“ඇයි තේ බොන්න ඉතින් මේ ගෙදෙට්ටම එන්න ඕන නෑ? ඔය යන තැන්වල ඉන්න ගෑනුන්ටම කිව්ව නම් උන් හදලා දෙන්නෙ නැතෑ”
“පරක්කු වෙලා ගෙදර එන්නෙ? ගිය තැන්වලම හිටියා නම් ඉවරනෙ. කොහෙ ගිහින් එනවද කවුද දන්නේ?”
“සෙනසුරාදා ඉරිදත් අපරාදෙනෙ ගෙදර ඉන්නෙ. ගියා නම් ඉවරනෙ ඔය යන්න තියෙන තැන්වල. යන්නද තැන් නැත්තෙ?” කියා අම්මා උන්නෙ කියන්නට හැකි හැමදේම කියමින් තාත්තාගේ ඉවසීමේ සියලුම සීමා මායිම් විමසමින් බව තේරුණද එයට විරුද්ධව කිසිවක් කියන්නට හැකියාවක් නෙත්මලීට හෝ නෙත්මාල්ට හැකියාව තිබුණේ නැත. අනෙක් අතට තාත්තා හොඳටම වැරදි බව දැන දැනම “අනේ අම්මේ ප්ලීස් ඔය කට වහගන්න” කියා කීමම අම්මාගෙන් තමන්ට හොඳටම අහගන්න හේතුවක් වන බව දන්න නිසාම නෙත්මලී කොටි වලිගය අල්ලාගන්න හිතුවේ නැත.
ඒත් ඒ වෙලාවේ නෙත්මලීගේ අවධානය තිබුණේ අම්මා කියන දේවල්වලට වඩා තාත්තා ලඟය.
වෙනදා මේ වගේ වෙලාවක තාත්තා නිහඬව නොඉන්න බව, විශේෂයෙන්ම නිවසේ ප්‍රශ්න ඇතිවුනායින් පසුව තාත්තා තම නිදහස වෙනුවෙන් බොහෝ දේ කියන්නට වූ බව නෙත්මලීට මතක තිබුණාය. අම්මා එක වචනයක් කිව්වොත් ඔහු වචන දෙකකින් උත්තර දුන් බව නෙත්මලීට මතක තිබුණාය. සමහර වෙලාවට එක වචනයක් දෙකක් කතා කර නවතින්න බැරි තරමට දෙදෙනාගේ කතාව දිග්ගැස්සුණ බව නෙත්මලීට මතක තිබුණාය. ඒවා අහගෙන ඉන්න බැරි වූ විට කාමරයට දුව ගිය අවස්ථා ඕනෑ තරම් තිබුණ බව නෙත්මලීට මතක තිබුණාය. නෙත්මාල් නම් කනට ඇඟිලි දෙකක් ගසාගෙන ඉන්නවා යැයි සිතෙන අන්දමට නිහඬ වූ අවස්තා විය.
ඒත් අද තාත්තා වෙනස්ය.
අම්මා කියන හැම දෙයක්ම ඔහු අහගෙන සිටියේය. ඒ ද කිසිම පිළිතුරක් නැතිවය.
මුලදී නෙත්මලී හිතුවේ තාත්තා කෝපයෙන් කතා නොකර ඉන්නවා කියාය. සමහර විට වැඩිපුර කතා කළොත් තත්වය තවත් නරක අතට හැරෙයි කියලා හිතනවා වෙන්නත් පුළුවන් කියාය. ඒ නිසා ඇයත් වැඩිය ඒ ගැන හිතුවේ නැත.
එහෙත් අම්මා තවත් වචන කිහිපයක් කියද්දීත් තාත්තාගේ නිහඬකම එලෙසම තියෙද්දී නෙත්මලී තිගැස්සුණාය. හිත අස්සෙන් බිය වුණාය.
“දැන් අපි කියන ඒවා ඇහෙන්නෙවත් නෑ නේද? වෙන ලෝකෙක නෙ ඉතින් ඉන්නෙ? ගෙදර ගැන සිහියක් නෑ. වෙන වෙන ඒවනෙ ඔළුවෙ තියෙන්නෙ.” කියා අම්මා උන්නෙ නැවත වතාවක් වචන වලින් තාත්තාට පහර දෙමිනි. “නාකි විසේ” ඒ වචන එන්නේ වඩා හෙමිනි. තරහෙනි. කුඩුකේඩු විලාසයෙනි.
