බැන්නා කියලා අහගෙන ඉන්න කියන එක නෙවෙයි. කවුරු බැන්නත්, ඇයි බැන්නෙ කියලා බලන්න. ඇත්තටම අපි අතින් වැරැද්දක් වෙලාද? වෙලා නම් ඒක හදාගන්න. නැත්තං ඒක ඔයා වැඩියෙන් හිතට ගන්න එපා. අද උදේ කවුරුහරි බැන්නා කියලා අද හවසට මට මේ වැඩේ බෑ කියලා හිතන්න යන්න එපා.” කියා රචී අයියා කිව්වාට නෙත්මලී උන්නේ කඳුළු ඇස්වලින් ගලන එක නවත්තගන්න පුළුවන් හිතුවිල්ලක නොවේ. හිත රිදුණේ බැණුම් අහන්න උනාට නොවේ. වැඩක් වැරදුනාම බැණුම් අහන්න වෙන එක ඔෆිස් එකක සාමාන්‍ය දෙයක් බවත්, ඒවාට තමන් පුරුදු විය යුතු බවත් මේ රස්සාවට එද්දිම දැනගෙන උන්න නෙත්මලීට ඒක එච්චර දෙයක් උනේ නැති උනාට හිත අස්සෙන් නලින්ද්‍ර එක්ක ආදරෙන් බැඳි උන්නා වූද, “නලින්ද්‍ර ඇයි එදා මාව අර විදියට කිස් කරලා දැන් මාව ගණන් ගන්නෙ නෑ වගේ ඉන්නෙ” කියා කුකුසෙන් පිරී ගියා වූද, රිද්දාගත්තා වුද හිතකින් උන් නෙත්මලීට නලින්ද්‍රගේ මුවින් පිට වූ ඒ රුදු වදන් කඳුලලින් මෙහා භාරගන්නට හැකියාවක් තිබුණේ නැත.
එදා නලින්ද්‍ර තමන්ට බැන්නාට වඩා, බැණපු විදිය නෙත්මලීගේ හිතට දැනුණේ වෙනස් විදියකටය.
ඒ හඬේ තිබුණේ එදා රාත්‍රියේ තමන්ව ළඟට ගත් මිනිසාගේ උණුසුම නොවේ. එදා තමන්ගේ අත අල්ලාගෙන මඳ සිනහවකින් බලා උන් මිනිසාගේ මෘදු බව නොවේ. තමන්ගේ කම්මුල සිපගෙන “Good night, නෙත්” කියා ගිය නලින්ද්‍රගේ හඬත් නොවේ.
ඒ වෙනුවට තිබුණේ තමන්ගෙන් ඈත්වෙන්නට හදන මිනිසෙකුගේ දුරස් බවක් වගේ දෙයක් ය.
කඳුළු පිටවුණේ ඒ නිසාය. හැඬුණේ ඒ නිසාය.
එහෙත් ඒ විත්තිය කාටවත් කියන්න පුළුවන් විත්තියක් නැති හන්දා තව තවත් කඳුළු අලුත් වුණා මිසක කටෙන් වචනයක්වත් පිට වුණේ නැත.
මේ ඔක්කොම වෙන්න කලින් දවසක නලින්ද්‍ර තමන්ට බැන්නා නම් තමන්ට මෙච්චර හිත රිදෙන්නේ නැති බව නෙත්මලීට හොඳටම විශ්වාසය.
මොකද එදා වෙනකම් නලින්ද්‍ර තමන්ගේ බොස් විතරක් වූ නිසාය. දැන් ඔහු එහෙම නොවීමය නෙත්මලීගේ හිත මේ තරම් අසරණ කර තිබුණේ.
කතාව ඇරඹුණේ තමන් කල වැඩක් නලින්ද්‍රට පෙන්වනු පිණිස එදා උදයේ ඔහුගේ කැබින් එකට යාමත් එක්කමය. පෙර දවස්වල නම් තමන් කරපු වැඩක් නලින්ද්‍රට පෙන්වද්දි නෙත්මලී උන්නේ ඒ ගැන මොනවා හරි කියාවි යන බලාපොරොත්තුවෙනි. අඩුපාඩුවක් තිබුණොත් ඒක පෙන්නා දෙන අතරම, හොඳ දෙයක් තිබුණොත් “මේක හොඳයි” කියා හිනාවක් හෝ දෙන නලින්ද්‍රව පුරුදු වී තිබුණ හන්දා එදාත් නෙත්මලී බලාපොරොත්තුවෙන් උන්නේ එයමය.
