” දුමී..! මං ආයෙම කියනවා. ඔයා ඔය දේ කළාට කමක් නෑ වගේම නොකළා කියලා වෙන අමුතු දේකුත් නෑ. මේ ලෝකේ අපි වටේ සිද්ධ වෙන හැම දේටම හේතු කාරණා අවශ්‍ය නෑ දරුවෝ. සමහර දේවල් සිද්ධ වෙන්නේ ඉබේටම. අපේ ජීවිත වල පුරවගන්න හිස්තැන් අනන්ත අප්‍රමාණ තියෙන්න පුලුවන්. ඒ හැම එකක්ම පිරවිය යුතුයි කියලා නීතියක් නෑ. මේ ලෝකේ සර්ව සම්පූර්ණ මිනිස්සු කොහෙවත් නෑ. අඩුපාඩු තිබුණා කියලා මනුස්ස ජීවිතේ වටිනාකම නැති වෙන්නෙත් නෑ. වැරදි වෙච්ච තැන් හොයාගෙන ගියාට කමක් නෑ. ඒත්.. ඔයාගේ ඇඟට ඒ වැරදි වල හුළඟක්වත් වැදෙන්න ඉඩක් තියාගන්න එපා දරුවෝ. එහෙම උනොත් අපි මේ කරපු කිසිම දේක වැඩක් නැති වෙනවා. “
” මට තේරෙනවා අම්මා..”
” හ්ම්ම්.. සුභාවි බලන් ඇති. ගිහින් ඇවිල්ලා මට කෝල් එකක් දෙන්න. සුභාවි ඔයාට ලොකේශන් එක දැම්මා කිව්වනේ. පරිස්සමින් වාහනයක් බුක් කරන් යන්න. “
” සුදු අයියා මාව ගිහින් දාන්නං කිව්වා අම්මා. “
” හා.. එහෙනං. සමන් දෙයියන්ගේ පිහිටයි දරුවෝ..!”
” දුමී…!”
පහත මහලෙන් ඇසුණු අෂ්මිලගේ හඬට වහ වහා ගමන් මල්ලද රැගෙන නිදන කාමරයෙන් පිටතට ආ තරුණිය තරප්පු පෙළ දිගෙහි වේගයෙන් දිව ගියාය.
” කොහෙද ඒ ගියේ ?”
අෂ්මිලගේ මෝටර් රථය ගේට්ටුවෙන් පිටතට ගොස් නොපෙනී යන තුරු බලා සිටි මහීකා ලඟ ලඟම ඇසුණු හඬට තිගැස්සී ගියාය.
” හොල්මනක් වගේ ලොකූ. බය කරන්නෙපා ඔහොම. “
පුත්‍රයාට එරවූ මහීකා දෑතම ඉණ මත තබා ගත්තාය.
” සුදූට ඇඳුමක් ගන්න යන්න තියනවා කිව්වා. දුමී යාලුවෙක්ගේ ගේක ගියා. “
” කැම්පස් එකේ යාලුවෙක්ද ?”
මුළුතැන්ගෙය වෙත අඩි තැබූ මහීකා සිහින් කර ගත් දෑසින් නැවතත් පුත්‍රයා දෙස බැලුවාය. නමුදු ඔහුගේ දෑස තවමත් රැඳී තිබුණේ ගෙමිදුලේය.
” නෑ මං හිතන්නේ “
” එහෙනං කවුද ?”
එවර පූර්ණ වශයෙන්ම පුත්‍රයා දෙසට හැරුණු මහීකා තමාට වඩා බොහෝ උස් සිරුරක් සහිත හැඩිදැඩි තරුණයාගේ උවන දෙස මුහුණ ඔසවා මඳ වේලාවක් බලා සිටියාය.
” කවුරුහරි ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. “
” කොහෙද ඉන්නේ ?”
එවර තව දුරටත් දෑස සිහින් කර ගත් ඕ දෑතම ළැම මත බැඳ කිසිදිනක දැක නොතිබුණු පුත්‍රයාගේ ප්‍රශ්න විචාරය දෙස එක දිගට බලා සිටියාය.
” ෆ්ලවර් රෝඩ් එකේ. “
” ආපහු එනවා කිව්වේ කීයටද ?”
” ඔයාට මොකටද ඒක ?”
එවර තරුණ දෑස තිගැස්සී ගිය අතර තරුණියගේ භාෂාවෙන් පැවසුවහොත් වැළපෙනා දෑස ඉහල තිබූ දෙබැමද මඳක් එසවී ගියේය.
” යන එන තැන් ගැන හොයලා බලන්න අම්මා. මහවලතැන්නලා විශ්වාසයක් ඇතුවනේ මෙහෙ නතර කරන්න ඇත්තේ “
නැවත වතාවක් මවගෙන් උවන සැඟවූ ඔහු තරප්පු පෙළ දෙසට අඩි තැබුවේය.
” ලොකු මහත්තයා ඒ පාර මොකාටද මේ එන්න හදන්නේ කවදාවත් නැතුව..?”
