” නයෙක් උනාම ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු ඔයාව දරමිටි බඳින්න ගන්නවා ”
රිහාන් ඉතා බැරෑරුම් ලෙස තමාට එසේ කීවේ මීට පැයකට පමණ පෙරය. ස්ටුඩියෝවේදී එම වචන ඉදිරියේ තමා හඬ නගා සිනාසුනද එම වචන වල වූ ගැඹුරු බව දැනෙන්නේ දැන්ය. තමා පමණක් ජීවත් වන කුඩා නිවස තුළට සපැමිණි විට බොහෝ දේවල්හි ඇති ගැඹුරු බව නිරායාසයෙන්ම දැනෙන බැවින් ජීවිතය පිළිබඳව සිතන්නට බොහෝ දේ ඇතත් නොසිතා ඉන්නට තමා වෙර දැරිය යුතුව ඇත.එසේ නොවුනහොත් වන්නේ එහි කෙළවර වේදනාකාරී වීමය.
සෝෆාවට බර වූ ශෙනෝලි මොහොතකට දෑස් පියා ගත්තාය. බොහෝ තැන් වලදී නිහඬ පුද්ගලයකු වන රිහාන් හඬ අවදි කරන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණි. ඔහු යමක් කියනවා නම් කියන්නේද බොහෝ දුරදිග සිතා බැලීමෙන් පසුවය. ඔහු යමක් පවසන්නට ඇත්තේ ද ඒ නිසාය.
අත් බෑගය තුළ වූ රාජකාරී දුරකථනය තුළින් හඬක් නැගිණි. ශෙනෝලි බෑගය හැර එය පිටතට ගෙන පරීක්ෂා කළේ උවමනාවකින් නොවේ. නුවර එළියේ සංගීත උළෙලට අදාල සම්පූර්ණ විස්තර ඇතුළත විස්තර පත්‍රිකාවක් තමා ඊමේල් පණිවිඩයක් හරහා යවා තිබියදී මේඝ විසින් එහි වැඩිදුර විස්තර දන්වා එවන්නැයි ශෙනෝලි හට එවා තිබුණු අතර ශෙනෝලි එම පණිවිඩය දෙස විනාඩි කිහිපයක් බලා උන්නේ විස්තර පත්‍රිකාවේ ඇතුළත් කර තිබුණු දුරකථන අංක අමතා පහසුවෙන් විස්තර ලබා ගැනීමට හැකියාව තිබියදී එයද තමා පිට පවරන්නට මේඝ දරනා උත්සාහය පිළිබඳව සිතමිනි.
පණිවිඩය දෙස බලා සිටි ශෙනෝලි ප්‍රථම වතාවට එය නොතකා හැරියාය.දුරකථනය නැවත බෑගය තුළටම දමා දෑස් පියා ගත් ඇය මේ මොහොතේ පටන් වත් තමා වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි කල්පනා කලාය.එකෙහෙණිම යමක් සිහියට නැගිනි. තමා වෙනුවෙන් මෙවැනි පියවරක් තැබීම සඳහා තමා දිරිගැන්වූයේ රිහාන්ගේ වචන නොවේද?
“Looks like someone finally noticed ”
ශෙනෝලි තමා වෙතම මුමුණා ගත්තාය.
රිහාන් නැවත නිවසට පැමිණෙන විට අඳුර වැටෙමින් තිබිණි.ඒ වන විට රොහාන් එදිරිසිංහ ද නිවසට පැමිණ සිටි අතර ඔහු උන්නේ සඟරාවක පිටු එහා මෙහා කරමිනි.
” රෑ වෙලා ඇයි පුතා ? ”
රොහාන් සඟරාව පසෙක තැබුවේය. රිහාන් ගිටාරය ප්‍රවේසම් සහිතව පසෙක තබා වාඩිවූයේ රොහාන්ට මුහුණලාය.
” practice තිබ්බනේ තාත්තා. ඊට පස්සේ එන ගමන් යාලුවෙක් හම්බ වෙන්න ගියා ”
රිහාන් උන්නේ වෙහෙසිනි. එහෙත් දවස අවසානයේදී තාත්තා සමඟ කෙරෙන මේ කතා බහට ඔහු කොහොමටත් අකමැත්තක් දැක්වූයේ නැත.
” බෑන්ඩ් එකෙ වැඩ කොහොමද පුතා ? ”
රිහාන්ට උවමනා වූයේ ඇත්ත තත්වය තාත්තාට පැහැදිලි කරන්නට වුවත් විසඳා ගත හැකි තත්වයේ ප්‍රශ්න උග්‍ර කරවන්නට ඔහුට උවමනා වූයේ නැත.