නලින්ද්‍ර තමන් ඔහු වෙත ශෙයා කරන්නට යෙදුණ ඩොකියුමන්ට් එක දිහා බලාගෙන ඉද්දී නෙත්මලී උන්නේ නලින්ද්‍රගේ දෙතොල් දිහා බලාගෙනය. ඒ දෙතොල් මදක් කලු පැහැ ගැන් වී තිබෙන්නේ සිගරට් බීම හන්දා නිසාදැයි හිතෙන් අසමිනි. එදා තමන්ගේ කම්මුල් මත උණුහුමට තැවරුනේ ඒ දෙතොල්ම නොවේදැයි හිතෙන් විමසමිනි. ඒ විමසුම අනුව ඇඟ පුරා පැතිරී යන කිතිය ඉවසමිනි.
“මේක කවුද ලියලා තියෙන්නෙ?” කියා නලින්ද්‍ර අහද්දීත් නෙත්මලී ඇත්තටම උන්නේ හරි සිහියකින් නොවේ. හිත තිබුණේ නලින්ද්‍ර තමන් එක්ක එදා වෙච්ච දේ ගැන ආයෙම එක වචනයක් හෝ කතා කරාවි යැයි බලාපොරොත්තුවකින් නිසා වෙනදා මෙන් වැඩවලට පූර්ණ අවධානයක් දෙන්න පුළුවන්කමක් නෙත්මලීට තිබුණේ නැත. නලින්ද්‍රගේ හඬ නෙත්මලීව තිගස්සවන්නට හේතුවුණේ අන්න එනිසාවෙනි.
“මං”
“ඔයා?”
“ඔව්”
නලින්ද්‍ර ආයෙමත් ඩොකියුමන්ට් එක දිහා බැලුවේ නෙත්මලී විසින් කියන්නට යෙදුණ වචන විශ්වාස කරන්නට බැරුව මෙනි.
“නෙත්මලී මේක මේ විදියට ගෙනියන්න බෑනෙ ක්ලයනට් කෙනෙක් ළඟට” කියා නලින්ද්‍ර කියද්දී ඒ හඬේ තිබූ වෙනස නෙත්මලීට මුලින්ම දැනුණේ එතැනදීය. ඒ මොහොතේදීය
“ඇයි?”
“ඇයි කියලා අහන්නෙ? මේක කියවලා බලන්න. ඔයාටම පේන්න ඕනෙ. මෙච්චර දවසක් ඔයා වැඩ කරානෙ, මේකෙ තියෙන අවුල ඔයාට නොතේරි තියෙන්න විදියක් නැනෙ”
නෙත්මලී ෆයිල් එක අතට ගෙන ආයෙමත් ඒ දෙස බැලුවේ විචිකිච්චාවෙනි
“මං හිතුවෙ”
“හිතපු එක නෙවෙයි නෙත්. වෙන්න ඕනෙ හරි දේනෙ නේද?”
නෙත්මලී නිහඬ වූවෙ උගුර අස්සේ යමක් හිර වී ඇති වග දැනෙද්දීය.
“මේකේ brief එක මොකක්ද කියලා ඔයාට තේරුණාද?”
“ඔව්”
“එහෙනම් මේක ඇයි මේ විදියට ලිව්වෙ?”
“මං ඒකෙන්”
“නෑ නෙත්. ඔයා explain කරන්න කලින් එක පාරක් මං කියන දේ අහන්න. මං කියන දේ තේරුම් ගන්න ට්‍රයි එකක් දෙන්න. ආගිව් කරන්න හදන්න එපා. මේක creative field එකක් කියලා හැමදේම creative විදියට කරන්න පුළුවන් කියලා හිතන්න එපා. Brief එකක් තියෙනවා. Objective එකක් තියෙනවා. ඒ දෙක අමතක කරලා අපිට හිතෙන හිතෙන දේවල් කරන්න බෑ.”
“මං එහෙම”
“නෙත්” නලින්ද්‍රගේ හඬ එවර නැගී ආවේ තරමක් උස්වය. කවදාවත් නැතුවය.
ඇය එතැනම නිහඬ වූවාය.
