පසුදින උදෑසන 11 ට 5th Avenue ස්ටූඩියෝව පුහුණු වීම් සමග කාර්යබහුල වී තිබුණු අතර අතිශය ප්‍රථම වතාවට රිහාන් ස්ටූඩියෝව වෙත පැමිණියේ විනාඩි හතළිහකටත් අධික කාලයක් ප්‍රමාද වීය. ඔහු එනතුරු නොනැවතී සිටි සියල්ලෝම ඒ වනවිටත් පුහුණුවීම් ආරම්භ කර කාර්යබහුල වී සිටියෝය.
” රිහාන් “
සියල්ලටම පෙර ඉදිරියට පැමිණියේ මේඝ ය.ඒ රිහාන්ගේ ප්‍රමාද වීම පිළිබඳව විශ්මයෙනි.රිහාන් කිසිදු කලබලයකින් තොරව තම බේස් ගිටාරයද රැගෙන පුහුණුවීම් සඳහා සූදානමින් වෙමින් උන්නේය. නමුත් සියල්ලන්ගේම දෑස් මඟ හැරියේය.
” රිහාන්? මං උඹට කතා කරන්නේ? “
එවර රිහාන් මේඝ දෙස හැරුනේය.
“You’re late.”
රිහාන් ආයාසයෙන් සිනහවක් පෑවේය.නමුත් ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය නොවේ.
” සොරි. But forget it ”
රිහාන් තම බේස් ගිටාරය යන්තමින් වාදනය කලේය.සියල්ලෝම ඔහු දෙස බලා හුන් අතර තවත් යමෙක්,යමක් කියන තුරු මේඝ බලා උන්නේය. මේ සියල්ලම දෙස බලාගෙන ශෙනෝලි ඉරියව්වකින්වත් වෙනසක් නොපෙන්වා තම කාර්යයක නිරත වූවාය.
තවකෙක් ප්‍රශ්නයක් අසන්නට පෙර රිහාන් තමා පැමිණෙන විට අන් අය පුහුණු වෙමින් සිටි ගීතයේ තනුව වාදනය කිරීම ආරම්භ කළ අතර අශේන් නැවත මයික්‍රෆෝනය අතට ගෙන ගීතය ගායනය කළේය.
” මගේ අත හැර යන දා පවා
නුඹෙ පසු පස හිඳිමි
හද රැඳි හැම සිහිනේ සදා
වෙනතක දළුලාවී
ඇරයුම් නොකළ සිත් වේදනා
රහසේ නෙතේ රැඳුනේ
අවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා
පහසේ සිනා බිඳුනේ “
අශේන් දෑස් පියාගෙන හැඟීම් බරව ගායනා කරන විට ශෙනෝලි ඉවත බලා ගත්තාය.ඇගේ දෑස් වලට කඳුළු නිරායාසයෙන් ගලා එන විට ඇය ඒවා නතර කර ගත්තේ බොහෝ ආයාසයෙනි. හදවතේ ඇති වී තිබෙන හැඟීම් කෙසේ වුවද එය ආදරය ලෙස නම් කළ හැකි වුවද නොහැකි වුවද ආදරය යනු අහිමි වූ විටද අනෙකාගේ සතුට ප්‍රාර්ථනා කිරීම බව ශෙනෝලි සිතුවේ දෑස් කොනෙන් පෙනෙන රිහාන් දෙස මොහොතකට වත් අවධානය යොමු නොකරමිනි.තමාට කිසි ලෙසකින් වත් ඔහුගේ පෞද්ගලික ජීවිතයට හෝ පෞද්ගලික තීරණ වලට ඇඟිලි ගැසිය නොහැක.ඒ තීරණ සියල්ලක්ම ගත යුත්තේ ඔහුය. ඒවා දරා ගත හැකි වුවත් නොහැකි වුවත් තමාට මේ මොහොතේදී ඇති තේරීම දරා ගැනීම පමණි.
රිහාන් ගිටාරය වාදනය කිරීම නතර කළේ වැරදීමක් සිදුවූ බැවිනි. ඔහු අතින් එවැන්නක් සිදුවන්නේ ඉතා කලාතුරකින් නිසා සියලු දෙනාම මොහොතකට නතර වී රිහාන් දෙස බැලුවෝය.
” උඹ අද උදේ ඉඳලම අපිව සප්‍රයිස් කරනවනේ මචං “
රිහාන් කිසිවක් නොකී නමුත් ඒ මොහොතේදී ශෙනෝලි උවමනාවෙන් රිහාන් දෙස බලා ඔහු සිටින තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කළාය. ඔහුගේ මුහුණේ වූයේ ව්‍යාකූල බවකි.
