5th Avenue – 02

0
111

” ඔයා දන්නවද ඔයාගේ ජොබ් රෝල් එක මොකක්ද කියලා ? ” 

රිහාන් එසේ ඇසුවේ බැරෑරුම්වය. ශෙනෝලි  තිරය මත දිස් වී ඇති කාලසටහනෙන් දෑස් මෑත් කරගෙන ‍රිහාන් දෙසට හැරෙනවාත් සමඟම නැවත ස්ටුඩියෝවේ විසල් දොර විවෘත විය. ඉන් පිළිවෙලට අශේනුත් , දුරකථනය කනේ තබා ගෙන කාර්යබහුලව හුන් මේඝත් , කණ්ඩායමේ අනෙක් සාමාජිකයා වූ කවිඳුත් ඇතුල් වූහ 

” සොරි ගයිස්.. ෆොටෝ ශූට් එකට හිතුවට වඩා පොඩ්ඩක් වෙලා ගියා ” 

අශේන් අත වූයේ ප්ලාස්ටික් මූඩියකින් වසන ලද කෝපි කෝප්පයකි.ඔහු කෙලින්ම ඇවිද ගියේ ශෙනෝලි විසින් ගෙන එන ලද කෙටි ආහාර වර්ග කිහිපය බහා තිබූ පෙට්ටිය තබා ඇති මේසය වෙතය.ඒ අතර රිහාන් වාඩි වූ තැනින් නැගිට ඔහුගේ බේස් ගිටාරය පිටතට ගෙන සුසර කිරීමට පටන් ගත්තේ කිසිවක් සිදු නොවූ ආකාරයෙනි. 

අශේන් පේස්ට්‍රියක් ඉවතට ගෙන ශෙනෝලි දෙස බැලුවේය.

” මේවා ගෙනාවේ ඔයා නේද ශෙනෝ ? ” 

ශෙනෝලි අශේන් දෙස බලා යන්තමින් සිනාසි නැවත laptop තිරය වෙත දෑස් යොමු කළාය.අශේන් පේස්ට්‍රියක් ඉවතට ගෙන විත් ශෙනෝලි අසලට විත් වාඩි වූයේ රිහාන් ඇරෙන්නට අන් සියලු දෙනාම බලා සිටියදීය.

” කවදාහරි අපේ බෑන්ඩ් එකේ හැමෝම ලොකු සල්ලිකාරයෝ වෙච්ච දවසට අපි ඔයාට මේ හැම එකටම ගෙවනවා ” 

අශේන් මහා හඬින් සිනාසෙමින් කී අතර අන් අයද ඒ සිනහවට එකතු වූහ.

” ඔයා දැනටමත් ඔය කතාව මට සිය දහස් පාරක් කියලා ඇති අශේන් ” 

ශෙනෝලි ලැප්ටොප් පරිගණකය වසා දමමින් කියා වාඩිවී හුන් තැනින් නැගිට රාජකාරී දුරකථනය අතර ගෙන ස්ටුඩියෝවේ දොර වෙතට පියවර තැබුවේ මොහොතකට ඉන් පිටවන්නටය.

” දවසක ඒක කරලම පෙන්නනවා මං ” 

ශෙනෝලි වරක් පමණක් හැරී බලා දොරෙන් පිට වූ අතර ඇගේ සිනහවට යටින් ගැබ් වී තිබූ වෙහෙසකාරී බව හඳුනා ගන්නට රිහාන් අසමත් වූයේ නැත.

” ශෙනෝලිගේ වර්ක් ලෝඩ් එක වැඩියි ” 

රිහාන් ගිටාරය කරේ එල්ලා ගෙන නැගී සිටි අතර දුරකථනය වෙත අවධානය යොමු කරගෙන සිටි මේඝ රිහාන් වෙත පැමිණියේ පුදුමයෙනි.

” මොකද්ද බං ඒ කතාව ? ” 

රිහාන් පිළිතුරු දෙන්නට ඉක්මන් වූයේ නැත. අශේන් සැහැල්ලු ලෙසින් මයික්‍රොෆෝනය ගෙන එය රැඳවුමේ රඳවමින් ගීයක් මිමිණු අතර අන් තිදෙනාම බලා උන්නේ මේ කතාබහ කොතනින් හෝ පටන් ගන්නා තුරුය.

