“ඒ ජීවිතයේ ඇතුලේ සමහරවිට මගෙන් ඔයාට නොලැබිච්ච දේවල් ගොඩක් ඇති. සමහර ප්‍රශ්න වලට අපිට සැලසුම් කරගෙන මුහුණ දෙන්න බෑ කියලා මට තේරුනේ මේ ජීවිතේ ගත කරගෙන යද්දී. ඔයා සම්බන්ධයක් ඇතිකර ගත්තේ කා එක්කද ඒ මනුස්සයා මොන වගේද කියලා හොයලා බැලුවට පස්සේ මට හිතුනා කවද හරි දවසක මේ දේවල් මේ විදිහටම සිද්ධ වෙයි කියලා. ආපහු මගේ මේ ජීවිතේට ගෑනු කෙනෙක් ලං කර ගන්න මට වුවමනාවක් තිබුණේ නෑ. මොකක්දෝ හේතුවකට ඔයාට ඩිවෝස් එක දෙන්න පරක්කු වුනේ ඔයා ආපහු එයි කියලා මගේ යටි හිතේ බලාපොරොත්තුවක් තිබුණු නිසා වෙන්නන ඇති. සංකල්පනී…තේරුම් ගන්න ගෑනු කෙනෙක්ට තනියම ජීවත් වෙන්න බෑ. මං දන්නවා ඔයා මේ වෙලාවේ ධනුක ළඟට යන්නේ නෑ කියලා. එහෙම ගියත් එයාගේ ජීවිතේ හිමිකමක් නැති තැනක ඔයාට රැඳිල ඉන්න වෙනවා කියලා. ඔයාගේ අම්මයි තාත්තයි ලඟට උනත් ගිහිල්ලා ලොකු කාලයක් ජීවත් වෙන්න බෑ කියලා. අපි අපේ ගෙදර යමු. ඒක තවමත් ඔයාගේ ගෙදර. අපි අපිව තේරුම් ගන්නකල් අපි හොඳ යාළුවෝ විතරක් වෙමු.
“මව තේරුම් ගන්න. ආයෙත් මම කොහොමද එහෙම කරන්නේ.”
එවර සංකල්පනී පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව සිටියාට පසුවය. මේ අසරණකම අහසටත් උසය. ඕ එදා රන්දිකගේ නිවසෙන් පිට වූයේ ආපසු එහි යාමට බලාපොරොත්තුවෙන් නොවේ.
“ජීවිතය වරදින්නෙත්, ප්‍රශ්න ඇතිවෙන්නෙත් ඒවට මුහුණ දෙන්නෙත් මිනිස්සු. අපි පාඩම් ඉගෙන ගන්නේ මේ ජීවිතේ ඉස්සරහට යද්දී. මේ සිදුවීම් අපි කවුරුවත් කලින් මුහුණ දීපුවා නෙමෙයි සංකල්පනී. හැමදාම හැම දෙයක්ම අලුත් අත්දැකීමක්. අලුත් පාඩමක්. මේ වෙලාවේ ඔයා අපේ ගෙදරට එන්න. මං හැමතිස්සේම අපේ ගෙදර කියලා කියන්නේ ඒක තවමත් ඔයාගේ ගෙදර නිසා. මං ඔයාට කොයිම වෙලාවකවත් බල කරන්නේ නැහැ. මමත් එක්ක ජීවත් වෙන්න කියලා. ඒ ඉන්න ගමන් ඔයා හිතලා හොඳම තීරණය ගන්න. මේ වෙලාවේ අපිට හොඳ යාළුවෝ වෙන්න පුළුවන්.