” රිහාන්? Are you alright?”
රිහාන් සැණෙකින් ශෙනෝලි දෙසට හැරුනේය.මෙතෙක් වේලා වචනයක් හෝ නොපැවසූ යුවතිය තමා දෙස ඍජුව හැරී පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියි.
” yes I am ”
රිහාන් යන්තමින් සිනාසී නැවත ගිටාරය වාදනය කිරීම ආරම්භ කළේය. ඒ අතරතුර ඔහු වරින් වර දුරකථනයද අතට ගෙන එය පරීක්ෂා කරන ආකාරයද ශෙනෝලි දුටුවාය. සාමාන්‍යයෙන් පුහුණුවීම් අතරතුරදී දුරකථනය අතටවත් නොගන්නා ඔහු තුලින් අද දක්නට ලැබෙන මේ වෙනස කුමක් දැයි හඳුනා ගන්නට ශෙනෝලි බොහෝ වෙර දැරුවාය.
ගත වූයේ විනාඩි කිහිපයකි. නැවත රිහාන් අතින් වැරදීමක් සිදුවිණි. එවිට ඉදිරියට පැමිණියේ මේඝ ය. සංගීත උළෙල සඳහා පිටත්ව යාමට නියමිතව තිබියදී මෙසේ වැරදීම් සිදුවීම පිළිබඳව ඔහු තුළ වූයේ අපැහැදීමකි.
” රිහාන් උඹ මෙතන නෙමෙයිද ඉන්නේ ?”
මේඝ විමසුවේය.
” Im here”
” No you’ re not ”
රිහාන් ව්‍යාජ සිනහවක් පෑවේය.
” Just tired “
එය රිහාන් කිසි විටෙකත් ලබා නොදෙන ආකාරයේ පිළිතුරකි.පැය ගණනාවක ප්‍රසංගයකට පසුව වත් වෙහෙස බව කියමින් ඔහු පැමිණිලි ඉදිරිපත් කරන්නේ නැත. එහෙත් අද සියල්ල උඩු යටිකුරු වී ඇත.
පුහුණුවීම් නැවත ආරම්භ විය. නමුත් රිහාන්ගේ මනස වූයේ පෙර තිබූ තැනමය. උදෑසනදී ඉශිනි සමග ගත කළ මොහොතේය.
කෝපි කෝප්පය ඇඟිලි තුඩුවලින් අතගාමින් ඇය තමා දෙස බලා හුන් බැල්ම රිහාන්ට ඒ මොහොතේදීත් අමතක කළ නොහැකි එකක් විය.
” අවුරුදු ගාණක් තිස්සේ concert බලන්න එන්න මට හේතුවක් වෙච්ච බේස් ගිටාරිස්ට් එක වාඩිවෙලා මට මෙහෙම කෝපි එකක් බොන්න වෙයි කියලා මං හිතලා තිබ්බෙම නෑ රිහාන් ”
” Seriously ? ”
ඉශිනි සිනාසුනේ සැහැල්ලුවෙනි. ඇය උන්නේ කවරදාකටත් වඩා සතුටෙනි.
” ඔයා කියන්නේ ඔයා කොන්සර්ට්ස් බලන්න ආවේ මං හින්දා කියලද ? “
” Obviously ! “
රිහාන්ට සිනා ගියේය. තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබුණු මේ අවුරුදු ගණනාවක් පුරාවටම මේ තරම් ලඟින් මෙවැනි ඇගයුම තමා ලබන්නේ ප්‍රථම වතාවට යැයි රිහාන් ඒ මොහොතේදී කල්පනා කළේය.
” වැඩිය ආඩම්බර වෙන්න එපා ”
ඉශිනි පෙර ලෙසම සැහැල්ලුවෙන් සිනාසුනාය.
” මං කොහොමත් ආඩම්බරයි “
රිහාන් කෝපි කෝප්පයෙන් බිඳක් තොල ගෑවේය.
” මං ඒක දන්නවා රිහාන් . හැබැයි “
ඉශිනි කියන්නට ගිය යමක් නතර කර ගත්තාය.රිහාන් බලා උන්නේ එය අසන්නට වුවමනාවෙනි.
