මලක් වී යළි පිපෙන්නම් – 70

0
70

“එදා ඇත්තටම මොකක්ද උනේ? අඩි දහයක්වත් අපේ ළමයට තනියම යන්න දෙන්නේ නැති චාරුක ඇයි අපේ ළමයා එහෙම තනියම ගෙදරට එව්වේ. ඔයා මගෙන් මොනවා හරි දෙයක් හංගනවා. එහෙම වෙන්න හේතුව චාරුකත් දන්නවා ඔයත් දන්නවා. මං විතරයි නොදන්නේ”

පැරකුම් එසේ ඇසුවේ බොහෝ වේලාවක් කල්පනා බරව සිටියාට පසුවය. ඔහු කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටියේය. උදෑසන පැමිණි වෛද්‍යවරයා පැවසූයේ හෙට දිනයේ නිවසට යාමට හැකිවන බවය. 

“දන්න දෙයක් තියෙනවානම් මමත් එක්ක කතා කරන්න. තනියම ගන්න තීරණ හරියි කියලා හිතන්න එපා. අපිට ඉන්නේ ගෑනු දරුවෙක්. කොතැනකවත් එයාට වෙනස්කමක් වෙනව දකින්න මට ඕනේ නෑ.”

පැරකුම් යළිත් පැවසූයේ තම බිරිඳගේ නිහඬකම ඉවසනු නොහැකි වූ තැනදීය. ඔහුට සැමදාමත් වුවමනා වී තිබුණේ තමාගේ දියණිය ඉහලකම සිටිනවා දකින්නටය. එනිසාම මේ තත්වයේදී ඔහු ක්‍රියා කරන විදිහ තමාට වඩා හාත්පසින්ම වෙනස්  බව සිතාරා දැන උන්නාය.

“එදා මොකක්ම හරි සිද්ධ වෙලා තියෙනවා. මට යන්තම් මතකයක් තියෙනවා ඔයා පාටි එක අතරේ මාව ඇදගෙන ආවේ දුවගේ ප්‍රශ්නෙකට කියලත්. ඒක මතක් කරන්න වෙහෙස වෙන්න කම්මැලිකමක් මට තියෙන්නේ. එහෙම නැතුව අමතක වෙලා නෙමෙයි.”

යළිත් පැරකුම් පැවසූයේ පෙර දෙවතාවටම වඩා මදක් උස් හඬකින්ය. ඔහුට යමක් පිළිබඳව ඉව වැටුණහොත් පස්සෙන් පන්න පන්නා ඒ පිළිබඳව සොයා යන බව සිතාරා දැන උන්නාය. පසුගිය දිනවල ඇය බියෙන් සිටියේත් පැරකුම් කිනම් මොහොතක හෝ දියණිය ගැන ප්‍රශ්න කරාවියැයි සිතමින්ය. ඊයේ සවසත් නුලාරා චාරුක හා පැමිණ ගියාට දෙදෙනා අතර එතරම් ඇයි හොඳයියක් වූයේ නැත. දියණිය සිටියේ හඬා ඉදිමී ගිය දෑස් ඇතුවය. චාරුකගේ මුහුණේත් වෙනදා වන සැහැල්ලුවවත්, සිනහවත් වූයේ නැත. 

“ඒ ළමයට ඒ ගෙදර මොනවා හරි අසාධාරණයක් වෙනවද…?”

අවසන පැරකුම් ඇසුවේ මඳක් උඩට ඉස්සී තම බිරිඳගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙනය. 

“ඒ දෙන්නා දැන් කසාද බැඳපු ජෝඩුවක්. දෙන්න දෙමහල්ලෝ අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පොඩි පොඩි කතා බහවල් ඇති වෙන්නත් පුළුවන්. ඒවා ඒ දෙන්නම විසඳ ගත්තාවේ. අපි ඒවට මැදිහත් වෙන්න යන්න ඕන නෑ පැරකුම්. එදා වෙලා තිබුනෙත් එහෙම දෙයක්. තේරුම් නොගැනීමේ ප්‍රශ්නයක්. ඇත්තටම කිව්වොත් අපේ දරුවා ඉවසිලිවන්ත නැතිකම. අපි දෙන්න අතරෙත් එහෙම ප්‍රශ්න ඕන තරම් වෙලා තියෙනවා. හැබැයි ඒ හැම වතාවකම මං ගෙදර දුවන්න ලෑස්ති උනානම් අද අපි දෙන්නා මෙහෙම එකට නෑ.”

