පසළොස්වක මල් – 14

0
1285

” ගොඩක් වෙලා බලන් හිටියද නංගි ?” 

ඉදිරිපස මාර්ගයෙන් දෑස ඉවතට නොගෙනම සුභාවී රිය පදවනාතුර ඇසුවාය.

” නෑ අක්කේ. වැඩිම උනොත් විනාඩි දහයක් ඇති. “

” සීරියස් යන්නැතුව අපි ශේප් එකෙන් කතාව කරගෙන යං නංගි. මොකද එහෙම නැති උනොත් එයත් බයවෙන්න පුලුවන්නේ..”

” ඔයා ඒ ටීචර්ව අඳුරන්නැද්ද අක්කේ ?” 

” අඳුරනවා. එයත් සිංදුමීලගේ බැච් එකේ. ලඟ යාලුවෙක් නෙමෙයි. කැම්පස් හිටපු කාලේ මතකයක් තියනවා. කතා බහ කරලා හිනා වෙලා තියනවා. අනික මේ ගෙවිච්ච දවස් දෙක තුනේ මං එයාත් එක්ක දිගට චැට් කරලා අලුතින් යාලුකමක් හදාගත්තා. දැන් ශේප්. ඒ උනාට අපි කල්පනාවෙන් වැඩ කරමුකෝ. “

මුවින් කිසිවක් පිළිතුරු ලෙස නොබැඳි තරුණිය හිස සලා ඊට එකඟ වූවාය.

හෝමාගමට යාබද කෝපි අවන්හලක් වෙත ලඟා වූ සුභාවී සහ මින්දුලා පැමිණෙන තුරු බලා සිටි ලා දම් පැහැ සාරියක් හැඳ සිටි තරුණිය හිඳ සිටි අසුනෙන් නැඟී සිට මුව පුරා හසරැල්ලක් නැඟුවාය. 

” සුභාවී කොහොමද ?” 

” හොඳින් ඉන්නවා රංගි. “

සුභාවී සිප වැළඳ ගත් තරුණ ගුරුවරිය දෙදෙනාටම තමා උන් මේසයෙන් හිඳ ගන්නා ලෙස ආරාධනා කළාය.

” මේ මගේ නංගි කෙනෙක් රංගි. මිහිදුමී. “

“හායි..!” 

මිහිදුමීවද ආදරයෙන් පිළිගත් ඈ විශ්වාසදායී සිනහවක් මැව්වාය. රංගිගේ මුහුණේ වූ සිනහවද , හැසිරීමද දෙස හොඳින් බලා සිටි මිහිදුමී සිතූ අයුරින් ඇය සමඟ කතාව අපහසු නොවන බව වටහා ගනිමින් සිටියාය. 

” සුභාවී කළුබෝවිල කිව්වා නේද ?” 

” ඔව් රංගි. මේ නංගි අපේ කැම්පස් එකේමයි. “

” අහ්.. ඇත්තමද? හරි ශෝක්නේ.. !” 

” මට රංගි ගැන විස්තර කිව්වේ මයුලි. මං ඔයාට චැට් කරද්දි කිව්වේ. “

” ඔව්. ඔව් මට මතකයි. “

” රංගි කැම්පස් යන කාලේ බෝඩිම් වෙලාද හිටියේ. ?” 

සුභාවී ක්‍රම ක්‍රමයෙන් අදාල මාතෘකාවට ප්‍රවිශ්ඨ වෙමින් සිටියාය. 

” ඔව් සුභාවී. මං කැම්පස් යන කාලේ බෝඩිම් තුනක හිටියා. ඒකෙන් එකක තමයි අර ඔයාගේ යාලුවා සින්දුමී හිටියේ. “

” හ්ම්ම්.. සින්දුමී කියන්නේ මට හිටපු හොඳම යාළුවෙක් රංගි. අපි ඈතින් නෑයොත් වෙනවා. සින්දුමීගේ සිද්ධිය වගේම එක දිගට සිද්ධ වෙච්ච අනිත් සිද්ධිත් ඔයාට මතක ඇතිනේ..”

