” ශෙනෝලි ඩිනාරා විජේදාස ” බොරලැස්ගමුවේ Urban Pearl Residencies හි තෙවන මහළේ පිහිටි නිවහනෙහි සුවපහසු නිදන කාමරයෙහි යහන මත උන්නේ ලැප්ටොප් පරිගණකයට සහ ජංගම දුරකථන දෙකට මැදි වීය.laptop පරිගණකයෙහි තිරයෙහි දිස්වී ඇති සතියක කාල සටහනත්, වරින් වර නාද වන ජංගම දුරකථන දෙකෙහි පණිවිඩ කෙරෙහිත් අවධානය යොමු කරමින් ශෙනෝලි අතිශය කාර්යබහුල උදෑසන වරුවක් පසු කරමින් උන්නාය.
ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායමක් වන 5th Avenue හී ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශෙනෝලි සේවයට එක් වූයේ මීට අවුරුදු දෙකකට පමණ පෙරය.ඒ, ” රොහාන් එදිරිසිංහ ” නම් වූ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ හැඳුනුම්කමක් මත වූ අතර ඔහුගේ එකම පුතු වූ ” රිහාන් නිර්මාල් එදිරිසිංහ ” ද බේස් ගිටාර් ශිල්පියා ලෙස එම සංගීත කණ්ඩායමේ සාමාජිකත්වය දැරුවේය.
ව්‍යාපාරික පවුලකින් පැවතුනද තම පුතු වැඩි වශයෙන් දස්කම් දැක්වූයේ සංගීතයට බැවින් එවැනිම තරුණයන් කිහිප දෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය කල සංගීත කණ්ඩායමට මුදල් ආයෝජනය කරන්නට රොහාන් එදිරිසිංහ දෙවරක් නොසිතුවේය.
වසර ගණනාවක් පුරා තම ව්‍යාපාරය වෙනුවෙන් කැපවුණු ” ගංගානාත් විජේදාස ” සහ බිරිඳ හදිසි අනතුරකට ලක්ව මිය යාමෙන් පසුව එවකට විසි හය වන වියෙහි පසුවූ ඔවුන්ගේ එකම දියණිය වූ ශෙනෝලිගේ ජීවිතයේ වගකීම රොහාන් විසින් භාර ගන්නා ලද්දේ ස්ව කැමැත්තෙන්ය. ඇයව ස්වාධීන තරුණියක බවට පත් කිරීම අරමුණු කොට ගෙන තම පුතු වෙනුවෙන් නිර්මාණය කළ සංගීත කණ්ඩායමෙහි ප්‍රධාන සම්බන්ධීකාරක තනතුරද රොහාන් විසින් ඇයට පිරිනමන ලද්දේ ඒ අනුවය.
” ගංගානාත් කියන්නේ මට හිටපු අවංකම පරණම සේවකයන්ගෙන් එක්කෙනෙක්. මටත් දරුවෙක් ඉද්දි මට ඔයාට තනි වෙන්න ඇරලා අහක බලාගන්න බෑ පුතේ “
දෙමව්පියන්ගේ අභාවයෙන් පසුව පියවරෙන් පියවර ජීවිතය ගොඩනඟා ගත් ශෙනෝලි තම වෘත්තීය වෙනුවෙන් දිවා රෑ නොතකා වෙහෙසුනාය. සංගීත කණ්ඩායමෙහි කළමනාකරු වූ ” මේඝ හේවගේ ” සතු වූ වගකීම් ද ඇතැම්විට සපුරාලමින් ශෙනෝලි සංගීත කණ්ඩායමේ අනාගතය සහ දියුණුව උදෙසා කැපවී සිටීම නිරන්තරයෙන්ම ඇය දන්නා හඳුනනා සියලු දෙනාගේම පැසසුමට ලක් විය.
5th Avenue හී ප්‍රධාන ගායකයා ලෙස තරුණ පරපුරේ ජනප්‍රිය ගායකයකු වූ ” අශේන් කෞශල්‍යය ” එක් වී උන්නේ සහභාගී වන සෑම සංගීත ප්‍රසංගයක්ම අතිශය සාර්ථක කර ගැනීමට විශාල සහයෝගයක් දක්වමින් වූ අතර සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුතු වූ කණ්ඩායමෙහි වේදිකාවෙහි අස්සක් මුල්ලක් නෑරම තරණය කරන, සමාජ මාධ්‍ය කලඹමින් සංගීත කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයා වූයේද ඔහුය.
මේ සියලු දෙනාගේම කොඳු නාරටිය බවට පත්ව උන්නේ ශෙනෝලිය. පෙර පුහුණුවීම් පැවැත්වෙන දිනයන්, සංගීත ප්‍රසංග, විදේශ සංචාර යෙදී ඇති දිනයන් , රූපවාහිනී වැඩසටහන් ආදී සියල්ලක් පිළිබඳවම දැනුවත් වී උන්නේද, ඒවා සැලසුම් කළේද ශෙනෝලි විසිනි. නිවසේ රැඳී ඉන්නා කෙටි වේලාවන් වලදී පවා ශෙනෝලි සංගීත කණ්ඩායමේ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කළේ නිවසේ තමා හැර වෙන කිසිවෙක් නොසිටින නිසාත්, ජීවිතය බෙදා හදා ගැනීමට කෙනෙක් හෝ තමා වෙනුවෙන් කියා කෙනෙක් වත් නොසිටින නිසාය.