” ආ රිහාන් ? මොකක්ද උඹ ඒ කියපු කතාවේ තේරුම ? ” 

” ශෙනෝලි 24 hours වගේ වැඩ කරනවා. එයා කොඩිනේටර් වුනාට සමහර වෙලාවට උඹ කරන්න ඕනේ ඒවත් කරනවා නේද ? ඒක උඹ නෑ කියනවද මේඝ ? ” 

” අඩෝ එහෙම එකක් නෙමෙයි රිහාන්. ශෙනෝලි හැමදේම පිළිවෙලට වෙලාවට කරනවා. එයා කවුරුත් කරනකන් බලන් ඉන්නෙ නෑ නේ. මං එයාට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා ” 

රිහාන් නිහඬව උන්නා මිස කිසිවක් කියන්නට ගියේ නැත. අවස්ථාව එළඹි මොහොතේදී සියල්ලන් වෙනුවෙන් කැපවෙනා ශෙනෝලි වෙනුවෙන් යමක් කිව යුතු යැයි සිහිනද සිතුවේ නොපැකිලවය.

” උඹ සපෝට් කරනවා කියලා අපි දන්නවා.හැබැයි ඉතින් කොල්ලෝ හයදෙනෙක් එකතු වෙලා කෙල්ලෙකුට මෙච්චර වර්ක් ලෝඩ් එකක් දෙන එක හරි නෑ මචන් ” 

ශෙනෝලි දොර විවෘත කරගෙන ස්ටුඩියෝවට ඇතුළු වූයේ සිනාමුසු මුහුණෙනි. කිසිදු කතාබහක් සිදු නොවූ ආකාරයට සියලු දෙනාම ඒ ඇය වෙතටය 

” ලබන මාසේ නුවරඑළියේ music festival එකේ එක දවසක් අපිට ප්ලේ කරන්න තියෙනවා ” 

දින පහක් පුරා නුවරඑළියේ පැවැත්වෙන සංගීත උළෙල සඳහා ආරාධනා ලබන්නේ රටේ ප්‍රමුඛ පෙලේ සංගීත කණ්ඩායම් පහක් පමණි.එබැවින් මෙය තම සංගීත කණ්ඩායම වෙත ලැබෙනා අතිශය අගනා අවස්ථාවකි. ඊටත් වඩා කොළඹින් පිටත ප්‍රදේශවල පැවැත්වෙන සංගීත ප්‍රසංග සඳහා සහභාගී වීමට සියලු දෙනාම තුළ වූයේ දැඩි කැමැත්තකි.

” වාව් ” 

සියල්ලෝම සතුටු වූයේ එක ලෙසය.රිහාන් යන්තමින් පමණක් සිනාසී ගිටාරය වාදනය කරන්නට පටන් ගත්තේය 

” ඔබ ඇපල් මලක් වාගේ

ලස්සන වසන්ත කාලේ

මට හදිස්සියෙන් වාගේ

හමුවූ “

අශේන් දෑස් පියාගෙන මයික්‍රෆෝනය ඉදිරිපිටට වී ගායනා කළේය. ඉන් සියලු දෙනාගේම අවධානය පුහුණුවීම වෙත යොමු වූ අතර සූදානම් කරගත් ගීත කිහිපයක්ම පුහුණුවීම ඉන් අනතුරුව සිදු විය.

පුහුණුවීම් පැවැත්වෙන අතරතුර ශෙනෝලි නැවත ලැප්ටොප් පරිගණකය දිගහැරගෙන සියලු දෙනාගේ කාලසටහන් වලට අනුව ඉදිරි පෙර පුහුණුවීම්, වැඩසටහන් සහ ප්‍රසංග පැවැත්වෙන දිනයන් සැලසුම් කර ගැනීමට යුහුසුළු වූවාය.

සංගීත කණ්ඩායමේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස සියල්ලෝම දකින , එහෙත් සංගීත කණ්ඩායමේ සියලු බර උසුලන, සියල්ලන්ටම පසුව පිටව යන, උග්‍ර වීමට පෙර සියලු ගැටලුවට විසඳුම් සොයා ගන්නා, අතිශය වෙහෙසක් සහ පීඩනයක් සිනහවකින් සඟවා ගන්නා තරුණියව වඩාත් හොඳින් තේරුම් ගන්නට රිහාන් උත්සහ කරමින් උන්නේය. 

පැය භාගයකට පමණ පසුව පෙර පුහුණුවීම් මදකට නතර කල කණ්ඩායම් සාමාජිකයන් ශෙනෝලි ගෙන එන ලද කෙටි ආහාර රස විඳීමට පටන් ගත් අතර අශේන් පැමිණ ශෙනෝලි වෙත පේස්ට්‍රි එකකුත් ටිශූ කඩදාසියකුත් දිගු කළේය.