එකදු විටක හෝ තමා අසල සිටින්නේ සින්දුමීගේ නැඟණිය බව හෙළි වීම වළක්වාලූ සුභාවී ඇගේ හිතවත්කම තමා මත රඳවා ගත්තාය. 

” අනේ දෙයියනේ.. එහෙම කාලයක්නං ආයේ ඕනේ නෑ සුභාවී. “

මෙතෙක් පැවති ප්‍රීතිමත් හැඟුම් සියල්ල තම වතින් මුදා හළ රංගි එය අඳුරු කර ගත්තාය. 

” එක පිට එක පිට කැම්පස් එකේ ඔහොම සිද්ධි වෙනකොට අපි කොච්චර බයේද හිටියේ ඊලඟ වාරේ අපේ වෙයි කියලා ?” 

” නේන්නං. මට මතකයි සමහර ළමයි කාලයක් ගෙවල් වලට ගිහිල්ලත් හිටියා. “

” ඒ මදිවට ගෙවල් වලින් උදේට හවසට කැම්පස් එකට ළමයින්ව එක්කන් ආවා. සිද්ධිය තවත් ලොකුවටම ගියේ සින්දුමීගේ කේස් එකෙන් පස්සේ. එයා නැති වෙලා තිබුණේ ගෙදරදිමනේ..?” 

රංගිගේ ප්‍රකාශයත් සමඟ හදවතින් බුරා බුරා නැඟෙන වේදනාව දෑසින් පිට වීමට ඉඩ නොදී මිහිදුමී ආයාසයෙන් සියල්ල දරා සිටියාය. 

” ඊට පස්සේ මාස දෙකක් විතර කැම්පස් එක නිවාඩුත් දුන්නා. ඔයාට මතකද ?” 

” ඔව්. මට මතකයි. හැබැයි ඉතිං ඒ සින්දුමීගේ කේස් එකෙන් පස්සේ ආයේ කාටවත් කරදරයක් උනේ නෑනේ. ?” 

ඇණවුම් කරන ලද සැන්ඩ්විච් සහ කේක් වලින් කොටසක් මිහිදුමී ඉදිරියේ ඇති පිඟාන මත සුභාවී විසින් තැබූවද ඒ කිසිවකට අත හෝ තැබීමට කල්පනාවක් ඈ හට නොවූවාය.

” සින්දුමී බෝඩිමේ අයත් එක්ක හොඳින් හිටියද රංගි ?” 

” ටිකක්. “

රංගිගේ පිළිතුරත් සමඟ මිහිදුමී හා සුභාවී මුහුණට මුහුණ බලා ගත්තාය. 

” ටිකක් කියලා කිව්වේ ?” 

” ටිකක් කියලා කිව්වේ සුභාවී, සින්දුමී කැම්පස් එකේ හිටියෙම අර එයාගේ අනිත් යාලුවෝ හතර දෙනා එක්ක. ඒ පස් දෙනා ටිකක් එක ටීම් එකක් වගේ හිටියේ. වෙන කාවවත් වැඩිය ගණන් ගත්තේ නෑ. හරි රූඩ් වගේ. ඒ ගතිය චුට්ටක් සින්දුමී ලඟ බෝඩිමේදීත් තිබුණා. හැබැයි ඒ පස්දෙනාගෙන් අපේ බෝඩිමේ හිටියේ සින්දුමී විතරක් නිසා එයා කැම්පස් එක ඇතුළෙදි වගේ බෝඩිමේදි දරදඬු උනේ නෑ. හැබැයි එහෙම නොවී හිටියෙත් නෑ. මං ඒකයි ටිකක් කිව්වේ..”

සුභාවී තමා පසෙක උන් මිහිදුමී වෙත බැල්මක් හෙළා නැවතත් රංගි වෙතට හැරුණාය. 