තරප්පු පෙළ නැඟ යන පුත්‍රයා දෙස තව දුරටත් සිහින් වූ දෑසින් බලා සිටි මහීකා තමාටම මුමුණා ගත්තාය.
” මට මේ මොන මඟුලක් වෙලාද ? එයා කොහෙ ගියාම මට මොකෝ ?”
තරප්පු පෙළ නැඟ නිදන කාමරයට පැමිණි තරුණයා කලබලකාරී හදවතට උවමනාවෙන්ම තරවටු කරමින් සිටියේය.
****************************************
” ගෙදර අංකේ මොකද්ද නංගි ?”
” 127/ A / 2 “
” ආ.. අර ඉස්සරහා ගෙදර. “
අෂ්මිල තාප්පයකින් වටවූ දෙමහල් නිවස ඉදිරියේ මෝටර් රථය නතර කළ අතර මිහිදුමී වහ වහා ඇමතුමක් ලබා ගත්තාය.
” ආ.. හරි මේක තමා. “
තරුණියගේ ඇමතුමෙන් පසුව විවර වූ ගේට්ටුවෙන් පිටතට ආ තරුණියක් මුව පුරා සිනහවක් නඟමින් මෝටර් රථය දෙසට ඇවිද ආවාය.
“යනවා සුදු අයියේ. තෑන්ක්ස් හොඳේ.. “
” හරි. ඕකේ. මං හතර වෙද්දි එනවා.”
” ඔයාට වැඩ තියනවනං මං ට්‍රයිශෝ එකක් දාන් එන්නං අයියේ.. “
” නෑ.. නෑ.. ඕනෙ නෑ. මං එනකන් ඉන්නවකෝ..”
” හා. බායි..”
මෝටර් රථයෙන් බැස ගත් මිහිදුමී වෙත පැමිණි තරුණිය පෙර වූ සිනහවෙන්ම ඈව වැළඳගත් අතර ඔවුන් දෙදෙනා දෙස බැලූ අෂ්මිල මඳ සිනහවක් තවරා ගනිමින් මෝටර් රථය යළි හරවා ගත්තේය.
” අනේ.. ඔයා හරිම ලස්සනයි පැටියෝ..”
සුභාවි සමරසේකර එසේ පවසමින් නැවත වතාවක් මිහිදුමී මහවලතැන්නව වැළඳ ගත්තාය.
” ඔයත් අක්කේ.. ! අපේ මාමා අහු නොවී තියෙයිද ඉතිං ?”
” ආ.. හම්බ උනු පළවෙනිම දවස උනාට මෙයා ඔක්කොම ඕප දූප ටික හොයාගෙන ඇවිත් තියෙන්නේ. “
එසේ පැවසූ සුභාවී තරුණියගේ අතින් අල්ලාගෙනම නිවසට ගොඩ වැදුණාය.
” අක්කා තනියමද ඉන්නේ ?”
” අද දුවට ක්ලාස් එකක් නංගි. අපේ පුංචිලාගේ ගේ ලඟමයි තියෙන්නේ. අම්මා දූවත් ක්ලාස් එකෙන් එක්කන් අපේ පුංචිලාගෙ ගෙදර යනවා කිව්වා. නෝමලි නිවාඩු දවසේ දුවව ක්ලාස් ගෙනියන්නේ මම. අද ඔයා එනවා කියපු නිසා අම්මත් එක්ක යැව්වා. අපි දෙන්නට එතකොට නිදහසේ කතා කරන්න පුලුවන්නේ. “
ඉතා සුවදායී හා සැනසිලිදායක නිහඬ ස්වරූපයක් ගත් සුභාවිගේ නිවස වටා දෑස කැරකවූ මිහිදුමී ඈ පෙන්වූ සුව පහසු සෝපාවට බර වූ අතර ඉක්මනින්ම සූදානම් කර තිබූ කෙටි ආහාර කිහිපයක් හා පළතුරු බීම වීදුරු ද්විත්වයක්ද අතැතිව පැමිණි සුභාවී එය තරුණිය ඉදිරියේ තිබූ ටීපෝව මත තබා අසුනකට බර වූවාය.
” ඉතිං කොහොමද කැම්පස් එක ?”
” හොඳයි අක්කේ. “
” රැග් කරන්නේ නෑනේ ?”
” පොඩි පොඩි ඒවානං තියනවා. ලොකුවට නෑ. “
” ඒක හොඳයි. ආන්ටි විශාඛා කතා කරලා කිව්වම ඔයාට මාව මීට් වෙන්න ඕනේ කියලා මට පුදුම සන්තෝසයක් දැනුණෙ අනේ. ඉතිං භරණ දන්නවද මෙහෙ ආවා කියලා ?”
පිළිතුරු දෙනු වෙනුවට ඈ ප්‍රථමව හිස දෙපසට සළා නැත යැයි පැවසුවාය.
” අක්කා කොයි හොස්පිට්ල් එකේද ?”