රන්දික යළිත් පැවසූයේ ආයාචනාත්මක ස්වරූපයකින්ය. කලින් සූදානම් කර ඇඳ මත තබා තිබූ පොතක යමක් ලියූ ඈ ඒ කොලය කඩා කුඩා මේසය මතින් තැබුවාය. ඉන්පසු බිම බලාගෙන නැඟී සිටියේ රන්දිකට එකඟ වෙමින්ය. ඇඳ මත වූ මදක් බරැති ගමන් බෑග් දෙක දෑත් වලින් අල්ලා ගත්තේ ඔහුය. ඒවා කාරයේ පසුපස කොටසෙහි තැබුවේත් ඔහුය. කුඩා ඇනෙක්සියේ දොර වසා දමා විනාඩි කිහිපයක් යනතුරු ආපසු හැරී ඒ දෙස බලා උන් සංකල්පනී ගෙහිමි කාන්තාවගේ නිවසට ගියේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
“ඔය ළමයත් මඟුල් ගෙදර යන්න වෙන්න ඇති…”
මඟුල් ගෙදර ගැන ඇයට පවසන්නට ඇත්තේ රන්දික විය යුතුය.
සංකල්පනී හිස වැනුවේ ඇය එසේ ඇසුවාට පසුවය. සුපුරුදු ලෙසම ඔහු ඇයට කාරයට නඟින්නට ඒ පස දොර ඇර දුන්නේය. අසන්නට පවසන්නට බොහෝ දේ වුවත් ඇය රන්දිකගේ නිවසට පැමිණෙන තුරුම සිටියේ වදනක්වත් කතා නොකරය. තමාගේ ජීවිතයට මේ කුමක් සිදුවූයේදැයි සිතන වාරයක් වාරයක් පාසා ඕ හීල්ලුවාය.
ඉදිරිපසින් වසා දමා තිබූ නිවසේ දොරගුළු ඇරියේත් ඔහුය. විවාහ මංගල්ලයක් සිදුවන නිවසේ කිහිප දෙනෙක් හෝ දකින්නට බලාපොරොත්තු වුවත් එහි වූයේ පෙර වූ නිහඬ නිස්කලංක බවමය. අවුරුදු පනහක් පමණ වයස ඇති කාන්තාවක් සිනහ මුසුව ඉදිරියට පැමිණියේ ඔවුන් නිවසට පිවිසෙද්දීමය.
“මේ අර රට ඉන්නවයි කියපු නෝනා වෙන්න ඇති නේද මහත්තයා.”
ඇය එසේ ඇසුවේ සංකල්පනීගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම බැල්මක් හෙලමින්ය.
“ලොකු නෝනත් හැමතිස්සෙම කියනවා නෝනා රට ගියානේ ආපහු කවද ඒවිද කියලා.”
“පස්සෙ කතා කරන්න පුළුවන් සෝමා. නෝනා ටිකක් අසනීපෙන්. ඒකයි හදිස්සියේම ලංකාවට ආවේ. නෝනට ඔය ඉස්සරහා කාමරේ ලෑස්ති කරලා දෙන්නකෝ.”
රන්දික එසේ පැවසූයේ සංකල්පනී හඬා ඉදිමී තිබූ දෑස් විසල් කරගෙන බලා සිටියදීය.
“නංගි යන්න කලින් අම්මගේ උදව්වට තමයි සුමනා ගත්තේ. සුමනා දිගටම මේ ගෙදර ඉන්නවා. උයන්න පිහන්න ගෑනු කෙනෙක් උදේ ඇවිත් හවස යනවා”
සුමනා විසින් අලුත් ඇඳ ඇතිරිලි දමා සකස් කළ කාමරයට සංකල්පනී පිවිසියේ රන්දික ආරාධනා කළාට පසුවය.
“නංගිවත් මමවත් අම්මට මේ කිසි දෙයක් කිව්වේ නෑ සංකල්පනී. ඔයා ආපහු එයි කියලා විශ්වාසයක් මගේ හිතේ තිබුණු නිසාද මන්දා මං ඒ හැම කෙනෙකුටම කිව්වේ ඔයා කලින් වැඩ කරපු ඔෆිස් එකේ වැඩකට ලංකාවෙන් පිටට ගියා කියලා. මං සුමනට කියන්නම් තේ ටිකක් ලෑස්ති කරන්න කියලා. ඔයා ටිකක් වෙලා නිදාගන්න.”
“ඔයාට තැන්කියු රන්දික…”
ඔහු ආපසු හැරුනේ සිනහවක් මුව මත තබාගෙනය. හදිසියේ යමක් සිහි වූවා සේ ඈ යළිත් ඔහුට කතාකලේ අඩි දෙක තුනක් පෙරට තබද්දීය.