“මොකක්ද සිද්ධ උනේ කියලා මට කියලා ඉන්නකෝ. ඊට පස්සේ මම තීරණය කරන්නම් අපේ දරුවා හරිද වැරදිද කියලා.”

“පැරකුම් ඔයා ජීවිතයත් මරණයත් අතර සටනක ඉඳලා තමයි අද මෙහෙම මමත් එක්ක කතා කරන්නේ. මේ හොස්පිට්ල් එකේ තියටර් එක ඇතුලට ඔයා ගනිද්දි ඔයා ආපහු මේ විදිහට අපිට දකින්න ලැබෙයිද නොලැබෙයිද කියලා විශ්වාසයක් අපිට තිබුණේ නෑ. අඩුම තරමින් ඩොක්ටර්ස්ලටවත් ඒ විශ්වාසය තිබුණේ නෑ. එහෙම එකේ හිත අවුල් කරගන්නෙ නැතුව ටික කාලයක් ඉන්න පැරකුම්. මොන හිත් රිදීම් මොන ප්‍රශ්න ඇති වුණත් අපේ දුව ළඟ නැති ඉවසීමක් චාරුක පුතා ළඟ තියෙනවා කියලා මේ දවස් ටිකට මට හොඳටම දැනුනා. ඒ නිසාම අපි ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ඕන නෑ. යම් අවස්ථාවක ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කතා කරලා අපෙන් උදව් ඉල්ලුවොත් අපි එයාලට උදව් කරමු. මං හිතන්නේ එදා ඒ ගතපු හදිසි තීරණය ගැන අපේ දුව උනත් පසුතැවෙන තැනක දැන් ඉන්නේ.”

සිතාරා එසේ පැවසූයේ අන් කවරදාටත් වඩා තදින්ය. සාමාන්‍යයෙන් පැරකුම් කියන යමකට ඈ හිස නවනවා විනා ඔහු හා තර්ක විතර්ක කරමින් ඇත්ත යුක්තිය කතා කරන්නට යන්නේ නැත. නිහඬවීම වඩා හොඳයැයි  සිත් වේදනා අවමයැයි  ඈ විශ්වාස කළේ ගෙවී ගිය ජීවිත ගමනේ ලද අත්දැකීම් වලින්ය. ඒ හා සමගම ඇය කුඩා මේසය මත තබා තිබූ ඔහු උදෑසන සුප් පානය කළ බඳුනත් රැගෙන ආපසු හැරුණාය. 

“පැරකුම්…මීට දවස් කිහිපයකට කලින් ඒ දෙන්න අතර ඇතිවෙච්ච ප්‍රශ්නෙ දැන් ඒ දෙන්න විසඳගෙන ඇති. හැබැයි අපි ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ගිහිල්ලා ආපහු ප්‍රශ්නයක් ඒ දෙන්න අතරේ ඇති කරන්න ඕනෙ නෑ.”

අඩි කිහිපයක් ඉදිරියට තබා ආපසු හැරුණු ඇය එවදන් පැවසූයේ අවධාරණයෙන් සේය. 

                            ****************

දෙවෙනි ගමන සඳහා සූදානම් වූ ඥාති මිත්‍රාදීන් රන්දිකගේ නිවසට පැමිණියේ උදෑසනය. රාත්‍රිය පුරා නිදි වර්ජිතව ගතකල  සංකල්පනී උදෑසනත් ඇඳට වී සිටියේ වෙහෙසකර අයුරින්ය. 

“සංකල්පනී ආවට එයාට ටිකක් සනීප මදි. තව මාස තුනකින් එන්න තිබුන එක තමයි එයා ඊයේ හදිසියේම අසනීප වෙලා ලංකාවට ආවේ. නංගිගේ වෙඩින්  එක හින්දා මම කිව්වෙ නැති වුණාට සංකල්පනී සතියක් විතර එහේ හොස්පිට්ල් එකකත් හිටියා. සනීප වෙයි සනීප වෙයි කියලා කිය කිය ඉඳිද්දි මම තමයි බලෙන්ම කිව්වේ ටිකට් එක දාගෙන ලංකාවට එන්න කියලා.”