” කළුබෝවිල නංගි “
” ආ.. අර මාව ඇරලවන්න ආපු අයියාත් ඩොක්ටර් කෙනෙක්. එයා KDU එකේ. “
” ආ. එහෙමද ? මොකද්ද නම ?”
” අෂ්මිල . අෂ්මිල විජේසිංහ.”
” භරණ එන්න තව ගොඩක් කල් තියනවද නංගි ?”
” මං හිතන්නේ මාස තුන හතරක් වගේ තියනවා. මට මෙහෙ කැම්පස් එකෙන් ආවම අම්මාට මුලින්ම මතක් උනේ ඔයාව. අම්මා ඒත් මට කිව්වා ඔයා ලඟ මාව නවත්තන්න තිබුණානං එයා ලඟ ඉන්නවා වගේම තමයි කියලා. “
” ආන්ටි විශාඛා හරි හොඳ ගෑනු කෙනෙක් නංගි. මගේ අවාසනාවට ඒ වගේ කෙනෙක් එක්ක එකට ඉන්න බැරි උනේ. “
සුභාවීගේ මුවින් විසල් සෝ සුසුමක් පිටවිණි. දයාබරිත බැඳීම් අතහැරීමේ වේදනාව ඈ ඉදිරියේ සිටිනා තරුණිය හා අමුතුවෙන් පැවසීමට කාරණයක් නොවුණු අතර ඈද මොහොතකට ගොළු වී සිටියාය.
” අක්කාගේ හස්බන්ඩ් ?”
” මං කොළඹ ආවේ ඩිවෝස් වෙලා නංගි. අපේ උවමනාවට හරි වෙන කාගෙහරි උවමනාවල් වලට හරි කසාද බැන්ඳා වගේ නෙමෙයි ඒවා නඩත්‍තු කරන්න ගියාම සෑහෙන අමාරු වෙනවා. කාගෙවත් ජීවිත වලට බලෙන් ඇතුල් වෙන්නවත් , බලෙන් තියාගන්නවත් අපිට පුලුවන් කමක් නෑනේ. අතෑරීමෙන් සැනසීම ලැබෙනවා කියන එක මගේ වාසනාවකට මගේ හස්බන්ඩ් තේරුම් ගත්තා. ඉතිං කාටවත් කරදර නොකර අපි දෙන්නා වෙන් වුණා. දුවව මං ගත්තා. සමහර වෙලාවට ජීවිතේ හරි අමාරුයි. දැන් නිදහස් කියලා හිතුවට ඒක එහෙම්මමත් නෑ. දූගේ වගකීම් තියනවනේ. එයාව බලාගන්න ඕනේ. උගන්නන්න ඕනේ. මොනා කරන්නද ඉතිං “
නිහඬවම තමා දෙස බලා හිඳිනා රුවැති තරුණිය දෙස බැලූ සුභාවී යළිත් මඳ සිනහවක් නැඟුවාය.
” අම්මා සෑහෙන්න ට්‍රයි කළා මාමට මැරේජ් එකක් කතා කරන්න. “
මොහොතක් නිහඬව සිටි මිහිදුමී යළිත් කතාවට අවතීර්ණ වූවාය.
” මං දන්නවා. භරණ එක්ක කතා කරන එක නතර කරාට මං ආන්ටි එක්ක කතා කරන එක නතර කළේ නෑනේ නංගි. ආන්ටි විශාඛා කතා කරන සමහර වෙලාවල් වලදි ඔය ගැන මාත් එක්ක කියලා තියනවා. ඒ මනුස්සයත් පව්. එයාට දැන් තියන එකම සැනසීම ඔයා. එක කෙනෙක්ගේ දරා ගැනීමේ ශක්තිය බිඳිලා ගිය නිසා ජීවිත කීයක්නං ආපහු හැරෙන්න බැරි තරමටම වෙනස් උනාද නංගි. මුල් දවස්වල මට මින්දුලා එක්ක ලොකු තරහක් තිබ්බා. එයාගේ හොඳම යාළුවා උනේ මම. මට එයා එක්ක ඉන්න බැරි උනේ බෝඩිමේදි විතරයි. මං කැම්පස් යනකොට නතර වෙලා හිටියේ මගේ පුංචිගේ ගෙදර. මින්දුලා හිටියේ බෝඩිමක. එතනදි විතරයි නංගි මට එයාව මඟෑරුණේ. අනිත් හැම වෙලාවකදිම මං එයත් එක්ක හිටියා. මං මගේ හැම දෙයක්ම කතා කළේ එයත් එක්ක. මගේ හොඳම යාලුවා උනේ එයා. එච්චර ලඟින් හිටපු මට එයා එයාගේ හිතේ තිබ්බ දේවල් කිව්වේ නෑ. ප්‍රශ්නයක් උනා නං , ඒක මට කිව්වනං මේ දේවල් මෙහෙම වෙන්නෑ , භරණව මට නැති වෙන්නෑ කියන කාරණේ උඩ මං කාලයක් යනකන් සෑහෙන්න තරහකින් හිටියේ. “
” ඇත්තටම මින්දුලාට මොකද උනේ අක්කේ ?”