එක හුස්මට වැඩ කරනා මොහොතක දී ශෙනෝලි ගේ අවධානය බිඳී යන්නේ නිදන යහනට පෙනෙනා දුරින් බිත්තියේ එල්ලා ඇති පවුලේ ඡායාරූපය දුටු විටය. දෙමාපියන්ගේ අහිමි වීම ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ ද වාසනාවකට මෙන් පියාගේ ආයතන ප්‍රධානියා වූ රොහාන් එදිරිසිංහ නොසිටියා නම් තම ජීවිතය කොයි අතකට හැරෙන්නට තිබුණා දැයි සිතන්නට පවා ශෙනෝලි බිය වූවාය.බිඳී ගිය අවධානයෙන් ඇය යළි පියවි ලොවට පැමිණියේ යහන මත තමා තිබූ දුරකථන දෙකෙන් එකක් නාද වන හඬටය
” Good morning මේඝ ”
ඇමතුම පැමිණියේ 5th Avenue හී කළමනාකරු වූ මේඝ ගෙනි.
” ශෙනෝලි. අශේන් අද ෆොටෝ ශූට් එකක් දාගත්තලු හදිස්සියෙම. අපිට ප්‍රැක්ටිස් දාගන්න වෙන්නේ 2 ට විතර ”
මහරගම පිහිටි 5th Avenue Studio හී පවත්වන්නට සැලසුම් කර තිබූ පෙර පුහුණුවීම් දහවල් දොලහේ සිට පැවැත්වෙන බව තමා කණ්ඩායම වෙත දැනුම් දුන්නේ මීට දින දෙකකට පෙරය. එසේ තිබියදී අශේන් විසින් එම වේලාවටම වෙනත් කටයුත්තක් යොදා ගැනීම ශෙනෝලිව තරමක් නොරිස්සුමට පත් කලත් ඔහු බොහෝ විට කණ්ඩායමේ කටයුතු වලට අමතරව කටයුතු යොදා ගැනීම අතිශය සාමාන්‍යය බැවින් ශෙනෝලි හට මේඝ විසින් ගෙන ආ පණිවිඩය අරුමයක් නොවීය.
” මං වට්සැප් ගෲප් එකට මෙසේජ් එකක් දාන්නම් ”
ශෙනෝලි කෙටියෙන් කියා දුරකථන ඇමතුම අවසන් කළාය. එම පණිවිඩය whatsapp හරහා අනෙක් සාමාජිකයන්ට ඉතා පහසුවෙන්ම දැනුම් දීමට හැකියාව තිබියදී මේඝ විසින් එයද තමාටම පැවරීම විහිලු සහගත වුවත් ශෙනෝලි වචනයක් හෝ නොකීවාය.
දහවල් එකට පමණ සූදානම් වූ ශෙනෝලි නිල් පැහැ ඩෙනිම් කලිසමට සුදු පැහැ සැහැල්ලු ටී ෂර්ටයක් හැඳ සුදු සපත්තු යුවළක් පැළඳ ගත්තාය. උරහිස තෙක් පමණක් දිගු වූ ස්ට්‍රේට් කරන ලද හිසකෙස් පීරා ගෙන ශෙනෝලි ලා රෝස පැහැ ලිප්ස්ටික් බිඳක් දෙතොල් වල තවරාගෙන කණ්නාඩිය ඉදිරිපිටට වී ඒ මේ අත හැරී විනාඩි කිහිපයක් ගත කළාය.
” මගේ පුතාගෙ ලස්සන ”
අම්මා ජීවත්ව හුන් කාලයේ ශෙනෝලි කොහේ හෝ යන්නට සූදානම් වන විට ඇය පැමිණ එසේ කියනා ආකාරය සිහිවී ශෙනෝලි ගේ දෑස් අගට කඳුලක් උනා ආවේය.එය පිසදා ගත් ශෙනෝලි නැවත දෑතින්ම කෙටි හිසකෙස් සකස් කර ගත්තාය. දණහිස තෙක් දිගු වී තිබුණු අම්මා විසින් මනාව සාත්තු කරන ලද හිසකෙස් හැලී යන්නට පටන් ගත්තේ ඔවුන්ගේ අභාවයෙන් මාසයකට පමණ පසුව සිටය. එය නඩත්තු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට තරම් මානසිකත්වයක නොසිටි බැවින් ශෙනෝලි එය උරහිස තෙක් කපා දැම්මේ කිසිදු ලෝභකමකින් තොරවය . ඉන් අනතුරුව ඇය කෙරෙන් දිස් වන්නට වූයේ හාත්පසින්ම වෙනස් වූ බටහිර රටක තරුණියකගේ ස්වරූපයකි. අම්මාගේ රූ සපුවට ඒ ආකාරයෙන්ම හිමිකම් කියූ ශෙනෝලි පසුපස බොහෝ තරුණයන් ලුහුබැඳ පැමිණියද ඒ කිසිවකට ඇය ගෙන් පෙරළා ප්‍රතිචාරයක් නොවූයේ ඒ වන විට ජීවිතයේ බොහෝ හිස්තැන් තිබූ බැවිනි.