” මං ඇත්තටම හිතුවේ නැහැ ඉතින් ඔයත් එක්ක වාඩිවෙලා මෙහෙම කෝපි එකක් බොන්න පුළුවන් වෙයි කියලා “
” දේවල් වෙනස් වෙනවා.අපි හිතන්නේ නැති විදිහට “
රිහාන් බැරෑරුම් මුහුණක් මවා ගත්තේය.
” මං ඒක දන්නවා.ඒ දේවල් මේ තරම් වෙනස් වෙයි කියලා මං හිතලා තිබුණෙ නැහැ.අඩුම ගානේ මං දන්නෙ නෑ මං මේ දුවන්නේ මොකක් පස්සෙද කියලවත් ”
තම මුවින් පිටවූයේ අනපේක්ෂිත යමක් යැයි ඉශිනි වටහා ගත්තේ තත්පර ගණනාවක් ගත වූ පසුවය.
” මට තේරුන්නෑ ? “
රිහාන් බලා උන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
” මුකුත් නෑ “
” ඉශිනි ඊයේ ඉඳලම මං අහපු ගොඩක් දේවල් වලට ඔයා හරි උත්තරයක් දුන්නේ නැහැ. හැබැයි මං කැමතියි කවුරු වුණත් මාත් එක්ක කෙලින් කතා කරනවා නම්. “
” හැම ප්‍රශ්නෙකටම උත්තර ඕනෙමද රිහාන් ? ඔයා එතකොට කියන්නේ ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නෑ කියලද ? “
” තේරෙනවා “
රිහාන් අසුනේ ඉදිරියට වී ඉශිනි වෙත නැඹුරු වූයේය. ඒ බැල්ම දරා ගත නොහැකිව ඉශිනි මදකට ඉවත බලා නැවත රිහාන් වෙත දෑස් යොමු කළාය.
” ඒත් සමහර දේවල් තියෙනවා උත්තර ඕනෙම වෙන. මං අහන්නේ එහෙම දේවල් ගැන. “
ඉශිනි රිහාන් දෙස බලා උන්නාය. ඔහු මේ වන විටත් තම සිතැඟි තේරුම් ගෙන ඇති නමුත් ඔහුට උවමනා වී ඇත්තේ ඒ සියල්ල තම මුවින්ම අසා ගැනීමටය. ඔහුට පවසන්නට ඇති බොහෝ දේ ආරම්භ කරන්නේ කොතනින්දැයි සිතා ගත නොහැකිව ඉශිනි තවත් මොහොතක් ගත කළාය.ඒ තත්පර ගණනාව තුළ රිහාන් ඇය දෙස බලා උන්නේ ඉවසීමෙනි.
” කොල්ලෙක් ළඟ තියෙන්නම ඕන හරි ලස්සන පර්සනැලිටි එකක් මං ඔයාගෙන් දැක්කා. ඒ පර්සනැලිටි එක පළවෙනි දවසේ වගේම කිසිම වෙනසක් නැතුව මේ දැනුත් ඔයා ලඟ තියෙනවා. මං හිතුවේ නෑ මට කවදාවත් ඔයාගේ ඉස්සරහා වාඩිවෙලා මේ ටික කියන්න පුළුවන් වෙයි කියලවත්. ඒත් කොහොම හරි ඒකට පාත් එක මට හැදුනා. මං ඔයාට හරි ආදරෙයි රිහාන් “
රිහාන් කල්පනා ලොවෙන් මිදුනේ අශේන් ගීතයේ අවසානය සනිටුහන් කරද්දීය. සමාජ සම්මතයේ හැටියට ආදරය ප්‍රකාශ කරන්නේ තරුණයන් ය.එහෙත් අනපේක්ෂිත ආකාරයෙන් ප්‍රථම වතාවට තරුණියක් තමා ඉදිරියට පැමිණ නොබියව ඇයගේ ආදරය ප්‍රකාශ කළාය. උදෑසන සිටම හිත නොසන්සුන් වී තිබෙන්නේ ඒ නිසාය.
පළමු දිනයේ සිටම,පළමු මල් කළඹ එවූ මොහොතේ සිටම ඉශිනි තම හදවතේ කොනක යම් තැනක් අත්පත් කරගත් බව සැබෑය.එහෙත් එය මෙවැන්නක් දක්වා දුරදිග පැමිණේ යැයි තමා මොහොතකටවත් බලාපොරොත්තු වී උන්නේ නැත. පුදුමය ඇත්තේ එතනය.වසර ගණනාවකට පසුව යමෙක් තම හදවතට ඇතුළු වී හිඳීයි.
” මෙහෙම වෙන්න පුලුවන් ද ? ”