” එයා අපිත් එක්කනං එහෙම නෑ රංගි. මං ඒකයි කල්පනා කළේ. “

” වෙන්නැති. නෑයෝ නිසා වෙන්නැති. සින්දුමීගේ දරදඬු ගති ගොඩක් තිබ්බේ අර යාලුවෝ ටික එක්ක ඉන්න වෙලාවෙමදි තමයි. තමන්ගේ අයත් එක්ක එයා හොඳින් ඉන්නැති. එයාගේ බෝයිගෙන් එහෙම ඔයාලා මුකුත් ඇහුවේ නැද්ද ?” 

පෙරට වඩා වික්ශිප්ත වූ මිහිදුමී වහා තිගැස්සී සුභාවී දෙස බැලුවද කලබල නොවන ලෙස දෑසින් ඉඟි කළ ඈ නැවත රංගී වෙත හැරුණාය.

” සින්දුමීට බෝයි කෙනෙක් හිටියා කියලා මං දැනන් හිටියේ නෑ. “

” අපි දැනන් හිටියෙත් නෑ. ඇත්‍තම කියනවානං සුභාවී. එයා ඒ බෝයිව මැරි කරලා හිටියේ. “

තම අත තදින් අල්ලා ගත් මිහිදුමීගේ අත දෙසත් වෙව්ලනා ඇගේ උවන දෙසත් බැලූ සුභාවී ඇගේ අනිත් අතින් තමාව පාලනය කර ගන්නා මෙන් අඟවමින් මිහිදුමීගේ අත පිරිමැද්දාය.

” ඔයා දන්නවද ඒ බෝයි කවුද කියලා?” 

” නෑ සුභාවී. මං දන්නෑ. කැම්පස් එකේම ළමයෙක් තමයි. හැබැයි අපේ බැච් එකේ නෙමෙයි. මොකද එහෙම උනානං ඒ කවුද කියලා දැනගෙන ඉන්න තිබුණා. සින්දුමීට බෝයි කෙනෙක් ඉන්නවා කියලත් , එයා ඒක ප්‍රසිද්ධ කරන්නෑ කියලත් තමයි දන්න ගෑනු ළමයි කිව්වේ. “

” එතකොට ඔය මැරි කරපු කතාව ?” 

” ම්ම්.. මේකයි සුභාවී.. ! මගේ මහ ගෙවල් පිළිමතලාවේ. අපේ අම්මලා අප්පච්චිලා සෑහෙන්න උඩරට මාන්නේ ඔලුව උඩ තියන් ඉන්න මිනිස්සු. කැම්පස් එකේ ඉන්න කාලේ මට දැන් මගේ හස්බන්ඩ් එක්ක එෆෙයා එකක් තිබ්බා. අපේ අම්මලා , අප්පච්චිලා ඒකට කීයටවත් කැමති උනේ නෑ. ඒත් මට හස්බන්ඩ්ව අතාරින්න උවමනාවක් තිබ්බෙත් නෑ. අපේ අම්මලාගෙන් ආපු ප්‍රෙෂර් එකට මට බය හිතුණා හස්බන්ඩ් මාව දාලා යයි කියලා. ඒ නිසා අපි දෙන්නා රෙජිස්ටර් ඔෆිස් එකකට ගිහින් හොරෙන් බැන්ඳා. අන්න එදාමයි සින්දුමීත් එතනට ඇවිත් හිටියේ. “

” එතකොට එයා මැරි කරපු කෙනා ?” 