laptop පරිගණකය සහ ජංගම දුරකථන දෙක ප්‍රවේසමින් අත් බෑගයේ බහා ගත් ශෙනෝලි කුලී ත්‍රීරෝද රථයක් ගෙන්වා ගෙන එයට නැග පිටත් වූයේ පෙර පුහුණු වීම් ආරම්භ වීමට තවත් පැය භාගයක් පමණ ඉතිරිව තිබියදීය. අතර මඟදී හමුවූ අවන්හලකින් ත්‍රීරෝද රථය නතර කරගත් ඇය සියල්ලෝම වෙනුවෙන් කෙටි ආහාර වර්ග කිහිපයක් සහ කෝපි මිලදී ගත්තේ සුපුරුදු පරිදිය.
” ශෙනෝලිව තාම ඉස්කෝලේ යවන්න පුලුවන් “
ශෙනෝලි 5th Avenue Studio හී දොර විවෘත කරගෙන එයට ඇතුළු වන විට ඩ්‍රම්ස් වාදන ශිල්පියා වූ සිහින පැවසුවේ සිනහසෙමිනි.
” මෙයාව ඉස්කෝලේ යැව්වොත් අපිටත් ගෙවල් වල නවතින්න තමයි වෙන්නේ ”
කීබෝඩ් වාදන ශිල්පියා වූ සසිත ප්‍රධාන දොර දෙස බලමින් පැවසුවේ කළමනාකරු වූ මේඝ තවමත් පැමිණ නැති නිසාවෙනි.
” ඇත්තමයි ශෙනෝලි. ඔයා ඔයාගේ responsibilities විතරක් ඔලුවට ගත්තම ඇති. මේඝට ඕන ඕන විදිහට ඔයාව නටවන්න දෙන්න එපා ”
ශෙනොලි අත් බෑගයත් අනෙක් අතෙහි වූ කෙටි කෑම වර්ග පෙට්ටිය සහ කෝපිද ස්ටූඩියෝවේ කෙළවරක වූ මේසයක් මතින් තබා අත් බෑගය තුළ වූ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන දෙක පිටතට ගත්තාය.
” කාටවත් මාව නටවන්න බෑ සිහින. මට ඩ්‍රම්ස් ප්ලේ කරන්න පුළුවන් උනා නං ඔයාට බැරි වෙලාවල් වලදි මං ඒකත් කරනවා. මොකද මේක ටීම් වර්ක් එකක්. අපි හැමෝම වැඩ කරන්න ඕනෙ අපි වෙනුවෙන් ”
” ඒ උනාට මෙතන වැඩිපුරම ස්ට්‍රෙස් එකක් තියෙන්නේ ඔයාට කියලා අපි දන්නවා ශෙනෝලි. ඒක අපිට පේනවා. නොකිව්වට අපි හැමෝම ඉන්නෙ ඒක මේඝට කියාගන්න බැරුව ”
ශෙනෝලි මදහසකින් යුතුව සසිත දෙස බලා laptop පරිගණකය ක්‍රියාත්මක කර සතියේ කාල සටහන දිග හැර ගත්තාය. කළමනාකරු වූ මේඝ හැරුණු කොට කණ්ඩායමේ සාමාජිකයන් පස්දෙනාම තමා කෙරෙහි ළෙන්ගතු වී ඉන්නේ හදවතින්ම බව ශෙනෝලි දැන උන්නාය. කිසිදු ගැටලුවකින් තොරව මේ තරම් කාලයක් මෙම කණ්ඩායම තුළ හිස කෙලින් තබාගෙන තමාට වැඩ කිරීමට හැකි වී ඇති හේතුව එය නිසා තමා ඔවුන් වෙනුවෙන් කැපවී වැඩ කළ යුතුය.
” හායි ”
අඩි හයකට වඩා උස දේහධාරී තරුණයා, කණ්ඩායමේ ආඩම්බරකාරයා සහ තරුණියන්ගේ නොමද ආකර්ෂණය දිනාගත් කඩවසම් තරුණයා වූ රිහාන් නිර්මාල් එදිරිසිංහ ස්ටුඩියෝවට ඇතුළු වූයේ අනතුරුවය.
” අපි හිතුවා උඹත් පරක්කු වෙලා එයි කියලා “
සසිත් කීබෝඩය අසල වූ වයර් කිහිපයක පැටලුම් අරිමින් පැවසුවේ රිහාන් සියල්ලෝම දෙස බලා laptop පරිගණකයට මුහුණ යොමා ගෙන කාර්ය බහුලව හුන් ශෙනෝලි අසලින් වාඩි වන විටය.
” ශෙනෝලි. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ ”