” අවුලක් නෑ තාත්තා.ඔන්න අද නුවරඑළියේ මියුසික් ෆෙස්ටිවල් එකකටත් ඉන්විටේශන් ඇවිල්ලා තිබ්බා ”
” එතකොට ශෙනෝලි ? ”
රිහාන් පුදුම වූයේය. වෙනදාට නම් අලුත් අවස්ථාවක් පැමිණි විගස සියල්ලටම වඩා උනන්දු වන තාත්තා අද එයද පසෙකලා විමසන්නෙ ශෙනෝලි ගැනය.
” ඇයි තාත්තා ඔක්කොටම කලින් එයා ගැන අහන්නේ ? ”
” ගංගානාත් ගේ දුව කියන්නේ මට තියෙන වගකීමක් විතරක් නෙමෙයි පුතා. ඒ ළමයා ලොකු වෙන හැටි මං මං මගේ ඇස් දෙකට දැක්කා. එයාට එයාගේ අම්මයි තාත්තයි නැතිවෙනකොට එයාට එයාවත් නැති වෙයි කියලා මම බය වුණා. මං ඔයාගේ බෑන්ඩ් එකේ ඔය responsibility එක එයාට දුන්නෙ එයාට ඒක කරන්න පුළුවන් බව දන්න නිසා. අනිත් එක එයාව දකින හැම පාරම මට මතක් වෙන්නේ ගංගානාත් එයාගේ තරුණ කාලෙ ඉඳලම මගේ කම්පැනි එක වෙනුවෙන් මහන්සි වෙච්ච හැටි. ඒ උත්සාහය අද මං එයාගෙ දුවගෙන් දකිනවා.කවුරු හරි කෙනෙක් මම නිසා උත්සාහයෙන් තමන්ගෙ දෙපයින් නැගිටලා ඉන්නවා දකිනකොට දැනෙන සතුට කියන්න වචන නෑ පුතා ”
ශෙනෝලි ගේ උත්සාහවන්ත බව පිළිබඳව තමාට අමුතුවෙන් පැහැදිලි කළ යුතුව නැත. ඇගේ කඩිසර බව,කණ්ඩායම වෙනුවෙන් ඇති ලැදියාව සහ අනුන්ගේ වගකීම් පවා දැරීමේ හැකියාව සිහි වී රිහාන්ගේ මුහුණට එකතු වී තිබුණේ බැරෑරුම් පෙනුමකි. රොහාන් ඒ පෙනුම, ඒ බැරෑරුම් බව සැණෙකින් හඳුනා ගත් නමුත් කිසිවක් කියන්නට ගියේ නැත.
බොහෝ වෙලා දෑස් පියා හිඳීමෙන් අනතුරුව ශෙනෝලි සෝෆාවෙන් නැගී උන්නාය. ඒ වන විට රාත්‍රී දහය පමණ වූ නිසා ශෙනෝලි සූදානම් වූයේ ස්නානය කර නින්දට යන්නටය. අත් බෑගයද අතට ගෙන නිදන කාමරය වෙත යන්නට දෙපා එස වූ ඇගේ දෙපා නතර වූයේ සාලයේ එක් බිත්තියක එක පොකුරට එල්ලා ඇති කුඩා ඡායාරූප කිහිපය දැකය.
ශෙනෝලි ඉදිරියට තැබූ පය නතර කර ගෙන නිසොල්මනේ බිත්තිය දෙස බලා උන්නාය. එම ඡායාරූප ගොන්නේ වූ පළමු ඡායාරූපය වූයේ තමාගේ පළමුවෙනි උපන්දින සාදයේදී තාත්තා විසින් තමාට කේක් කවන ඡායාරූපයකි. නැවත එළඹෙන කිසිදු උපන්දිනයක දී නොපැමිණෙන එම අවස්ථාව පිළිබඳ සිතමින් ශෙනෝලි ගේ දෑස් වලට කඳුළු පැමිණියේ අනාරාධිතවය. තමාට සහෝදරයකු හෝ තිළිණ කර නොයාම පිළිබඳව අම්මා සහ තාත්තා දැන් සිටිනා තැනක සිට කම්පා වනවා ඇත. එසේ කවුරුන් හෝ උන්නානම් මේ මොහොතේදී තමාට දැනෙනා මේ තනිකම නොදැනෙන්නට තිබිණි. එසේ නැතිනම් සිනාසෙන්නට හෝ අඬන්නට හෝ තිබිණි.