තාත්තා හිස එසවූයේ ඒ පහර දරාගත නොහැකිව බව නෙත්මලීට විශ්වාසය.
“ඇහෙනවා”
එපමණකි.
ඒ වචනයත් තරහකින් නොවේ. ඒ නිසාම නෙත්මලීට තවත් අමුතු හැඟීමක් දැනුණි. තාත්තාගේ කටහඬ වෙනදා වගේ නොවීය. ඒක මහන්සි වූ මිනිසෙකුගේ කටහඬක් වගේය.
එහෙමත් නැත්නම් දවස පුරාම කතා කර අවසානයේ කතා කරන්න දෙයක් ඉතිරි නොවුණු මිනිසෙකුගේ කටහඬක් වගේය. නෙත්මලී තාත්තා දෙස තවත් වරක් බැලුවාය.
ඔහු බත් කමින් සිටියේය. ඉතාම සෙමින්. බත් කටක් ගෙන බොහෝ වේලාවක් එය හපමින් සිටි අතර සමහර වෙලාවට පිඟානේ තිබුණු ව්‍යංජන දෙස බලාගෙනම බොහෝ දුර කල්පනාවක සිරවී ඉන්නා බව නෙත්මලී දුටුවාය.
ඒ දේවල් නෙත්මලී මීට කලින් කවදාවත් තාත්තා තුළ දැක තිබුණේ නැත. තාත්තා හිතේ මොකක් හෝ ලොකු දෙයක් හංගාගෙන ඉන්නවා කියා නෙත්මලීට හිතුණේ එනිසාමය
ඒත් ඒ මොකක්දැයි ඇය දැන සිටියේ නැත. ඒ මොකද්දැයි ඇත්තටම අහන්නත් ඇයට බයක් තිබුණි.
“තාත්තෙ?” නෙත්මලී අන්තිමේදී කතා කලේ ඒ නිහඬතාවය දරාගන්නට බැරිම තැනය. ඒ නිහඬතාවය බොහෝ භයානක යමකට මුලපුරන්නට හේතුවෙතැයි හිත කිව් නිසාය.
තාත්තා ඇය දෙස බැලුවේය.
“ඇයි පුතේ?”
“මුකුත් නෑ” කියා නැවතත් පිඟාන දෙස බලාගත්තාය.
අම්මා ඒ දෙන්නාගේ කතාවට අවධානය දුන්නාද නැද්ද කියා නෙත්මලී දැන සිටියේ නැත. අම්මා තවමත් තමන්ගේම කතාවක් ඔහේ කාට හෝ ඇහෙන්නට කියමින් සිටියාය.
“දැන් ඉතින් මං තමයි මේ හැමදේකටම වැරදිකාරයා. ඉගෙන ගන්න කාලෙම ඉගෙන ගන්න එක කරන්නෙ නැතුව මනුස්සයෙක් ව විස්වාස කරලා කසාද බැඳගත්ත හන්දා මං තමයි වැරදි. මිනිස්සු ගෙදරින් පිටවෙලා ගියාට පස්සෙ ඒ මිනිස්සු ගෙයින් එලියට ගිහින් මොනාද කරන්නෙ කා එක්කද ඉන්නෙ කරන්නෙ කියලා නොහෙව්ව මං නෙ දැන් හැමෝටම අන්තිමේ වැරදි. ඔන්න නෙත්මලී උඹලටත් හොඳ පාඩං මේවා. ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගනිං. මිනිස්සු විස්වාස කරලා කසාද බැඳගත්තට කමක් නෑ මෝඩයා වගේ රස්සාවෙන් හෙම අයින් වෙන්න එපා. අන්තිමේ කසාදෙත් නෑ ගෙයින් දොට්ට බහින්න උනාම හුප්පෙ” කියා අම්මා ඔහේ කියවද්දී තාත්තා ඒකටත් කිසිවක් කීවේ නැත. නෙත්මලීට අම්මාගේ කතාව ඇහුණේ දුරකින් වගේය. ඇගේ හිතේ තිබුණේ එකම ප්‍රශ්නයකි.