” හැමෝම කනකොට ඔයා විතරක් නොකා ඉන්න එපා ශෙනෝ ” 

අශේන් කීවේ දයාබරවය. ශෙනෝලි තප්පර කිහිපයක් පේස්ට්‍රි ය දෙස බලාහිඳ එය අතට ගත්තාය.

” ඔය laptop එක දිහා ඔච්චර බලන් ඉන්න එපා.ඇස් දෙක නරක් වෙයි ” 

” music festival එකේ paper work එකක් තියෙනවා. ඒක මම මේඝ තෲ ඔයාලට inform කරන්නම් ” 

ශෙනෝලි තම රාජකාරිය වෙත යොමු වන්නට උත්සාහ දැරුවේ හේතුවක් ඇතිවය. කවුරුන් හෝ පැමිණ තමා වෙත කරුණාවන්ත වන විට දැනෙන හැඟීම දරාගන්නට පුළුවන් තැනක ඇය උන්නේ නැත. වසර දෙකකට පෙර නිවසින් පිටතට පැයකට පමණ හෝ ගිය විට දුරකථනය නිරන්තරයෙන් නාද වන්නේ අම්මාගේ හෝ තාත්තාගේ ඇමතුම් වලිනි. තමා කුසගින්නේ සිටිනවාදැයි බලන්නට සිටියේත්, නැවත නිවසට පැමිණෙන්නේ කීයටදැයි විමසන්නට සිටියේත් ඔවුන් දෙදෙනා පමණි.

එහෙත් දැන්,

තමා ඇතුළු වන්නේ අඳුර විසින් ගිලගත් නිවසකටය. තමා වෙනුවෙන් බලා හිඳින උණු උණු කෝපි කෝප්පයක් නොමැති නිවසකටය. තමා විසින්ම කෑමට කුමක් හෝ සකස් කර ගත යුතු නිවසකටය.සරලවම, සිනා හඬක් හෝ නෑසෙන නිවසකටය.

ශෙනෝලි පිට පනින්නට වෙර දරන හැඬුම තද කරගෙන ඊමේල් පණිවිඩය පරීක්ෂා කර බලා එය මේඝ වෙත යවා laptop පරිගණකය වසා දමා එය අත්බෑගයේ ප්‍රවේසමෙන් තැබුවාය. 

නැවත පෙර පුහුණුවීම් ආරම්භ වුනු බැවින් ශෙනෝලි රාජකාරී දුරකථනය ගෙන ස්ටුඩියෝවෙන් පිටතට පැමිණියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ප්‍රසංග කිහිපයකට අදාල දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඇති බැවිනි.

පුහුණුවීම් සැසිය අවසාන වූයේ සවස හතරද පසු වූ පසුවය.ශෙනෝලි ඒ වනතෙක් සියල්ලෝම මගහැර සිටියේ වචනයට නගා ගත නොහැකි වේදනාවක් හදවතට දැනෙමින් තිබුණු බැවිනි.

” ශෙනෝ.. ඔයා කොහොමද ගෙදර යන්නේ ? ” 

සියල්ලෝම තම බඩු බාහිරාදිය අසුරා ගනිමින් පිටත් වන්නට සූදානම් වද්දී අශේන් එසේ ඇසුවේ සියල්ලන්ටම ඇසෙන පරිදිය.

” ඌබර් එකක් දැම්මා ” 

ශෙනෝලි පිළිතුරු දුන්නේ අත් බෑගය කරට දා ගනිමිනි.

” ඕකේ. හැබැයි නිකන් යන්න පුළුවන් වාහනයක් තියෙද්දි ඔයා සල්ලි නාස්ති කරගන්නේ අපරාදේ හරිද ? ” 

අශේන් සියලු දෙනාට අත වනා මේඝ සමග පිටව ගියේ සැහැල්ලුවෙනි. කුලී ත්‍රී රෝද රථය පැමිණීමට තවත් විනාඩි හයක් පමණ ඉතිරිව තිබෙන නිසා ශෙනෝලි තම පෞද්ගලික දුරකථනය අත තබාගෙන ඒ දෙස බලා උන්නේ නිවසට යාමට නොඉවසිල්ලෙනි.

” ශෙනෝලි ” 

සියලු දේ දෙස බලා හිඳ අවසානයේදී රිහාන් ඉදිරියට පැමිණි අතර දුරකථනය දෙස බලා හිඳි ශෙනෝලි හිස ඔසවා බැලුවේ තමා ඉදිරියේ සිටගෙන සිටින දේහධාරී තරුණයා දෙසය.

“We still need to talk.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here