රන්දික ඥාතීන් හා එසේ පවසනු ඈ අසාගෙනය. 

“ඉතින් මොකද වෙලා තියෙන්නේ…”

“සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාව, උණ තමයි හැදිලා තියෙන්නේ. මේ දවස්වල එහේ  ගොඩක් සීතලයිනේ. මෙයාට සීතල දරා ගන්න බැරිවෙලා. ඔෆිස් එකට යන්න කලින් සමහර දවස් වලට උදේ නාලත් ගිහිල්ලා. පස්සේ බලනකොට නියුමෝනියාවට ඇවිත්. හොඳ වෙලාවට මෙයත් එක්ක හොස්ටල් රූම් එකේ ඉඳපු අනිත් යාලුවා මෙයාව හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා. දිගින් දිගටම මට කතා කර කර කිව්වා මේ ගැන කිසිම දෙයක් නංගිටවත් දැනගන්න තියන්න එපා කියලා. දැන්නං නින්ද ගිහිල්ලා ඉන්නේ. මාමලට, නැන්දලට  පුළුවන්නෙ පස්සේ කතා කරන්න.” 

“ඉතිං මෙහේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවේ නැද්ද?”

“එයපොර්ට් එකේ ඉඳලා එන ගමන්ම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවා. සති දෙකකට බෙහෙතුත් දුන්නා. පුළුවන් තරම් ඇඳටම වෙලා රෙස්ට් එකේ ඉන්න කියලා තමයි ඩොක්ටර් කිව්වේ. අපි පිටත් වෙමු නේද?  මගින් පුංචි අම්මයි,  ලොකු අම්මලවයි ගන්නත් ඕනනේ..”

රන්දික මේ අයුරින් මුසා පවසන්නේ තමාගේ ගෞරවය රකින්නටය. 

එසේ නොවී නම් ඔහු පස්පවින් වැළකුණු පුද්ගලයකු බව සංකල්පනී  දැන සිටියාය. නිරායාසයෙන්ම දෑස් තෙත් කළ කඳුළු දෙකොපල්  දිගේ බේරී වැටුනේ ඇයත් නොදැනුවත්වය. කිසිවෙකුගේ පියවර හඬ ඇසෙද්දී ඕ අනෙක් පසට හැරුනේ කලබලයෙන්ය.

“මම හිතුවා ඔයා නිදි ඇති කියලා.

වතට උඩින් එබී සිටියේ රන්දිකය. දෑස් පියා ගත්තාට කොපුල් දිගේ ගලා බසින කඳුළු වලකා ගන්නට ඈ දැන සිටියේ නැත.

“දැන් ඇඬුවා කියලා කිසි දෙයක් වෙනස් කරන්න අපිට බෑ සංකල්පනී. මේ වෙලාවේ ඔයාගේ සතුට තියෙන්නේ කොතනද ඔයා රැඳෙන්න ඕන එතන. මං ඔයාව බලෙන් කොහොමටවත් මගේ ළඟ නතර කරගන්නේ නෑ. ඔයා හිතන්න මේ වෙලාව ජීවිතේ ගැන සුදුසුම තීරණයක් ගන්න ඔයාට දෛවය විසින් දීපු තෑග්ගක් කියලා. අපි ගිහිල්ලා එනකල් පරිස්සමට ඉන්න. මං තවමත් විශ්වාස කරනවා හැමදේම සිද්ධ වුණේ සිද්ධ වෙන්න ඕන හොඳම විදිහට කියලා.”

ඔහුගේ ඒ වදන්වලින් ඇගේ කඳුළු අලුත් විය. තමා පිළිබඳවම ආත්මානුකම්පාවක් දැනෙන සිතුවිලි වලට තහංචි ලා ගන්නට ඇය දැන සිටියේ නැත. සංකල්පනීගේ නළලත යාන්තමට අත ගෑ රන්දික ආපසු හැරුනේ පිටව යන්නට සූදානමින්ය. ලා රෝස පැහැ අත්දිගු  කමිසයක් ඇඳ ඊට ගැලපෙන රතු පැහැති ටයි  පටියක් කර ලා ගෙන උන් ඔහු අතේ වූයේ  කළු පැහැති කෝට් එකකි. ඒ සම්පූර්ණ ඇඳුමෙන් සැරසුණු  පසු ඔහු කඩවසම්ය. ප්‍රථම වරට තමාට අත්හැරුණු සැමියා පිළිබඳව ලෝබකමක් ඇගේ සිතට දැනෙමින් තිබිණ. ඔහු තරහෙන්, කෝපයෙන්, වේදනාවෙන් යමක් පැවසූයේ නම් දුකක් නොවේ. සියල්ල දරාගෙන ඔහු අදත් උත්සාහ කරන්නේ තමාගේ සිත හදන්නට යැයි සංකල්පනීට සිතිණ.