රිහාන් දුරකථනය පරීක්ෂා කරමින් යහන මතට වී උන්නේය. දින හතරකට පෙර පැවැත්වුණු ප්‍රසංගයේ ඡායාරූප , ඡායාරූප ශිල්පියා විසින් whatsapp හරහා එවන ලද්දේ ඒ මොහොතේදී ය. ආඩම්බරය මුසු වූ හැඟීමකින් එම ඡායාරූප එහා මෙහා කරමින් බැලූ රිහාන් ඒවායින් හොඳම කිහිපයක් තෝරා ගෙන මුහුණු පොතට එකතු කළේය.
ඊට පෙර මුහුණ පොතට එකතු කරන ලද ඡායාරූප වලට බොහෝ තරුණියන් විසින් අදහස් එකතු කර තිබිණි. සමහර තරුණියන් විසින් එවන ලද පණිවිඩ කියවන්නට වත් රිහාන් උනන්දු නොවූයේ කාලයක් නොවූ නිසාම නොව උපතින්ම සතු වූ කුමක්දෝ ආඩම්බර කමක් නිසාය. කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වූ අශේන්ටත් වඩා බේස් ගිටාර් වාදන ශිල්පියා වූ තමා තරුණියන්ගේ අවධානය දිනා සිටීම කාටත් නොරහසක් වූ තැන ඒ පිළිබඳවද රිහාන් උන්නේ තරමක ආඩම්බරයකිනි. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ තමන්ගේම ගමනක් සාදා ගැනීම මිස අශේන් සමඟ තරඟයක් පවත්වා ගැනීම නොවේ.
පසුගිය ප්‍රසංගයට පෙර සූදානම් වූ ආකාරය සහ පුහුණු වීම් අතරතුරදි ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන කිහිපයක එකතුවක් මේඝ විසින් යූටියුබයට එකතු කර තිබිණි.එය නරඹන අතරතුර රිහාන් ගේ මුහුණට සිනහවක් එකතු වූයේ රස මතක සිහි වීමෙනි. එහිද බොහෝ තැන් වල අතිශය කාර්‍යබහුල වී හුන් ශෙනෝලි ඇතුලත් දර්ශන රිහාන් නැවත නැවත නැරඹුවේ ඉතා ඕනෑ කමිනි.
යමක් සිහි වූ පසුව තප්පර කිහිපයකට නතර වූ රිහාන් මොහොතක් කල්පනා කර අනතුරුව දෙවරක් නොසිතා දුරකථනයේ වූ ශෙනෝලි ගේ පෞද්ගලික අංකය අමතා බලා උන්නේය.
රිහාන් ගේ ඇමතුම පැමිණෙන විට ශෙනෝලි උන්නේ දිය නා පැමිණ හිස කෙස් වියලනයෙන් කෙටි කොණ්ඩය වියලමිනි. දුරකථනය නාද වන හඬ පරදා හිස කෙස් වියලනයේ ශබ්දය නැගුනු බැවින් රිහාන් ගෙන් පැමිණ තිබූ ඇමතුම් දෙක ශෙනෝලි දුටුවේ විනාඩි දහයකටත් පමණ පසුවය. සාමාන්‍යයෙන් මෙවැනි වේලාවල් වලදී රිහාන් වැන්නෙකු දුරකථන ඇමතුම් ලබා නොගන්නා නිසා එය හදිසි කාරණාවක් සම්බන්ධයෙන් යැයි සිතමින් ශෙනෝලි නැවත ඔහු ගේ අංකය ඇමතුවාය.
” කියන්න රිහාන්. සොරි මට කෝල්ස් මිස් වෙලා”
රිහාන් යමක් කියන්නට හෝ අසන්නට පෙර ශෙනෝලි කීවේ සමාව අයදින ස්වරයෙනි .
” කෑවද ශෙනෝලි ? ”
ශෙනෝලි මොහොතකට ගල් ගැසී දුරකථනය කණට තද කර ගෙන බලා උන්නාය. මෙය කිසිදා රිහාන් විසින් අසනා ආකාරයේ ප්‍රශ්නයක් නොවේ. එය සරල ප්‍රශ්නයකි. එහෙත් එහි ඇත්තේ තමාට කිසි දිනක මේ නිවස තුළින් නෑසෙන ආකාරයේ සොයා බැලීමකි.
ශෙනෝලිගේ වෙහෙසකර දෑස් වලට කඳුළු උනා ආවේ සෙමෙනි.
” ඇ… ඇයි ඔයා එහෙම ඇහුවේ රිහාන් ? ”
ශෙනෝලි ඇසුවේ අසන්නට බලාපොරොත්තුවෙන් නොවේ. එය පිටවූයේ ඉබේටමය.රිහාන් තප්පර කීපයක් නිහඬව සිට හුස්මක් ගත්තේය.
“Because someone should.”