“ඔයා මේක කරන්න කලින් මගෙන් අහන්න තිබුණා. තේරෙන්නෙ නැත්තං අහන්න. Guess කරලා වැඩ කරන්න එපා. ඔයා හැමදේම දන්නවා වගේ behave කරන්නත් එපා.”
“මං එහෙම හිතුවෙ නෑ.”
“එහෙනම් කොහොමද හිතුවෙ?” නලින්ද්‍ර ඇහුවා නොවේ නලින්ද්‍රට ඇහුණාය. “මං අහන්නෙ ඒකයි නෙත්. ඔයාට මේක තේරෙන්නෙ නැත්තං අහන්න තිබුණා. මං මෙතන ඉන්නෙ ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැතුව ඉන්න නෙවෙයිනෙ. ඔයාට මගෙන් නැත්තං වෙන කෙනෙක්ගෙන් හරි ඕක අහන්න තිබ්බනෙ. ඔයාලා මෙතන මේ තනියෙන් බුදු වෙන්නනෙ හදන්නෙ. කොලැබරේට් වෙලා නෙවෙයිනෙ වැඩ කරන්නෙ.” කියා නලින්ද්‍ර කියාගෙන කියාගෙන යද්දිත් නෙත්මලී කිසිවක් නොකියා බලා උන්නේ ඇත්තට කියන්නට ඕන මොකද්ද කියා හිතාගන්නට නෙත්මලීට පුළුවන් වුණේ නැති හන්දාය.
“වැඩක් තේරෙන්නෙ නැත්තං අහන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක තමයි මං බලාපොරොත්තු වෙන්නෙත්. හැබැයි ඔයා කරන්නෙ තේරුණා වගේ ඔළුව වනලා, ඔයාට හිතෙන විදියට වැඩේ කරලා අන්තිමට මේ වගේ එකක් ගෙනල්ලා මට පෙන්වන එක. ඒක හරිද?”
“මං හිතුවා මේ විදියට ගත්තොත්”
“නෙත්මලී” ඇයව ආයෙමත් නිහඬ කරවන්නට හැකි හඬකි ඒ.
“මං දැන් ඔයාට කියපු දේ අහගෙන ඉන්න. හැම එකකටම explanation එකක් දෙන්න එපා. ඔයාට වැරදුණා නම් වැරදුණා කියලා පිළිගන්න. ඒකෙන් ඔයාගෙ තත්ත්වෙ බාල වෙන්නෙ නෑ”
ඇස්වලට කඳුළු පිරුණේ ඒ වචන ටිකත් එක්කමය. නලින්ද්‍ර ඒක දැක්කේය.
“දැන් ඔය මොකද?”
නෙත්මලී ඉක්මනින්ම ඇස් පිස දමාගත්තේ ඒකටත් බැණුම් අහන්න වේ යැයි බියෙනි.
“මුකුත් නෑ”
“මුකුත් නැත්තං අඬන්නෙ ඇයි?”
“මං අඬන්නෙ නෑ”
“නෙත්මලී please.”
ඒ හඬේ තිබුණේ මේ වතාවේ තරහකට වඩා වෙහෙසකි.
“මේක වැඩක් ගැන කතා කරන එකක්. ඔයා අඬන්න තියාගත්තම මං මොනවා කරන්නද? මට මේකෙදි ඔයාට බණින එක නවත්තලා ඔයාව සනසන්නද? දැන් ඒකත් මගේ job එකේ පාට් එකක් වෙලාද?”
වෙනදා මද මුදු සිනාවන්ට වෙන් වුන දෙතොල් තිබුණේ වෙව්ලන්නට පටන් අරගෙනය. කඳුළු කැට දෙක තුනක් කම්මුල් දිගේ පහළට වැටුණේ ඒ අනුවය.
ඒ දැක නලින්ද්‍රගේ හිත ඇතුළෙන් යමක් ඇවිළුණත් මුහුණ ඒ කිසිවක් පෙන්වූයේ නැත.
“හැම එකටම අඬන්න තියාගන්න එපා නෙත්මලී”
නෙත්මලී හිස පහත් කරගත්තාය.
“මං ඔන්න ඕකයි මේ පොඩි එවුන්ව මේවයි වැඩට ගන්න අකමැති.”
ඒ වචන ඇහුණේ නෙත්මලීට හිතාගන්නවත් බැරි තරම් තදින්ය.