“පරිස්සමෙන් ගිහින් එන්න…”

ඒ වදන් ඇගේ මුවින් පිටවූයේ නිරායාසයෙන්ය.  

ආපසු හැරී බලා උන් රන්දිකගේ මුව මත සිනහවක් සටහන් වනු ඈ දුටුවාය. 

“නෝනව ඇඳෙන්  බස්සවන්න එපා. සැරින් සැරේ ඇවිල්ල බලන්න. එයාට මොනවා හරි වුවමනා දෙයක් තිබුනොත් ඒ හැමදේම ඇඳ ළඟට ගෙනත් දෙන්න.”

ඔහු මෙහෙකාරියට උපදෙස් දෙනුත් සංකල්පනී අසාගෙනය. 

                                ************

“මොකක්ද දැන් උඹේ තීරණය?”

තේජන එසේ ඇසුවේ මිතුරා සමග ඔහුගේ කාර්යාල කාමරයේ අසුන්ගෙන සිටියදීය. මින් විනාඩි කිහිපයක ඉහතදී ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක මණ්ඩලය සමග වූ සාකච්ඡාව නිමා විය. අවසන තේජන පමණක් ඉතිරිවද්දී අන් සියල්ලෝම පිටව ගියෝය.

“මචං අමායා සැක කරනවා ෆොටෝස් එළියට ගියපු සිද්ධිය ධනුකගේ වැඩක් කියලා.”

“අපිට එහෙම කවුරුවත් සැක කරන්න බෑ බං. සමහර වෙලාවට කවුරු හරි ඔය ෆොටෝස් ටික අරගෙන එෆ් බී දාන්න ඇති. උඹටයි  මටයි ඒකට වෙලාවක් නැති උනාට, තමන්ට පුද්ගලික ජීවිතයක් නැති තරමට දවස පුරාම ෆොටෝස් ගගහා එෆ් බී දාලා ඒකෙන් සතුටු වෙන පිරිසක් ඉන්නවනේ.. එහෙම තැනකින් ඔය ෆොටෝ එක ගන්න ඕන කෙනෙකුට පුළුවන්.”

“අමාය මට මේ මැසේජ් එක එවල තිබුනේ ඊයේ රෑ. මේ ඉමේජ් ටිකත් එක්ක. මචං එහෙම බැලුවහම ඒ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා.”

තේජර එවර පැවසූයේ සිය ජංගම දුරකථනය ඔහු වෙත පාමින්ය. එය දකුණතින් අල්ලා ගෙන මද වේලාවක් බලා උන් චාරුක යළිත් මිතුරා වෙත ජංගම දුරකථනය දිගු කළේ කිසිවක් නොකියමින්ය. 

“මචං මේ එක ෆොටෝ එකක්වත් ධනුකගේ එෆ් බී එකේ නෑ.” 

තේජන යළිත් පැවසූයේ චාරුක දෑස් ඔසවා බලද්දීය.

“මට මේ හැම දෙයක් ගැනම තියෙන්නේ කලකිරීමක් බං. ඉස්සරත් මේ වගේ මඩ මට වැදිලා තියෙනවා. හැබැයි ඉතින් අඩුම තරමින්  අම්මා, තාත්තා, අක්කා අඩුම තරමේ උඹවත්  මගෙන් අහල නෑ උඹ මෙහෙම කලාද කියල. ඒ මිනිස්සු ඒ තරමටම මාව විශ්වාස කළා. මැරේජ් ලයිෆ් එකක් කියන්නේ මේකද බං. කෝ ඒක ඇතුලේ මං හොයපු නිදහස, මානසික නිදහස, සතුට…”

චාරුක තේජනගෙන්  ඇසුවේ තමාගේ දෑත් වලින්ම හිස බදාගෙනය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here