“ධනුකගෙ පැත්තෙ අය..”
“මේ දේවල් දන්නවද කියලා අහන්නද ගියේ. නෑ,. ධනුක ඇරෙන්නෙ වෙන කිසි කෙනෙක් එක්ක මම මේ ගැන කතා කළේ නෑ. එකක් දැන් මගේ නංගි ඒ පවුලට බැඳිලා ඉන්නේ. අනිත් එක ධනුක මැරි කරන්න ඉන්නවා කියන ඒ ගෑනු කෙනා හරි අහිංසක මනුස්සයෙක්. ධනුකගේ අම්මා උනත් හරි අහිංසක මනුස්සයෙක්. ඒ මිනිස්සුන්ගේ හිතට බරක් වේදනාවක් දෙන්න මට ඕන වුණේ නෑ.”
“හෙට නේද හෝම්කමින් එක…”
“ඔව් අපි හෙට උදේ හයට මෙහෙන් පිටත් වෙනවා. මං ඔයාට යමු කියලා බල කරන්නේ නෑ. අම්මා එක්ක යන්නේ නෑ කියලත් අපි තීරණය කළා. ඔයාට සුමනයි අම්මයි එක්ක ගෙදර ඉන්න පුළුවන්.”
“මට එහෙම තැනකට ගිහිල්ලා ධනුකට මුහුණ දෙන්න තරම් හයියක් නෑ. ඔයා ගිහිල්ලා එන්න. ධනුකට කියන්න එපා මං ඔයාගේ ලඟට ආව කියල. එයා ආපහු කොළඹ ආවට පස්සේ ඒක දැන ගනිය. ඒ මතක මගේ ජීවිතේ මහා නපුරු කාලයක් කියලා අමතක කරලා දාන්නයි මට ඕනේ. ඔයාගේ නංගිටවත් ඔයා කියන විදිහට ධනුකගේ අම්මටවත් ඒ ගෑනු කෙනාටවත් ප්‍රශ්නයක් ඇති කරවන්න මට ඕනේ නෑ. වැරදුනේ වරද්ද ගත්තේ මං මිසක් එයාලා නෙමෙයි.”
සුමනා තේ බන්දේසියත් රැගෙන කාමරයට ඇතුළු වූයේ එවේලෙහිය. සංකල්පනීගේ දෑස්වල වූ කඳුළු දෙස හැරි හැරී බලමින් ඕ කාමරයෙන් පිටවූයේ තේ බන්දේසිය කණ්ණාඩි මේසය මත තැබුවාට පසුවය. අඩියක් දෙකක් පෙරට තබා සංකල්පනීට ළං වූ රන්දික ඒ හිස අත ගෑවේ කිසිවක්ම නොකියමින්ය. අවසන ‘තේ ටික බීලා ටික වෙලාවක් නිදාගන්න..’ යනුවෙන් පැවසූයේ කාමරයෙන් නික්ම යන්නට අවසර පතමින්ය.
නුලාරා යළිත් පහත මාලයට පැමිණියේ ඈ සොයා ගෙන සෝමා උඩුමහලට නැගුනාට පසුවය.
“බබා නැගිටලා” යනුවෙන් ඈ පවසද්දීත් ඕ උන්නේ දෑස් වල කඳුළු පුරවාගෙනය.
“අනේ ඇයි රත්තරනේ මෙහෙම හිත හිතා දුක් විඳින්නේ..”
සෝමා එවර ඇසුවේ ඇගේ දකුණත අල්ලා ගනිමින්ය. සුසුමක් මුදා හරිමින් නැගී සිටි නුලාරා පියගැට පෙළ බැස්සේ සෝමාගේ වාරුවෙන්මය.
“මං අපේ සුදු මහත්තයාට එන්න කියලා කතා කරන්නද. චූටි නෝනට අසනීප ගතියක් වගේද…?”
“එපා.. එපා සෝමා එහෙම කරන්න එපා.”
“බබාව කාමරයට ගේන්නකෝ. ටිකක් තනියම හිටියහම මේ ගතිය මගහැරිලා යයි.”