“මෙතන වැඩ කරන්නයි, බබ්බු නලවන්නයි දෙකක් කරන්න බෑ. ඔයාට මේ field එකේ ඉන්න ඕන නම් මේ දේවල්වලට මුණ දෙන්න පුරුදු වෙන්න ඕන. කවුරුහරි ඔයාගෙ වැඩේට වැරැද්දක් කිව්වම ගෙදර ගිහින් අඬන්න පුළුවන්. මෙතනදි ඒකෙන් වැඩේ හරි යන්නෙ නෑ. ඔය කඳුළු වලට රැවටෙන මිනිස්සු ඉස්කෝලෙයි ගෙවල්වලයි ඉන්න ඇති හැබැයි මේ ඔෆිස් වල ඔය මායං හරියාවි කියලා හිතන්න එපා ප්ලීස්”
“මං ගෙදර ගිහින් අඬන්නෙ නෑ” නෙත්මලීට ඒ ටික කියාගන්නට හැකි වූවද හඬ තිබුනේ බිඳෙමින්ය.
නලින්ද්‍ර මොහොතක් ඇය දෙස බලා උන්නේය.
“එහෙනම් දැන් ඔය අඬන එක නවත්තන්න.”
ඇය කඳුළු පිස දමාගෙන හිස වැනුවාය.
“හරි”
“හරි කියලා මේක මෙතනින් ඉවර කරන්න බෑ. File එක අරගෙන ආයෙ බලන්න. Brief එක ආයෙ කියවන්න. Objective එක මොකක්ද කියලා තේරුම් අරගෙන මේක rewrite කරන්න. මට දවල් දෙකට කලින් මේක ඕන without anu errors”
“හරි.”
“ඒ වගේම”
නෙත්මලී හිස ඔසවා නලින්ද්‍ර දෙස බැලුවේ පළමුවරටය.
“ඊළඟ පාර මොකක් හරි තේරෙන්නෙ නැත්තං මගෙන් අහන්න. මට කේන්ති යන එකට වඩා ඔයා මේ විදියට guess කරලා වැඩ කරන එක තමයි මට ප්‍රශ්නෙ. මොකෝ employeesලව නම් අපිට ඕන වෙලාවක හොයාගන්න පුළුවන් නෙත්මලී. හැබැයි මේ අවුරුදු ගණන් අපි එක්ක ඉඳපු ක්ලයන්ට්ලව අපිට එහෙම ලේසියෙන් disappoint කරගන්න බැරි බව අමතක කරන්න එපා.”
නෙත්මලී කිසිවක් නොකියා හිස වැනුවාය.
“දැන් යන්න.”
ඇය ෆයිල් එකත් අරගෙන කැබින් එකෙන් පිටවුණේ ඒ අනුවය.
දොර වැසෙන හඬ ඇසෙන තුරු නලින්ද්‍ර එතැනම බලා උන්නේය.දොර වැසුණු පසු ඔහුගේ මුහුණේ තිබූ තද බව මඳින් මඳ ලිහිල් විය. නෙත්මලීගේ කඳුළු හිතෙන් අයින් කරගන්නට කොච්චර උත්සාහ කළත් ඒවා අයින් වූයේ නැත.
ඒත් ඊට වඩා හිතට වද දුන්නේ නෙත්මලී කැබින් එකෙන් පිටවෙන්නට පෙර එක මොහොතකට තමන් දෙස බලපු ඒ ඇස් දෙකය. ඒ ඇස් දෙකේ තිබ්බ බැල්මය.
ඒ ඇස්වල තිබුණේ බැනුමට රිදුණු කෙනෙකුගේ කඳුළු විතරක් නොවන බව නලින්ද්‍රට නොදන්නවා නොවේ.
නෙත්මලී උන්නේ තමන්ගෙන් අහන්නට බැරි ප්‍රශ්නයක් හිත යට සඟවාගෙන විත්තිය නලින්ද්‍රට නොතේරුණා නොවේ.
“එදා ඔයා මාව ළඟට ගත්තෙ ඇයි?”
එහෙත් නෙත්මලී නොදත් දෙයක් නලින්ද්‍ර දැන උන්නේය.
ඒ නලින්ද්‍ර ඒ ප්‍රශ්නයෙන් පලා යන්නට තීරණය කර තිබුණ බවයි.