” මං එවෙලේ එයාව දැක්කේ නෑ සුභාවී. මොකද අපි යද්දිත් සින්දුමීලාගේ රෙජිස්ටේශන් එක ඉවර වෙලා. එතන කැම්පස් එකේ ළමයි කීපදෙනෙක් හිටියා. සින්දුමීගේ අර යාලුවෝ හතරදෙනත් හිටියා. එයාලා එක්ක මගේ ඒතරම් ආස්‍රයක් තිබුණේ නැති නිසා මං එදා ඒක එච්චර හිතුවේ නෑ. එතන විස්තර වලට අපේ නම් ,ගම් ඩීටේල්ස් ලියද්දියි මං එතන සින්දුමීගේ නම ලියලා තියනවා දැක්කේ. ඒත් එයා මැරි කරපු කෙනාගේ නම බලාගන්න මට බැරි උනා. බැරි උනා කියන්නේ මට ඒකට එවෙලේ ඕනකමක් තිබ්බේ නෑ. අනික මම හිටියෙත් සෑහෙන්න ප්‍රෙෂර් එකක. මට ඕනෙ උනේ ඉක්මනට අපේ වැඩේ ඉවර කරලා එතනින් යන්න. අපි එළියට එද්දිත් ඒ කට්ටිය එතන හිටියා. හැමෝම සින්දුමීට විශ් කරන ගමන් හිටියේ. ඒත්.. මට ඒ පැත්ත බලන්නවත් උවමනාවක් තිබ්බේ නෑ. අපි අපේ වැඩේ කරන් එතනින් ඉක්මනට එන්න ආවා. “

සුභාවී විසල් හුස්මක් හෙළා තව දුරටත් ගල් ගැසී බලා සිටිනා මිහිදුමීගේ උවන දෙස බැලුවාය. 

” ඔයාට කියන්න පුලුවන්ද එදා දවස කවද්ද කියලා ?” 

” දෙදාස් අටේ මැයි විසි පහ. “

” හොඳයි රංගී. දැනටමත් පරක්කුයි. තව ගොඩක් වෙලා ඉන්න බෑ. නංගිට තුනයි තිහට ලෙක්චර් එකක්. අපි ආයෙම වෙන දවසක මීට් වෙමු. “

තව දුරටත් එකී සාකච්ජාව තුළ මිහිදුමී හට රැඳී සිටීම අපහසු බව වටහා ගත් සුභාවී එය නිමා කිරීමට සූදානම් වූවාය. 

” ප්‍රශ්නයක් නෑ සුභාවී. ඔයා මට ඕන වෙලාවක් කෝල් කරන්න. “

” අනේ thank you so much රංගි. අපි එහෙනං ගිහින් එන්නං “

රංගිට සමුදුන් සුභාවී තවමත් තදින් අල්ලා සිටින මිහිදුමීගේ අත අතනෑරම වහා මෝටර් රථය වෙත ඇවිද ආවාය. මෝටර් රථය තුළට ගොඩ වැදුණු වහා තරුණිය එතෙක් සිර කර සිටි කඳුළු ගංගාව දෙගොඩ තලා යවමින් බොහෝ වේලාවක් හඬා වැටුණු අතර සුභාවී හදවතින් නැඟ එන ශෝකයෙන් ඈ දෙස බලා සිටියාය. 

” ආන්ටි විශාඛා කියන කතාව එක අතකට හරි නංගි. මේක හාර හාර හොයන්න ගිහිල්ලා අවසානේ මෙච්චර කල් තිබුණේ නැති දුක් කරදර ගොඩකට මූණ දෙන්න වෙයිද දන්නෑ. ?” 

සුභාවීගේ පැනයට පිළිතුරක් නුදුන් තරුණිය බොහෝ වේලාවක් යන තුරු දැඩි කල්පනාවක නිමග්නව සිටියාය. 

” අ.. අක්කේ..!” 

බොහෝ වේලාවකට පසුව හදිසියේ මතක් වූ යමක් සිහියට ඒමෙන් ඈ ක්ෂණිකව සුභාවී දෙසට හැරුණාය. 

” අර අක්කා මැරි කලා කියපු ඩේට් එක කවද්ද ?” 

” දෙදාස් අටේ මැයි විසි පහ.”

” සමන් දෙයියනේ…!” 

මිහිදුමීගේ වතෙහි තැවරුණු විශ්මයානුකුල බව නිසාම සුභාවී මෝටර් රථය මාර්ගයේ පසෙක නවතා ඈ දෙස බැලුවාය. 

” ඇයි ?” 

” හරියටම ඊට දවස් හතරකට පස්සෙයි මින්දුලා සුයිසයිඩ් කරන් තියෙන්නේ. “

තිගැස්සුණු සුභාවී වචන රහිතව ඇගේ මුව දෙස බලා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here