“චූටි නෝනා හොඳටම අඬලා ඇස් දෙකත් ඉදිමිලා.”
“අපි පස්සේ කතා කරමු. සෝමා බබාව කාමරේට ගේන්න කියලා කියන්නකො.”
නුලාරා තමාගේ කාමරයට ගියේ එසේ පවසමින්ය. විනාඩි කිහිපයකට පසුව සේවිකාව දරුවාව ඇඳෙන් තබා ආපසු යන්නට ගියේ ‘මං නාගෙන එන්නම් මැඩම්..’ යැයි පවසමින්ය. තමාගේ සුදු පැහැය පමණක් උරුම වූ ඔහු චාරුකමය. අවසිහියෙන්සේ කිහිප වතාවක්ම කුඩා පුතුව සිප ගත් නුලාරා ඔහුට නිදහසේ කිරි උරා බොන්නට සලස්වා ඇඳෙහි වැතිරුණාය. හොඳින් බඩ පුරවා ගත් පසු ඔහු සිනහසෙමින් දෑස් වලින් නුලාරාට ආරාධනා කරන්නේ සෙල්ලමටය.
“මේ චූටි පවුල අංග සම්පූර්ණ පවුලක්නෙ මගේ රත්තරනේ. අනේ ඇයි මේ දෙපැත්තකට වෙලා වේදනා විඳින්නේ. මහත්තයා උදේට දරුවාගේ කාමරේට ගිහිල්ල ඇස් දෙකේ කඳුළු පුරවගෙන බලාගෙන ඉන්නවා. ඊයේ මට කිව්වා මේ ගෙවිල යන දවස් ආපහු එන්නේ නෑ සෝමා ඒකයි මට දුක කියලා. “
උදෑසන සෝමා පැවසූ වදන් සිහිව නුලාරාගේ දෑස්මත යළිත් උපන්නේ කඳුළකි උඩුබැලි අතට වැතිර උන් කුඩා දරුවා දෑතත් දෙපයත් සොලවමින් සිනහසෙමින් සිටියාය.
“අම්ම කරන්නේ වැරැද්දක්ද චූටි පැටියෝ. ඔයාගේ තාත්තා වැරදි නෑ කියලා හැමෝම කියද්දි ඇයි මට විතරක් හිතෙන්නේ තාත්තා වරදක් කරනවා කියලා. ඔයාවත් මට කියන්න අම්ම කරන්නේ වැරැද්දක්ද කියලා. අපිට මෙහෙම වුණේ මගේ වරදින්ද..මට තේරෙන්නේ නෑ චූටි පුතේ. මං මහා සෙනඟක් මැද අතරමං වෙලා වගේ හැඟීමක් මට දැනෙන්නේ. හරියට මං තනි වෙලා වගේ. මං මේ ඔයාගේ තාත්තව සැක කරන්නේ අහේතුකවද. එහෙම කරලා මං අපි හැමෝගෙම ජීවිත විනාස කරනවද. උත්තර නැති ප්‍රශ්න ගොඩක් මැද්දේ මං තනිවෙලා මගේ පුතේ. අම්මගේ හිතේ තියෙන බය අම්මගේ හිතේ තියෙන වේදනාව ඔයාට තේරුම් ගන්න පුළුවන්ද. තාත්තව නැති කරගෙන ජීවත් වෙන්න මං දන් නෑ පුතේ. මං තාත්තට ආදරෙයි. මගේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නේ ඒ ආදරෙන් ඒත් එයා මගේ විතරක් නෙමෙයි කියල හිතද්දි මාව පිච්චෙනවා. මට එයා ගැන දැනෙන්නේ ලොකු තරහක් කලකිරීමක්. ඉක්මනට ලොකු වෙන්න පුතේ.
නුලාරාගේ දෑස් වලින් නොනවත්වා කඳුළු ගලා යමින් තිබිණ. අවසන ඕ ඉකි බිඳ හැඬුවාය. අම්මා පවසන්නේ කුමක්දැයි නොතේරුම් වූ කුඩා දරුවා සිටියේ බඩ පුරවාගෙන දෑත් දෙපා ගසමින්, හිනැහෙමින් ඔහුගේම ලෝකයකය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