තාත්තා අද ඇයි මෙච්චර නිහඬ?
කාලයක් තිස්සේ ගෙදර ඇතිවුණු ප්‍රශ්නවලට ඇය පුරුදු වී සිටියාය. අම්මා තාත්තා එක්ක රණ්ඩු වීමත්, තාත්තා ආපහු කතා කිරීමත්, පසුව දෙන්නා දවස් දෙක තුනක් එකිනෙකා එක්ක හරියට කතා නොකර සිටීමත් ඇයට අලුත් දෙයක් නොවේ.
ඒත් මේ නිහඬකම වෙනස්ය. මෙ වනාහී මහා රණ්ඩුවකට කලින් එන නිහඬකමක් නොවේ.
අඩුම තරමේ නෙත්මලීට එහෙම දැනුණේ නැත. එය මොන වගේ නිහඬකමක්ද කියා ඇයට තේරුම් ගන්න බැරි විය. ඒ නිසාම හිත තිබුණේ නොසන්සුන් වීය. තාත්තා තමන්ට මොනවා හෝ කියන්න හදනවා වගේදැයි ඇයට හිතුණි. කිහිප වතාවක්ම ඇය ඔහු දෙස බැලුවාය. ඒ හැම වතාවකම තාත්තා තමන් දෙස බලන බවක් පෙනුන නමුත්ඔහු කිසිවක් කීවේ නැත.
“මොකක් හරි අවුලක්ද තාත්තෙ?” කියා ඇසුවේ පෙර හුන් දියණිය බව අතුලට විස්වාසය. දෙනෙත් තෙත් වුණේ ඒ නිසාය. මතුපිටින් කුමන අන්දමේ දරදඬු කමක් පෙන්වන්නට උත්සහ කරද හිත පතුලේ කොහේ හෝ තැනක දියණිය තවමත් තමන් වෙනුවෙන් ආදරේ හංගාගෙන ඉන්න බව මෙසේ හෝ පුංචි තප්පරයකදී දැනගන්නට ලැබීම, අවසාන මොහොතේදී හෝ දැනගන්නට ලැබීම ගැන අතුල මදකට සැනසුනාය. සැමියෙක් ලෙස වු සියල්ල ගැන අනන්ත වාරයක් හිතෙන් පසුතැවිලි වුණත් දියණියකගේ පියවරයෙක් ලෙස අතුල සමරසිංහ මොහොතකට සැනසුණාය.
“නෑ පුතේ.” කියා සිනාසෙන්නට උත්සාහ කලේ ඒ අවසරයේය. නෙත්මලී ඒ සිනහව භාරගත්තේ හිතේ මහ රිදීමක් එක්කය.
“නෑ” කීමට වඩා තාත්තා ඇයි නැ කියන්න මෙච්චර හිතුවේ? යන ප්‍රශ්නය හිතට ආවේය.ඒත් ඇය තවත් කිසිවක් ඇසුවේ නැත. අතුලත් නැවතත් තමන්ගේ කෑම පිඟාන දෙස බලාගත්තේය. එදා රාත්‍රියේ කෑම මේසය මත අම්මාගේ කටහඬ දිගින් දිගටම ඇසුණත් නෙත්මලීට මතකයේ රැඳුණේ ඒ එක වචනයක්වත් නොවේ.
ඇයට මතක තිබුණේ තාත්තාගේ නිහඬකම පමණි.
ඒ නිහඬකමට හේතුවක් තිබෙන බව ඇයට හොඳටම දැනුණි.
එහෙත් එයට හේතුව නෙත්මලීට දැනගන්නට ලැබුණේ එදා නොවේ.
මිනිසෙකුගේ හිත ඇතුළේ තීරණයක් ඉපදුණු පසු, ඒ තීරණය එළියට එන්නට පෙර ඔහු කොතරම් නිහඬ විය හැකිදැයි, ජීවිතය ගැන තවමත් බොහෝ දේ ඉගෙනගන්නට තිබූ නෙත්මලී එදා දැන උන්නේ නැත.


